Saturday, December 3, 2022
spot_img

Latest Posts

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (හයවන කොටස)

ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතු වූ නිදන්ගත ප්‍රශ්නය දිගින් දිගටම රාජ්‍ය අයවැය හිඟයක් නඩත්තු කිරීම. ඒ අයවැය හිඟයට නිදහසින් පසු රට පාලනය කළ හැම ආණ්ඩුවක්ම සම්මාදම් වී තිබෙනවා. කොපමණකින්ද කියන එක පිළිබඳ ඇස්තමේන්තුවක්ද සිවුවන කොටසෙහි මා ඉදිරිපත් කළා. රුපියල් ට්‍රිලියන 17 ඉක්මවන ලංකාවේ රාජ්‍ය ණය කන්දරාවෙන් තුනෙන් එකක්ම 1977-1989 කාලයේ එකතු වූ ණයයි. 2004-2014 කාලයේදී එකතු වී තිබෙන රාජ්‍ය ණය ප්‍රමාණය 1977-1989 කාලයේ එකතු වූ ප්‍රමාණයෙන් බාගයක් පමණ ප්‍රමාණයක්.

ඒ වගේම, මේ ආණ්ඩු ජාතික සමාජවාදී ආණ්ඩු, කේන්සියානු ආණ්ඩු හා ලිබරල් ජාත්‍යන්තරවාදී ආණ්ඩු ලෙස මා වර්ග කළා. මේවා ඉරි ඇඳ වෙන් කරන්න අසීරු දළ වර්ග කිරීම්. බොහෝ ආණ්ඩු එහි ප්‍රමුඛ ආර්ථික දැක්ම අනුව එක ගොඩකට දැම්මත් වෙනත් ගොඩක ලක්ෂණත් යම් පමණකින් හෝ දකින්න පුළුවන්. ලංකාවේ ආණ්ඩු වලට ලිබරල් ජාත්‍යන්තරවාදී ලක්ෂණ එකතු වනු දැකිය හැක්කේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් පසුවයි. ඊට පෙර ආණ්ඩු අඩු වැඩි වශයෙන් ජාතික සමාජවාදී ආණ්ඩු හෝ කේන්සියානු ආණ්ඩු. රාජ්‍ය ණය අර්බුදයක් රටේ ඇති කළේ මේ දෙවර්ගයේ ආණ්ඩු විසිනුයි.

ජාතික සමාජවාදී ආණ්ඩු හා කේන්සියානු ආණ්ඩු රාජ්‍ය අයවැය හිඟයට දායක වුනේ එකම ආකාරයෙන් නෙමෙයි. රාජ්‍ය මූලික නිෂ්පාදනයට මුල් තැන දුන් ජාතික සමාජවාදී ආණ්ඩු ඒ හරහා අකාර්යක්ෂමතාවයන් දිරි ගන්වා ආදායම් අහිමි කරගත්තා. අයවැය හිඟයට මූලික හේතුව වූයේ මේ අකාර්යක්ෂමතාවයයි. මෙයින් වෙනස්ව කේන්සියානු ආණ්ඩු රාජ්‍ය මූලික ආයෝජන හරහා රටේ ආදායම් වැඩි කර ගැනීම ඉලක්ක කරමින් ආදායම් ඉක්මවා වියදම් කළා. ජාතික සමාජවාදී ආණ්ඩු යටතේ අයවැය හිඟයක් පැවතීම ඔවුන් විශ්වාස කළ ක්‍රමයේ ප්‍රශ්නයක් හා අතුරු ඵලයක් මිස එම ආණ්ඩු වලට අවශ්‍ය වූ දෙයක් නෙමෙයි. එහෙත්, කේන්සියානු ආණ්ඩු යටතේ අයවැය හිඟය පුළුල් වීම ඔවුන්ගේ සැලසුමේම කොටසක්. එම ආණ්ඩු අයවැය හිඟය ප්‍රශ්නයක් සේ සැලකුවේ නැහැ.

මේ වන විට ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට ආසන්න හේතුව අයවැය හිඟය නෙමෙයි. එය විදේශ අංශයේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට අප තවමත් අවතීර්ණ වී නැහැ. මේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය ඇති වුනේ අයවැය හිඟය හිඟය නිසා ඇති වූ හා ඇති වන්නට නියමිතව තිබුණු ප්‍රශ්න වලට විසඳුම් සෙවීමේ ප්‍රවේශ තුළයි. ගෙවුම් ශේෂ ප්‍රශ්නය සාපේක්ෂව මෑතකාලීන ප්‍රශ්නයක්. ඒ නිසාම, රාජ්‍ය ණය ප්‍රශ්නයට සාපේක්ෂව, විසඳා ගන්න පහසු ප්‍රශ්නයක්. එහෙත්, රාජ්‍ය ණය ප්‍රශ්නය විසඳා ගන්නා තුරු නැවත නැවත ගෙවුම් ශේෂ ප්‍රශ්නය මතු විය හැකියි.

ගෙවුම් ශේෂ ප්‍රශ්න පැත්තකින් තිබ්බොත් ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට මෙතෙක් රාජ්‍ය ණය ප්‍රශ්නය දරුණුවට දැනී නැහැ. රාජ්‍ය ණය හෝ රාජ්‍ය අයවැය හිඟය ඒ හේතුව නිසාම ප්‍රශ්නයක් වන්නේ නැහැ. ප්‍රමාණවත් තරම් දේශීය ඉතිරි කිරීම් තිබේනම් රජයට රට ඇතුළේම භාණ්ඩාගාර බිල්පත් අලෙවි කර අවශ්‍ය අරමුදල් හොයා ගන්න පුළුවන්. බොහෝ රටවල සිදු වන්නේ එයයි. එහෙත්, රට ඇතුළෙන් ප්‍රමාණවත් අරමුදල් සොයා ගත නොහැකිනම් මේ වෙනුවෙන් විශාල පොලියක් ගෙවන්න සිදු වෙනවා. ගෙවන්න සිදු වන පොලිය ඕනෑවට වඩා වැඩිනම් (විදේශ ණය ගැනීමට පෙර) මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් අලෙවි කළ හැකියි. එය උද්ධමනයට හේතු වනවා තමයි. එහෙත් උද්ධමනය හරහා වෙන්නේත් වක්‍ර ලෙස බද්දක් අය කරනවා වගේම වැඩක්. උද්ධමනය දරාගත හැකි මට්ටමක තිබෙන තුරු මේ ක්‍රමයටත් අයවැය හිඟය පියවා ගන්න පුළුවන්.

නිදහසින් පසු ලංකාවේ ඉතිහාසය තුළ කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති වල උච්ඡතම අවස්ථාව සේ සැලකිය හැක්කේ 1980 වසරයි. එම වසරේදී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 19.2% දක්වා ඉහළ ගියා. උද්ධමනය 26.1% දක්වා ඉහළ ගියා. මිනිස්සුන්ට ජීවත් වීම බොහෝ අසීරු වුනත්, ආණ්ඩුව වැටුණේ නැහැ. ආණ්ඩුවේ ජනප්‍රියත්වය තවත් වසර ගණනාවක් යන තුරු එලෙසම තිබුණා. එයට එක් හේතුවක් වුනේ 1970-1977 ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති යටතේ මිනිස්සුන්ට විඳින්න සිදු වූ පීඩාවන් පිළිබඳ මතකයන් ඒ වන විටද ගිලිහී නොතිබීමයි. පැවති තත්ත්වය ඊට සාපේක්ෂව හොඳ තත්ත්වයක් ලෙස බොහෝ දෙනෙක් දකින්න ඇති. ගාණ කීය වුනත් කඩේ බඩු තිබුණා!

උද්ධමනය ඉහළ යාම හැම දෙනෙකුටම නරක නැහැ. එහිදී යම් පිරිසකගේ ආදායම් ඉහළ යනවා. 1980දී පීඩාවට පත් වුනේ මාස් පඩි ලබාගත් රජයේ සේවකයෝ. ඔවුන් ජූලි වර්ජනයට පෙළඹුණේ ඒ නිසා. ජූලි වර්ජනය නිසා රැකියා අහිමි වූ ඇතැම් රාජ්‍ය සේවකයින් කරන්න දෙයක් නැති කමට පටන් ගත් ඇතැම් ව්‍යාපාර අද වන විට දැවැන්ත ව්‍යාපාර බවට පත් වී තිබෙනවා.

කොහොම වුනත්, ලංකාවට දරාගත හැකි කේන්සියානු ප්‍රසාරණයක සීමාව 1980 වසරේදී ලකුණු වුණා. ඉන් පසු වසර වලදී අයවැය හිඟය හා උද්ධමනය පාලනය කිරීමද ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති වල ඉලක්කයක් වුනා. ඒ වගේම, මේ දෙකම යම් තරමකින් හෝ පාලනය වුනා. පසුකාලීනව පොලී අනුපාතික පහළින් තබා ගැනීමද ප්‍රමුඛතාවයක් බවට පත් වුනා. ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති වලට නැවත අවස්ථාවක් ලැබුණේ නැහැ. ලිබරල් ජාත්‍යන්තරවාදී ප්‍රතිපත්ති කේන්සියානු ප්‍රතිපත්ති වල විකල්පය බවට පත් වුනා. මා පළමු ලිපියේ සඳහන් කළ පරිදිම මේ හැම දෙයක්ම සිදුවුනේ ඒවා සිදු වුනු ඓතිහාසික තත්ත්වයන් තුළයි. එක දෙයක් සිදු වන්නේ ඊට පෙර සිදු වූ දේවල් වල ප්‍රතිඵලයක් විදිහටයි.

ලංකාවේ දේශපාලනය තුළ ජාතික සමාජවාදය අසාර්ථක වී මුළුමනින්ම ප්‍රතික්ෂේප වීමෙන් පසුව අපට දැකිය හැක්කේ රාජ්‍යමූලික ප්‍රසාරනාත්මක ආර්ථික ප්‍රතිපත්ති හා පෞද්ගලික අංශයට මුල් තැන දෙන ලිබරල් ජාත්‍යන්තරවාදී ප්‍රතිපත්ති අතර සිදු වන දෝලනයක්. චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් පටන් ගත් දෙවැනි ක්‍රමයේ වත්මන් ප්‍රකාශකයා රනිල් වික්‍රමසිංහ. වත්මන් සන්දර්භය තුළ පළමු ක්‍රමය බැසිල් රාජපක්ෂ-ජයසුන්දර-කබ්රාල් ක්‍රමය ලෙස හඳුන්වන්න පුළුවන්. එහෙත් එම ක්‍රමය ජේආර් ජයවර්ධනගේ ක්‍රමයෙන් වෙනස් වන නිශ්චිත තැනක් තිබෙනවා. ඒ විදේශ විණිමය ප්‍රතිපත්තියයි. සජිත්, චම්පික වගේ අය ඔය විකල්ප දෙක අතර ස්ථානගත වෙන්න තැනක් හොයමින් සිටින බව පේනවා. ජවිපෙ විසින් රට තුළ කලක සිටම ප්‍රතික්ෂේප වී තිබෙන ජාතික සමාජවාදී රාමුව ඇතුළට වෙළඳපොළ සංකල්ප ඇතුළු කර ගෙන පිළිසකර කර ගැනීමේ අසාර්ථක උත්සාහයක නිරතව සිටිනවා.

ලිබරල් ජාත්‍යන්තරවාදී නිදහස් වෙළඳපොළක් මත පදනම් වූ ප්‍රතිපත්තියකට ලංකාව මේ වෙද්දී මුහුණ දෙන අසමතුලිතතා වඩා පහසුවෙන් සමතුලිත කළ හැකියි. හැබැයි ඒ වෙනුවෙන්, කේන්සියානුවාදීන් විසින් ඉලක්ක කරන ආර්ථික වර්ධනය කැප කරන්න වෙනවා. ආර්ථික විද්‍යාඥයෙක් ලෙස බැලුවොත් පළමු ක්‍රමය වඩා කාර්යක්ෂමයි. හැබැයි ලංකාව කේන්ද්‍ර කරගෙන ආර්ථික ප්‍රතිපත්ති හැදීමේදී එම ප්‍රවේශය තුළ මතු වන ප්‍රශ්න තිබෙනවා.

ලාංකිකයෙකුට කැමති වෙලාවක සංචාරය හෝ ස්ථිර පදිංචිය පිණිස ඇමරිකාවට පැමිණීමටත්, එසේ පැමිණ තමන් කැමති රැකියාවක් කරන්නත් නිදහස තිබෙනවානම් ලිබරල් ජාත්‍යන්තරවාදී නිදහස් වෙළඳපොළක් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්න පුළුවන්. එහෙත් එවැනි තත්ත්වයක් නැති බව අපි දන්නවා. ඒ නිසා, ජාත්‍යන්තරවාදී නිදහස් වෙළඳපොළක් තුළ ලංකාවේ භූමි මායිම් ඇතුළේ ජීවත් වීමට සිදුව ඇති කෙනෙකුට සිදුවන යහපත හා අයහපත ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ලංකාව කේන්ද්‍ර කරගත් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෙකුට සිදු වෙනවා. එසේ නොකරන මතවාදයකට ලංකාව තුළ දේශපාලන බලය ලබා ගන්නත් බැහැ. කෙටියෙන් කිවුවොත් ලංකාවේ රජයකට ආර්ථිකය කෙරෙහි කිසිදු මැදිහත්වීමක් නොකර වෙළඳපොළටම ඉඩ දී බලා ඉන්න බැහැ. වෙනත් කිසිදු රටක් එසේ කරන්නේත් නැහැ.

ජයවර්ධන ආණ්ඩුව කාලයේ විශාල අයවැය පරතරයක් ඇති වුනේ රට විවෘත කරපු නිසා නෙමෙයි. රට විවෘත කිරීමේ සාධනීය ප්‍රතිඵල ඉතා පැහැදිලියි. අයවැය පරතරයට හේතු වුනේ කඩිනම් මහවැලි ව්‍යාපෘතිය වැනි රාජ්‍යමූලික ආයෝජන. මේ පරතරයෙන් සැලකිය යුතු කොටසක් පියවුනේ විදේශ ණය වලින්.

කේන්සියානු තර්කනය අනුව මුලින් රජය මුල් වී වියදම් කළත් එහිදී සිදු කරන ආයෝජන වල ප්‍රතිලාභ වලින් ඒ වියදම් පියවන්න පුළුවන්. ඒ අනුව බැලුවොත් රජය ණය වෙන එක ඒ හේතුව නිසාම ප්‍රශ්නයක් නෙමෙයි. අනූව දශකයේ ආරම්භයේ සිට පැවති තත්ත්වය දෙස බැලුවොත්, රාජ්‍ය ණය ඉහළ යද්දී රටේ ආදායම් මට්ටමද සමාන්තරව ඉහළ ගොස් තිබෙනවා. විචලනය වීම් සිදු වුනත්, දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය ස්ථාවරව තිබෙන්නේ ඒ නිසා. ආදායම් ඉපැයීම් නොසලකා හරිමින් අපට කේන්සියානු තර්කනය එකවර බැහැර කරන්න බැහැ.

රාජපක්ෂ දශකය තුළ ලංකාවේ දදේනි හතර ගුණයකින් වැඩි වුනා කියන එක රාජපක්ෂවාදීන් විසින් කියන කතාවක්. මේ කතාව බොරුවක් බවත්, විණිමය අනුපාතය පාලනය කිරීම හරහා පෙන්වා තිබෙන මායාවක් බවත්, මීට කලින් පැහැදිලි කර තිබෙනවා. හැබැයි ඔය හතර ගුණයේ කතාව පැත්තකින් තිබ්බත් ඔය වසර දහය තුළ ලංකාවේ දදේනි 86%කින් ඉහළ ගියා. මේ කාලය තුළ රාජ්‍ය ණය ඉහළ ගියේ ඊට වඩා ගොඩක් අඩුවෙන්. ආර්ථික වර්ධනය ගැන රාජපක්ෂවාදීන් කියන ජනප්‍රිය කතාව බොරු අතිශයෝක්තියක් වනවාක් මෙන්ම රාජපක්ෂ ණය පිළිබඳව රාජපක්ෂ විරෝධීන් කියන කතාවත් බොරු අතිශයෝක්තියක්. ඒ කාලයේ රාජ්‍ය ණය ඉහළ ගියත් ඊට වඩා වැඩියෙන් දදේනි ඉහළ ගියා.

ඉහත සංඛ්‍යාලේඛණ ඇතුළේත් විණිමය අනුපාතය පාලනය කිරීම නිසා ඇති වූ විකෘතියක් තිබෙනවා. ඒ ගැන පසුව කතා කරමු. හැබැයි ඒ විකෘතිය සැලකිල්ලට ගත්තත් ඔය කාලයේ ගත්ත ණයට වඩා සිදු වූ ආර්ථික වර්ධනය වැඩියි. පහත වගුවේ පෙන්වා තිබෙන්නේ එක් එක් කාල වකවානු වල ලංකාවේ දදේනි වෙනස් වූ ප්‍රමාණය 2021 සැප්තැම්බර් මූර්ත රුපියල් වලින්. ඒ කියන්නේ උද්ධමනය නිසා මුදලේ වටිනාකම වෙනස් වීමේ බලපෑම ඉවත් කරලා. රාජ්‍ය ණය ලෙස පෙන්වා තිබෙන්නේ අදාළ කාල වකවානු වල ගත් ණය වලට පොලී එකතු වී, විණිමය අනුපාතය සමඟ අගය වෙනස් වීමෙන් පසුව, 2021 සැප්තැම්බර් වන විට වටිනාකම.

පරණ අවුරුද්දේ අන්තිම ලිපිය විදිහට මෙය පළ කරන්න හිතාගෙන හිටියත් දන්නෙම නැතුව මැදියම් රැය පහුවෙලා. ඒ අනුව, මෙය 2022 වසරේ පළ කෙරෙන පළමු ලිපිය වෙනවා. ලංකාවට වගේම ලෝකයටත් මේ එළඹෙන වසර අභියෝගාත්මක වසරක්. අවංකවම ඉදිරි වසර දෙස ශුභවාදීව බලන එක ලේසි නැහැ. පුරෝකථනයක් ලෙස නොවුනත්, අඩු වශයෙන් ප්‍රාර්ථනාවක් ලෙස පාඨක ඔබ සැමට සුබ නව වසරක් !

ඉකොනොමැට්ටා

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (පස්වන කොටස)

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.