මස් රාත්තලේ වෘත්තිය සමිති

Date:

මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය අසීමිත ලෙස දේශපාලන පක්ෂ හා වුවමනාකම් සමඟ ගැටගැසී පවතී.

එවැනි පසුබිමක වෘත්තීය අරමුණු මෙන්ම වෘත්තිකභාවය ද යටපත් වී පක්ෂ අරමුණු ඉහළට පැමිණ ඇති අයුරු දැකිය හැකිය. වෘත්තීය සමිති පිහිටුවීම, වෘත්තීය සමිතියක සාමාජිකත්වය දැරීම, වෘත්තීය අයිති දිනා ගැනීම වෙනුවෙන් සාධාරණ අරගල කිරීම වැනි දෑ ප්‍රජාතන්ත්‍රවාදී අයිති ලෙස පිළි ගැනේ. එසේ වුවද එදා සොච්චම් වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටි 80‘ වර්ජකයන්ට එවක පැවැති ආණ්ඩුව සැලකූ අයුරු ඉතිහාසයේ නොමැකේ.

ඇතැම් වෘත්තීය අරගලවලදී ඉල්ලීම්වලට ප්‍රතිචාර ලැබුණේ බයිසිකල් චේන්වලිනි. අද එවැනි තත්ත්වයක් තිබේ ද? රජය වසංගතය පරාජය කිරීම සඳහා මහ සටනක යෙදී සිටියදී ඇතැම් වෘත්තීන් නියෝජනය කරන අය සිටියේ වීදියේ රජයට එරෙහි සටන්වලය. ආණ්ඩුව අපහසුවට පත්කිරීම, ආණ්ඩු විරෝධය මුල්කර ගනිමින් දියත් වූ මෙවැනි විරෝධතා වෛරය, ක්‍රෝධය මතින් ක්‍රියාත්මක වූ ඒවාය. ප්‍රායෝගිකව ඒවා නිසා අපහසුවටත්, පීඩාවටත් පත්වූයේ ද, පත්ව සිටින්නේ ද සාමාන්‍ය ජනතාවය.බොහෝ දුරට රජයේ රෝහලකට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන්නේ සාමාන්‍ය ජනතාවය. ඔවුහු අඩු ආදායම්ලාභී හෝ පහළ මධ්‍යම පංතියට අයත් වෙති. සායන සඳහා මාසිකව පැමිණෙන පිරිසක් ද සිටිති. එදිනෙදා හදිසි ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන රෝගීන් ද ඇතුළුව මේ සෑම රෝගියෙක් පාහේ මේ දිනවල දියත්ව ඇති වැඩවර්ජනය හේතුවෙන් අන්ත අසරණ භාවයට පත්ව සිටින අයුරු දැකිය හැකිය. වෛද්‍යවරුන් සිය කාර්යභාරය ඉටුකරමින් රෝගීන් පරීක්ෂා කිරීම, ඖෂධ නියම කිරීම ආදිය ඉටුකළ ද අනෙකුත් සත්කාරක සේවා අඩපණය. බෙහෙත් තුණ්ඩුවට රෝහලේ ෆාමසියෙන් බෙහෙත් නිකුත් නොකෙරේ. ඒවා වසා දමා ඇත. වෛද්‍ය පරීක්ෂණ කර ගැනීමට ද නොහැකි වී තිබේ.

යහමින් මිල මුදල් ඇති අයට එහි බලපෑමක් නැතත් රජයේ රෝහලෙන් ප්‍රතිකාර ගන්නා ජනතාවට එය විශාල පීඩාවකි. හිරිහැරයකි. බරකි. ජනතාව පත්වී සිටින අසීරුතාව වටහා ගනිමින් ඔසුසල් මඟින් ඖෂධ නිකුත් කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පියවර ගැනිණි. එය අගය කළ යුතු පියවරකි. එලෙස ඖෂධ ගැනීමට පැමිණෙන රෝගීන් මේ දිනවල ඔසුසල් ඉදිරිපිට පෝලිම් සැදී සිටින අයුරු දැකිය හැකිය. ඔවුන් රෝගීන් බව අප අමතක නොකළ යුතුය. පසුගිය දිනවල ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම් ආදිය දැක ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළූ දේශපාලන පක්ෂ, කල්ලි, කණ්ඩායම් මෙන්ම මේ ඇතැම් වෘත්තීය සමිති නායකයෝ ද මේ පෝලිම් නුදුටුවා සේ සිටිති. මේ පෝලිම් සැදී ඇත්තේ තමන්ගේ ක්‍රියාකලාපය නිසා බව හොඳින්ම දන්නා මේ උදවිය ඒ පෝලිම් දෙස බලා අනේ අපොයි කියන්නේ නැත. කඳුළු වගුරන්නේ නැත.

නීරෝගී මිනිසුන් රෝගී හා වැඩි වශයෙන් වයෝවෘද්ධ ප්‍රජාව මෙලෙස පෝලිම්වල දුක් විඳින්නේ අතිශය අසාධාරණ වැඩවර්ජනයක් හේතුවෙන්ය යන කාරණය පහසුවෙන් බැහැර නොකළ යුතුය.උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජනතාවාදී රජයකට නිහඬව සිටීමට නොහැකිය. වර්ජනය හේතුවෙන් ජනතාව පත්ව ඇති අපහසුව පිළිබඳ අධිකරණය හමුවේ කරුණු දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉකුත් 10 වැනිදා වර්ජනය අත්හිටුවීම සඳහා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට වාරණ නියෝගයක් නිකුත් කෙරිණි. ඒ ලබන 24 වැනිදා තෙක් ක්‍රියාත්මක වන පරිදිය. එය නිකුත් වූ පසුව හෙද නිලධාරීන්ගේ සංගමය තාවකාලිකව වර්ජනයෙන් ඉවත් විය. සෙසු වෘත්තීය සමිති තවමත් එය ඉදිරියට ගෙනයමින් සිටී. සෞඛ්‍ය වැඩවර්ජනය මෙලෙස දිග්ගැස්සෙමින් ඇත්තේ සෞඛ්‍ය, විදුලිය ආදී සේවා අත්‍යවශ්‍ය සේවා බව ප්‍රකාශයට පත් කරමින් රජය ගැසට් පත්‍රයක් නිකුත් කර තිබියදීය. හදිසි රෙගුලාසි යටපත් කර ඇති එම නියෝග උල්ලංඝනය කිරීම යනු සිරදඬුවම් ලැබීම, රැකියාව අහිමිවීම, දේපළ රාජසන්තක කිරීම ආදී දඬුවම්වලට ලක්විය හැකි වරදකි.

#ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...