*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (නවවන කොටස)

ලංකාවේ ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය පිළිබඳ සාකච්ඡාව මෙතෙක් කේන්ද්‍රගත වුනේ රාජ්‍ය ණය අර්බුදය වටා. මෙය අලුත් ප්‍රශ්නයක් නෙමෙයි. ආසන්න වශයෙන් නිදහස ලැබූ කාලයේ සිටම ක්‍රමයෙන් වර්ධනය කරනු ලැබූ, ප්‍රධාන වශයෙන්ම ජාතික සමාජවාදී ප්‍රතිපත්ති නිසා ඇති වූ, ප්‍රශ්නයක්. 1972 වන විටත් ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 71.2%ක් දක්වා ඉහළ ගිහින්.

වසරින් වසර එක දිගටම අයවැය හිඟයක් නඩත්තු කළ ලංකාව, මහ බැංකුව පිහිටවූ තැන් පටන්ම, අයවැය හිඟය පියැවීම පිණිස සල්ලි අච්චු ගහන එක දිගින් දිගටම කළා. මේ විදිහට සල්ලි අච්චු ගහද්දී රට ඇතුළේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යන වේගයට වඩා වේගයෙන් රුපියල් සැපයුම ඉහළ ගියා. එහි ප්‍රතිඵලය රට ඇතුළේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමයි. එහෙත්, 1965 පමණ වන තුරුම විණිමය අනුපාතය වෙනස් නොවුණු නිසා ආනයනික භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියේ නැහැ.

දේශීය භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමත්, ආනයනික භාණ්ඩ හා සේවා මිල එසේ ඉහළ නොයාමත් සිදු වෙද්දී අපනයන පහළ ගොස් ආනයන ඉහළ යනවා. රටට විදේශ විණිමය එනවාට වඩා වැඩියෙන් රටෙන් එළියට විදේශ විණිමය යනවා. නිදහස ලබද්දී ලංකාව සතුව සැලකිය යුතු විදේශ විණිමය සංචිතයක් තිබුණු නිසා කාලයක් යන තුරු මෙය ප්‍රශ්නයක් වුනේ නැහැ. එහෙත්, 1964 වෙද්දී මේ සංචිත අවසන් වුනා.

දේශීය භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියා කියා කිවුවත් බොහෝ විට මිල පාලනය හරහා මේ සැබෑ මිල ඉහළ යාම නිරූපණය වෙන්න දුන්නේ නැහැ. එහෙත්, මෙසේ කිරීමේදී වෙන්නේත් රට තුළ භාණ්ඩ හිඟයක් ඇති වී ආනයනික භාණ්ඩ ඉල්ලුම ඉහළ යාමයි.

ඒ වගේම, මෙහිදී සංචිත අවසන් වුනා කියන එකෙන් අදහස් කෙරෙන්නේ දැන් සිදු වී තිබෙනාවක් මෙන් දළ සංචිත අවසන් වීමක් නෙමෙයි. ශුද්ධ සංචිත අවසන් වීමක්. ඒ කියන්නේ ලංකාවේ විදේශ වත්කම් ඉක්මවා විදේශ බැරකම් ඉහළ යාමක්. එය සිදු වූ තැන් පටන්ම ලංකාව ලෝකයට ණයකරුවෙක්.

මේ විදිහට ලංකාවේ විදේශ වත්කම් ඉක්මවා විදේශ බැරකම් ඉහළ යාමත් සමඟ ලංකාවට මුල් වරට දරුණු ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන්න වුනා. අර්බුදය හමුවේ 1965දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න වුනා. ප්‍රශ්නය විසඳුනා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිටෙන් ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගත්තත්, එයින් පසුවද ලංකාවේ අයවැය හිඟය එසේම නඩත්තු වුනා. අයවැය හිඟය පියවන්න සල්ලි අච්චු ගහන එක නැවතුනේත් නැහැ. ඒ නිසා, දිගින් දිගටම රුපියල අවප්‍රමාණය කරන්න සිදු වුනත්, 1977 වන තුරු අවශ්‍ය පමණට රුපියල අවප්‍රමාණය කෙරුණේ නැහැ. ඒ නිසා, දිගින් දිගටම ගෙවුම් ශේෂ ප්‍රශ්න ආවා. නැවත නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න වුනා.

ගෙවුම් ශේෂ ප්‍රශ්නයට විසඳුමක් ලෙස සමගි පෙරමුණු ආණ්ඩුව ආනයන පාලනය කළා. එහෙත්, එයින් සිදු වුනේ රට තුළ විශාල භාණ්ඩ හිඟයක් ඇති වීම පමණයි. ආර්ථික වර්ධන වේගයද විශාල ලෙස පහත වැටුනා.

ගෙවුම් ශේෂ ප්‍රශ්නය සඳහා විසඳුමක් ලෙස හැත්තෑ හතේ බලයට පත් වූ ජයවර්ධන රජය විණිමය අනුපාතය නිවැරදි කළා. ඒ ප්‍රශ්නය විසඳුනා. එහෙත්, ගෙවුම් ශේෂ ප්‍රශ්නයට පාදක වූ රාජ්‍ය ණය ප්‍රශ්නය එලෙසම තිබුණා. ජයවර්ධන රජය විණිමය අනුපාතය පාලනය කිරීම ප්‍රශ්නයක් සේ හඳුනා ගත්තත්, අයවැය හිඟය හෝ රාජ්‍ය ණය ප්‍රශ්නයක් සේ දැක්කේ නැහැ. ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය වුනේ රජය මුල් වී ණය ගෙන ආයෝජනය කිරීමයි. මෙහි වූ උපාය මාර්ගය වූයේ අදාළ ආයෝජන වල ප්‍රතිලාභ වලින් ගත් ණය හා පොලිය ගෙවා අමතර ලාබයක්ද ලැබීමයි.

දිගින් දිගටම අයවැය හිඟය නඩත්තු වුනා. 1989 වෙද්දී රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 108.7%ක් දක්වා තව දුරටත් ඉහළ ගියා. එහෙත්, කාලයත් සමඟ ණය වී කළ ආයෝජන වල ප්‍රතිඵල ලැබුණා. 1948-1977 යුගයට සාපේක්ෂව ආර්ථික වර්ධනය ඉහළ ගියා. ඒ නිසා, දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය තව දුරටත් ඉහළ නොගොස් ස්ථාවර වුනා.

සල්ලි අච්චු ගැසීම දිගටම සිදු වීම නිසා උද්ධමනය ඉහළ යද්දී පෙර යුගයේදී මෙන්ම ගෙවුම් ශේෂ ප්‍රශ්න ආවත් ඒ හැම විටකම විණිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න ඉඩ හැර ප්‍රශ්නය විසඳා ගත හැකි වුනා. 1977-87 කාලයේ රජය මුල් වී සිදු කළ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් විදේශ ණය ලබා ගැනීම නිසා රටේ ශුද්ධ විදේශ බැරකම් ඉහළ ගියත් 1987-2004 අතර කාලයේ රටේ ශුද්ධ විදේශ බැරකම් එසේ විශාල ලෙස ඉහළ ගියේ නැහැ. අයවැය හිඟය දිගටම පැවතුණත් එය බොහෝ දුරට පියැවුනේ උද්ධමනාත්මක මූලාශ්‍රද ඇතුළත්ව දේශීය ණය වලින්. ඒ නිසා, අයවැය හිඟය ඉහළ යද්දී උද්ධමනයද ඉහළ ගොස් විණිමය අනුපාතිකය මත පීඩනයන් ඇති වුනා. ඒ හැම විටෙකම විණිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න ඉඩ හැරීමෙන් පසු ප්‍රශ්නය විසඳුනා. කෙටියෙන් කිවුවොත්, නිදහසේ සිටම පැවති රාජ්‍ය ණය අර්බුදය එලෙසම තිබුණත්, ගෙවුම් ශේෂ ප්‍රශ්නය අද පවතින ආකාරයේ අර්බුදකාරී මට්ටමකට ඔඩු දිවුවේ නැහැ.

මේ තත්ත්වය වෙනස් වුනේ 2004-2014 කාලය තුළ ආරම්භ කළ රුපියල අධිප්‍රමාණය කිරීමේ පරීක්ෂණය තුළයි. ප්‍රශ්නය දරුණුම අඩියකට පත් කරනු ලැබුවේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව 2010 වසරේදීයි. අද ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය 1947 සිට වර්ධනය වන රාජ්‍ය ණය අර්බුදයට සම්බන්ධ දෙයක් වුවත්, ඒ නිසාම ඇති වූ දෙයක් නෙමෙයි. මේ ප්‍රශ්නය සාපේක්ෂව මෑතකාලීනව හදාගත් ප්‍රශ්නයක්. රාජ්‍ය ණය අර්බුදය ප්‍රශ්නයක් වුවත්, ඒ ප්‍රශ්නය සමඟම වුවත් ලංකාවට තවත් කාලයක් ඉදිරියට යා හැකිව තිබුණා. එසේ කළ නොහැකි තැනකට රට පත් වුනේ අලුතෙන් හදාගත් විදේශ විණිමය අර්බුදය නිසයි.

ලංකාවේ රාජ්‍ය ණය අර්බුදයක් ඇති වීම පැවති ඓතිහාසික සන්දර්භය තුළ නිසගයෙන්ම සිදු වූ දෙයක්. ඒ බව මා විස්තර කර තිබෙනවා. ඒ හේතුව නිසා ඉදිරි කාලයේදී වුවත් රාජ්‍ය ණය අවුල ලෙහා ගන්න පහසු නැහැ. කෙටියෙන් කිවුවොත් රටේ බහුතරයක් ඒ අවුලේ පැටලී ඉන්න කැමතියි. එහෙත්, විදේශ ණය අර්බුදය එවැනි ඓතිහාසික සන්දර්භයක් තුළ හැදුනු අර්බුදයක් නෙමෙයි. එය යම් ආකාරයක අහම්බයක්. අදාළ වකවානුව තුළ වගකිවයුතු තනතුරු අතළොස්සක වෙනත් අය සිටියේනම් මේ අර්බුදය ඇති වන්නේ නැහැ. මෙය අනවශ්‍ය ප්‍රශ්නයක් ඇඟේ දමා ගැනීමක්! ඉල්ලං කෑමක්!!

ලංකාවේ ආර්ථිකයේ දිගුකාලීන නිදන්ගත ප්‍රශ්නය වන රාජ්‍ය අයවැය හිඟය හා එම හිඟය පියවීමට සල්ලි අච්චු ගැසීම නිසා දිගින් දිගටම විණිමය අනුපාතය මත පීඩනයක් ඇති වුනා. එම පීඩනය නිදහස් වෙන්න ඉඩ නොලැබුණු විට ගෙවුම් ශේෂ ප්‍රශ්න ඇති වුනා. පීඩනය නිදහස් වෙද්දී රුපියලේ විදේශ අගය පිරිහුනා. හරියටම කිවුවොත් එහි වූ පිරිහීම වඩා නිවැරදිව පිළිබිඹු වුනා. ඩොලරයේ මිල දිගින් දිගටම ඉහළ ගියා එහෙත් ආර්ථිකය වර්ධනය වුනා.

මෙසේ තිබියදී, 2004-2014 කාලයේදී ලංකාව විශ්වකර්ම දේශීය විසඳුමක් හොයා ගත්තා. ඒ සල්ලි අච්චු ගැසීම දිගටම කරන අතර විදේශ ණය ලබා ගනිමින් ඩොලරයේ මිල ස්ථාවරව තබා ගැනීමයි. මේ අපූරු විසඳුම මගින් ලංකාවේ සාර්ව ආර්ථික නිර්ණායක හැම එකක්ම වගේ හොඳ අතට හරවන්න හැකි වුනා. හරියටම කියනවානම් හොඳින් ඇති බව පෙන්වන්න හැකි වුනා. ඇතැම් අය සිතනවාක් මෙන්, ඒ සඳහා බොරු සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන්න අවශ්‍ය වුනේ නැහැ.

මේ අපූරු විශ්වකර්ම දේශීය විසඳුම ගැන පැහැදිලි කරන්න කලින් ඒ වන විට පැවති සාර්ව ආර්ථික සමතුලිතතාවය තේරුම් ගනිමු.

විසඳුමට පෙර යුගය

අයවැය හිඟය: රජය ආදායම ඉක්මවා වියදම් කරයි. අයවැය හිඟය පියවීම සඳහා දේශීය ණය, විදේශීය ණය හා සල්ලි අච්චු ගැසීම යන ක්‍රම තුන යොදා ගැනේ. (සල්ලි අච්චු ගැසීමද දේශීය ණය වල කොටසකි. මෙහි දේශීය ණය යන්නෙන් කළේ උද්ධමනාත්මක නොවන මූලාශ්‍ර වලින් ලබා ගන්නා දේශීය ණයයි.)

උද්ධමනය: සල්ලි අච්චු ගැසීමට අනුරූපව ඉහළ යයි.

පොලී අනුපාතික: දේශීය ණය ඉහළ යාමට අනුරූපව ඉහළ යද්දී, උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුව විසින්ද ඉහළ දමයි.

විණිමය අනුපාතය: උද්ධමනය ඉහළ යාමට සාපේක්ෂව ඉහළ යයි.

විදේශ ආයෝජන සඳහා ප්‍රතිලාභ: පොලී අනුපාතික ඉහළ නිසා රුපියල් වලින් වැඩි ප්‍රතිලාභයක් ලැබුණත්, විණිමය අනුපාතය ඉහළ යාම නිසා එතරම් විශාල නැත. රටේ පවතින ආයෝජන-හිතකර වාතාවරණය වැනි මූර්ත සාධක නිසා නොවේනම්, ලංකාවට ණය දීම හෝ ලංකාවේ ආයෝජනය කිරීම විශේෂයෙන් ආකර්ශනීය නැත.

ගෙවුම් ශේෂය: විණිමය අනුපාතය ඉහළ යාමට ඉඩ දීම හරහා වැඩි අපහසුවක් නැතිව සමතුලිතව පවත්වා ගත හැක.

රාජ්‍ය ණය ඉහළ යාම: අයවැය හිඟය නිසා රාජ්‍ය ණය ඉහළ යයි. ඊට අමතරව ඉහළ පොලී අනුපාතික නිසාත්, ඉහළ යන විණිමය අනුපාතය නිසාත් රාජ්‍ය ණය වැඩි වේගයකින් ඉහළ යයි.

ආර්ථික වර්ධනය: රාජ්‍ය වියදම් බදු වලට වඩා වැඩි නිසා තරමක් දුරට විභව මට්ටම ඉක්මවා ආර්ථිකය වර්ධනය වෙයි. ඒ නිසා, දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ස්ථාවරව පවතී.

අර අපූරු විශ්වකර්ම දේශීය විසඳුමෙන් මේ හැම දෙයක්ම වඩා හොඳ අතට වෙනස් කළේ කොහොමද?

විසඳුමට පසු යුගය

අයවැය හිඟය: පෙර මෙන්ම රජය ආදායම ඉක්මවා වියදම් කරයි. අයවැය හිඟය පියවීම සඳහා දේශීය ණය, විදේශීය ණය හා සල්ලි අච්චු ගැසීම යන ක්‍රම තුන යොදා ගැනේ.

විණිමය අනුපාතය: උද්ධමනය ඉහළ යාමට සාපේක්ෂව ඉහළ නොයයි. රජය මැදිහත් වී දේශීය වෙළඳපොළට දිගින් දිගටම ඩොලර් මුදා හැරීම මගින් විණිමය අනුපාතය ස්ථාවරව තබා ගනී.

විදේශ ආයෝජන සඳහා ප්‍රතිලාභ: පොලී අනුපාතික පෙර යුගයට සාපේක්ෂව අඩු වුවත් විදේශ රටවලට සාපේක්ෂව තවදුරටත් ඉහළ මට්ටමක පවතී. විණිමය අනුපාතය අවප්‍රමාණය නොවන නිසා ඩොලර් වලින්ද එම ඉහළ ප්‍රතිලාභයම ලැබේ. රුපියලේ මිල ඉහළ යද්දී ඩොලර් ප්‍රතිලාභ රුපියල් ප්‍රතිලාභද ඉක්මවයි. රටේ ආයෝජන-හිතකර වාතාවරණයක් නොපැවතියද, ණය ආපසු නොලැබීමේ අවදානමක් නැත්නම් ලංකාවේ ආයෝජනය කිරීම ඉතාම වාසිදායකය.

උද්ධමනය: සල්ලි අච්චු ගැසීමට අනුරූපව දේශීය භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යයි. එහෙත්, විණිමය අනුපාතය ඉහළ නොයන බැවින් ආනයනික භාණ්ඩ වල මිල අවශ්‍ය පමණ ඉහළ නොයයි (අදාළ විදේශ රටවල පවතින උද්ධමනය අනුව පමණක් ඉහළ යයි). ඒ නිසා, පෙර යුගයට සාපේක්ෂව උද්ධමනය අඩු මට්ටමක පවතී.

ගෙවුම් ශේෂය: ආනයනික භාණ්ඩ වලට සාපේක්ෂව දේශීය නිෂ්පාදන වල පිරිවැය ඉහළ යාම නිසා වෙළඳ ශේෂය ක්‍රමයෙන් ඉහළ යයි. එහෙත්, විදේශ ආයෝජන සඳහා ලැබෙන ඉහළ ප්‍රතිලාභ හේතුවෙන් මූල්‍ය ගිණුමට විදේශ විණිමය ලැබේ. එමගින් ගෙවුම් ශේෂය සමතුලනය කර ගත හැකිය. එසේ මූල්‍ය ගිණුමට ලැබෙන විදේශ විණිමය යොදා ගැනීමෙන්ම විණිමය අනුපාතයද ස්ථාවරව පවත්වා ගත හැකිය.

පොලී අනුපාතික: සල්ලි අච්චු ගැසීම සිදු වුවද විණිමය අනුපාතය පාලනය වී තිබීම නිසා සල්ලි අච්චු ගැසීමට අනුරූපව උද්ධමනය ඉහළ නොයයි. උද්ධමනය පාලනය කිරීමේ අවශ්‍යතාවය අඩු නිසා මහ බැංකුව විසින් පොලී අනුපාතික පෙර යුගයට සාපේක්ෂව පහළින් තබා ගනී. විදේශ ණය විශාල වශයෙන් ලබා ගන්නා බැවින් දේශීය ණය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් එපමණ නැත. ඒ නිසා, නාමික පොලී අනුපාතික මෙන්ම මූර්ත පොලී අනුපාතිකද පහළින් තබා ගත හැකිය. ඇතැම් විට දේශීය ආයෝජකයන්ට ලැබෙන මූර්ත පොලී අනුපාතික සෘණ අගයක් ගනී. එහෙත්, විණිමය අනුපාතය අවප්‍රමාණය නොවීම හෝ අධිප්‍රමාණය වීම නිසා විදේශ ආයෝජකයන්ට තවදුරටත් ඉහළ ප්‍රතිලාභ ලැබේ.

රාජ්‍ය ණය ඉහළ යාම: අයවැය හිඟය පුළුල් වීම නිසා රාජ්‍ය ණය ඉහළ යයි. එහෙත් සාපේක්ෂව පහළ පොලී අනුපාතික නිසාත්, ස්ථාවර විණිමය අනුපාතය නිසාත් රාජ්‍ය ණය පෙර යුගයට සාපේක්ෂව අඩු වේගයකින් ඉහළ යයි.

ආර්ථික වර්ධනය: රාජ්‍ය වියදම් බදු වලට වඩා වැඩි නිසා විභව මට්ටම ඉක්මවා ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙයි. මූර්ත පොලී අනුපාතික සෘණ මට්ටමක හෝ ඉතා අඩු මට්ටමක ඇති නිසා දේශීය ණය ඉල්ලුම හා පරිභෝජනය ඉහළ යයි. රාජ්‍ය මූලික ආයෝජන නිසාද ආර්ථිකය ප්‍රසාරණය වේ. ඒ නිසා, දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය පහළ බසී.

කොයි තරම් අපූරු විසඳුමක්ද?

ඔබට මේ අපූරු දේශීය විසඳුමෙහි ඇති ප්‍රශ්නය පෙනෙනවද? එසේ නොපෙනෙන්නේනම් එය පුදුමයක් නෙමෙයි. මේ ප්‍රශ්නය දැකිය හැකි වූයේ ඉතා සුළු පිරිසකට පමණයි. ප්‍රශ්නයෙහි ප්‍රතිඵල පෙනෙන්නට තිබුණත්, බොහෝ දෙනෙකු තවමත් එම නරක ප්‍රතිඵල මිස ප්‍රශ්නය දකින්නේ නැහැ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan