*
Thursday, October 24, 2024
spot_img

Latest Posts

රනිල් ජනාධිපතිවරණයට – බැසිල් ඇමරිකාවට ගියේ පුරවැසිභාවය ඉවත් කරගන්නට ද? සජිත්ට ආණ්ඩුවෙන් රොත්තක් – ජවිපෙ රට හදන හැටි – ලයිට් බිල අඩුවෙයි – චන්ද්‍රිකාගේ සන්ධානයේ අපේක්ෂකයා චම්පික ද?

  • රනිල් ජනාධිපතිවරණයට
  • බැසිල් ඇමරිකාවට ගියේ පුරවැසිභාවය ඉවත් කරගන්නට ද?
  • පොහොට්ටු මන්ත්‍රීවරු මහමැතිවරණයක් ඉල්ලති?
  • සජිත්ට ආණ්ඩුවෙන් රොත්තක්
  • පොහොට්ටු රොත්තක් රාජිතට
  • ජවිපෙ රට හදන හැටි
  • ලයිට් බිල අඩුවෙයි
  • චන්ද්‍රිකාගේ සන්ධානයේ අපේක්ෂකයා චම්පික ද?

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): වසර අවසානය හා නත්තල් සමය හේතුවෙන් දේශපාලන ලෝකය බොහෝ දුරට නිසොල්මන් ය. එහෙත් මැතිවරණ වසරක් අභියස ඇති නිසා ඒවායේ උණුසුම අඩුවැඩි වශයෙන් දේශපාලන පක්ෂ වලට නම් දැනෙමින් පවතී.

එදිනෙදා ජීවත්වීම පවා සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයක් බවට පත්ව තිබියදී උදාවෙන 2024 වසරේ වැට් බදු වැඩි කිරීමත් සමග ජීවන වියදම දෙගුණ වනු ඇතැයි බොහෝදෙනා දැනටමත් සැකපළ කර තිබේ.

මේ අතරේ ඉහළ රජයේ සේවකයන් සඳහා රජය විසින් මෙතෙක් ලබා දුන් තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබන වසරේ සිට අහෝසි කරන්නට බොහෝදුරට ඉඩ ඇති බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. මෙසේ ලබා දුන් බොහෝ වාහන බලපත්‍ර ඉහළ මිල ගණන් වලට ව්‍යාපාරිකයන්ට විකුණන ලද අතර ඒ හරහා වාහන ගෙන්වීමෙන් රජයේ බදු ආදායම අහිමිවී ව්‍යාපාරිකයන් පිරිසක් ලාභ ලැබුහ. එසේම ඉහළ වැටුප් ලබන ඉහළ පෙලේ රජයේ සේවකයන් වෙත ලොව කිසිඳු රටක මෙවැනි වරප්‍රසාද හිමිවන්නේ නැත. එසේම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් හා ඉහළ නිලධාරීන් වෙත අති සුඛෝපභෝගී වාහන ලබාදීම සීමා කිරීමටද නියමිතය. රජයේ වියදම් අඩු කිරීම සඳහා මෙම තීරණ ගෙන ඇති අතර අනවශ්‍ය වියදම් සීමා කිරීම කාලීන අවශ්‍යතාවයකි. විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආදී ආයතන රැසක ඉහළ නිලධාරීන් සඳහා ලොව සුපිරිම වාහන ලබාදීම කාලයක් තිස්සේ සිදු විය.

රනිල් ජනාධිපතිවරණයට එන හැටි

කෙසේ වෙතත් මේ වන විට රටේ දේශපාලන පක්ෂ අතරේ දැඩි කතා බහට ලක්ව තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීලග ජනාධිපතිවරණයට තරග කරනු ඇත්ද යන්නය.

