හරිත සංක්‍රාන්තියේ ඉලක්ක සහ බිම් මට්ටමේ යථාර්ථය.. 

2030 දී 32%ක වනාන්තර ඉල්ලකයේ ගමන් මඟ

2010 සිට 2024 තුළ පැළ සිටුවීමට රුපියල් කෝටි 17ක්  

2025 දී වනාන්තර ප්‍රතිෂ්ඨාපනයට  රුපියල් බිලියනයකට අදික මුදලක් 

විස්මයජනක භූ දර්ශන, පොහොසත් ජෛව විවිධත්වය සහ සශ්‍රීක වැසි වනාන්තර සඳහා ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලංකාව, වර්තමානයේදී බරපතළ පාරිසරික අර්බුදයක් වන වන විනාශයට මුහුණ දෙමින් සිටී. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) දත්තවලට අනුව, 1956 වර්ෂයේදී මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 44ක්ව පැවති මෙරට වන ආවරණය 2020 වර්ෂය වන විට සියයට 29ක් දක්වා පහත වැටී තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත (RTI) යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් නිල ලේඛන මගින් අනාවරණය වන්නේ, ජාතික ප්‍රතිපත්ති ලේඛනවල සඳහන් ඉලක්ක සහ භූමියේ සැබෑ ක්‍රියාකාරීත්වය අතර බරපතළ පරතරයක් පවතින බවයි.

සංඛ්‍යාලේඛනවල පරස්පරතාව සහ අහිමි වන හරිත භූමිය

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 2024 මැයි 29 වන දින නිකුත් කරන ලද RTI/15/2024 දරන තොරතුරු වාර්තාවට අනුව, එම දෙපාර්තමේන්තුව යටතේ පවතින වන ආවරණ කලාපයේ 2015 වර්ෂයේ පැවති හෙක්ටයාර 2,081,006ක භූමි ප්‍රමාණය 2024 වර්ෂය වන විට හෙක්ටයාර 1,364,099.61ක් (ආසන්න වශයෙන් හෙක්ටයාර 1,364,100ක්) දක්වා අඩු වී ඇත. වසර නවයක් තුළ එම කලාපයෙන් අඩු වී ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර 716,906.39කි. 2024 වර්ෂයේ දත්ත විශ්ලේෂණය කිරීමේදී, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින මුළු වන භූමියෙන් හෙක්ටයාර 171,210.58ක් සංරක්ෂිත වනාන්තර (වනාන්තර 130ක්) ලෙසත්, හෙක්ටයාර 1,192,889.03ක් රක්ෂිත වනාන්තර (වනාන්තර 760ක්) ලෙසත් වර්ගීකරණය කර තිබේ.

වනාන්තර වර්ගය (2024 වාර්තා අනුව)වනාන්තර සංඛ්‍යාවභූමි ප්‍රමාණය (හෙක්ටයාර)
රක්ෂිත වනාන්තර7601,192,889.03
සංරක්ෂිත වනාන්තර130171,210.58
මුළු වන භූමි ප්‍රමාණය8901,364,099.61

මෙම දත්ත සහ තොරතුරු විශ්ලේෂනය කිරිමේදී 2030 දී වන ආවරණය 29% සිට 32% දක්වා ඉහළ නැංවීමට නම් මුලික වශයෙන් සිදුකලයුතු මුලික කර්යන්වන්නේ වන සංරක්ෂණයවේ, ඉතා සීග්‍රලෙස අඩු වී යන මෙරට වන භූමින් ආරක්ෂා කර ගනිමින් 2030 ඉල්ලකගත මෙරට වන වැස්ම 32%ක් දක්වා වැඩි කර ගැනීමේ වැඩ පිළිවෙල කුමක්ද යන්න සම්බන්ධයෙන් ඇත්තේ බපතල ගැටලුවකි.

