පරණ බඩු වලට අලුත් බේසමක් දුන්නම ඔක්කොම හරිද?

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණයට අප යා යුත්තේ ඇයි ?

" පරණ යකඩ... පරණ බාල්දි. . කැඩුණු පිත්තල පහන්...
ෆෝන් චාජර් ෆෝන් බැටරි..
කැඩුණු ඉලෙක්ට්‍රික් බඩු වලට
අලුත් බේසමක් දෙනවා
අලුත් මදුරු දැලක් දෙනවා......"

මේ හඬ නෑසෙන පරණ බට්ටා ලොරියක් නොයන පාරක්
ලංකාවේ මොන පළාතෙත් නැති තරම්. පරණ ලට්ට ලොට්ට කුණු එකතු කරන මේ ලොරියෙන්
එකතු වෙන කුණු ගොඩේ සැඟවුණු ලොකු කතාවක් තියෙනවා .

අපේ ගෙදර මුල්ලක්, අල්මාරියක්, ලාච්චුවක් බලන්න. කැඩුණු ෆෝන් එකක්, චාර්ජ් වෙන්නැති කේබල් ගොඩක්, පරණ රිමෝට් එකක්, වැඩ නැති ලැප්ටොප් එකක් ඇති.

අපි ඒවා කුණු කියලා හිතලා තියාගෙන ඉන්නවා. ඒත් ඇත්තටම ඒවා කුණු නෙවෙයි. ඒවා විසත් එක්ක හැංගිලා තියෙන සම්පතක්.

අපි මේ කතා කරන්නේ ලංකාවේ වේගයෙන්ම වැඩි වෙන කුණු වර්ගය ගැන. ඒ තමයි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය. එහෙමත් නැත්තම් E-Waste.

ලංකාව වසරකට E-Waste ටොන් ලක්ෂ 1,75,000ක් විතර එකතු වෙනවා කියලා එක්සත් ජාතීන්ගේ Global E-waste Monitor 2024 වාර්තාවේ සඳහන් වෙනවා. ලෝකයේ වසරකට හැදෙන E-Waste ටොන් මිලියන 62න් නිසි විදියට එකතු කරලා ප්‍රතිචක්‍රීකරණය කරන්නේ සියයට 22.3ක් විතරයි. ලංකාවේ කොච්චර එකතු වෙනවද කියලා නිශ්චිත දත්තයක්වත් නැහැ. ඒක තමයි
මේ වන විට ඇති ලොකුම ප්‍රශ්නය.

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණයට අපි යා යුත්තේ ඇයි? යන ගැටලුවට අප නිරුත්තරව සිටින්නේ ඒ නිසයි.

සෞඛ්‍යයට ප්‍රශ්නයක්

E-Waste වල තියෙන්නේ අපි හිතනවාටත් වඩා භයානක දේවල්. රසදිය, ඊයම්, කැඩ්මියම්, ආසනික් වගේ විස රසායන.

මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අපද්‍රව්‍ය කළමනාකරණ) ශයාමනී පෙරියප්පෙරුම මහත්මිය පසුගියදා මේ සම්බන්ධයෙන් පැහැදිලි අනතුරු ඇඟවීමක් කලා.

“වැරදි විදියට කසළ බැහැර කිරීම සහ අනාරක්ෂිත ප්‍රතිචක්‍රීකරණය නිසා අන්තරායකර ද්‍රව්‍ය පරිසරයට එකතු වෙලා, මිනිස් සෞඛ්‍යයට
දරුණු බලපෑමක් එල්ල කරනවා,. පස, වතුර, වාතය දූෂණය වෙනවා. කේබල් එළිමහනේ පුච්චලා තඹ ගන්න එක, වටිනා ලෝහ ගන්න අම්ල පාවිච්චි කරන එක විශේෂයෙන්ම කනගාටුදායකයි.”

ඇත්තටම ගමේ සිද්ද වෙන්නේ ඒක තමයි. කේබල් එක පුච්චලා තඹ ගන්නවා. බැටරි ගලවලා අම්ලය බිමට දානවා. ඒ විස පසට යනවා. පසෙන් වතුරට යනවා. වතුරෙන් අපේ ඇඟට යනවා.

2026 නොවැම්බර් 18 දිවුලපිටිය වේවැගෙදර E-Waste අංගනයක ගින්නක් ඇති වුණා. ඒ ගින්න ගැන
මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ මහතා
කළ ප්‍රකාශය ගැඹුරින් අධ්‍යයනය කළ හැකි එකක්.

“ගින්නෙන් පස්සේ ඒ ප්‍රදේශයේ වාතයට වෙච්ච බලපෑම ගැනත් අධ්‍යයනය කළා. ඒ අනුව බලපෑමට ලක්වුණු පවුල් කීපයකට ආරක්ෂක උපදෙස් දුන්නා. වතුර මූලාශ්‍රවලට බලපෑමක් වෙලාද කියලා හොයන්න පරීක්ෂණ පටන් අරන් තියෙනවා. මොකද මේවා අනාගතයට බලපාන ප්‍රශ්න…

ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය රටේ ආර්ථික ප්‍රශ්නයක් – කුණුවල හැංගිලා තියෙන රත්තරන්
මතු කර ගන්න තවමත් හරි හැටි කවුරුත් ක්‍රියාත්මක වුණේ නැහැ.

කුණු කියලා ඉවත දාන ෆෝන් එකක රත්තරන්, රිදී, තඹ, ඇලුමිනියම් තියෙනවා. එක ෆෝන් එකක තියෙන ප්‍රමාණය පොඩියි.නමුත් ෆෝන් ලක්ෂ 10ක් එකතු වුණාම ඒක කිලෝ ගණනක් වෙනවා.

ලෝකේ වසරකට හැදෙන E-Waste වලින් අය කරගන්න පුළුවන් ලෝහවල වටිනාකම ඩොලර් බිලියන 91ක් විතර වෙනවා. නොදැනුවත්කම මත ඒවා කුණු ගොඩට දාලා දවල විනාශ කරන්න ලංකාවේ උදවිය පියවර ගන්නවා. ලෝකයේ දියුණු රටවල්
මෙිවා සම්පතක් ලෙස සලකමින් රට සංවර්ධනය කර ගන්නවා.

ජපානයේ රත්තරන් පතල් නැහැ. ඒත් ජපානය දැන් රත්තරන් හොයන්නේ පරණ ඉලෙක්ට්‍රොනික බඩුවලින්. ඔවුන් ඒකට කියන්නේ Urban Mining කියලා. එය නගරයේ තියෙන පතලක් ලෙස ඔවුහු සලකනවා

2020 ටෝකියෝ ඔලිම්පික් පදක්කම් හැදුවේ පරණ ෆෝන්, ලැප්ටොප් ප්‍රතිචක්‍රීකරණයෙන් ලබාගත් රත්තරන්, රිදී, ලෝකඩ වලින්. ඒ රටේ ජනතාවගෙන්ම එකතු කරපු ටොන් ලක්ෂ 7ක E-Waste වලින්.

දකුණු කොරියාව, ජර්මනිය, ස්වීඩනය වගේ රටවල් දැන් E-Waste ප්‍රතිචක්‍රීකරණයෙන් අලුත් කර්මාන්ත ක්‍රියාත්මක කොටතියෙනවා. ඒ කර්මාන්තවල දහස් ගණන් රැකියා තියෙනවා. ඔවුන් ඔවුන්ගේ රටට අවශ්‍ය
කරන ලෝහ ටික පිටරටින් ගෙන්නන්නේ නැහැ. තමන්ගේම කුණුකසළ වලින් ලබා ගන්නවා. එවයින් විදේශ විනිමය ඉතුරුකර ගන්න වා.

ලංකාවටත් ඒක්‍රමවේදයම ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපේම පරණ බඩුවලින් තඹ, ඇලුමිනියම්, යකඩ ආපහු ගත්තොත් පිටරටින් ගෙන්වන්න යන මුදල ඉතුරු කර ගන්න පුළුවන්. එකතු කරන කෙනා, වෙන් කරන කෙනා, ගලවන කෙනා, අලුතින් හදන කෙනා කියලා අලුත් රැකියා දාමයක් හැදෙනවා. ගමේ තරුණයෙකුටත්, කාන්තාවකටත් කුඩා ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඇතැම් විට කාන්තාවන් රැකියාවක් නොමැතිව පසුතැවීමෙන් ජීවත් වෙනවා ව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යවලින්,
නව නිෂ්පාදනයක් කරා යන නව කර්මාන්තශාලාවක් බිහි කලොත් පුහුණුවක් ලබා දෙන ඕනෑම කාන්තාවකට එහි රැකියා අවස්ථාවක් ලබාගන්නත් පුළුවන්.

මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ශයාමනී මහත්මියම ඒ ගැනත් කියලා තියෙනවා.

“නිසි ප්‍රතිචක්‍රීකරණයෙන් තඹ, ඇලුමිනියම්, රත්තරන් වගේ වටිනා ද්‍රව්‍ය ආපහු ගන්න පුළුවන්, දූෂණය අඩු කරන්න පුළුවන්, සම්පත් ආපහු පාවිච්චි කරන චක්‍රීය ආර්ථිකයකට උදව් කරන්න පුළුවන්. ඒ සඳහා කාන්තාවන්ට අවස්ථාව ලබා දෙන්නත් පුළුවන්”

යුරෝපා සංගමය මේ තත්ත්වයට අදාළව හදපු නීතියට කියන්නේ WEEE නීතිය කියලා. WEEE කියන්නේ Waste Electrical and Electronic Equipment.

ඒ නීතියෙන් කියන්නේ සරල කතාවක්. බඩුවක් හැදුවා නම්, ඒක පරණ වුණාම ආපහු ගන්න එකත් හදපු කෙනාගේම වගකීමක්. ඒකට කියන්නේ EPR – Extended Producer Responsibility කියලා.

යුරෝපයේ ජනතාවට පරණ බඩුවක් නොමිලේම වෙළඳ සැල් භාරදෙන්න පුළුවන්. අලුත් ටීවී එකක් ගද්දි පරණ එක අදාල වෙළඳ සැල ට භාරගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එය හදුන්වන්නෙ 1:1 Take-back ලෙස යි. ලොකු කඩවල්වල චාජර්, බැටරි වගේ පොඩි බඩු අලුත් එකක් ගන්නේ නැතුව වුණත් නොමිලේ භාරගන්න ඕන. ඒකට කියන්නේ 0:1 Take-back කියලා.

ඒ වගේම නිෂ්පාදකයෝ තමන් වෙළඳපොළට දැම්ම බඩු බරෙන් සියයට 65ක් ආපහු එකතු කරන්න ඕන. ඒ ඉලක්කයට ආවේ නැත්තම් දඩ ගෙවන්නත් ඕන.

ජර්මනියේ ElektroG නීතියෙන්, ජපානයේ Home Appliance Recycling Law එකෙන්, දකුණු කොරියාවේ EPR ක්‍රමයෙන් කරන්නේත් මේක්‍රමයමයි. ජපානයේ ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින්, AC වලට පාරිභෝගිකයා පොඩි ගාස්තුවක් ගෙවලා කඩේට භාරදෙනවා. ඒ මුදලෙන් තමයි ප්‍රතිචක්‍රීකරණය සිදු කරන්නේ.

චීනය ආරම්භයේදී කළේ “පරණ එක දීලා අලුත් එකක් ගන්න” – Old-for-New ක්‍රමය. පරණ බඩුව දුන්නොත් අලුත් එකට වට්ටමක් දෙන්න කටයුතු කල එක.

ලෝකේ රටවල්සියල්ලම පාහේ මේ කටයුත්තට දායක වන විට ලංකාව පසුගාමී ස්වභාවයක් පෙන්නුම් කළා. ලංකාවේ නීතිය
හරියටම පොත්පත්වල සඳහන් වූවත් එය නගරයෙන් ගමට ගියේ නැහැ.

ලංකාවේ E-Waste වලටම වෙන් වෙලා තියෙන එකම සහ සම්පූර්ණ පනතක් තවමත් නිසි ක්‍රමවේද යටතේ ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැහැ.මොකද අදටත් තවමත් මේ සම්බන්ධයෙන් තියෙන්නේ සාමාන්‍ය පරිසර නීති ඇතුළේ තියෙන නීති ටික පමණයි.

ප්‍රධානම නීතිය 1980 අංක 47 ජාතික පාරිසරික පනත. මෙය තමයි මධ්‍යම පරිසර අධිකාරිය විසින් සකස් කලෙ. මේ පනතේ
ඇතුලත් වන්නේ බලපත්‍රයක් නැතුව කිසිම අපද්‍රව්‍යයක් පරිසරයට මුදා හරින්නට හැකියාවක් නැත යන්නයි.

අනතුරුව 2008 අංක 1 ජාතික පාරිසරික (ආරක්ෂාව හා ගුණාත්මකභාවය) රෙගුලාසි – ගැසට් අංක 1534/18 සකස් කොට තිබුණා. ඒ හරහා තමයි E-Waste, අන්තරායකර අපද්‍රව්‍ය (Scheduled Waste) වර්ගයක් විදියට නම් කර තිබෙන්නේ. E-Waste හදන, එකතු කරන, ගබඩා කරන, ප්‍රවාහනය කරන, ප්‍රතිචක්‍රීකරණය කරන හැමෝම CEA හෙවත් මධ්‍යම පරිසර අධිකාරියෙන් බලපත්‍රයක් ගනීම අවශ්‍ය බව එයින් කියවෙනවා. දැනට
මේ හරහා බලපත්‍ර තියෙන එකතු කරන්නෝ 16 දෙනෙක් පමණක්
සිටින බව මධ්‍යම පරිසර අධිකාරිය ය ප්‍රකාශ කොට තිබෙනවා. එසේ නම් රට තුළ රැස් වන ටොන් ලක්ෂ 1,75,000ක ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සදහා එකතු කරන්නෝ 16 දෙනෙක් ප්‍රමාණවත් ද?

අලුත්ම වෙනස 2026 අංක 15 ජාතික පාරිසරික (සංශෝධන) පනතයි. 2026 ජූලි 21 කථානායකවරයා විසින් අත්සන් කොට මෙය බලාත්මක කර තිබෙනවා. මෙයින් EPR ක්‍රමය හෙවත් විස්තීර්ණ නිෂ්පාදක වගකීම (EPR)Extended Producer Responsibility නීතිගත කිරීමට හැකියාව ලැබුණා.

නිෂ්පාදකයාගේ දීර්ඝ කාලීන වගකීම යනු බඩුවක් හදපු කෙනා, ඒ බඩුව කඩෙන් විකුණලා ඉවර වුණාම එයාගේ වගකීම ඉවර නැහැ. ඒ බඩුව පරණ වෙලා, කැඩිලා, ඉවර වුණාම ආපහු ගන්න එකත්, නිසි විදියට බැහැර කරන එකත් එයාගේම වගකීමක්.
උදාහරණයක් විදියට:
ෆෝන් එකක් හදපු සමාගම, ඒ ෆෝන් එක පරණ වුණාම ආපහු ගන්න ඕන. EV බැටරියක් ගෙන්වපු කෙනා, ඒ බැටරිය ඉවර වුණාම ආපහු ගන්න ඕන.

මෙම නීතිය කැඩුවොත් රුපියල් ලක්ෂ 200 දක්වා දඩ, දිනකට දඩ, අවුරුදු 2ක් දක්වා සිර දඬුවම් දෙන්න පුළුවන්. ඒත් EPR වලට ඕන රෙගුලාසි තවදුරටත් සකසමින් සිටිනවා. ඒ නිසා නීතිය තිබුණත් තාමත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

ජාත්‍යන්තරව ලංකාව බාසල් සම්මුතියට අත්සන් කරලා තියෙනවා. ඒ නිසා E-Waste ආනයනය / අපනයනය කරන්න CEA එකේ ලිඛිත අනුමැතිය අවශ්‍ය වෙනවා.

පරිසර ඇමති ආචාර්ය ධම්මික පටබැඳි මහතා මේ ගැන මෙවැනි ප්‍රකාශයක් සිදු කළා.

“ලෝකේ සාමාන්‍යයෙන් පිළිපදින ක්‍රමය තමයි, මොන ද්‍රව්‍යයක් හැදුවත් ඒකේ ආයු කාලය ඉවර වුණාම ඒක බැහැර කරන එක හෝ ප්‍රතිචක්‍රීකරණය කරන එකත් හදපු කෙනාගේම වගකීම. මේක ලංකාවේ හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. පනත පාර්ලිමේන්තුවෙන් ගියාට පස්සේ අපි EPR ක්‍රියාත්මක කරන්න ඕන නීති ගේනවා.”

CEA සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතාත් ඒ ගැන මේ ආකාරයේ ප්‍රකාශයක් කළා.

“සාමාන්‍යයෙන් ලංකාවේ හැමෝම හිතන්නේ පොලිතීන්, ප්ලාස්ටික් බැහැර කරන එක, එකතු කරන එක, ප්‍රතිචක්‍රීකරණය කරන එක රජයේ සහ CEA එකේ වැඩක් කියලා. දියුණු රටවල්වල ඒක නිෂ්පාදකයාට දීලා තියෙන්නේ.”

කොහොම උනත් මේ වන විට දැනට තියෙන එකම වැඩසටහන – e-Kunu වැඩසටහන යි.

මධ්‍යම පරිසර අධිකාරිය සහ Dialog ආයතන ය එකතු වෙලා කරන වැඩසටහනක් තමයි e-Kunu. මේක 2026 අගෝස්තු 5 වැනිදා අලුත් විදියට ආපහු ආරම්භ කලා.

ඉන් ජනතාවට තමන්ගේ පරණ ෆෝන්, ලැප්ටොප්, චාජර්, කේබල්, බැටරි, හාර්ඩ් ඩිස්ක්, රවුටර්, සෙට්-ටොප් බොක්ස් වගේ දේවල් බලයලත් එකතු කරන තැන්වලට භාරදෙන්න පුළුවන්. 2025දී Dialog
ආයතනය මහජනතාවගෙන් ටොන් 3.74ක් එකතු කරලා තියෙනවා. එමෙන්ම තමන්ගේම ජාල උපකරණ ටොන් 668ක් වගකීමෙන් කළමනාකරණය කරලා තියෙනවා.

e-Kunu දියත් කරන වැඩසටහනේදි පරිසර ඇමතිවරයා කියා සිටියේ
“ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වගකීමෙන් කළමනාකරණය කිරීම ශ්‍රී ලංකාවේ පාරිසරික න්‍යාය පත්‍රයේ වැදගත් අංගයක්. e-Kunu වගේ වැඩසටහන් මගින් වගකීමෙන් බැහැර කිරීම ජනතාවට වඩාත් පහසු වෙනවා වගේම, රට වඩාත් තිරසාර හා චක්‍රීය ආර්ථිකයක් දෙසට යන්නත් උදව් වෙනවා.”කියායි

වගකීමෙන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න රජය, කර්මාන්තය සහ ජනතාව කියන තුන්ගොල්ලන්ගේම එකතුව
අත්‍යවශ්‍ය බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාද මේ අවස්ථාවේ කියා සිටියා.

ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය අතර සෝලා හෙවත් දුම්රිය පැනල වල අඳුරු පැත්ත නොහිතන පරාසයක් කරා දිව යනවා

සෝලා පැනල අවසාන ය E-Waste හෙවත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයන් තර ප්‍රමුඛ තැනක් ගන්න දෙයක්ම තමයි.

සෝලා පැනල් එකක ආයු කාලය අවුරුදු 25-30ක්. ඉන්වර්ටර් එකක ආයු කාලය අවුරුදු 10-12ක්. බැටරියක ආයු කාලය අවුරුදු 5-10ක්. ලංකාවේ Rooftop Solar පටන් ගත්තේ වසර2013න් පසු කලෙක යි.ඒ පැනල්වල ආයු කාලය ඉවර වෙන්නේ 2038-2048 අතරේ. ඒ කියන්නේ තව අවුරුදු 12කින් ලංකාවට එකපාරටම සෝලා පැනල් කුණු කන්දක්
ගොඩ ගැසීමට නියමිතයි.

සෝලා පැනල් එකක වීදුරුසියයට 75, ඇලුමිනියම් රාමුව, සිලිකන්, රිදී, තඹ අන්තර්ගතව තිබෙනවා. සමහර පරණ පැනල්වල ඊයම්, කැඩ්මියම් වගේ විසත් තියෙනවා. එක පැනලයක් කිලෝ 20-25ක් විතර බරයි.

තාමත් ලංකාවේ සෝලා පැනල් ප්‍රතිචක්‍රීකරණයටම වෙන් වුණු කර්මාන්ත ශාලාවක් නැහැ. දැනට සිද්ධ වෙන්නේ පරණ පැනල් ගබඩා කරලා තියන එක, අනවසරයෙන් ගලවලා ඇලුමිනියම් විතරක් විකුණන එක, නැත්තම් තවමත් ටිකක් වැඩ කරන පැනල් අඩු මිලට ගමට දෙන එක.

මධ්‍යම පරිසර අධිකාරියේ ශයාමනී මහත්මිය
ප්‍රකාශ කොට සිටින්නේ, සෝලා පැනල්, EV බැටරි වගේ අලුත් E-Waste සඳහා ක්‍රමවේද හඳුනා ගනිමින් ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට අපි දැන් ඉඳන්ම ලෑස්ති විය යුතු බවයි

එවැනිම වූ තවත් ළඟ එන ප්‍රබල ගැටළුවක් වන්නේ විදුලි වාහනවල බැටරි ඉවත් කළ විට ඇතිවන තත්ත්වය හමුවේ මුහුණ දීමයි

ලංකාවට ප්‍රථම විදුලි වාහනය රැගෙන ආවේ 2013 ඔක්තෝබර් මාසයේදී යි. ඒ Nissan Leaf කාර් එක. මුලින්ම රැගෙන ආවේ කාර්රථ 5ක් පමණ යි. EV Lanka සමාගමෙන් රැගෙන ආ කාර්රථ පහ ලංකාවේ පාරට දැම්මේ
අනාගතයේ ස්සේ පසු පසින් පැමිණෙන ඉලෙක්ට්‍රොනික වාහන පිළිබඳ ව කිසිදු බලාපොරොත්තුවක් නොදැල්වෙන කාලෙකයි.

වසර 2015 සැප්තැම්බර් වනවිට ලංකාවේ ලියාපදිංචි විදුලි වාහන සංඛ්‍යාව 2,072ක්. 2023 වනවිටත් ඒ සංඛ්‍යාව 10,000ටත් අඩුයි.
නමුත් 2025 පෙබරවාරි මාසේ වාහන ආනයන තහනම ඉවත් කළ පසුව සියල්ල එකවරම වෙනස් වුණා. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ 2026 සැප්තැම්බර් 22 නිකුත් කළ පාරිසරික විගණන වාර්තාවේ (ENV/2025/03) සදහන් පරිදි, 2020දී ලියාපදිංචි වුණේ EV 340ක් පමණයි. 2024දී එය 12,519ක් වුණා. 2025 සැප්තැම්බර් වෙනවිට මුළු EV සංඛ්‍යාව 30,426ක්. ඉන් සියයට 84ක්ම විදුලි යතුරුපැදි. 2026 ජූනි වෙනවිට ඒ ගණන ලක්ෂයත් ඉක්මවනු ලැබුවා. එය
සරලව බලන්න කළ මාස නවයක් ඇතුළත EV හෙවත්
ඉලෙක්ට්‍රොනික වාහන ගණන තුන් ගුණයකටත් වඩා වැඩි වුණා.

ලංකාවේ පාරේ දුවන EV එකකට බැටරි එක බැගින් සලකා බලන විට අද වෙනවිට ලංකාවේ තියෙන EV බැටරි සංඛ්‍යාවත් ලක්ෂ 1කට වඩා වැඩියි. එයට Hybrid වාහනවල බැටරි, වාහන ආනයනයත් එක්ක 2025 පෙබරවාරි සිට 2026 පෙබරවාරි වනතුරු වන විදුලි කාර් 8,655යි, විදුලි යතුරුපැදි 36,860යි, Hybrid වාහන 49,137යි එකතු
වූ විට බැටරි ගණන ලක්ෂ 2කටත් වැඩියි.

EV බැටරියක ආයු කාලය අවුරුදු 8ත් 10ත් අතර. ඒ කියන්නේ 2013දී ආපු පළවෙනි Leaf වල බැටරි
කාලය දැන් අවසන් වෙලා. 2025-2026දී ආපු ලක්ෂ 1ක බැටරි ඉවර වෙන්නේ 2033-2036දී. ඒ වෙලාවට එකපාරටම බැටරි ටොන් දහස් ගණනක් ලංකාවේ පරිසර පද්ධතියට එකතු වෙනවා.

ප්‍රශ්නය , ඒ බැටරි වලට මොකද වෙන්නේ? විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පැහැදිලිවම ප්‍රකාශ කර ඇති පරිදි- ලංකාවේ තාම EV බැටරි නිරීක්ෂණය කරන්න, එකතු කරන්න, ප්‍රතිචක්‍රීකරණය කරන්න ක්‍රමයක් නැහැ. ලංකාවේ ඒකට කර්මාන්ත ශාලාවක් නැහැ. මෝටර් රථ දෙපාර්තමේන්තුව බැටරිය මාරු කළාද, බැහැර කළාද යන්න සටහන් කරන්නේ නැහැ. EV බැටරියටම වෙන් වුණු HS කේතයක්වත් නැහැ. ඒ නිසා බැටරියක් ආනයනය කළාද, ගියාද කියලා හොයන්නත් බැහැ.
කෙටියෙන්ම කිව්වොත් මේ සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු කොතැනකවත් සඳහන් වන්නේ නැහැ

දැන් වෙන්නේ ගරාජයක මුල්ලේ, ගෙදර මිදුලේ එළිමහනේ බැටරි ගබඩා කරන එක. විගණන නිලධාරීන් ගිහින් බලද්දිත් බැටරි එළිමහනේ දාලා තිබිලා තියෙනවා. සමහරු ඒ බැටරි අරන් ගෙදර සෝලා බැටරියක් වගේ පාවිච්චි කරනවා. ඒක හොඳ දෙයක්. ඒකට කියන්නේ Second-Life කියලා. කාර් එකට බැරි වුණත් ගෙදරට පුළුවන්. ඒත් ඒ බැටරියත් ඉවර වුණාම මොකද කරන්නේ? ඒකට උත්තරයක් නැහැ.

EV බැටරියක් සාමාන්‍ය කුණු නෙවෙයි. ඒකේ ලිතියම්, කොබෝල්ට්, නිකල් වගේ වටිනා ලෝහ තියෙනවා වගේම, ගිනි ගන්න, පුපුරන්න පුළුවන් විස රසායනත් තියෙනවා. ඒක නීතියෙන්ම “අන්තරායකර අපද්‍රව්‍ය” (Scheduled Waste) වර්ගයක්. CEA එකේ බලපත්‍ර තියෙන එකතු කරන්නෝ 14 දෙනෙකුට විතරයි ඒවා හසුරවන්න පුළුවන්. ඒ අය කරන්නෙත් ඒවා එකතු කරලා බෙල්ජියමේ Umicore වගේ රටවල්වලට යවන එක. Green Links Lanka සමාගම තමයි එය සිදු කරන්නේ. ලංකාව ඇතුළේ ප්‍රතිචක්‍රීකරණය කරන්නේ නැහැ.

2026 අංක 15 ජාතික පාරිසරික (සංශෝධන) පනතින් EPR ක්‍රමය
හඳුන්වා දුන්නා. ඒ කියන්නේ බැටරිය ගෙන්වපු කෙනා, හදපු කෙනා ආපහු ගන්න ඕන කියන කාරණය. ඒත් ඒකට අවශ්‍ය කරන රෙගුලාසි තාමත් හදලා නැහැ. මධ්‍යම පරිසර අධිකාරිය ලිතියම් බැටරි මාර්ගෝපදේශයක් තවමත් ගැසට් කර නැතිබව විගණන වාර්තාවේ සඳහන් වෙනවා.

ඒ නිසාම EV එක පාරේ යද්දි දුම නැහැ කියලා අපි සතුටු වුණාට, ඒකේ බැටරිය ඉවර වුණාම ඒ දුමට වඩා දස ගුණයක් භයානක විසක් අපේ පසට, වතුරට එකතු වෙන්න පුළුවන් බව සියලු දෙනාම දැනගත යුතු කාරණාවක්. අපි EV ගෙන්වද්දිම, ඒ බැටරිය ආපහු ගන්න ක්‍රමයත් හදලා තිබුණේ නැත්තම්, අද අපි හදන හරිත විප්ලවය හෙට විස විප්ලවයක් වෙන්න පුළුවන්. මේ බව දැනගෙන පරිස පරිසරයක් සකස් කිරීමට අවශ්‍ය පදනම යොදන එක අපි හැමෝගෙම වගකීමක්.

කළ යුතු වන්නේ

නීතිය
කඩිනමින් සකස් කරන එක වගේම ඒ නීතිය කඩිනමින් පොතෙන් ගමට ගෙනියන එක
කිරීම තමයි පළමු පියවර.

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පළමුව එකතු කරන තැන්
සකස් කිරීම ප්‍රථමයෙන්ම කළ යුතු වෙනව.නුවර, ගාල්ල, කුරුණෑගල, යාපනය හැම පළාතකම වගේම
හැම නගරෙකම ගමකම
electronic couple එකතු කරන තැනක් තියෙන්න ඕන. e-Kunu වගේ වැඩසටහන් තවත් පුළුල් කරන්න ඕන.

දෙවනුව
මේ වගේ ව්‍යාපෘතිවලට මුදලක් ලබා දෙන්න ඕන. ජනතාව තමන්ගේ පරණ ෆෝන් එක නොමිලේ දෙන්නේ නැහැ. පොඩි මුදලක්, නැත්තම් අලුත් බඩුවක් ගද්දි වට්ටමක් දුන්නොත් ජනතාවම එකතු කරලා දෙනවා. යුරෝපේ වගේ 1:1 Take-back ක්‍රමය ලංකාවටත් ගේන්න ඕන.

තෙවනුව EPR රෙගුලාසි
කඩිනමින් ගෙන එන්න අවශ්‍ය වෙනවා
electronic නිෂ්පාදන නිෂ්පාදකයා ගෙන්වන්නා වගකියන්න අවැසි බව කියන නීතිය 2026 පනතින් ගෙන ආ නමුත් ඊට අවශ්‍ය රෙගුලාසි තළ කඩිනමින් සකස් කළ යුතුයි.

වර්තමාන සමාජ තත්ත්වයන් තුළ මේ සම්බන්ධයෙන් තරුණයන්ට පුහුණුවක් ලබා දීම අත්‍යවශ්‍ය යි. E-Waste ගලවන , වෙන් කරන , ආරක්ෂිතව වැඩ කරන
ක්‍රමවේදයක් නිසි පරිදි අවබෝධ කර දුන් විට ඒ සම්බන්ධයෙන් නව රැකියා උත්පාදනය වීම වළක්වාලිය නොහැකි වෙනවා.
මේ කර්තව්‍ය ආරම්භ කළ හැකි හොඳම ස්ථානය පාසලයි. පාසල් දූ දරුවන් මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා විට එය සමාජගතවීම කඩිනම් වනවා.

ඉලෙක්ට්‍රොනික ප්‍රතිචක්‍රීකරණය

E-Waste ප්‍රතිචක්‍රීකරණය කියන්නේ කාටවත් පාඩුවක් නොමැති ජනතාවට මුදලක් ලැබෙන
ඉතා හොඳ ආදායම් මාර්ගයක්. රැකියා ලැබෙනවා සේම ව්‍යාපාරිකයාට අමුද්‍රව්‍ය ලැබෙනවා. රටට විදේශ විනිමය ඉතුරු වෙනවා. පරිසරයට නිදහස ලැබෙනවා.

කසල කියන්නේ ද්‍රව්‍යක අවසානය නොවේ. එය නැවතත් පරිහරණය කළ හැකි යමක් ලෙස හෝ ආර්ථික ලාභ ලබා ගත හැකි මාධ්‍යක් ලෙස
හඳුනාගත් විට සමස්ත ජනතාවම මේවා නිසි ලෙස බැහැර කරන්නටත් ඒවායේන් ආදායම් උත්පාදන කරන්නටත්
අවධානය යොමු කරාවි. අපේ කුණු ගොඩේ හැංගිලා තියෙන රත්තරන් වලින් මේ රට හදන්න පුළුවන් බව තේරුම් ගනීවි.

අපේ ගෙදර මුල්ලේ තියෙන පරණ ෆෝන් එක අදම බලයලත් එකතු කරන තැනකට භාර දෙන එකෙන් තමයි ඒ ගමන පටන් ගත යුත්තේ එය පොඩි වැඩක් වගේ පෙනුණට, එය තමයි ලංකාව පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න, ධනවත් රටක් කරන පළමු පියවර.

අපි හරිත සංක්‍රාන්තිය එතනින් පටන් ගනිමු.

සමන්ති වීරසේකර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Back with Bebo… Old School but Still Cool!’ වසර 15කට පසු SRK–Kareena ‘Daddy Cool’(King) සමඟින්!

සටහන – පුලීනොවැම්බර් 28, LNW (කොළඹ): බොලිවුඩයේ ආකර්ෂණීය තිර යුගලයක්...

රුසියානු සහයෝගය ඇතිව අපරාධකරුවන් දිවයිනට ගෙන්වා ගැනීමට පියවර!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW: ශ්‍රී ලංකාවෙන් පලා ගොස්...

2026 අ.පො.ස (සා.පෙළ) විභාගය සඳහා දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW: 2026 අ.පො.ස (සා.පෙළ) විභාගය...

Black Friday: කළු පැහැයෙන් ඇරඹී ලොව පුරා සාප්පු සවාරි උන්මාදයක් බවට පත් වූ දිනය!

සටහන – පුලීනොවැම්බර් 28, LNW (කොළඹ): වසරේ අවසානය ළඟා වන විට...