සිම්බාබ්වේ නිමාවේ සිට ඇෆ්ගනිස්තානයේ ආරම්භයට හිත යොමු කරමු

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 18 කොළඹ (LNW): ඊයේ ඉන්දියාව සමඟ පැවති විස්සයි විස්ස තරගයේදී තරගය ජය ගැනීමට ඉන්දියාවට තිබුණු ඉඩ දෙවරක්ම අහුරා සිටින්නට ඇෆ්ගනිස්තානය සමත් විය.පළමුව පන්දු ඕවර් 20 ට ඉන්දියාව ලැබූ ලකුණු 212 හඹා ගොස් සම කළේය.සම ලකුණු වීම නිසා යවන ලද පන්දු ඕවරයට පළමුව මුහුණ දුන් ඇෆ්ගනිස්තානය ලබා ගත් ලකුණු 16 ලබා ගන්නට ද ඉන්දියාවට ඉඩ නොදෙමින් ඉන්දිය ඉණිමටද ලකුණු 16 දී නැවතීම තැබුවේය.ඉන්දියාවට ජය ගන්නට දෙවන වරටත් සුපිර් පන්දු ඕවරයක පිහිට පතන්නට සිඳු විය.

ඒ ඇෆ්ගනිස්තානය එළැඹෙන මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.මේ මොහොතේ ලංකාව ඉන්නේ සිම්බාබ්වේ සමඟ ගැටෙමින්ය.එක්දින තරගාවලිය ජය ගත්තත් අද විස්සයි විස්ස තරගයට මුහුණ දෙන විට එම තරගාවලියේ ජයග්‍රහණය පවතින්නේ වැට උඩය.තරග තුනකින් යුතු තරගාවලියේ මේ වන විට ප්‍රතිපලය දැන්වෙන්නේ 1-1 ක් ලෙසය.

ඒ නිසා මේ තරගය ශ්‍රී ලංකාව ජයගෙන ඇෆ්ගනිස්ථානයට එරෙහිව පවතින තරගාවලියට යාන්තමට හෝ හිත හදා ගත යුතුය.ඒ ඇත්තටම මොන මිම්මෙන් මැන්නත් ඇෆ්ගනිස්තානය ඉන්නේ සිම්බාබ්වේට ගව් ගණනක් පිටු පසින්ය.දැන් එතකොට මේ තරගය ශ්‍රී ලංකාව පරාජය වී සිම්බාබ්වේ කණ්ඩායම ජයගෙන 2-1 ක් ලෙස සිම්බාබ්වේ මෙම තරගය ජය ගතහොත් ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයට පරාජය වන්නේද?එසේත් නැතිනම් පරාජය වීම අනිවාර්යෙන්ම සිඳුවිය යුතුද?

එවිට අසන්නට ඇති ප්‍රශ්නය ඇෆ්ගනිස්තානය එක දිගට ආරම්භයේ සිටම දිනපු කණ්ඩායමක් ද?එසේත් නැත්නම් ශ්‍රී ලංකාවට අභියෝගයක් වූ සිම්බාබ්වේ හැමදාම සිටියේ අභියෝගයක්ව ද?ඉතිහාසයේ එක් වරක් සිම්බාබ්වේ පැරදුණු ටෙස්ට් තරගයක දී ලෝකයේ බැලූ බොහෝ දෙනා කීවේ හොඳම ඉණිම් අයත් වූයේ බීසී කුරේ නම් විනිසුරුවාට බවය.ඔහු සමඟ අනිත් අන්තයේ සිටියේ මතක හැටියට කේටී ෆ්‍රැන්සිස් ය.එසේ නොවන්නේනම් ඒ සිටි පුද්ගලයාද බීසි කුරේටම කදිමට ගැලපුණු බව මතකය.

ඒ වාසනාවේ පල නෙලාගත් පිතිකරුවන් දෙදෙනා වූයේ එවකට නායක වූ අර්ජුන රණතුංග සහ අරවින්ද සිල්වා ය.ඒ පරණ කතා නිකමට මතක් කළාට ශ්‍රී ලංකාව එක්වරම පරාජය නොවී ජයගත් රටක් නොවන්නාසේම අන් සියලු රටවල් ද ජයග්‍රහණයෙන්ම උපන් අය නොවේය.එයින් කියැවෙන්නේ ජයග්‍රහණය කියන්නේ, ක්‍රිකට්වල පමණක් නොව ඕනිම ක්‍රීඩාවක “කවදාවත්ම නොපරදින” කියන වචනයට කියන සමාන වචනයක් නොවන බවය.

ඒ වෙනුවෙන් මේ තරගාවලිය හරහා ඉදිරි මාසයක් ගතවන විට සකසා ගත යුතු දේ මොනවාද යන්න සිතා බැලිය යුතුව ඇත.පෙනෙන හැටියට ලෝකයේ බොහෝ කණ්ඩායම්වල ශාරිරික යෝග්‍යතාවයන්ට සාපේක්ෂව ගත් විට අප සිටින්නේ බොහෝ පසුපසින්ය.එය නිවැරදිව සකසා ගන්නට සෑහෙන කැපවීමක් කළහොත් අපට දිනීම සදහා වැදගත් කරුණු ගණනාවක් එකතු කර ගන්නට හැකියාව ඇත.

පළමුව හයේ හතරේ පහර එල්ල කළ හැකි ක්‍රීඩකයින් අපට වැඩි වී ඇති බවක් පෙනෙන්නට ඇත.එහෙත් එකේ ලකුණු අත හැරීමේ ප්‍රවනතාවය ද ඉහළ ගොස් ඇත.කඩුලු අතර වේගවත්ව දිවීමට දක්වන අලසකමෙන් වර්තාවන නිලකුණු පන්දු ප්‍රමාණය මෙන්ම නොලැබෙන ලකුණු ප්‍රමාණය ද පන්දු ඕවර් 20 ට අයත් පන්දු 120 න් 30 ක් වුවහොත් එය කණ්ඩායමකට විශාල පාඩුවක්ය.සරලය කිවහොත් ලකුණු නැති පන්දු හතරෙන් එකක් යැවීමට ප්‍රතිවාදී පන්දු යැවීමේ බල ඇණියට අවසර ලැබී ඇත.ඒ පිඩනය නිසා අනවශ්‍යය පහරවලින් හයේ හතර ලබා ගන්නට යාමෙන් අහිමිවන කඩුලු ද එකතු වූ විට මේ හතරනේ එකක පන්දු නිලකුණු කිරීමට ප්‍රතිවාදීන්ට දෙන අවස්ථාව අප නවතාලිය යුතුය.

එහිදී පැහැදිළි වන්නේ වේගයෙන් කඩුලු අතර දිව යාමට හැකියාව නැතිකමය.ඒ නිසාම ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමේදී ලකුණු ලබා ගැනීමට ද එම වාසියම බලපාන්නේය.මන්ද පන්දු රකින්නන් පන්දුවට එන වේගයේ මදකම නිසාම එක ලකුණු දෙක විම ලකුණු නැති අවස්ථා එක වීම මෙන්ම වේගෙයෙන් දිවීමේ අසමත්භාවය නිසා යා හැකි හතරේ පහරවල් ගණනක් ද එකතු වූ විට පන්දු 30 ක් අතර හැර නොමැති ලකුණු 20 ක් ලබා දුන් බව සිතන්න.එහි අරුත ශාරිරිකව සූදානම් නොවූ තත්ත්වයක ප්‍රතිවාදීන්ට ශ්‍රී ලංකාව පැත්තෙන් ලකුණු 50 ක වාසියක් ඇති බව නොවේද? විස්සයි විස්ස තරගයකට ඒ තත්ත්වය කෙසේ බලපානු ඇද්ද යන්න සිතීම ඔබේ ක්‍රිකට් දැණුමට භාර එකක්ය.

එසේම අත්දැකීම සහිත ක්‍රීඩකයින් කණ්ඩායමට අවශ්‍යය බව සිතා පැයට වතුර බැරල් එකක් පමණ බොන්න වන තරමට දුර්වල ශරීර කණ්ඩායමේ රඳවා ගන්නට නව තේරුම් කමිටුව සිතනවාද යන්න තීරණය කළ යුතුය.පන්දු 50 ට 60 ක් ලබන නිලකුණු පන්දු වහාල ප්‍රමාණයක් සටහන් කරන පිතිකරුවෙක් පන්දු 30 ට ලකුණු 10 ක් ලබා සිටියදී දැවී ගිය බව සිතන්න.අප අවසාන ලකුණු ගණන ගෙන පන්දු 50 ට 60 ලෙස සිතන සිඳුවීමෙන් මෙහා තියෙන දරුණුම සමහර විට විය හැකි අනතුරු එය වීමෙන් පසුව එන පිතිකරුවන්ට පළමු පන්දුවේ සිට පහර දෙන්නට සිඳු වීම කෙසේ සාධාරණය කරන්න හැකිද?කියා ඇති පරිදි දැවී ගියහොත් විස්සයි විස්ස තරගයක් පන්දු ඕවර් 5 ට ලබා ඇත්තේ ලකුණු 10 කි.සෙසු පිතිකරුවන්ට පන්දු ඕවර් 15 ක් තුළ අඩුම තරමේ ලකුණු පූවරුව 150 දක්වා හෝ රැඟෙන යාමට ලකුණු 140 ක් ලබා ගත යුතුය.එය පන්දු ඕවරයකට 10 ක වේගයකි.අර පන්දු ඕවර් පහට ලකුනු 2 බැඟින් එකතු වී තිබීම ලකුණු 6 බැඟින් එකතු වි තිබී,අර ලකුණු 140 ද එකතු විණිනම් හයේ හතරේ පහරවල් නැතුව වුව ලකුණු 170 ක පමණ ලකුණු පූවරුවක් සකසා ගැනීමට හැකිය.

කවුරුන් හෝ සිම්බාබ්වේ කණ්ඩායමට තරගයක් පැරදුණ නිසා පමණක් නොව තරගායලියම පරාජය වී හෝ රය ඇෆ්ගනිස්තානයට පරාජය වෙන්න හේතුවක් ලෙස පැවසීම තාර්කික නැත.ඒ කාලය තුළ මේ හැඩේටම කණ්ඩායම පවත්වාගෙන යන්නේ ද,වෙනස් කරන්නේ ද කියන කාරණය මත මිස ඇෆ්ගන් තරගවල තීරණ සිම්බාබ්වේ තරග පදනම් කරගෙන සිඳුවන්නට ඉඩක් නැත.

සමහර විට ඇෆ්ගනිස්තානය හමුවීම දක්වා වන කාලය දැඬිව මහන්සි වීමට සිඳු විය හැකිය.එය ශාරිරිකව පමණක් නොව මානසිකව ද සිඳු විය හැකිය.සමහර විට අමාත්‍යවරුන්ට ඔවුන්ගේ විශේෂ කමිටුවලට සිය සමාජ බලය යොදා ගෙන ඇතුල්වෙන පිරිස් මේ මානසික වර්ධනයේ පොල්මංකරුවන් සේ කාලයක සිට එක එක චරිත ගෙනවිත් එබීම දිගටම සිඳු කරමින් සිටින බව ද අපි දනිමු.වත්මන් අමාත්‍යවරයාගේ ද දැඩි මිත්‍රකමක් අති බව පසුගිය දිනවල සාද සාමිචි සම්බන්ධයෙන් පළ වූ ඡායාරූපවලින් පැහැදිළි වන්නට ඇත.එහෙත් ඒ කිසිවක් නොවී අවසානයේ කැරකී පොලු පහර එන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතටය.ක්‍රීඩා කරන්නේ මෙන්ම ක්‍රීඩකයන් තෝරන්නේ ද ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියෙන් පත් වූ පිරිසක් බව මොහොතකට විවේචකයන්ට අමතක වන්නේය.ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ද කණ්ඩායම ඇතුළත අවශ්‍යය වෙනස්කම් පුහුණු කාර්ය මණ්ඩලය සමඟ විවෘත සාකච්ඡාවකින් පසුව ගෙන තමන් හිස මත තබා ඇති මහා අසූචි කන්දේ බර ඉවත් කර ගැනීම සඳහා,නිර්භිතව මෙන්ම නිදහස්ව කටයුතු කළ යුතුය.

සිම්බාබ්වේ තරගාවලියේ පසුබෑම ඇෆ්ගන් තරගයේ නැග්මක් ඇති කර ගැනීමේ රැල්ලක් කරගන්න ක්‍රීඩක සංයුතියට මෙන්ම තේරීම් කමිටුවට ද,පුහුණු කාර්ය මණ්ඩලයට ද,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද ඇත.විශේෂයෙන් රටකට ක්‍රීඩා කරනවා කියන හැඟීම,අපිට පුළුවන් විදිහට අපි ගහන්නේ පුළුවන්නම් ඇවිත් ගහන්න කියන චණ්ඩි ස්වරයේ වචනවලින් ප්‍රේක්ෂක විවේචනය සමනය කරන්නට ක්‍රීඩකයන්ට ද නොහැකිය.මේ ක්‍රීඩා පිට්ටනිවලට තරග බලන්නට එන බහුතරයක්,මාසෙට කෝට් ගණනින් උපයන්නන් නොවේය.එසේ උපයන සොච්චමෙන් කැරට අලයක් ගන්නට,බෝංචි කරලක් ගන්නට,රටේ බස් සේවයේ හැටියට තරගය නිමාවේ ත්‍රීවීල් එකකට ගොඩ වෙන්නට වත්කමක් ඇති මිනිසුන් නොවේය.ඒ සියල්ල පිනවීම රටක් නියෝජනයේදී වැදගත්ය.ඒ ක්‍රීඩයාද,ප්‍රේක්ෂකයා ද පුරවැසියෝ වන බැවිනි.

තමන්ගේ ආර්ථික පීඩවා විඳ දරා ගෙක නොයෙක් අපවාද අවලාද විඳිමින් ත්‍රිඩා පිටියට එන ක්‍රීඩකයන්ට තරගය ගැන වගකීමෙන් කටයුතු කරනවාද නැද්ද යන්න දැනෙන තරම මෙන්ම,ඇතැම් ක්‍රීඩකයින් තරග සඳහා සුුදුසුද නැද්ද යන්න ඔවුන්ගේ සියලු හැසිරීම් සජීවීව විඳින්න ලබන පිට්ටනිටයට එන ප්‍රේක්ෂකයාගෙන් සඟවා ගන්න නොහැකිය.ඒ නිසා ඇතිවන කෝපය බෝඩ් කෑලි බෝතල්වලින් පිට කිරීම සංවර හෝ ශික්ෂණයක් ඇති මිනිසුන්ගේ ක්‍රියාවක් හැටියට හඳුන්වන්නට නොහැකිය.

එහෙත් බඩගින්න දරාගෙන හරියට වේල පිරිමහගන්න ඉඩ නැති දේශපාලකයන් විසින් නිර්මාණය කළ රටක තරග බලන්නට එන මිනිස්සුන්ගේ ආවේගය අවඥාවෙන් බැහැර කළ නොහැකි නොහික්මුණු ක්‍රියාවක්ම පමණක් නොවේය.ඔවුන් ක්‍රීඩාව වෙනුවෙන් සහ ක්‍රීඩකයින් වෙනුවෙන් කැප කරන කාලයට ගෞරවයක් දෙන්න හැම ක්‍රීඩතයෙක්ටම පුරවැසියෙක් ලෙස වගකීමක් ඇත.

සිම්බාබ්වේ අවසාන තරගයෙන් තරගාවලිය වසා ඇෆ්ගනිස්තානයට මුහුණ දෙන්නට අලුතින් සැරසෙමු.!

කවුරු හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සිතන්නේනම් පරදින්නනේ ක්‍රිඩා පිටියේ සිටින 11 හෝ එම සංචිතය බවත්, එහි වේදනාව,තැවීම තමන්ට පමණක් බවත් මේ ලාංකේය ප්‍රේක්ෂකයාගේ ස්වරූපයෙන් නුඹලා හඩවන්නේ සහ රිද්දන්නේ රටක දෙකෝටියක ජනතාවක් බව තේරුම්ගත හැකිය.ඔවුන්ගේ වෛරයට පාත්‍රවීම මෑත ඉතිහාසය විසින්ම උගන්වා ඇති පාඩම්වලින් එතරම් සුදුසු නොවන බව සිතා ගැනීමට නොහැකිනම් එය ක්‍රීඩකයාගේ සවිඥානිකත්වයේ ගැටළුවක්ය.ඔබ දොකෝටියෙන් එකෙක් බව හෝ සරලව සිතා ගන්නට හැකි මට්ටමට සමාජ බුද්ධියක් ඇත්නම්…දැනෙන හැටියට ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල ලොකුම අවුල එයය.

“සිටිය ක්‍රීඩකයන්ට වඩා ඉහළින් සිටින වර්ථමාන ක්‍රිකට් ක්‍රීඩකයින් සමාජ පිළිගැනීමෙන් පහතට වැටෙන්නේ ඒ ප්‍රායෝගික දැණුම නොමැති කමෙන්ය.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...