Sunday, December 4, 2022
spot_img

Latest Posts

කඩා වැටෙන්නට නියමිත පොන්සි ක්‍රීඩාව

රුපියල් විස්සක් ගෙවා ක්ෂණික ලොතරැයියක් මිල දී ගන්නා කෙනෙක් එසේ කරන්නේ ඇයි? එවැන්නෙකු මේ ලොතරැයියේ ජයග්‍රාහකයෙකු වී රුපියල් මිලියන ගණනක ත්‍යාගයක් හිමි වීමේ යම් ඉඩක් තිබෙන නිසා. එහෙත්, බොහෝ විට සිදු වන්නේ තමන්ගේ අතේ තිබුණු රුපියල් විස්සත් නැති වෙන එකයි.

ලොතරැයියක් මිල දී ගන්නා අයෙක් එසේ කරන්නේ මේ බව නොදැන නෙමෙයි. පළමු ලොතරැයියෙන් කිසිදු දිනුමක් නොලබන අයෙකු ඇතැම් විට තවත් ලොතරැයියක් මිල දී ගන්නවා. එයින්ද දිනුමක් නොලැබුණොත් ඇතැම් විට තෙවන ලොතරැයියක්ද මිල දී ගන්නවා. මෙසේ කරන්නේ නොඇදුනු දිනුම දෙවන, තෙවන වර හෝ ඇදෙයි කියා හිතාගෙනයි.

කවුරු හරි අතේ විශාල ධනයක් තිබෙනවානම්, ඔය විදිහට එකින් එක ලොතරැයි සියල්ල සූරා ගෙන ගියොත් අනිවාර්යයෙන්ම දිනුම් සියල්ල ඔහුට හෝ ඇයට ලැබෙනවා. මේ ගැන කිසිදු සැකයක් නැහැ. එහෙමනම්, ධම්මික පෙරේරා වගේ කෙනෙක් වෙළඳපොළේ තිබෙන ලොතරැයි සියල්ල එක වර මිල දී නොගන්නේ ඇයි?

රත්නපුර පැත්තේ ඇතැම් මැණික් ව්‍යාපාරිකයින් ඔය වගේ වැඩ කරන අවස්ථා තිබුණත්, ධම්මික පෙරේරා වගේ කෙනෙක් කවදාවත් ඔය වගේ දෙයක් කරන්නේ නැහැ. මොකද ඔය වැඩේ කළොත්, එසේ කරන තැනැත්තාට දිනුම් සියල්ලම අනිවාර්යයෙන්ම හිමි වන නමුත් ඒ සියලුම දිනුම් මුදල් මෙන් දෙගුණයක හෝ තුන් ගුණයක් ඒ වෙද්දී වැය වෙලා.

ධම්මික පෙරේරා ව්‍යාපාරික ලෝකයට ඔළුව දාගත්තේ රට පුරා ජැක්පොට් මැෂින් හයි කරමින්. ඒ දවස් වල පිස්සුවෙන් වගේ ජැක්පොට් ගැසූ අය රට පුරාම හිටියා. ජැක්පොට් ක්‍රීඩකයින්ගෙන් දෙකේ කාසි වලට සෑහෙන ඉල්ලුමක් තිබුණා. ජැක්පොට් ක්‍රීඩාවෙන් දිනුම් සේ ලැබෙන්නේ ජැක්පොට් යන්ත්‍රයක් ඇතුළට යන දෙකේ කාසි වලින්ම යම් ප්‍රමාණයක් පමණයි. ඊට අමතරව, යන්ත්‍රය ඇතුළේ දෙකේ කාසි හැදෙන්නේ නැහැ. හැබැයි ඇතුළට යන දෙකේ කාසි සියල්ල නැවත එළියට එන්නේ නැහැ. යන්ත්‍රය ඇතුළේ දෙකේ කාසි පිරෙන්න කලින් ධම්මික පෙරේරා ඇවිදින් යන්ත්‍රය හිස් කරනවා. ඉතිරි වන දෙකේ කාසි ඔහුගේ සාක්කුවට යනවා.

ජැක්පොට් ක්‍රීඩාවේ යෙදුනු ක්‍රීඩකයෝ මේ බව නොදැන හිටියා නෙමෙයි. ජැක්පොට් ක්‍රීඩාව තහනම් නොකළේනම් මිනිස්සු දිගින් දිගටම ජැක්පොට් ගහනවා. අද ලොතරැයි ගන්න අයත් කරන්නේ මෙයමයි.

සමාගමක කොටස් මිල දී ගන්නා අයෙකු කරන්නෙත් යම් තරමකින් ජැක්පොට් ගහනවා වගේ වැඩක්. මේ ක්‍රීඩාවෙන් දිනන්න හෝ පරදින්න පුළුවන්. එහෙත්, දිගින් දිගටම සමාගමක කොටස් වෙනුවෙන් මුදල් ආයෝජනය කරන අයෙක් බොහෝ විට දිනනවා මිසක් පරදින්නේ නැහැ. මොකද කෙටිකාලීනව සමාගමක කොටස් මිල ඉහළ පහළ යාම අහඹු ලෙස සිදු වුවත්, එය තනිකරම අහඹු ලෙස සිදු වන්නේ නැහැ. දිගුකාලීනව සමාගමක කොටස් මිල ඉහළ පහළ යන්නේනම් එම සමාගම් කොටස් වල වටිනාකම ඇත්තටම අඩු වැඩි වන ආකාරය පිළිබිඹු කරමින්.

සමාගමක කොටස් වල සැබෑ වටිනාකම ඇත්තටම ඉහළ නොගියත්, කවර හෝ හේතුවක් නිසා කෙටිකාලීනව මිල ඉහළ යන අවස්ථා තිබෙනවා. මේ වගේ වෙලාවක එම කොටස් මිල දී ගන්නා අයෙකුට දිගුකාලීනව පාඩුවක් සිදු වෙනවා. ඒ පාඩුව සිදු වන්නේ යම් මොහොතක කොටස් මිල එහි සැබෑ වටිනාකම දක්වා එක වර ක්ෂණිකව පහත වැටීමෙනුයි. එසේ වුවත්, ඒ කඩා වැටීම සිදු වන තුරු යම් කාලයක් කොටස් මිල ඉහළ යා හැකියි. අවදානමක් ගන්න කැමති අයෙකුට මේ කාලය තුළ කොටස් වෙළඳපොළ ගනුදෙනු වලින් සාමාන්‍ය ලාබය ඉක්මවන විශාල ලාබයක් උපයන්න පුළුවන්. හැබැයි මෙය සැබෑ ආයෝජනයකට වඩා සූදුවක්!

කොටස් වෙළඳපොළේ වගේම වෙනත් ඕනෑම වෙළඳපොළක මිල බුබුළු හැදෙන්න පුළුවන්. එය ධනවාදී ක්‍රමයක් ඇතුළේ සිදු වන දුලබ නොවන සිදු වීමක්. බොහෝ විට වගේ මිල බුබුලක් හදන්න දායක වෙන්නේ අතරමැදියෝ. ඒ නිසාම, බොහෝ විට මිල බුබුල කඩා වැටුණු විට පාඩුව විඳින්න වෙන්නේත් ඔවුන්ටයි.

මිල බුබුලක් හැදී ඇති විට එය මිල බුබුලක් බව දන්න, එය කොයි මොහොතක හෝ කඩා වැටෙන බවත් දන්න, බොහෝ දෙනෙක් නොවටිනා මිලක් ගෙවා යම් භාණ්ඩයක් හෝ වත්කමක් මිල දී ගන්නවා. එසේ නොවටිනා මිලක් ගෙවා යම් භාණ්ඩයක් හෝ වත්කමක් මිල දී ගන්නේම මිල බුබුල කඩා වැටෙන්න කලින් වෙනත් අයෙකුට අදාළ භාණ්ඩය හෝ වත්කම විකුණා ලාබයක් ලැබීමේ අරමුණින්. වෙනත් වචන වලින් කිවුවොත් තමන්ට පාඩුවක් වෙන්න කලින් අදාළ භාණ්ඩය හෝ වත්කම කාගේ හෝ ඇඟේ ගැසිය හැකිය යන විශ්වාසයෙන්.

මිල බුබුළු කියන්නේ ධනවාදී වෙළඳපොළක ස්වභාවික ලෙසම බිහි වන පොන්සි ක්‍රීඩාවක් වැනි දෙයක්. බුබුල හැදෙන කාලය තුළ ක්‍රීඩා කරන ඕනෑම කෙනෙකුට ජයග්‍රාහකයෙකු සේ තරඟයෙන් ඉවත් විය හැකියි. පරාජිතයින් නැහැ. එහෙත්, ජැක්පොට් යන්ත්‍රයක් තුළ දෙකේ කාසි හැදෙන්නේ නැතුවාක් මෙන්ම, අදාළ වත්කමේ මිල ඉහළ යාමට සාපේක්ෂව එහි සැබෑ වටිනාකම ඉහළ යන්නේ නැති නිසා යම් මොහොතක මිල බුබුල පුපුරා යනවා. ඒ වන විට තරඟය තුළ රැඳී සිටින සියල්ලන්ම පරාජිතයින් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් පොන්සි ක්‍රීඩාවක් අවසන් වන්නේත් මේ ක්‍රමයටමයි.

ධනවාදී ක්‍රමයක් තුළ පොන්සි ක්‍රීඩා බිහි වීම ධනවාදී ක්‍රමයට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේ විදිහට හැදෙන හෝ හදන පොන්සි ක්‍රීඩාවක් අවසන් වන යාන්ත්‍රනයද ධනවාදය තුළම තිබෙනවා. ආර්ථික අවපාත වලදී බොහෝ විට වෙන්නේත්, ධනවාදී ක්‍රමයක් තුළ බිහි වන පොන්සි ක්‍රීඩා කෙළවර වීමක් වැනි දෙයක්.

ධනවාදී බටහිර ලෝකයේ ආර්ථික අවපාතයක් ඇති වෙන හැම වෙලාවකම වගේ මෙය ධනවාදයේ කඩා වැටීමක් සේ සලකමින් සතුටු වන පිරිසක් ඉන්නවා. මේ පිරිස අතර සිටින හැමෝම සමාජවාදීන් නොවුනත්, සමාජවාදීන් සාමාන්‍යයෙන් ඉන්නේත් මේ කණ්ඩායමේ. එහෙත්, ආර්ථික අවපාතයක් කියා කියන්නේ ඇත්තටම ධනවාදය ස්ථාවර වෙමින් ඉදිරියට යන ක්‍රියාවලියේම කොටසක්.

ධනවාදයේ පාදක මූලධර්මයක් වන්නේ කිසියම් භාණ්ඩයක හෝ සේවාවක මිල තුළින් එහි සැබෑ වටිනාකම නිරූපණය විය යුතු බවයි. මිල බුබුලක් පවතින විට මෙය සිදු වන්නේ නැහැ. මිල බුබුලක් පිපිරෙද්දී වෙන්නේ අදාළ භාණ්ඩයේ මිල එහි සැබෑ වටිනාකම නිරූපණය වන පරිදි නිවැරදි වීමක්. ආර්ථික අවපාත හරහා වෙන්නේ කිසියම් ආර්ථිකයක සමස්තයක් ලෙස මිල මට්ටමේ තිබෙන වැරැද්දක් නිවැරදි වීමක්. එයට සමාන්තරව සාර්ව-ආර්ථික නිර්ණායක ගණනාවක තිබෙන “වැරදි” ආර්ථික අවපාතයකදී නිවැරදි වෙනවා. ආර්ථිකයක් “කඩා වැටීමේදී” වෙන්නෙත් මේ වගේම දෙයක්. ඒ කියන්නේ වෙළඳපොළ ආර්ථිකයක සැබෑ තත්ත්වය සාර්ව-ආර්ථික නිර්ණායක වලින් පිළිබිඹු වීමක්.

වරින් වර ආර්ථික අවපාත පැමිණියත් ධනවාදී ආර්ථිකයක් දිගින් දිගටම වර්ධනය වෙනවා. මේ වර්ධනය සිදු වන්නේ විද්‍යාවේ දියුණුවට සමාන්තරව කියා කියන්නත් පුළුවන්. විද්‍යාව කියා කියන්නේ බටහිර විද්‍යාව. ආර්ථිකයක් තුළ බුබුලක් හැදෙද්දී සිදු වෙන්නේ මේ විදිහට විද්‍යාවේ දියුණුවට සමාන්තරව “සැබෑ” වටිනාකම් ඉහළ යාම ඉක්මවා ආර්ථිකය වර්ධනය වීමක්. මේ වගේ දෙයක් සිදු වන අවස්ථාවක වර්ධනය සිදු වන්නේ සැබෑවටම වටිනාකම් ඉහළ යාමක් නිසාද නැත්නම් බුබුලක් හැදීම නිසාද කියන එක ඇතැම් විට ප්‍රායෝගිකව මතු වන ප්‍රශ්නයක්. ඇතැම් අවස්ථා වලදී, සැබෑවටම වටිනාකම් ඉහළ යාමක් ලෙස රජයක් විසින් පෙන්වන තත්ත්වයක් බුබුලක් බව පැහැදිලි වන්නේ බුබුල පිපිරුනාට පසුවයි.

ධනවාදී ආර්ථිකයක බුබුළු ඇති වීම ඉතාම සාමාන්‍ය සංසිද්ධියක් වගේම ධනවාදී ක්‍රමය පිළිබඳව කනස්සළු වීමට කාරණයක් නෙමෙයි. එහෙත්, ධනවාදී ක්‍රමයක් තුළ බොහෝ දෙනෙකු විසින් අපේක්ෂා කරන දිගුකාලීන ආර්ථික වර්ධනය යම් හේතුවක් නිසා නවතිනවානම් හෝ කඩා වැටෙනවානම් එහි කනස්සළු විය යුතු කාරණයක් තිබෙනවා. බටහිර විද්‍යාවේ වර්ධනය යම් හේතුවක් නිසා නැවතුනොත් හෝ කඩා වැටුනොත් එය ධනවාදී ආර්ථිකයන්හි වර්ධනයට සෘජු බලපෑමක් කළ හැකියි.

බටහිර විද්‍යාව දිගින් දිගටම වර්ධනය වනු ඇති බවට අපට සහතිකයක් තිබේද? මෙය ප්‍රශ්න කරන විවිධ කණ්ඩායම් සිටිනවා. බටහිර විද්‍යාව දිනෙන් දින දියුණු වන බව අප බොහෝ දෙනෙකු විසින් විශ්වාස කරනවා. එහෙත් එය විශ්වාසයක් පමණයි. විද්‍යාව විසින් විසඳන ප්‍රශ්න වලට වඩා ඒ නිසා ඇති කරන ප්‍රශ්න වැඩි බව විශ්වාස කරන කණ්ඩායම්ද සිටිනවා. ඇතැම් පරිසරවාදීන් සිටින්නේ මේ ගොඩේ. මේ දවස් වල ඇතැම් එන්නත් විරෝධීන්ද මේ ගොඩට එකතු වී සිටිනවා.

විද්‍යාව විසින් අප පරම සත්‍යයක් කරා ගෙන යන බවට දාර්ශනික සහතිකයක් නැහැ. ඒ හේතුව නිසාම, ධනවාදය හරහා ලඟා කරගත හැකි දිගුකාලීන සංවර්ධනය සැබෑ ප්‍රගතියක් නොවන බව විශ්වාස කරන අයෙකුගේ එම විශ්වාසයට අභියෝග කළ හැකි දාර්ශනික පදනමක්ද නැහැ. එහෙත්, ඒ තත්ත්වය යටතේ වුවත් ධනවාදය හා සමාජවාදය කියන විකල්ප දෙක අතරින් ධනවාදය පහසු තෝරා ගැනීමක්. මොකද සමාජවාදයේ ඉලක්කය වන්නේද ධනවාදය ඉලක්ක කරන දිගුකාලීන සංවර්ධනයයි. ඒ ඉලක්කය කරා යාමේදී ධනවාදය වඩා කාර්යක්ෂමයි.

ලංකාව වෙත හැරුනොත්, ලංකාවේ ආර්ථිකයේ සිදු විය හැකි කඩා වැටීමකදී සිදු වන්නේ, හදා හෝ හැදී තිබෙන බුබුළු පුපුරා යාමක් පමණයි. එයින් දිගුකාලීනව රටට හෝ රටේ ජීවත් වන මිනිසුන්ට අයහපතක් වෙන්නේ නැහැ. කඩා වැටීමකින් පසුව සිදු විය හැක්කේ රට ඇත්තටම තිබෙන තැන සාර්ව-ආර්ථික නිර්ණායක වලින් නිවැරදිව නිරූපනය වීමක් පමණයි.

පසුගිය කාලයේ ලංකාවේ සාර්ව-ආර්ථික නිර්ණායක වලින් නිරූපණය වූ ප්‍රගතිය සැබෑ ප්‍රගතියක්ද?

මා මේ ප්‍රශ්නය අසන්නේ ධනවාදය හරහා ලඟා කරගත හැකි දිගුකාලීන සංවර්ධනය සැබෑ ප්‍රගතියක් නොවන්නේය යන සංවර්ධන විරෝධී ආස්ථානයක සිටිමින් නෙමෙයි. මෙය එවැනි සැබෑ ප්‍රගතියක් ධනවාදය හරහා (මෙන්ම අඩු කාර්යක්ෂමතාවයකින් වුවත් සමාජවාදය හරහාද) ලඟා කර ගත හැකිය යන විශ්වාසය මත පදනම්ව අසන ප්‍රශ්නයක්. එසේනම්, මේ ප්‍රගතිය එවැනි සැබෑ ප්‍රගතියක්ද? සැබෑ ප්‍රගතිය ඉක්මවූ මායාවක් පෙන්වන බුබ්බුලයක්ද? එවැනි බුබ්බුලයක් ඇත්නම්, බුබ්බුලයට යටින් සැඟවී තිබෙන සැබෑ ප්‍රගතිය කොපමණද?

පහත පළමු වගුවේ ඔබට දැකිය හැක්කේ ලංකාවේ හා ඇමරිකා එක්සත් ජනපදයේ වසර-1, වසර-5 හා වසර-10 බැඳුම්කර ඵලදා අනුපාතික සංසන්දනයක්.

සාමාන්‍යයෙන් ලංකාවේ රජය බැඳුම්කර වෙනුවෙන් ගෙවන පොලී අනුපාතික ඇමරිකාවේ එම අනුපාතික වලට වඩා 7-8% පමණ වැඩියි. එසේනම්, ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන බැඳුම්කර ඇමරිකාව විසින් නිකුත් කරන බැඳුම්කර වලට වඩා ආකර්ශනීය විය යුතුයි. එහෙත්, එය එසේ වන්නේ ඩොලරයක මිල ස්ථිරව තිබේනම් පමණයි. ඩොලරයක මිල සාමාන්‍යයෙන් වසරින් වසර ඉහළ යන නිසා ඇත්තටම ලැබෙන්නේ මීට වඩා අඩු ප්‍රතිලාභයක්. දෙවන වගුවෙහි ඔබට එම ඩොලර් ප්‍රතිලාභ දැකගත හැකියි.

විණිමය වෙනස්වීම් සැලකීමෙන් පසුවද ඇමරිකානුවෙකුට ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමෙන් ඇමරිකාවේදී ලබනවාට වඩා 2-3%ක පමණ ප්‍රතිලාභයක් ලැබිය හැකියි. මෙය ලංකාවේ ආයෝජනය කිරීමේ ඇති වැඩි අවදානම වෙනුවෙන් ඇමරිකානුවෙකු විසින් අපේක්ෂා කරන අධිභාරයයි. එම අවදානමේ කොටස් දෙකක් තිබෙනවා. පළමු කොටස ශ්‍රී ලංකා රජය විසින් ණය පැහැර හැරීමේ අවදානමයි. දෙවැනි කොටස විණිමය අනුපාතය වෙනස් වීමේ අවදානමයි.
දැන් අපි මෙහිදී කතා කරන්නේ ශ්‍රී ලංකා රජයේ රුපියල් ණය ගැන මිසක් ඩොලර් ණය ගැන නෙමෙයි. ඇමරිකාවේ රජයට (ෆෙඩරල් සංචිත බැංකුව හරහා) ඩොලර් අච්චු ගහන්න පුළුවන් වගේම ශ්‍රී ලංකාවේ රජයටත් (මහ බැංකුව හරහා) රුපියල් අච්චු ගහන්න පුලුවන්. ඒ නිසා, ශ්‍රී ලංකා රජය විසින් ගන්න රුපියල් ණය ආපසු නොගෙවීමේ අවදානම ඉතාම අඩුයි. මේ අධිභාරයට තනිකරම වගේ හේතු වෙන්නේ රුපියල් නැවත ඩොලර් කර ගැනීමේදී සිදු විය හැකි පාඩුවයි.

ලංකාවේ බැඳුම්කර පොලී අනුපාතික කොයි තරම් ඉහළ මට්ටමක තිබුණත්, ඩොලරයේ මිල විශාල ලෙස ඉහළ ගියොත් ඒවායේ ආයෝජනය කරන විදේශිකයෙකුට පාඩුවක් සිදු වෙනවා. උදාහරණයක් විදිහට 2018 වසර තුළ ඩොලරයක මිල 19.56%කින් ඉහළ ගියා. ඒ අවුරුද්දේ වසරක බැඳුම්කරයක පොලිය 11.20%. එය ඇමරිකාවේ එම පොලී අනුපාතය වූ 2.60%ට වඩා ගොඩක් ආකර්ශනීය වුවත් විණිමය අනුපාතය පිරිහීම නිසා ඩොලර් රුපියල් කරලා ලංකාවේ වසරක බැඳුම්කරයක ආයෝජනය කරන විදේශිකයෙකුට අවසාන වශයෙන් වෙන්නේ 10.96%ක පාඩුවක් විඳ දරා ගන්නයි. ඒ නිසා, රුපියල අවප්‍රමාණය වීමේ ඉඩකඩ ඉහළ යද්දී ලංකාවට එන ආයෝජන පහළ යනවා.

බොහෝ විට වෙනවා වගේ රුපියල අවප්‍රමාණය නොවී, අධිප්‍රමාණය වුනොත් වෙන්නේ කුමක්ද? දැන් විදේශිකයෙකුට ලංකාවේ භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කරලා ශ්‍රී ලාංකිකයෙකු ලබන ප්‍රතිලාභයත් වඩා වැඩි ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්. එක පැත්තකින් ඉහළ පොලී අනුපාතිකය. අනෙක් පැත්තෙන් ඩොලරයේ මිල පහළ යාම නිසා ලැබෙන වාසිය. ඩබල් බෝනස්!

රුපියල අධිප්‍රමාණය වෙද්දී විදේශිකයෙකුට ලැබෙන මේ වාසිය ලැබෙන්නේ රජය විසින් නිකුත් කරන බැඳුම්කර වල ආයෝජනය කළ විට පමණක් නෙමෙයි. කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කළත්, ඉඩමක් ගත්තත්, ලංකාවේ බැංකු ගිණුමක සල්ලි දැම්මත්, ලංකාවේ කාට හෝ ණයක් දුන්නත්, රුපියල් වලින් වෙන මොනවා හෝ ආයෝජනයක් කළත් මේ වාසියම ලැබෙනවා. ඒ නිසා, රුපියල අධිප්‍රමාණය වෙද්දී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළට විදේශ ආයෝජන ගලා එනවා. හැබැයි මේ විදිහට ලංකාවේ මොනවා හෝ වත්කමක ආයෝජනය කරන විදේශිකයෙක් එසේ කරන්නේ ඩොලරයේ මිල පහළ යාමේ වාසිය බලාගෙන මිසක් අදාළ වත්කම් වල සැබෑ වටිනාකම පිළිබඳ විශ්වාසයෙන් නෙමෙයි. මේක සුදූකරුවන් ආකර්ෂණය කර ගනිමින් පොන්සි ක්‍රීඩාවකින් ප්‍රයෝජනය ගැනීමක් වගේ දෙයක්.

රාජපක්ෂ රෙජීමයේ ආර්ථික උපක්‍රමය වුනේ මේ පොන්සි ක්‍රීඩාව හරහා ඩොලර් ණය රටට ආකර්ශනය කර ගැනීමයි. නමුත්, මේ වැඩේ කරන්නනම් රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙන එක ආපසු හැරවිය යුතුයි. රුපියල අධිප්‍රමාණය කිරීම හෝ එය කළ නොහැකිනම් අඩු වශයෙන් එක තැන තියා ගැනීම කළ යුතුයි. ඒ වගේම, රුපියල අවප්‍රමාණය වෙන්න නොදෙන බව ලංකාවේ ඩොලර් ආයෝජනය කළ හැකි අයට කෙසේ හෝ සංඥා කළ යුතුයි.

රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මහ බැංකුව විසින් වෙළඳපොළට අඛණ්ඩව ඩොලර් සැපයිය යුතුයි. එහෙත්, එය කළ හැක්කේ විදේශ සංචිත විශාල ප්‍රමාණයක් අතේ ඇත්නම් පමණයි. ලංකාව සතුව එවැනි විශාල සංචිත ප්‍රමාණයක් තිබුණේ නැහැ. ඒ නිසා, ලංකාව කළේ අවදානම් සහිත සූදුවකට අත ගහන එක. ඒ ස්වෛරිත්ව බැඳුම්කරයක් නිකුත් කර, එකවර විශාල ඩොලර් ප්‍රමාණයක් හොයා ගෙන එම ඩොලර් වල උදවුවෙන් විණිමය අනුපාතය පහළින් තියා ගැනීමයි.

ඩොලර් මිලියන 500ක් කියා කියන්නේ 2007 වන විට ලංකාව අරගෙන තිබූ වෙනත් විදේශ ණය වලට සාපේක්ෂව විශාල මුදලක්. වසර පහක ස්වෛරිත්ව බැඳුම්කරය සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගෙවන්නට පොරොන්දු වූ 8.25%ක කූපන් පොලී අනුපාතිකය එවකට (මෙන්ම දැනටද) ලංකාව විසින් විදේශ ණය සඳහා ගෙවූ පොලී අනුපාතික වලට සාපේක්ෂව ඉතාම පොලී අනුපාතිකයක්.

ස්වෛරිත්ව බැඳුම්කරයක ආයෝජනය කරන විදේශිකයෙකුට ලංකාවේ රුපියල් බැඳුම්කරයක ආයෝජනය කරද්දී මුහුණ දෙන්න සිදු වන ඩොලරයේ මිල වෙනස් වීමේ අවදානමට මුහුණ දෙන්න සිදු වන්නේ නැහැ. මොකද සල්ලි හා පොලිය ආපසු ලැබෙන්නේ ඩොලර් වලින්මයි. නමුත්, ලංකාවේ රජයට රුපියල් ණය දීමේදී එවැන්නෙකුට මුහුණ දෙන්න සිදු නොවන අවදානමක් මෙහි තිබෙනවා. ශ්‍රී ලංකාවේ රජයට රුපියල් අච්චු ගහන්න පුළුවන් වුනත්, ඩොලර් අච්චු ගහන්න බැහැ. ස්වෛරිත්ව බැඳුම්කර වෙනුවෙන් ගෙවන්න සිදු වූ ඉහළ පොලිය ඒ අවදානම වෙනුවෙන් ගෙවන්න වූ අධිභාරයයි.

ඉතා ඉහළ පොලියකට වුවත් එකවර විශාල ඩොලර් ප්‍රමාණයක් ලබා ගැනීමෙන් පසු ලංකාවට ඩොලරයක මිල ස්ථාවරව තියා ගන්න පුළුවන් වුනා. එහිදී රුපියල් වලින් ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන්ට ලැබෙන ප්‍රතිලාභද විශාල ලෙස ඉහළ ගියා. රටට ඩොලර් ගලා ගෙන එන්න පටන් ගත්තා. ඒ ඩොලර් වල උදවුවෙන් ඩොලරයක මිල දිගටම පහළින් තියා ගන්න පුළුවන් වුනා.

දැන් ක්‍රම දෙකකට රටට ඩොලර් එනවා. එක පැත්තකින් රජය විසින් කෙළින්ම ගන්න ඩොලර් ණය. අනෙක් පැත්තෙන් විදේශිකයෝ ඩොලර් රුපියල් කරලා ලංකාවේ රුපියල් වලින් ආයෝජනය කරනවා. මේ දෙකෙන්ම වෙන්නේ රටේ ඩොලර් සැපයුම ඉහළ යාම. මහ බැංකුව විසින් මේ ඩොලර් මිල දී ගෙන සංචිත වලට එකතු කර ගත්තානම් සැපයුම අඩු වී විණිමය අනුපාතය කලින් වගේම අවප්‍රමාණය වෙනවා. එවිට, පළමු ක්‍රමයට කෙසේ වෙතත් දෙවන ක්‍රමයට රටට එන ඩොලර් ප්‍රවාහ නවතිනවා. රජයේ ආර්ථික උපාය මාර්ගය වුනේම විණිමය අනුපාතය අවප්‍රමාණය වීම වලක්වා ගැනීම නිසා එවැන්නක් සිදු වුනේ නැහැ.

සාමාන්‍ය ක්‍රමයට අපනයන හෝ ප්‍රේෂණ වලින් රටට එන ඩොලර් ප්‍රමාණයට වඩා විශාල ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළට පැමිණි විට එම ඩොලර් සැපයුම හා ඉල්ලුම සමාන වන පරිදි ඉල්ලුම ඉහළ යනවා. ආනයන විශාල ලෙස ඉහළ යනවා. ආනයන ලාබදායක නිසා අපනයන හා ආනයන ආදේශක කර්මාන්ත බිඳ වැටෙනවා. සාමාන්‍ය ක්‍රමයට රටට එන ඩොලර් ප්‍රවාහ හිඳෙනවා. නමුත්, උද්ධමනය පහළ යනවා. පරිභෝජනය ඉහළ යනවා. ආයෝජනත් ඉහළ යනවා. දේශීය ණය අවශ්‍යතා සීමා වන නිසා පොලී අනුපාතිකත් පාලනය කර ගත හැකියි. සාර්ව-ආර්ථික නිර්ණායක හැම එකක්ම වගේ හොඳ වෙනවා.

හැබැයි මේ සියල්ල රඳා පවතින්නේ විණිමය අනුපාතය පාලනය කිරීම මත. විණිමය අනුපාතය පාලනය වෙන්නේ දිගින් දිගටම වෙළඳපොළට සපයන හෝ සැපයෙන ඩොලර් නිසා. එය නැවතුනොත් සියල්ල කණපිට හැරෙනවා. කොටි වලිගය අල්ලා ගත්තා වගේ වැඩක්. ඇත්තටම කොටි වලිගය අල්ලා ගත්තාටත් වඩා අවදානම් වැඩක්. මෙය යම් කිසි අවස්ථාවක අත හරින්නම සිදු වන කොටි වලිගයක්. ඒ ඇයි?

අපි හිතමු කවුරු හෝ විදේශිකයෙක් රුපියල් ලක්ෂ 150කට ලංකාවේ ඉඩමක් මිල දී ගත්තා කියලා. ඩොලරයක් රුපියල් 150යි. ඒ කියන්නේ ඩොලර් ලක්ෂයක් රටට ගේනවා. මේ ඩොලර් රුපියල් වලට මාරු කළහම රටේ ඩොලර් සැපයුම ඉහළ යනවා. ඩොලරයේ මිල පහළ යනවා. ආනයනික භාණ්ඩ වල මිල පහළ ගොස් ඉල්ලුම ඉහළ යනවා. ඩොලර් ලක්ෂය රටෙන් එළියට යනවා. මහ බැංකුව ඩොලර් ලක්ෂය මිල දී ගෙන සංචිත වලට එකතු කර ගත්තොත් මේ වැඩේ වෙන්නේ නැහැ.

අපි හිතමු වසර තුනකට පසුව ඉඩම රුපියල් ලක්ෂ 180ක් වුනා කියලා. මේ වෙද්දී ඩොලරය රුපියල් 180ක් වෙලානම් අර විදේශිකයාට ලැබෙන්නේ වසර තුනකට පෙර රටට ගෙනා ඩොලර් ලක්ෂය පමණයි. රුපියල් ගෙවා ඩොලර් වෙළඳපොළෙන් මිල දී ගනිද්දී ඩොලර් ඉල්ලුම ඉහළ ගොස් ඩොලරයේ මිල ඉහළ යනවා. මහ බැංකුව විසින් රටට කලින් ගෙන ආ ඩොලර් ලක්ෂය සංචිත වලට එකතු කරගෙන තිබුණානම් ඒ ඩොලර් ලක්ෂය විකුණලා විණිමය අනුපාතය පාලනය කර ගන්න පුළුවන්. සංචිත නැත්නම් ඩොලරයේ මිල ඉහළ යාම වලක්වා ගන්න රජයට කොහෙන් හෝ ඩොලර් ලක්ෂයක් ණයට ගෙන වෙළඳපොළට දමන්න වෙනවා. කොහොම වුනත්, ඉඩම් මිල වැඩි වන වේගයට වඩා වේගයෙන් ඩොලර් මිල වැඩි වන බව විදේශිකයා දැන සිටියේනම් ඔහු හෝ ඇය මේ සල්ලි ලංකාවට ගේන්නේ නැහැ.

අපි හිතමු ඩොලරය 150 මට්ටමේම තිබුණා කියලා. දැන් ඉඩම විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 180 මාරු වෙන්නේ ඩොලර් 120,000කට. රටින් එළියට යන අමතර ඩොලර් 20,000 කවදාවත්ම රටට ඇවිත් නැහැ. ඒ නිසා, ඒ ඩොලර් 20,000 රටින් ගෙනියන්න වෙන්නේ රටේ කවුරු හෝ විදේශ ණයක් අරගෙන ඩොලර් 20,000ක් රුපියල් කළොත්ම පමණයි. ඉන් පසු, ඒ ණය වෙනුවෙන් ඩොලර් වලින් පොලී ගෙවද්දීත් නැවත ඔය වගේම ප්‍රශ්නයක් මතු වෙනවා.

විණිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න නොදී තියා ගෙන සිටිමින් විදේශිකයන්ගෙන් රුපියල් ණය ගත් විට වෙන්නේත් ඔය ටිකමයි. රුපියල් ණය වෙනුවෙන් රුපියල් වලින් ගෙවන පොලිය ඩොලර් කරද්දී එළියට යන්නේ රටට කවදාවත් නොආ ඩොලර්. ජැක්පොට් මැෂිමක් ඇතුළේ දෙකේ කාසි පැටවු ගහන්නේ නැතුවාක් වගේම ලංකාව ඇතුළේ ඩොලර් පැටවු ගහන්නේත් නැති නිසා නැති නිසා රටට කවදාවත් නොපැමිණි ඩොලර් රටින් එළියට යනවා කියා කියන්නේ හැම විටම පියවන ණය ප්‍රමාණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් අලුතින් ගන්නම වෙනවා කියන එක. මේක පොන්සි ක්‍රීඩාවක්.

පොන්සි ක්‍රීඩාවක් කවදා හෝ කඩා වැටෙනවා. මේ පොන්සි ක්‍රීඩාව කඩා වැටෙන්නේ තව දුරටත් ණය ගන්න බැරි වූ දවසට. ඒ දවස එන තුරු රටේ හැමෝම ජයග්‍රාහකයෝ. මොකද සාර්ව-ආර්ථික නිර්ණායක හැම එකක්ම හොඳින් තියෙන්නේ විණිමය අනුපාතය අවප්‍රමාණය නොවීම නිසා. විණිමය අනුපාතය අවප්‍රමාණය නොවන්නේ එක්කෝ දිගටම ණය ගන්න නිසා. නැත්නම් දිගටම ණය ලැබෙන නිසා. දිගටම ණය ලැබෙන්නේ විණිමය අනුපාතය අවප්‍රමාණය නොවීම නිසා.

මේ ක්‍රමය පවත්වා ගන්න හැම වෙලාවේම ණය දෙන්න කැමති අළුත් ගනුදෙනුකරුවෙක්ව අල්ල ගන්න වෙනවා. බැරි වූ දවසට විණිමය අනුපාතය එක වර කඩා වැටෙනවා. උද්ධමනයද එක වර ඉහළ යනවා. හැබැයි විණිමය අනුපාතය වගේම මිල මට්ටමත් නවතින්නේ තිබිය යුතු තැන.

මේ ක්‍රීඩාව ආරම්භ කළ රාජපක්ෂලා තවමත් උත්සාහ කරන්නේ කවුරු හෝ අලුත් ක්‍රීඩකයින් පිරිසක් බඳවා ගෙන පොන්සි ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න. සමහර විට තවත් ටික කලක් ඔවුන් ඒ වැඩේ කරයි. හැබැයි මේ ක්‍රීඩාව පොන්සි ක්‍රීඩාවක්!

ඉකොනොමැට්ටා

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.