තමන් මීළඟ ජනාධිපතිවරණයට තරග කරන බව රනිල් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නාගරික මහල් නිවාස වල ජනතාවට එම නිවාස වල සින්නක්කර අයිතිය ලබාදීම, ඉදිරි සති කීපය තුල විදුලි ගාස්තු අඩු කිරීම, අස්වැසුම වැඩපිලිවෙල තවදුරත් පුළුල් කිරීම, ගම සංවර්ධනය සඳහා විමධ්‍යගත අයවැයෙන් වෙන් කෙරුණු මුදල් වහාම ලබාදීම ආදී වැඩපිළිවෙල තුල පැහැදිලිව පෙනී යන්නේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට තරග කරන්නට යන බව මිස වෙනකක් නොවේ.

විමධ්‍යගත අයවැය ලෙස මෙවර අයවැයෙන් වෙන් කෙරුණු රුපියල් මිලියන 11,250ක් ජනවාරි මස පළමු සතිය වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළේය.

මෙලෙස විමධ්‍යගත අයවැය වෙන් කෙරුණේ වසර 03කට පසුව යැයි ජනාධිපතිවරයා පැවසුවේ ජනාධිපති කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දීය.
මේ අතර ජනාධිපතිවරයා පොහොට්ටුවේ තරුණ ඇමතිවරු පිරිසක්ද තම ජනාධිපතිවරණ සටන සඳහා දැනටමත් සම්බන්ධ කර ගෙන සිටිති. මීට අමතරව නිමල් ලන්සා – නලීන් ප්‍රනාන්දු කණ්ඩායම මේ වන විට රාජගිරියේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයක්ද ආරම්භ කර තිබේ.

මේ අතර එජාප කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක පසුගියදා උතුරු කොළඹදී ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවය. එසේම එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය 2024 ජනවාරි 01 දා සිට බලාත්මක කර ඇති අතර ඔවුන්ගේද මුලික කාරයා ජනාධිපතිවරණ සටනය. ඊට අමතරව මේ සති කීපයේම ජනාධිපතිවරයා තමන්ට සමීප එජාපයේ විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වමින් රටපුරා ආසන මට්ටමින් පක්ෂය යලි ශක්තිමත් කරමින් සිටී.

රනිල් හා දෙමළ මන්ත්‍රීවරු සාකච්ඡා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි.

උතුරු හා නැගෙනහිර පළාතේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම, නැවත පදිංචි කිරීම් කටයුතු හා සංහිඳියාවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම, ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගැටළු මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික් සංවර්ධනයට අදාළ කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු විය.

උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, එස්. රාසමාණික්‍යම්, ජී. කරුණාකරන්, ටී. කලෙයි අරසන්, කුලසිංහම් දිලීපන් යන මහත්වරු මීට එක්ව සිටියහ.

ලබන වසරේ මැතිවරණ වලදී සුළු ජාතික ඡන්ද තීරණාත්මකය. ජනාධිපතිවරණ ජයග්‍රහණයට තීරණාත්මක වන්නේ එයයි. මහ මැතිවරනයකදී ආණ්ඩුවක් පිහිටුවීමටද එය තීරණාත්මක වනු ඇත.

අප්‍රේල් ආණ්ඩුව විසුරුවන්න පොහොට්ටුවේ මන්ත්‍රී පිරිසක් යෝජනා කරලා

රටේ වත්මන් තත්ත්වය හා ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පසුගියදා පවත්වා ඇත. එහිදී දකුණු පළාත නියෝජනය කරන ප්‍රබල තරුණ ඇමතිවරයෙකු ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුව ජනාධිපතිවරණයකට පෙර වහාම මහා මැතිවරණයකට යාම වඩා සුදුසු බවය. එහිදී සබරගමුවේ ප්‍රබල ඇමැතිවරියක පවසා ඇත්තේ මුලින් මහා මැතිවරණයකට ගියහොත් එහිදී ජනාධිපතිවරණයකට පසුව පවත්වන මහා මැතිවරණයකට වඩා වැඩි ආසන ගණනක් ලබා ගත හැකි බවය. එහිදී මෙම පිරිස වැඩි දුරටත් සාකච්ඡා කර ඇත්තේ අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර සති හයක පමණ කාලයකින් මහා මැතිවරණය පැවැත්විය හැකි බවය. ජුනි මාසයේ මහා මැතිවරණයෙන් නව ආණ්ඩුවක් බිහිවන නිසා ජුලි මාසයේ දී මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණයක් කැඳවෙන ප්‍රකශය නිකුත් කරන්නට නියමිත බැවින් කිසිඳු පාර්ශවකට එයින් ගැටළුවක් ඇති නොවන බවද පොහොට්ටු මන්ත්‍රී පිරිසේ අදහස වී තිබේ. මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කිරීමට මෙහිදී මන්ත්‍රීවරු තීරණය කර තිබේ.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය

පසුගිය දිනවල පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ධම්මික පෙරේරා හට ලබා දී ඇති බවට පැතිර ගිය ආරංචියක් නිසා බොහෝ පාර්ශව කලබල වූහ. පොහොට්ටුවේ යම් යම් පාර්ශව මේ සඳහා ධම්මිකට පෙරේරා හට පොරොන්දු වී ඇතැයි පැවසේ. එහෙත් පසුව පොහොට්ටු මහා ලේකම් සාගර කාරියවසම් පැවසුවේ ඊට නම් හතරක් යෝජනාවී ඇති බවත් ධම්මික පෙරේරා ද එයින් එක් අයකු බවත් ය.

බැසිල් රාජපක්ෂ ඇමරිකාවට ආවේ පුරවැසිභාවය ඉවත් කර ගන්නට ද?

මේ අතර පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හදිසියේ ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ ඇත. ඇතැම් විට වසර අවසානය තම දරුවන් සමග ගත කරන්නට ඔහු ඇමරිකාවට පැමිණියා වන්නට බොහෝදුරට ඉඩ තිබේ. ඒ අතරේ තවත් ආරංචි පැතිර යන්නේ ඔහු ඇමරිකාවට පැමිණියේ තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට බවය. එවිට ශ්‍රී ලංකාවේ ඕනෑම මැතිවරණයකට තරග කරන්නට කිසිඳු බාධාවක් නොමැත. බැසිල් මග නැගුම, ගම නැගුම, උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය ඇතුළු විශාල සංවර්ධන ව්‍යාපෘති නිර්මාණය කරමින් ඒවා ක්‍රියාවට නැංවුයේ සුවිශාල දේශපාලන බලාපොරොත්තුවක් ඇතිව බව රහසක් නොවේ. එහෙත් බැසිල්ගේ දකුණු ඇත කරන දේ ඔහුගේ වම ඇත නොදන්නවා යයි ඔහු වටා සිටින පිරිස් කියති. එම නිසා බැසිල්ගේ අනාගත බලාපොරොත්තු දන්නේ බැසිල්ම මිස වෙනත් කිසිවෙක් නොවේ.

පාර්ලිමේන්තුව වාර අවසන් කරයි?

මේ අතර පාර්ලිමේන්තුව ලබන මස එනම් ජනවාරි මස අවසාන සතියේදී වාර අවසාන කෙරෙන බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. පාර්ලිමේන්තුව මුල් සතිය රැස්වීමෙන් පසු වාර අවසාන කිරීමට මුලින් තීරණය කර තිබුණත් එය පසුව වෙනස් කරගෙන ඇති බව දැනගන්නට ඇත.

පසුගිය 13 වැනිදා පැවැති අයවැය අවසාන ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුව ලබන 9 වැනිදා දක්වා කල් තබනු ලැබීය. මේ අනුව පාර්ලිමේන්තුව එදින සිට 13 වැනිදා දක්වා දින හතරක් රැස් වෙනු ඇත. පාර්ලිමේන්තුව ලබන මස මුල් සති දෙක රැස්වීමෙන් අනතුරුව මාසය අවසානයේ දී වාර අවසාන කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මක වන කෝප්, කෝපා ඇතුළු කමිටු හැටකට වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් අහෝසිවී යනු ඇත. ඒ අනුව එම කමිටු නව පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසු නැවතත් පත් කිරීමට සිදුවනු ඇත.

පාර්ලිමේන්තුව වාර අවසාන කළ ද ස්ථාවර නියෝග අනුව අහෝසි නොවන්නේ උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සහ විශේෂ කාරක සභා පමණි. මේ අතර අලුතින් කමිටු පිහිටුවීමේ දී කමිටු පහක සභාපති පුටු වෙනස් කෙරෙනු ඇතැයි සඳහන් ය.

විදුලි බල මණ්ඩලයට අධික ලාභ – ලයිට්‍ බිල අඩු කරන බව කංචන කියයි

විදුලි බිල ලබන මාසයේදී ස්ථිරයින්ම අඩු කරන බව ද, ලබන මාසයේ කෙරෙන විදුලි බිල සංශෝධනයට වැට් බද්ද බලනොපාන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. එසේම ඉන්ධන මිලට ද වැට් බදු වල බලපෑමක් ඇති නොවන බව ඔහු සඳහන් කළේය.

වැට් බද්දේ බලපෑම කිරීම සඳහා ගත හැකි විකල්ප තීන්දු සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. අධික වර්ෂාව හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය වැඩි වී ඇති හෙයින් විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි ගණනක ලාභයක් ලබා ඇතැයි ද එම මණ්ඩලය සඳහන් කරයි.

සජබට ආණ්ඩුවේ ස්වාධීනවූ මන්ත්‍රීවරු එක්වෙති – සජිත් රට පුරා මහජන සුභ සාධනයේ – ඕනෑම ඡන්දයකට සුදානම්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ වන විට ඉදිරි සියලු මැතිවරණ සඳහා සමගි ජන බලවේගය රට පුරා සියලු ආසන වල සංවිධාන ජලය පුල් කරමින් රටපුරා යමින් සිටී. සජිත් පවසන අන්දමට ඕනෑම මැතිවරණයකට ඕනෑම මොහොතක සජබ සූදානම්ය. එසේම ඔහු සජබ මුලික කරගත් පුළුල් විපක්ෂ සන්ධානය නිර්මාණය කරමින් සිටී. ඉදිරි දින වලදී පොහොට්ටුවෙන් වෙන්වුණු නිදහස සන්ධානයේ මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රමුඛ කණ්ඩායම නිල වශයෙන් සජබ සමග එක්වීමට නියමිත ය. එසේම මේ වන විටත් ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරු කීපදෙනෙක්ම සජබ සමග එක්ව ආසන සංවිධායක ධුර පවා ලබා ගෙන අවසන් ය.

එසේම රටේ සන්වධන කටයුතු සඳහා දායක වන පළමු විපක්ෂ නායකයා ලෙස සජිත් පාසල් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ පහසුකම් සැපයීම රටපුරා සිදු කරමින් සිටී.
එහිදී ජනතාව අමතමින් සජිත් පැවසුවේ

“මේ රටේ ජීවත් වන බොහෝදෙනෙකුට රටේ වත්මන් පාලනය පිළිබඳ කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බැවින් උගතුන්, බුද්ධිමතුන්, විශිෂ්ටයන් මෙන්ම තරුණයන් ද විශාල ප්‍රමාණයක් රට අතහැර යන අතර බහුතරයක් තරුණයන් වංචාකාර විදේශ රැකියා සුනාමියකට හසු වී අප රටටත් වඩා නොදියුණු රටවලට පවා රැකියා සොයා ගොස් හොර මිනිස් ජාවාරම්කාරී කල්ලිවලට හසුව ඉතා දුක්ඛිත තත්ත්වයකට පත්ව සිටිනවා. මෙම තත්ත්වයට ආසන්නම උදාහරණයක් ලෙස රට රැකියා සොයා ගිය අපේ රටේ තරුණයන් 56කට ආසන්න පිරිසක් මියන්මාරයේ ත්‍රස්තවාදී ග්‍රහණයට ලක්වීමේ ඛේදනීය පුවත යි. මෙම සිදුවීමෙන් හෝ වත්මන් පාලකයන්ගේ ඇස් ඇරිය යුතුයි.
වැට් බදු ආදී අධික බදු බර පටවා මේ රටේ බහුතර ජනතාව දරිද්‍රතාවට පත් කිරීම නිසා තරුණ පරපුර මෙසේ රට අතහැර යාමට පෙළඹී තිබෙනවා. ඔවුන් ආර්ථික අභිවෘද්ධියේ කොටස් කරුවන් බවට පත් කරන ක්‍රමවේදයක් ඇති කිරීම මගින් මෙම තරුණ පරපුර රට තුළම රඳවා ගත හැකියි.

ජවසම්පන්න තාරුණ්‍යය ඵලදායී ලෙස යොදාගනිමින් රටේ නිෂ්පාදන කර්මාන්ත ආර්ථිකය ශක්තිමත් කර කර්මාන්තශාලා වැසී යාම වෙනුවට ඒවා ශක්තිමත් කර දළ දේශීය නිෂ්පාදිතය විශාල කළ හැකියි. එමඟින් ඇතිවන ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සෑම ජන කොට්ඨාසයකටම ලබා දෙන නිවැරදි ආර්ථික ගමනක් අපේ රටට අවශ්‍යයි. එකී ආර්ථික ගමනකට සමගි ජන බලවේගයේ අපි සූදානම්,

වර්තමානයේ පෝෂ්‍යදායී ආහාර වේලක් නොමැතිකමින් පාසැල් දරුවන් ක්ලාන්ත වී ඇද වැටෙන ඛේදනීය තත්ත්වයක් රටේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙනවා, මීට කඩිනමින් විසඳුමක් ලබාදිය යුතු යි, ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය කිසිඳු මන්ත්‍රීවරයකුට මෙම තත්ත්වය නොසලකා සිටිය නොහැකියි, රටේ අනාගතය වන දරු පරපුර ආරක්ෂා කර ගැනීම දෙමාපියන්ගේ සේම රටේ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ ද වගකීමක්
එමෙන්ම, රට බංකොලොත් වී ඇති මොහොතක අයවැයට මෙන්ම වැට් බදු වැඩි කිරීමටත් සහයෝගය දී වත්මන් ජනපති වරයාව ආරක්ෂා කරන පිරිස් විසින්, ජනතාව මත බදු බර පැටවීමෙන් වලකින ලෙස නිවේදන නිකුත් කිරීම වංචා සහගත දේශපාලන නාට්‍ය රඟ දැක්වීමක් ” යනුවෙනි.

කළුතර පොහොට්ටුවේ රැසක් රාජිත සමග එක්වෙති

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ පොහොට්ටු ක්‍රියාකාරීන් විශාල පිරිසක් ද මේ වන විට රාජිත සේනාරත්න වටා ඒකරාශී වෙමින් සිටිති. පානදුර, කළුතර, හොරණ බේරුවල, මතුගම ආදී ප්‍රදේශවල පොහොට්ටුවේ ප්‍රබල ක්‍රියාකාරීන් ගණනාවක් පසුගියදා රජිත් හමුවී සිය සහයෝගය පළකළහ. කවර පක්ෂයකින් තරඟ කළ ද රාජිතගේ ජයග්‍රහණයට කැපවෙන බව මෙම පිරිස පවසා ඇත්තේ රාජිත සේනාරත්න ගෙන් කළුතර දිස්ත්‍රික්කයට හා එහි ජනතාවට සිදුවූ සේවාව සිහිපත් කරමිනි. මෙරට දේශපාලනයේ ඕනෑම පක්ෂයකින් තරග කර ජයගත හැකි දේශපාලනඥයන් සිටින්නේ අතලොස්සකි. සෑම පක්ෂයකින්ම තරග කර ජයගත හැකි බව රාජිත පසුගිය මැතිවරණ වලදී ක්‍රියාවෙන්ම පෙන්නුම් කළේ තම ජීවිතය පුරාම ප්‍රතිපත්ති ආරක්ෂා කරගනිමින් සියලු ජාතීන් හා ආගම් වලට එක්ව ජීවත්විය හැකි සාමකාමී ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට තම දායකත්වය සෑම විටම රටට ලබා දෙමිනි.

මේ අතර මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ තවත් නැගී එන තරුණ නායකත්වයක් වන්නේ නයනක රන්වැල්ල යි. ප්‍රවීණ මාධ්‍යවේදියකු හා පරිසරවේදියකු වන නයනක කොළඹ රාජකීය විදුහලෙන් අධ්‍යාපනය ලබා මාධ්‍යවේදියකු ලෙස වෘත්තීය දිවිය ඇරඹුවේ දිවයින පුවත් පතෙනි. සජබ බණ්ඩාරගම සංවිධායකවරයා වන නයනකගේ මාමා සිහල උරුමය නිර්මාතෘ තිලක් කරුණාරත්නයන් ය.

ජාතික ජන බලවේගයේ ජන ආකර්ෂණය

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය මේ වන විට රට පුරා තම මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය දියත් කර ඇති අතර රටේ ජනතාව අතර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අදහස් සම්බන්ධයෙන් යම් කැමැත්තක් තිබේ. එය ලබන වසරේ මැතිවරණ තෙක් දිගටම ඒ ආකාරයටම පවත්වා ගෙනයාම ජවිපෙට ඇති අභියෝගයයි.
විශේෂයෙන්ම පාවෙන ඡන්ද ආකර්ෂණය කරගන්නටත් පොහොට්ටුවට ඡන්දය දුන් පිරිසෙන් යම් කොටසක් ආකර්ෂණය කර ගන්නටත් ජාතික ජන බලවේගය සමත්ව තිබේ. වෙනදාට වඩා විදෙස් තානාපතිවරු හා ජවිපෙ සම්බන්ධතා වැඩි වී තිබෙන්නේ ද මේ නිසාය.

අනෙක් අතට අනෙක් පක්ෂ ද ඉදිරියේදී මැතිවරණ සටන ආරම්භකළ පසුව සැබෑ සටන දැක ගත හැකි වනු ඇත. ඒ අනුව ජාතික ජනබලවේගය පවතින තත්ත්වය විවේචනය කරන අතරම රටේ ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් තම ස්ථාවරය හා එම ප්‍රශ්න විසඳන වැඩපිළිවෙල සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් ජනතාව වෙත ඉදිරිපත්කළ යුතුව තිබේ. මේ සම්බන්ධයෙන් ජනතාව ද ජාතික ජන බලවේගයෙන් ඉදිරියේදී විමසනු ඇත. අද වන විට වෘත්තිකයන් විශාල පිරිසක් ජා.ජ.බ වෙත එක්ව සිටිති. ගෝඨාභය බලයට ගෙන එන්නට එක්වූ පිරිස්ද වෙති. මේ වෘත්තිකයන්ගේ ඉල්ලීම් ලබා දීම හා ඔවුන් රටේ ප්‍රධාන ආයතන වෙත පත් කිරීම ගෝඨාභයගේ අසාර්ථකත්වයට එක හේතුවක් විය. එම නිසා වැඩි වශයෙන් ප්‍රයෝගික මිනිසුන් වෙත විශ්වාසය තැබීම ජා.ජ.බ ට වඩාත් හිතකර වනු ඇත.

ජ.වි.පෙ රට හදන හැටි ගැන ටිල්වින් කියයි

මේ අතර රට තුළ මතු වූ අර්බුදයේදී ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පැතූ නිසා දැන් එහි රූකඩයක් බවට පත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

අද වන විට ආණ්ඩුවේ වර්තමාන වියදම් පියවා ගැනීමට මුල්‍ය අරමුදල විසින් ලැබෙන මුදලින් ගෙවීමට එපා යැයි දැනුම්දී තිබෙන බැවින් ආණ්ඩුව වියදම් සොයා ගැනීමට ක්‍රමවේදයක් නැතිව බදු වැඩි කර ගැනීමට කටයුතු කර ඇතැයි ද, ආණ්ඩුව අදවන විට වැට් බද්ද 18% තෙක් ඉහළත් දැමීමෙන් ජනතාව තවත් අසීරු තාවයට පත්ව ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මෙතෙක් කල් වැට් බද්ද අය නොකළ භාණ්ඩ වර්ග අනූ හතකට අය කිරීමට කටයුතු කර ඇති බවත් ඒ හරහා ජනතාව විශාල වශයෙන් පීඩාවට ලක්ව ඇති බවත් කී ටිල්වින් පවතින අර්බුදයෙන් රට ගොඩ දැමීමට තම පාලනයක් යටතේ හැකියාව ඇති බව ද කියා සිටියේය.

චන්ද්‍රිකාගේ සන්ධානයෙන් චම්පික එයි ද?

මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ ප්‍රධානත්වයෙන් මේ වන විට නව සන්ධානයක් ගොඩනැගෙමින් පවතී. විවිධ සංවිධාන රැසක් මේ වන විටත් චන්ද්‍රිකා වටා ගොනුවෙමින් තිබේ. මේ නව සන්ධානය හා පාඨලී චම්පික රණවක අතර ද යම් යම් එකඟතා ඇති බව පැවසේ. අද වන විට චම්පික කොළඹ වෘත්තීයවේදීන් හා මධ්‍යම පන්තිකයන් අතර විශ්වාසයක් ගොඩනංවාගෙන තිබේ. එහෙත් රට ප්‍රබලම දේශපාලනඥයින් හා නිලධාරීන් ඔහුගේ සුක්ෂම භාවය නිසා ඔහු සම්බන්ධයෙන් පසුවන්නේ විශාල අවිශ්සවායකිනි. අනෙක් අතට කොතරම් දක්ෂයකු හා උගතෙකු වුව ද තවමත් රටේ අතිශය සාමාන්‍ය ජනතාව ඔවුන්ට තේරෙන සරල ආකාරයෙන් අමතන්නට චම්පික සමත්ව නැත. එහෙත් ඔහු වටා වෘත්තීයවේදීන් මෙන්ම තාක්ෂනවේදීන් ද සමාජ ජාල ක්‍රියාකරුවන් මෙන්ම මැතිවරණයකට මුලිකව අවශ්‍ය සමස්ත යාන්ත්‍රණයම තිබේ. එම නිසා ඉදිරියේදී චම්පිකද ජනාධිපතිවරණ සටනට ඉදිරිපත්වුවහොත් එහි පුදුමයක් ද නැත.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වේගයෙන් ඉහළට

මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල මේ වන විට ශීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ඉන්දියාවෙන් ආනයනය කරන ලොකු ලූනු කිලෝවක මිල සිල්ලර මිල වන විට රුපියල් 650 ත 700 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබුණි. පිටකොටුව තොග වෙළඳපොලේ ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 450 ත් 500 ත් අතර මිලකට අලෙවි වූ අතර ඉදිරි දින කීපයේදී තොග මිල තවත් ඉහළ යනු ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති. වැට් බදු ප්‍රශ්නයද ලබන වසරේ බලපාන බැවින් නිරන්තර අවධානයෙන් සිටිමින් ජනතාවට මුලික ආහාර වර්ග කීපයක් හෝ අඩු මිලට ලබාදීමට රජය පියවර ගත යුතුව තිබේ.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan