*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

සඳකැන් දහරින් වියෝවී ගෙවුණු විසි වසර …

කෘතහස්ත මාධ්‍යවේදියෙකු, ප්‍රකට ගීත රචකයෙකු මෙන්ම කවියෙකු වූ කිත්සිරි නිමල්ශාන්ත නම් අව්‍යාජ සහෘදයා නික්ම ගොස් පසුගිය ජනවාරි 14 වනදාට විසි වසක් සපිරිණි. මේ සටහන ඔහු වෙනුවෙනි.

1956 අගෝස්තු 14 වනදා දකුණු ලක හබරාදූවේ, කෝදාගොඩදී උපත ලද නානායක්කාර මාරගහවත්තේ කිත්සිරි නිමල්ශාන්ත අධ්‍යාපනය ලද්දේ ගාල්ල, මහින්ද විද්‍යාලයෙනි. පාසැල් වියේ සිටම කලාවට, ගීතයට තිබූ ඇල්ම හේතුවෙන් ඔහු සිය පළමු කෘතිය වශයෙන් ”කොතැනක හෝ වරදක් ඇත” නම් කාව්‍ය සංග්‍රහය ලියා පළ කළේය. එකල ගුවන්විදුලියේ ළමා පිටිය සමග ඔහුට තිබුණු සමීප ඇසුර, නිර්මාණකරණයට ඔහුට තිබුණු උපන් හපන්කම් තවතවත් ලියලා වැඩෙන්නට හේතුවක් විය. කෝදාගොඩ ගම්සභාවේ සභාපතිවරයා සහ හබරාදූව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා වූ එන්. නිමල්ශාන්ත නම් සිය පියාගේ ආභාශය ලබමින් වාමාංශික දේශපාලන දැක්මකින් පෝෂණය වූ කිත්සිරි නිමල්ශාන්තගේ ලේඛන දිවියට මෙන්ම නිර්මාණ දිවියට ද එහි ආභාශය නිතැතින්ම ලැබිණි.

1976 වසරේදී සිය පියාගේ අභාවයෙන් පසුව, බැංකු නිලධාරියෙකු වශයෙන් තමන් එතෙක් කළ රැකියාවෙන් සමුගෙන ඔහු වෘත්තීයමය වශයෙන් ලේඛනය සහ කවිකම වැළඳගත්තේය. ”ගීතා” නම් සඟරාවෙන් ආරම්භ කරන ලද ඔහුගේ පුවත්පත් ලේඛනය ”ඉරිදා” නම් විකල්ප පුවත්පත හරහා, පසුව ”දිවයින” පුවත්පතටත් විහිදී ගියේය. දිවයින පුවත්පතේ උප කර්තෘවරයෙකු, විශේෂාංග කර්තෘවරයෙකු, නියෝජ්‍ය කර්තෘවරයෙකු වශයෙන් කටයුතු කළ ඔහු දිනපතා ලක්බිම පුවත්පතේ කර්තෘවරයා වශයෙන් ද පත් වුණේය.

අදීන පුවත්පත් කලාවේදියෙකු වූ කිත්සිරි නිමල්ශාන්ත නිර්භයව සිය මතය ජනතාව අතරට ගෙනයාමට හා ජනමතයට මුල්තැනක් ලබාදීමට වුවමනාවකින් මෙන්ම විචාර බුද්ධියකින් ද කටයුතු කළ අයෙකි. මේ හේතුව නිසාවෙන්ම වයසට වඩා පරිණත පුවත්පත් කලාවේදියෙකු වශයෙන් ඔහුව සැලකිණි. ඔහු සිය ලේඛන කලාව පිළිබඳව පැවති අධ්‍යයනයේ, කියවීමේ, පර්යේෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් 1993 වසරේදී ”සිංහල පුවත්පත් තීරු ලිපියේ විකාශනය හා සන්නිවේදනය” නමින් පර්යේෂණ සංග්‍රහයක් ද එළිදැක්වූයේය.

භාෂාව, ව්‍යාකරණ පිළිබඳව වඩාත් අවධානයෙන් කටයුතු කළ ඔහු මීට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ දේශකවරයෙකු වශයෙන් ද කටයුතු කරනු ලැබීය. මේ ආදී වශයෙන් ඉතාම ඵලදායී සේවාවක් සිය වෘත්තීය ක්ෂේත්‍රය වෙනුවෙන් කළ කිත්සිරි නිමල්ශාන්ත නවක ලේඛකයන් වෙනුවෙන් අතහිත දෙන නිහතමානී, නිරහංකාර මානව හිතවාදී පුද්ගලයෙකු විය.

මාධ්‍යවේදියෙකු මෙන්ම ගීත පද රචකයෙකු වශයෙන් ද පෑන හැසිරවීමට නෛසර්ගික හැකියාවක් ඔහු සතු විය. කිත්සිරි නිමල්ශාන්තයන් තනුවකට නිරායාසයෙන්ම යොමුවන පදවැලක් නිර්මාණය කිරීමට උපන් කෞෂල්‍යයකින් යුතු විය. ඔහුගේ සාහිත්‍ය පරිශීලනයේ පැවති විදග්ධත්වය එකිනෙකට වෙනස් ගේය පද රචනා තුළින් මනාව පෙන්නුම් කෙරේ.

කිත්සිරි නිමල්ශාන්ත විසින් පද රචනා කළ ප්‍රථම ගීතය වූයේ ”ලොවේ කොයි කාටත් හොරෙන්” ගීතයයි. එය රෝහණ සිරිවර්ධන විසින් ගායනා කරණු ලැබිණි.

විවිධ ශෛලීන්, ගායන ප්‍රවාහයන් හා විවිධ ප්‍රස්තූත සිය නිර්මාණකරණයට මූලාශ්‍ර කරගත් නිමල්ශාන්ත පුංචි තිරයේ ටෙලිනාට්‍යවලට ද සිය හැකියාව මුසු කළේය. වෙද හාමිනේ ටෙලිනාට්‍ය වෙනුවෙන් ඔහු විසින් ලියන ලද, මාලිනී බුලත්සිංහල විසින් ගායනා කරන ලද ”සඳකැන් දහරින් දෙනුවෙන් පිපිලා” ගීතය මීට විසල් නිදසුනකි. එම වෙද හාමිනේ ටෙලිනාට්‍යයෙහි රඟ පෑ නළු නිළියන් අතරින් ද අද වනවිට ජීවතුන් අතර සිටින්නේ කමල් අද්දර ආරච්චි පමණි. සෙසු සියල්ලන්ම කිත්සිරි නිමල්ශාන්තයන් හා සමග එක් තැනක සිටිනවා විය යුතුය.

කිත්සිරි නිමල්ශාන්තයන් විසින් ලියන ලද සියලුම ගීත පාහේ අතිශයින්ම ජනාදරයට පත්වීම සුවිශේෂී ලක්ෂණයකි. රහසේ හඬනා අප පැතුම් (ක්ලැරන්ස් විජේවර්ධන – නීලා වික්‍රමසිංහ), නොබලන් කුමරිය (ටී. එම්. ජයරත්න), ආදරේ නෑ ආදරේ (සනත් නන්දසිරි), ආදරයේ වේදනාව හදට දැනුන යම් දවසක (නන්දා මාලිනී) යනාදී ගීත ඔබ කාගේත් මතකයෙහි රැඳී ඇතුවාට සැක නැත.

රූපකායෙන් කුඩා චරිතයක් වූ කිත්සිරි නිමල්ශාන්ත සිය ලේඛක හා නිර්මාණ දිවිය තුළ නාමකායෙන් හා ගුණකායෙන් සුවිශාල චරිතයක් විය. සුවිශේෂී පරිකල්පන ශක්තියකින් හෙබි නිර්මාණකරුවෙකු වූ ඔහු වයස අවුරුදු 46ක තරම් අඩු ආයු කාලයකින් අකාලයේ සමුගත් නමුත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ හා කලා ක්ෂේත්‍රය තුළ ඔහු විසින් කරන ලද නිර්මාණ හා ලේඛන චිරාත් කාලයක් යනතෙක් ඔහු පිළිබඳ කතිකාවක් ඇතිකිරීමට හේතුවනු ඇත.

  • සශිකලා මධුශානි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan