නැති නිදහසට කළ සටනින් උතුර,නැගෙනහිර අභිබවා යයි

Date:

යුද්ධය නිමා වුව ද නිදහස ගැන තවමත් උතුරට හරි අර්ථයක් නොමැත.රටටම එය ගැටළුවක් වුව ද යුද්ධයක් නිමා වූ බිමක් ලෙස අරුත් ගැන්වෙන් දේශපාලනික වපසරියක උතුර තවමත් සිටින්නේ සංකාවෙන්ය,විප්පයෝගයෙන් සහ ඒ අහිමිවීම් සඳහා වන ආත්මීය හෝ භෞතික සුවය ද නොවිඳිමින්ය.හිමි ඉඩම් නොලැබීම නිසා තවමත් යුද අනාතයන් සේ ජීවත්වෙන්නට සිඳුව ඇති මිනිසුන්ගේ සෝ සුසුම් උතුරට තරම් නැතත් නැගෙනහිරට ද පොදු ය.මෙවැනි සමාජමය පසුබිමක ශ්‍රී ලංකා ෆුට්බෝල් සම්මේලනය සංවිධානය කරන නිදහස් සිලෝන් කුසලාන පාපන්දු තරගාවලියේ නිදහසනම් වූ ඔවුන්ගේ මිත්‍යා අත්දැකීමට ප්‍රහාරයක් එල්ල කරමින් කුසලානය සතුවන්නේ කාටදැයි කිරා මැන බලන අවසාන තරඟයේ උතුර සහ නැගෙනහිර කණ්ඩායම් සිට ගැනීම අපූරුය.

යම් ආකාරයක දේශපාලන දුක්ඛ ශෝකාන්තයක් වූ උතුර සහ නැගෙනහිර අතර අවසාන තරගය යාපනයේ දොරේ අප්පා ක්‍රීඩාංගණයේ පැවත්විණි.මෑත කාලයේ යාපා පටුනෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ මන්නාරමේ ආරක්ෂකයා ඩක්සන් පුස්ලස් ගේ අකල් වියෝවෙන් සැසලෙන සිත් ඇතිව සිිටි උතුර සිය සහෝදර ක්‍රීඩකයාගේ ආරක්ෂක හයිය ආරෝපනය කරගත් බවක් පෙන්වමින් තරඟ වැඳිණ.ජාතික මට්ටමේ අවසන් තරගයක් දොරේ අප්පා ක්‍රීඩාංගණයට කලෙකට පැමිණීම මෙන්ම සුළු යැයි හැඳින්වෙන වෙනත් භාෂාවක් කතා කරන ජාති දෙකක් මහා බස සහ මහා ජාතිය යටතේ ජීවත්විය යුතු බව කියන රාජ්‍ය නායකයාගේ පදවි ප්‍රාප්ත කතාවේ හැඟවීමට වෙනස් තැනක සිට මේ තරගය ක්‍රියාත්මක විය.ප්‍රධාන බස තරග පිටියේ නෑසිණ.ප්‍රධාන ජාතියේ නම පිටියේ නොඇසිණ.ප්‍රධාන ආගමේ සාමාජිකයන් පිටියේ නොවිණි.ශ්‍රී ලංකාව සහ අපි ශ්‍රී ලාංකික යැයි සිතන පසුබිමක සිටියේනම් රටට ආඩම්බර විය හැකි තරුණ ලාංකේය ජවයේ මිහිර,ශක්තිය දොරේ අප්පාවේ එළිණ.

ආරම්භක සංඥාවෙන් ඉනික්බිති 23 වන විනාඩිය ගෙවෙන මොහොතේ තරගයේ පළමු ගෝලය වාර්තා විණි.ඒ ටී.විග්නේෂ් වෙතින්ය.උතුර එතැනින් නොනැවතිණ.පළමු අර්ධය නිමාව ආසන්නේයම 45 වන විනාඩියේදී කේ තෙනෂාන් ක්‍රියාත්මක විය.විවේක කාලය එළැඹෙන විට ලකුණු තත්ත්වය 2 – 0 ක් විය.අනතරුව තරගයේ 59 වන විනාඩිය ගෙවී යද්දී මේ තරගයේ වැඩිම ගෝල්ලාභියා සේ ගෝල හක් ලබා ගන්නට සමත්වෙමින් රන් පන්දුවේ ගෞරවයද දිනා ගත් උතුරේ නායකයා ක්‍රියාත්මක විය.එම් නිදර්ශන් වූ ඔහු ලබා ගත් ගෝලයත් සමඟ අවසාන තරගය 3 – 0 ක් ලෙස උතුර ජය ගන්නා බවට විශ්වාසය පළ විය.එහෙත් නැගෙනහිර නිලකුණු පරාජයක් විඳින්නට අකමැත්තෙන් දිගටම කළ සටනේ අවසාන පලය 85 වැනි මිනිත්තුවේදී භුක්ති වින්දේය.ඒ උතුරු දැල වෙත ඩී.කේෂාන් එල්ල කරන ලද ගෝලයකින් ය.

තරගාවලියේ හොඳම දැල් රකින්නා වූයේ නැගෙනහිර කණ්ඩායමේ මොහොමඩ් මුර්ෂිත් ය.අනාගතයට වටිනාම ක්‍රීඩකයා ලෙස ඇගයුම් ලබන්නට නැගෙනහිර කණ්ඩායමේ මොහොමඩ් මන්සිෆ් සමත් විය.සූරතා කුසලානය ජය සංකේත ප්‍රදානයට එක් වූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්යන් අතින් උතුරු කණ්ඩායමේ නායක එම් නිදර්ශන් අතට පත් විය.අනු සූරතාවය නැගෙනහිරි කණ්ඩායම වෙනුවෙන් නායකත්වය දුන් රාෂික් රිෂාඩ් අතට පත් විය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...

රනිල් බලන්න හරිනි ගිය කතාව බොරුවක් – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල "අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක...