මහා කිවිඳුට දාව ඉපදුණ
විසල් කවියක් ළඟ
කොම්බුවක් සේ බලා ඉන්නෙමි
එකත්පස් වී මම
පුපුරු ගසනා ඔය සැහැල්ලුව
සසල කරවයි හද
බීර බඳුනෙහි පෙන නැඟෙන සේ
හිනා ඉහිරෙනකොට
සෙමින් තොලගා බීර බඳුනින්
අත ගනීද්දී ඔබ
තුරුලු කරගන්නෙමි නිධානය
මට දුන්නු කවි පොත
පියබිමට ගැඹුරින්ම පෙම් කළ
පිටුවහල් කවියක
ඔබේ පියවර ලකුණු හමුවී
නතර වෙන්නෙමි මම.
සිහින සිහිසන් වෙලා හදවත
විතැන් වුණු මොහොතක
ගලා රුධිරය මියෑදෙන එක
නවත්තනු කොහොමද?
රසුල් ගම්සාතොව් කියූ ලෙස
ලේ ඇවැසි හදකට
ඔබේ රුධිරය දෙන්න පිළිවන
ගැළපේය කදිමට
දෑත් විහිදන සහෝදරකම
දෙන්නෙ කොහොමද ඔබ
ඔබේ කවි පදයක් තරම් වත්
නො වටිනා කෙනෙකුට.
~ මංජුල වෙඩිවර්ධන


