ලෝකයේ දියුණු රටවල ඉන්ධන මිල ගණන් රුපියල්වලින් සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල විශාල ලෙස අඩු බවත් ඒ අනුව, රජය ජනතාවට ඉන්ධන සඳහා විශාල සහනාධාරයක් ලබාදී ඇති බවත් වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
“සහන දීලා නෑ කියන්නෙ කොහොමද ? ලංකාවේ මේ වෙනකොට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 490යි. මොකද මම ඒක ගත්තේ ලෝකේ වැඩි හරියක් පාවිච්චි කරන්නේ ඔක්ටේන් 95 පෙට්‍රල්. ලංකාවේ 490යි, සිංගප්පූරුවේ කීයද ? 834 යි. ඊශ්‍රායලයේ කීයද ? 847යි. ලංකාවේ මුදලින් මම මේ කියන්නෙ සංසන්දනය කරලා. ජෝර්දානයේ 645යි. බ්‍රිතාන්‍යයේ 757යි. ප්‍රංශයේ 755යි. පින්ලන්තයේ 844යි. නෝර්වේ 949යි. ඕස්ට්‍රේලියාවේ 525යි. දකුණු අප්‍රිකාවේ 600යි. ලංකාවේ 490යි. ලෝකයේ ඒ රටවලුත් තෙල් ගෙනල්ලා විකුණන්නෙ.
ඒ වගේම මම ඩීසල්වලිනුත් ඔබතුමාලාට දැනුම් දෙන්නම්, ඔබතුමාලා ඩීසල් වාහන පාවිච්චි කරනවා නම්. අපි දැන් ඩීසල් ලීටරයක් 397ට දෙනවා. සිංගප්පූරුවේ 936යි. ඊශ්‍රායලයේ 804යි. තුර්කියේ 630යි. බ්‍රිතාන්‍යයේ 879යි. ජර්මනියේ රුපියල් 829යි. ඩෙන්මාර්කයේ 978යි. මම කියන්නෙ මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනෙ මේවා. මේවා දෙන්නෙ නිකම්ම නෙවෙයි, මෙතෙන්ට ජනාධිපතිතුමා ඇවිල්ලා කිව්වා තෙල් මිල ජනතාවට උහුළාගන්න බැරි හින්දා අපි රුපියල් බිලියන 100ක් වෙන්කරලා තෙල්වලට සහනාධාරයක් රජය දරනවා. මේ හැමදෙනාම ගහන ලීටරයට රජයත් ගාණක් ගෙව්වා. ජනතාවට සහන දුන්නා. මේ රටේ ජනතාව මිරිකලා හප කළේ නෑ ඉස්ස්ර වගේ”
සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමිනි.
කෙසේවෙතත් සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී කියන රටවල විනිමය අනුපාතය සහ ඒක පුද්ගල ආදායම සලකා බැලීමේදී ශ්‍රී ලංකාව සමග ඔහු මේ කරන සංසන්දනය නිවැරදි එකක් නොවේ.


