පුහුණු ශ්‍රමිකයින් වැඩියෙන් විදෙස් රැකියා සඳහා යැවීමේ සැලැස්මක් සති 2ක් තුළ හදන්න – COPA

Date:

වෘත්තීය පුහුණු ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන් පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදේශ රැකියා සදහා යොමු කිරීමට වඩාත් කාර්යක්ෂම වැඩපිළිවෙලක් සහිත සැලැස්මක් සති දෙකක් තුළ සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව විසින් (කෝපා කමිටුව) විදේශ රැකියා අමාත්‍යාංශයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පසුගියදා (21) උපදෙස් ලබා දෙන ලදී.

විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනය උදෙසා ඉටුවිය යුතු කාර්යභාරය ඇගයීම පිළිබදව වූ කාර්ය සාධන විගණන වාර්තාව පරීක්ෂාව සදහා රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාව පසුගියදා (21) පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දීම සිදුවිය.

මේ අනුව එම ආයතන ඉදිරියේදී නැවත කෝපා කමිටුව හමුවට කැදවන බවද කමිටු සභාපතිවරයා පැවසීය.

විදෙස් රැකියා සදහා පුහුණු ශ්‍රමිකයන්හට විශාල ඉල්ලුමක් තිබුණද ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයන් මෙරටින් යැවීමට නොහැකි වීම බරපතල ගැටලුවක් බවද 2021 වසරේ මෙය 33%ක් තරම් පහළ අගයක් ගෙන ඇති බවත් මෙහිදී කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. අදාළ වගකිව යුතු ආයතන මනා සම්බන්ධීකරනයෙන් නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවීම මෙයට හේතුවී ඇති බවද කමිටුව පෙන්වා දුන්නේය.

මේ අනුව විදෙස් රැකියා අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙරට වෘත්තීය පුහුණු ආයතන සමග එක්ව ලොව නව රැකියා වෙළදපළ පිළිබද නිරන්තර අවධානයෙන් යුතුව අදාළ ඉල්ලුම පවතින ක්ෂේත්‍රයන්ට අදාළව ශ්‍රමිකයන් පුහුණු කිරීම සදහා නව සැලැස්මක් සහිත කාර්යක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කරන ලදී.
ජාතික විගමණික ශ්‍රමික ප්‍රතිපත්තියක් මේ වන විට සකසා තිබුණද මෙය පදනම්කරගෙන ක්‍රියාත්මක නොවීම පිළිබදවද කමිටුවේ අවධානය යොමුවිය. මේ අනුව මෙම ප්‍රතිපත්ති කාලීන වශයෙන් යාවත්කාලීන කිරීම කළ යුතු බවද කමිටුව අවධාරණය කළේය. එම කටයුතු ආරම්භ කර ඇති බව මෙහිදී නිලධාරීහු පැවසුවද එහි ප්‍රමාදයක් පවතින බව පෙනී යන බවත් විදේශ රැකියා ශ්‍රමිකයන් යැවීමට අදාළ මූලික සැකස්ම ඇත්තේ මෙම ප්‍රතිපත්තීන් තුළ බැවින් නිශ්චිත සැලැස්මක් සහ අරමුණක් සහිතව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කමි‍ටුව විසින් පෙන්වා දෙන ලදී.

2016 වසරේ ඇමරිකා එක්සත් ජනපදය සහ මෙරට රජය අතර ඇති කරගත් ගිවිසුමකට අනුව සුදුසුකම් සහිත හෙදියන් සදහා එරට අවකාශය තිබුණද ඊට අයදුම් කර තිබූ හෙදියන් 425ක පිරිසක් අතුරින් අදාළ භාෂා ප්‍රවිණතා විභාගයෙන් සමත් වූයේ හෙදියන් තිදෙනෙක් බවද මෙහිදී අනාවරණය විය.

ජපානය, කොරියාව ඊශ්‍රාලය වැනි රටවල රජයයන් අතර පවතින ගිවිසුම් අනුවද පුහුණු ශ්‍රමිකයන් යැවීම සදහා අවකාශය තිබුණද අදාළ රටවල භාෂා ප්‍රවීණත්වය මෙන්ම වෘත්තිමය කුසලතාව සහිත පිරිස අඩුවීම නිසා මෙරටින් විදෙස්ගත වන පුහුණු ශ්‍රමික පිරිස අවම වන බව මෙහිදී හෙලිවිය. මෙහිදී කමිටුව දීර්ඝ වශයෙන් පෙන්වා දුන්නේ අදාළ තානාපති සබදතා ඔස්සේ රැකියා අවස්ථා විවර කර ගැනීම මෙන්ම ඊට අදාළව වෘත්තීය කුසලතාව සහිත ශ්‍රමිකයන් පුහුණු කිරීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු මෙම ආයතන ක්‍රියාත්මක විය යුතු බවයි.

මෙරට ආර්ථික අර්බුදයක සිටින අවස්ථාවක විදේශ විනිමය උපයන උල්පතක් බදු මෙම විදේශ රැකියා ක්ෂේත්‍ර හදුනාගෙන ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව කමිටුව දීර්ඝ ලෙස පෙන්වා දුන්නේය. ඒ සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ පවතින පර්යේෂණ අංශයද වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවද මෙහිදී කමිටුව අවධාරණය කරන ලදී.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන්, මොහාන් ප්‍රියදර්ශන සිල්වා, ලසන්ත අලගියවන්න, ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජේ.සී අලවතුවල, ඉසුරු දොඩන්ගොඩ, මහාචාර්ය චරිත හේරත්, වසන්ත යාපා බණ්ඩාර සහ වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. එසේම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද විමලවීර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය නිෂ්පාදකයින් රැකගන්න පාර්සල් රේගු බදු වෙනස් කළා. වැඩේ ගාණට යනවා – ඇමති චතුරංග

ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදකයින්ට දැවැන්ත තර්ජනයක් වී පැවති තනි...

Starlink : රනිල් මස්ක්ට ස්තූති කරයි. ඉක්මනින් නැවත හමුවීමටත් බලාපොරොත්තුවෙන්

Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සඳහා ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශය ලබාදීම...

කහවත්තේ OIC යාපනයට මාරු කරයි

කහවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාසයට මාරුකර තිබේ. ඒ,...

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...