කොළඹ (LNW): 2023 ජූනි මස 17 වන දින අප වෙබ් අඩවියේ පළකළ “දේශීය පුවත් විස්තරයේ” ඇතුළත් ප්‍රවෘත්ති සාරාංශයේ, මහ බැංකුව විසින් සිදුකළේ යැයි කියන වංචාවක් සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක විසින් සිදුකළ ප්‍රකාශයකට අදාළ පුවතක් ඇතුළත් වූ අතර, මෙම පුවතට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිචාර දක්වා තිබේ.
මැයි 31 වන දින රාත්‍රියේ පොලී අනූපාත සියයට 2.5 කින් පහත බසින බව දැන දැනම මහ බැංකුව විසින් හදිසියේම රු. බිලියන 160ක සහ තවත් රු. බිලියන 40ක් ලබා ගෙන ඇති බවටත්, එසේ ලබා ගැනීම සැක සහිත බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් චෝදනා කර තිබිණි.
ඒ අනුව, අදාළ චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන මහ බැංකුව ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබා දී ඇති අතර, පිළිතුරු දීමේ අයිතියට ගරු කිරීමක් වශයෙන් මහ බැංකුවේ පැහැදිලි කිරීම අපි අපගේ වෙබ් අඩවියේ මෙසේ පළකර සිටිමු.
චෝදනා අසත්‍යයි: සමඟි ජන බලවේගයේ චෝදනාවට මහ බැංකුවෙන් ප්‍රතිචාර
මෙම චෝදනාවට අදාළව මහ බැංකුව විසින් ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ රටේ ආර්ථිකය බරපතල ලෙස කඩා වැටීමකට ලක්ව තිබී ඉතා දුෂ්කර තත්ත්ව යටතේ යළි ගොඩගනිමින් පවතින පසුබිමක, කරුණු සොයා බැලීමකින් තොරව නියමිත ක්‍රමවේද පිළිබඳ අවබෝධයක් නොමැතිව කවුරුන් හෝ විසින් ලබා දුන් දුස්තොරතුරක් මත මෙසේ චෝදනා එල්ල කිරීම ඉතාම කණගාටුදායක බවත්, එම චෝදනාවේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත් ය.
එමෙන්ම, මේ වන විට මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් විකිණීම සඳහා “Private Placement” ආකාරය කිසිසේත්ම අනුගමනය නොකරන අතර, රජයේ මුදල් අවශ්‍යතාවය සැපිරීම සඳහා සම්පුර්ණ විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් අනුගමනය කරන බව එම බැංකුවේ ඉහළ නිලධාරියෙක් මේ පිළිබඳව කළ විමසීමකදී පැවසුවේය.
මෙම ක්‍රමය වන්නේ, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් මිලදී ගන්නා බිල්පත් වලට අමතරව බිල්පත් මිලදී ගැනීමේදී වෙන්දේසියේදී බර තැබූ සාමාන්‍ය පොලී අනුපාත යටතේ මිලදී ගැනීම බව ද ඔහු අවධාරණය කළේය.
“මෙහිදී ප්‍රධාන වෙන්දේසියෙන් පසුව සිදුවන වෙන්දේසි අදියර දෙක යටතේ සියළුම සහභාගී වන ආයතන සඳහා අදාළ ඉදිරිපත් කරන බිල්පත් ප්‍රමාණය මිලදී ගැනීමට ඉල්ලුම් කල හැකි අතර, එවිට විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයකට එම බිල්පත් අදාළ ආයතන වෙත පවරා දෙනු ලැබේ. මෙහි සදහන් කර ඇති වෙන්දෙසියෙදී ද අදාළ ක්‍රමවේදය අනුගමනය කර ඇති අතර, මෙහිදී ප්‍රතිපත්ති පොලී අනුපාතික සියයට 2.5 කින් අඩු කිරීමට තීරණය කර ලැබුවේ මැයි මස 31 දින සවස පැවැත්වූ මුදල් මණ්ඩල රැස්වීමේ තීරණයකට අනුව” බව ද එම නිලධාරියා පැවසුවේය.
එහෙත් භාණ්ඩාගර බිල්පත් පිලිබඳ වෙන්දේසිය සිදු වුයේ එදිනම ඊට පෙරදී වන අතර, මුදල් මණ්ඩලයේ කිසිඳු සාමාජිකයකු භාණ්ඩාගාර බිල්පත් ටෙන්ඩර කමිටුවට ඇතුලත් නොවන අතර, එබැවින් භාණ්ඩාගාර බිල්පත් ටෙන්ඩර් කමිටු සාමාජිකයන් එදින සවස ප්‍රතිපත්ති පොලී පිලිබඳ මුදල් මණ්ඩල තීරණය සම්බන්ධයෙන් පෙර දැනුවත්වීමක් සිදු නොවන බව ඔහු පැවසීය. එම පසුබිම තුළ පොලී අනුපාත සම්බන්ධයෙන් යම් අකටයුත්තක් සිදුව ඇති බවට සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරයා විසින් එල්ල කරන චෝදනාවේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ද අවධාරණය කළේය.
පොලී අනුපාත වෙනස් වීම මඟින් වෙළඳපොල සහභාගිකරුවන් හට වාසි මෙන්ම අවාසි සිදුවීම සාමාන්‍ය කරුණක් බවත්, එහෙත් වර්තමාන වෙන්දේසි ක්‍රියාවලිය අතිශයෙන්ම විනිවිදභාවයකින් යුතුව සිදුවන බැවින් පොලී අනුපාත වෙනස්වීම තුළින් කිසිඳු විශේෂිත පාර්ශවයකට හෝ පාර්ශව කිහිපයකට අයුතු වාසියක් ලබාගැනීමට කිසිසේත්ම ඉඩකඩක් නොමැති බව ද මහ බැංකුව විසින් මෙම චෝදනාවට අදාළව ලබා දුන් ප්‍රතිචාරයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
