පියාගේ ජන්ම දිනය වෙනුවෙන් වූ නාමල්ගේ සුබ පැතුම!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 81 වැනි ජන්ම දිනය අදට (18) යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය පියා වෙත සුබ පැතුම් එක්කර තිබෙනවා.

නාමල් රාජපක්ෂ මහතාගේ මුහුණු පොත හරහා බෙදා හැර ඇති එම සම්පූර්ණ සුබ පැතුම් පණිවිඩය,

මගේ ආදරණීය තාත්තාට,

ආදරණීය තාත්තේ,
මේ වසරේ ඔබගේ උපන්දිනය වෙනුවෙන්, ඔබ අසලින් සිටිමින් ඔබට සුබ පතන්නට නොහැකිව පවුලෙන් සහ ආදරණීයයන්ගෙන් වෙන්ව මේ අසීරු කාලය ගත කිරීමට සිදු වුවද, සිර මැදිරියේ බැමිවලට එහා ඔබ වෙනුවෙන් මට ඇති ආදරයත්, ගෞරවයත් අසීමිතව දැනෙන බව සටහන් කරමි. ජීවිතයේ අප කිසිදා නොසිතූ අභියෝගවලට මුහුණ දුන් අවස්ථාවලදී අපට ශක්තියක් වන්නේ අපේ දෙමාපියන්ගෙන් ලැබුණු ආදරය, ආදර්ශය සහ ජීවිත පාඩම්ය.

තාත්තේ, නායකත්වය යනු තනතුරක් දැරීම පමණක් නොවන බව ඔබ අපට කියා දුන්නේය. එය වගකීම් භාර ගැනීමත්, අභියෝග හමුවේ නොසැලී සිටීමත්, තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් අභීතව පෙනී සිටීමත් බව ඔබගේ ජීවිතයෙන් අපට පෙන්වා දුන්නේය.

අපේ රටේ ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයකදී, මාතෘ භූමියේ දහසක් මව්වරුන්, පියවරුන් මෙන්ම ආදරණීය දුවා දරුවන් වෙනුවෙන් කිසිවෙකුට බිය නොවී සාමය උදා කළ අභීත නායකයා ඔබයි. ඒ වෙනුවෙන් ඔබ දැරූ වගකීම්, කැපකිරීම් සහ අභියෝග හමුවේ ඔබ දරාගත් බොහෝ දෑ පිළිබඳව මම පුතෙකු ලෙස ඉතා සමීපව දනිමි.

අද මම මුහුණ දෙන මේ අසීරු කාලය තුළ, ඔබ මට කියා දුන් ඉවසීම, ධෛර්යය සහ නොසැලෙන අධිෂ්ඨානයේ වටිනාකම තවත් ගැඹුරින් අවබෝධ කරගනිමින් සිටිමි. පියෙකුගේ හිත කෙතරම් ශක්තිමත් විය යුතු දැයි මා උගත්තේ ඔබගෙනි. දරුවකු කෙරෙහි ඇති ධාරක ස්නේහය හදවතේ ගැඹුරුම තැන හොවාගෙන ශක්තිමත් පියෙකු ලෙස ලෝකය ඉදිරියේ සමස්ත දැයේ දුවා දරුවන්ටත් පියෙකු වන්නට හැකි වන්නේ කෙසේදැයි මා උගත්තේ ඔබගෙනි. මේ සියල්ල දරා ගනිමින් සත්‍යය වෙනුවෙන් සටන් කරන මමද පියෙකි. අද ඔබ අසලින් සිටින්නට මට නොහැකි වුණත්, ඔබේ ලේ උරුමයෙන් ලද ම‌ගේ දරුවන් අද ඔබ අසල සිටිනු ඇත. මා වෙනුවෙන් ඔවුන් ඔබව වැළඳ ගනු ඇත. දෑත් වලින් ඔබ ව වැළඳ ගත නොහැකි නිසා, අකුරුවලින් ඔබ වැළඳ ගැනීමට සිතුවෙමි. ඒ, පියෙකු සහ පුතෙකු අතර ඇති බැඳීම දුරස්ථභාවයෙන් බිඳ දැමිය නොහැකි නිසාය.

දේශපාලන පරිසරය තුළ ඔබට අත්දකින්නට සිදු වූ අසීරුතා මෙන්ම තාඩන පීඩන ගැරහුම් හමුවේ ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂ යන මහපොළොවේ පය ගැසූ මගේ තාත්තාට, ඔබේ ආදරණීය ලොකු පුතා වන මම නිදුක් නිරෝගී සුවයත්, මානසික ශක්තියත්, අසීමිත ආදරයත් මෙසේ ලියා තබමි.

සුබ උපන්දිනයක් වේවා මගේ ආදරණීය තාත්තේ!

හදපිරි ආදරයෙන්,
ඔබේ ආදරණීය ලොකු පුතා,
නාමල්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ ජය ඉන්දියාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: ඉන්දියාව 2026 දකුණු ආසියානු...

දින 15ට සංචාරකයින් ලක්ෂ 10 පනී!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නොවැම්බර් මාසයේ පළමු දින 15 තුළ විදෙස්...

රටේ වැඩි වැඩියෙන් ඉංජිනේරුවන් බිහි කර ඉංජිනේරු වෘත්තිය ආරක්ෂා කර බුද්ධිගලනය අවම කළ යුතුයි – විපක්ෂ නායක

නොවැම්බර් 18, කොළඹ LNW: රටේ ආර්ථික වර්ධනයට සංවර්ධනයට වේගවත් දියුණුවක්...

රට තුළ මත්ස්‍ය අස්වනු වැඩි කිරීමට පියවර!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: ගැඹුරු මුහුදු මත්ස්‍ය අස්වැන්න...