කෙසේ වෙතත්, වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු  ප්‍රකාශ කරන්නේ 2015 වන සංගණනයට අනුව හෙක්ටයාර 2,012,774ක වන භූමි ප්‍රමාණයක් සහ 2020 වර්ෂයේදී හෙක්ටයාර 2,007,430.40ක වන භූමි ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි. ඒ අනුව 2015 සිට 2020 දක්වා අහිමි වී ඇති වන භූමි ප්‍රමාණය හෙක්ටයාර 5,343.6ක් (වාර්තාවේ දැක්වෙන පරිදි හෙක්ටයාර 5,346.3ක්) පමණක් බව ඔහු පෙන්වා දෙයි. 2020 වර්ෂයේ සිදු කළ වන සංගණනයේ සමස්ත වාර්තාව 2024 මාර්තු මාසය වන විටත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොතිබීම ද මෙහිදී කැපී පෙනෙන විනිවිදභාවය පිළිබඳ ගැටලුවකි.

මේ සම්බන්ධයෙන් අපකළ විමසීමකදී අදහස් දැක්වූ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා කියා සිටියේ මෙවන් අදහසක්

“ අපි මේ වනවිට සිදුකරගෙන පළමු වැඩ පිළිවෙල තමයි වන හානිය  වලක්වා ගෙන  ඉතිරි වී තිබෙන වනාන්තර රක්ෂිත බවට පරිවර්තනය කරනවා, ඒ වගේම උතුර නැගෙන හිර ප්‍රදේශවල ගැසට් කරපු ඒවාවල අඩුපාඩු කම් තියෙනවා සමහර මිනිසුන්ගේ ඉඩම් පාසල් පවා වනාන්තර ඇතුල්  කරලා තමයි ගැසට් කරලා තියෙන්නේ මෙන්න මේ ගැටලුව නිරාකරණය කර දෙන්න ඕන ඒ වගේම තමයි අනෙකුත් ප්‍රදේශවල අනාරක්ෂිතව තිබෙන වනාන්තර ගැසට් කලයුතු වෙනවා එම වැඩපිළිවෙල අපි කරගෙන යනවා මේ වනවිට 2024 පසුව වනාන්තර 114ක් ගැසට් කරලා තියෙනවා එකේ ප්‍රමාණය වර්ග කිලෝ මීටර් එක්ලක්ෂ අසුදාහකට ආසන්න ප්‍රමාණයක් අපි ගැසට් කරලා තියෙනවා.’’

වනාන්තර නිර්වචනය සහ පරිසර පද්ධති බිඳවැටීම

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිර්වචනයට අනුව තුරු ආවරණය සියයට 10කට වඩා වැඩි, ගසක උස මීටර් 5කට වඩා වැඩි, හෙක්ටයාර 0.5කට වඩා වැඩි කෘෂිකාර්මික නොවන භූමි ප්‍රමාණයක් වනාන්තරයක් ලෙස සැලකේ. 2020 වර්ෂයේ දත්තවලට අනුව මෙරට වනාන්තර පද්ධතිය ස්වභාවික වනාන්තර හෙක්ටයාර 1,841,587.92කින්, සැවානා වනාන්තර හෙක්ටයාර 67,404.41කින් සහ වන වගා හෙක්ටයාර 98,438.07කින් සමන්විත වේ. නීති විරෝධී දැව කැපීම, වාණිජ කෘෂිකාර්මික ව්‍යාප්තිය, යටිතල පහසුකම් සංවර්ධනය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් උග්‍ර වන ලැව්ගිනි මෙම වන පද්ධතිය වේගයෙන් විනාශ කරමින් පවතී.

2030 ඉලක්කය සහ ජාතික හා ජාත්‍යන්තර උපායමාර්ග

වර්ෂ 1900 දී ශ්‍රී ලංකාවේ වන වැස්ම 70%කි. 1952 දී එය 48% දක්වා අඩුව වූ අතර 1992 වන විට ශ්‍රී ලකාවේ වන වැස්ම 24% දක්වා පහත වැටිණි. ගොඩනැගිලි ඉදි කිරීම, හේන් ගොවිතැන්, වාරිමාර්ග හා කෘෂිකර්ම ව්‍යාපෘති සහ වෙනත් සංවර්ධන ව්‍යාපෘති නිදහසින් පසු වියළි කලාපයේ වන ගහනය අඩු වීමට ප්‍රධාන වශයෙන් හේතු විය. යටත් විජිත සමයේ දී වන විනාශය වැඩිපුරම වාර්තා වූයේ තෙත් කලාපයෙන් ය.

ජාතික පාරිසරික ක්‍රියාකාරී සැලැස්ම (NEAP 2022–2030) සහ දේශගුණික විපර්යාස අවම කිරීමේ ජාතික නිර්ණය කළ දායකත්වයන් (NDC 3.0) මගින් 2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ වන ආවරණය සියයට 32 දක්වා ඉහළ නැංවීමට ප්‍රතිපත්තිමය වශයෙන් කැපවී සිටී. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දේශීය හා ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරන බව 2025 සැප්තැම්බර් 03 වන දින නිකුත් කළ RTI 1897/2025 දරන ලේඛනය මගින් තහවුරු වේ.

එමෙන්ම 2030 දී වන ආවරණය 29% සිට 32% දක්වා ඉහළ නැංවීමට ක්‍රියා කරන බවට 2016 දී දේශගුණ විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියට අත්සන් තබමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට ප්‍රතිඥාවක් ලබා දී තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පාලන සමයේ දී ය.

හරිත දේශගුණික අරමුදලේ (GCF) සහාය ඇතිව 2023 සිට 2028 දක්වා ක්‍රියාත්මක වන ‘GCF නකල්ස් ව්‍යාපෘතිය’, ලෝක බැංකු අරමුදල් (සංශෝධිත ඇස්තමේන්තුව රුපියල් මිලියන 20,292.64) යටතේ ඉහළ මහවැලි ජල පෝෂක ප්‍රදේශ ප්‍රතිස්ථාපනය කරන ‘ඒකාබද්ධ ජලාධාර හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය (IWWRMP)’, අනුරාධපුර, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල හෙක්ටයාර 562.91ක වනාන්තර ප්‍රතිසංස්කරණය කරන ‘SARP ව්‍යාපෘතිය’ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ කඩොලාන හා මිශ්‍ර වන වගා ඇති කරන ‘Managing Together’ ව්‍යාපෘතිය මේ අතර ප්‍රධාන වේ. මීට අමතරව 2020 සිට 2025 දක්වා කාලය තුළ දෙපාර්තමේන්තුව මගින් සාමාන්‍ය වනාන්තර සහ කඩොලාන ප්‍රතිස්ථාපන වැඩසටහන් ද ක්‍රියාත්මක කර තිබේ.

වර්ෂයවනාන්තර ප්‍රතිස්ථාපනය (හෙක්ටයාර)කඩොලාන ප්‍රතිස්ථාපනය (හෙක්ටයාර)වෙන්කළ මුදල් ප්‍රතිපාදන (රු. මිලියන)
20201,060.00217.6033.242
20211,552.02119.50127.805
2022235.00100.0023.5401
202382.50–3.139
2025100.00 (ප්‍රගතිය හෙක්. 55)–45.770

යුරෝපා සංගමයේ හරිත න්‍යාය පත්‍රය සහ වෙළඳපොළ අභියෝග

ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණ ඉලක්ක හුදෙක් පාරිසරික අවශ්‍යතාවක් පමණක් නොව, රටේ ආර්ථික පැවැත්මට ද සෘජුවම බලපාන්නකි. යුරෝපා සංගමයේ හරිත න්‍යාය පත්‍රය (EU Green Deal) සහ වන විනාශය වැළැක්වීමේ රෙගුලාසි (EUDR) අනුව, වනාන්තර විනාශ කළ භූමිවල නිෂ්පාදනය කරන රබර්, තේ, කෝපි, දැව සහ කුළුබඩු වැනි භෝග යුරෝපා වෙළඳපොළට අපනයනය කිරීම දැඩි ලෙස සීමා වේ. එමෙන්ම යුරෝපා සංගමයෙන් ලැබෙන GSP+ බදු සහනය සහ ‘Global Gateway’ වැනි හරිත මූල්‍ය ආධාර අඛණ්ඩව ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාව සිය වන ආවරණය ආරක්ෂා කර ගැනීම සහ පාරිසරික විනිවිදභාවය තහවුරු කිරීම අනිවාර්ය වේ.

එමෙන්ම 2030 ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය මුළු හෙක්ටයාර ප්‍රමාණය වන ආවරණය 1%කින් වැඩි කිරීමට නම්  හෙක්ටයාර 65,000ක නව වන වගාවක් හෝ මුඩුබිම් ප්‍රතිස්ථාපනයක් අවශ්‍ය වේ.3%ක වැඩිවීමක් (29% සිට 32% දක්වා) සඳහා  65,000×3= හෙක්ටයාර 195,000ක් අලුතින් වනාන්තර බවට පත් කළ යුතුය.ඒ අතර සිදුවන වාර්ෂික වන හායනය පියවීමට විශේෂයෙන්ම   මානව ක්‍රියාකාරකම් නිසා වසරකට අහිමි වන හෙක්ටයාර 3,000ක වන භූමි ප්‍රමාණය ද අමතරව නැවත ප්‍රතිස්ථාපනය කළ යුතු වේ.ඒ අනුව, දැනට පවතින වන ආවරණය 29% මට්ටමේ පවත්වා ගනිමින් 32% ඉලක්කය කරා යාමට නම්, වාර්ෂිකව අහිමි වන හෙක්ටයාර 3,000ට අමතරව තවත් හෙක්ටයාර 195,000ක ශුද්ධවන වර්ධනයක් 2030 වන විට ලබා ගත යුතුය.

පැළ සිටුවීම් සහ පසුවිපරම් අර්බුදය

දල ඇස්තමේන්තුවලට අනුව වන ආවරණය 1%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට නම් හෙක්ටයාර 65,000ක නව වන වගාවක් සිදු කිරීමට හෝ ඊට සමාන වපසරියක මුඩුබිම් වනාන්තර ලෙස ප්‍රතිස්ථාපනය වීමට ඉඩ දිය යුතුය. ඒ අනුව 2030 ඉලක්කය ජය ගැනීමට නම් හෙක්ටයාර 195,000ක් අපි වනාන්තර බවට පත්කළ යුතු වෙමු. ඊට අමතර මානව ක්‍රියාකාරකම් නිසා වසරකට අහිමි වන වනාන්තර ප්‍රමානය හෙක්ටයාර 3000ක් පමණ වන අතර ඒවා ද නැවත ප්‍රතිස්ථාපනය කළ යුතුව තිබේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යට‍තේ ලබාදී තිබෙන   වාර්තාවට අනුව, 2010 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වසර 15ක කාලය තුළ මෙරට වන ආවරණය වැඩිකිරීම වෙනුවෙන් දිවයින පුරා රුක් රෝපණ වැඩසටහන් සඳහා රුපියල් 170,941,000ක (රුපියල් කෝටි 17කට අධික) මහජන මුදලක් වැය කර ඇත. විශේෂයෙන් 2022 වර්ෂයේදී රුපියල් මිලියන 20ක් සහ 2024 වර්ෂයේදී රුපියල් 20,152,000ක් ලෙස විශාල ප්‍රතිපාදන වෙන් කර තිබුණද, සිටුවන ලද පැළ නිසි නඩත්තුවක් හා පසුවිපරමක් නොමැති වීම හේතුවෙන් විනාශ වී යාම බරපතළ ගැටලුවකි.

එසේ වූ පසුබිමක වර්තමාන රජය මගින්ද මේ වනවිට විශාල වශයෙන් වන වගාවන් වෙනුවෙන්  මුදල් වෙන්කර තිබෙන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා කියා සිටියේය   ‘’වන වගාවන් සඳහා ගිය වසරේ (2025) රුපියල් බිලියනයකට වැඩි මුදලක්  යෙදවා තිබෙනවා මෙන්න මේ ආකාරයෙන් තමයි අපි සැලසුම්කරන්නේ 2030 වනවිට 32% වන ප්‍රතිශතයට ලෝකයේ තිබෙන නිර්ණායක වලට අනුව ලගාවෙන්න’’ පැල    සිටුවීමේදී සැලකියයුතු ප්‍රමාණයක් මැරෙනවා තවත් කොටසක් ඔරොත්තු දීලා ඒවා පවතිනවා නමුත් අපි බලයට ආපු පසු අපි නිර්මාණයකරන වනාන්තර වල තත්වයන් නිරීක්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක් සකසමින් ඒවා රැක  ගැනීමට කටයුතු කරන බව හෙතෙම කියා සිටියේය.

වන මායිම් ප්‍රජාව, කාන්තා ශ්‍රමය සහ සාධාරණ සංක්‍රාන්තිය

වන සංරක්ෂණ ඉලක්ක කරා යාමේදී මුහුණ දෙන තවත් තීරණාත්මක අභියෝගයක් වන්නේ සිංහරාජය ඇතුළු රක්ෂිත වනාන්තරවල පේරක කලාප (Buffer Zones) ආශ්‍රිතව ජීවත් වන ප්‍රජාවගේ ගැටලුවයි. දශක ගණනාවක් තිස්සේ මෙම ජනතාව වන මායිම් අභිබවා ගොස් පදිංචි වී සිටින අතර, ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ ගම්මිරිස්, කුරුඳු සහ රඹුටන් වැනි වගාවන්ය. මෙම වගාවන්හි අස්වනු නෙළීම, සැකසීම සහ නඩත්තු කිරීමේ කටයුතුවල වැඩි බරක් දරන්නේ ග්‍රාමීය කාන්තාවන්ය.

වන සංරක්ෂණ කලාප පුළුල් කිරීමේදී නිසි සැලසුමකින් තොරව මෙම ජනතාව ඉවත් කිරීමට හෝ වගා බිම් තහනම් කිරීමට පියවර ගතහොත්, එම පවුල්වල ආර්ථිකය බිඳවැටීමෙන් කාන්තාවන් දැඩි ආර්ථික හා සමාජීය පීඩනයකට පත්වේ. එමෙන්ම වනාන්තර ආශ්‍රිතව දර සහ ජලය සපයා ගැනීමේදී ද කාන්තාවන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවේ. එහෙත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රතිස්ථාපන ව්‍යාපෘති සැලසුම් කිරීමේදී ස්ත්‍රී-පුරුෂ සමාජභාවය අනුව වෙන්කළ දත්ත (Gender-disaggregated data) රැස්කර නොතිබීම බරපතළ අඩුපාඩුවකි.

ඉදිරි මාවත සහ  සාධාරණ සංක්‍රාන්තික විසඳුම්

වනාන්තර රැක ගැනීම හුදෙක් පරිසර හිතකාමී ක්‍රියාවක් පමණක් නොව, අපනයන ආදායම් සහ විදේශ විනිමය රැක ගැනීමේ සෘජු ආර්ථික අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.   වන මායිම් සහ පේරක කලාප කළමනාකරණය, වනාන්තර ආශ්‍රිතව වගා කරන භෝග (උදාහරණයක් ලෙස කුරුඳු, ගම්මිරිස්, රඹුටන් වැනි වගා) වනාන්තර ආක්‍රමණය කරමින් ව්‍යාප්ත නොවන බව තහවුරු කිරීමට, පැහැදිලි භූමි සීමා නිර්ණය සහ කෘෂි වන වගා (Agroforestry) ක්‍රමවේද අවශ්‍ය වේ.2030 වන විට සියයට 32ක වන ආවරණ ඉලක්කය ජය ගැනීමට නම්, හුදෙක් පැළ සිටුවීමේ සංදර්ශනවලින් ඔබ්බට ගිය විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. ඒ සඳහා පහත පියවර ක්‍රියාත්මක කළ යුතුය. 

වගවීම සහ විගණනය: රුපියල් කෝටි ගණනින් වෙන් කරන ප්‍රතිස්ථාපන අරමුදල්වල ප්‍රගතිය සහ සිටුවන ලද පැළවල පැවැත්ම පිළිබඳව ස්වාධීන පාරිසරික හා මූල්‍ය විගණනයක් සිදු කිරීම.

සාධාරණ සංක්‍රාන්තිය (Just Transition): පේරක කලාපවල ජීවත් වන ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීම වෙනුවට, පරිසර හිතකාමී කෘෂි වන වගා (Agroforestry), පාරිසරික සංචාරක කර්මාන්තය සහ මීමැසි පාලනය වැනි විකල්ප ජීවනෝපායන් සඳහා ඔවුන්ව යොමු කිරීම.

කාන්තාවන් සවිබල ගැන්වීම සහ ප්‍රජා සහභාගීත්වය: කුරුඳු සහ ගම්මිරිස් වගාවන්හි නිරත කාන්තාවන්ට අගය එකතු කළ නිෂ්පාදන සඳහා තාක්ෂණික හා මූල්‍ය සහාය ලබා දීම, වන වගා නඩත්තු කටයුතු ප්‍රාදේශීය කාන්තා සමිති හරහා සිදු කර ඊට සාධාරණ ගෙවීමක් ලබා දීම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඔවුන්ව සක්‍රීයව දායක කර ගැනීම.

‘’දැනට අපි කියල තියෙන්නේ දීර්ඝකාලයක් විශේෂයෙන්ම අවුරුදු 50හා 60 වගේ ඒවා බලපත්‍ර සමහර ඒවාට දීලා තියෙනවා ඒ වගේම අනෙක් මිනිස්සු භුක්තිවිදපු  ඒවාත්  සලකලා බලන්න කියලා එසේ නොමැති වසරක් දෙකක් ඇතුලත් වගේ ඒවානම් නැවත ගන්න වෙයි,’’ එමෙන්ම දැනට ගැසට් කර තිබෙන ප්‍රදේශ තුල සිටින ජනතාවට යම් ආකාරයක ගැටළු තිබේනම් ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු හරහා  ඉදිරිපත්කිරීමේ හැකියාව ලබාදී  තිබෙන බවත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය  ඇන්ටන් ජයකොඩි මහතා කියා සිටියේ 

ශ්‍රී ලංකාවේ වනාන්තර ආරක්ෂා කිරීම යනු ජාතියේ ජල සුරක්ෂිතතාව, ජාත්‍යන්තර වෙළඳපොළ අවස්ථා සහ අනාගත පරපුරේ පැවැත්ම තහවුරු කිරීමකි. ප්‍රතිපත්ති ලේඛනවල ඇති ඉලක්ක යථාර්ථයක් බවට පත්වන්නේ මහජන මුදල්වලට වගවන, ප්‍රාදේශීය ප්‍රජාවගේ ජීවනෝපාය සුරකින විනිවිද පෙනෙන පාලන යාන්ත්‍රණයක් තුළින් පමණි.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වැඩ කඩිනම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW: කොළඹ වරායේ නැගෙනහිර බහාලුම්...

තායිවාන ප්‍රාදේශීය මැතිවරණය: ඩිජිටල් ප්‍රචාරණය, බීජිං රතු එළි සහ 2028 දේශපාලන පෙරනිමිති

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW: ප්‍රවාහනය, ළමා සුරැකුම සහ...

පරණ බඩු වලට අලුත් බේසමක් දුන්නම ඔක්කොම හරිද?

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණයට අප යා යුත්තේ ඇයි ? " පරණ...

Back with Bebo… Old School but Still Cool!’ වසර 15කට පසු SRK–Kareena ‘Daddy Cool’(King) සමඟින්!

සටහන – පුලීනොවැම්බර් 28, LNW (කොළඹ): බොලිවුඩයේ ආකර්ෂණීය තිර යුගලයක්...