Thursday, February 9, 2023
spot_img

Latest Posts

මාර්තු 9 – අලුත් වෙනසක් !

මාර්තු 9 දින පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට නියමිතයි. මැතිවරණය නොපැවැත්වීමට ඇති ඉඩකඩ ගැන කසුකුසු වල ඉවරයක් නැතත්, මට පෙනෙන විදිහටනම් මැතිවරණය යෝජිත පරිදි නොපැවැත්වෙන්නට ප්‍රබල හේතුවක් නැහැ.

මේ මැතිවරණය අඩු වශයෙන් හේතු දෙකක් නිසා සුවිශේෂී මැතිවරණයක්. පළමුවැන්න, මේ වෙලාවේ දැකිය දේශපාලන බලතුලනයේ ස්වභාවයයි. දැකිය හැකි කියා කිවුවත් මේ කියන බලතුලනය හරියටම බලාගන්න වෙන්නේ මැතිවරණයෙන් පසුවයි. දෙවැන්න මැතිවරණය පැවැත්වෙන ආකාරයයි.

ලිපිය තුළ කතා කරන්න අපේක්ෂා කරන ප්‍රධාන දෙය ඉහත දෙවැන්න වුවත්, ඊට පූර්විකාවක් ලෙස පළමුවැන්න ගැනද කතා කරන්නට සිදු වෙනවා. මේ දෙක එකිනෙකට සම්බන්ධයි.

නිදහස ලැබූ අලුත සිට ලංකාවේ ක්‍රියාත්මක වූ ද්විපක්ෂ ක්‍රමය මේ වන විට බිඳ වැටිලා. අඩු වශයෙන් විශාල පරිවර්තනයකට ලක් වෙලා. ඓතිහාසික පසුබිම අනුව, ලංකාවේ ප්‍රධානම ජාතික පක්ෂය වූ එජාපය තව දුරටත් ප්‍රධාන ජාතික පක්ෂයක් සේ හැඳින්විය නොහැකි තරමට දිය වී ගිහින් ඉවරයි. අනෙක් ප්‍රධාන ජාතික පක්ෂය වූ ශ්‍රීලනිපය එම පක්ෂයේ ශක්තිය කලින්ම දුර්වල කර ගත්තා.

සම්ප්‍රදායික පක්ෂ වල කඩා වැටීම තීරණාත්මක ලෙස සටහන් වුනේ, ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයට එරෙහිව තරඟ කර ප්‍රධාන වශයෙන්ම එජාප ඡන්ද වලින් බලයට පත් වූ ජනාධිපති සිරිසේන විසින් ශ්‍රීලනිප නායකත්වය ලබාගැනීමත් සමඟයි. එහි ප්‍රතිඵලයක් විදිහට එජාපය හා ශ්‍රීලනිපය එකම කඳවුරක් බවට පත් වී, එයට විකල්පයක් ලෙස පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය මතු වුනා. විකල්ප නැති කරන්න යද්දී අලුත් විකල්ප මතුවීම සාමාන්‍ය තත්ත්වයක්.

ඉන්පසුව, එජාපය දෙකඩ වී සජබ හැදුණා. එජාප පාක්ෂිකයින්ගෙන් බහුතරය සජබ වෙත ඇදුනා. අවසන් ජාතික මැතිවරණය වූ 2020 මහ මැතිවරණයයේදී ප්‍රධාන බලවේග දෙක ලෙස මතුව තිබුණේ පොදුජන පෙරමුණ සහ සජබයි. පොදුජන පෙරමුණ විසින් රටේ ඡන්ද වලින් 59.1%ක් ලබා ගනිද්දී සජබ 23.9%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තා. එජාපය 2.2% දක්වා පහත වැටෙද්දී ජාජබ විසින් 3.8%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා.

නාම යෝජනා භාර ගෙන අවසන්ව ඇතත්, අදාළ සියලු තොරතුරු තවමත් ප්‍රසිද්ධ වී නැහැ. ප්‍රසිද්ධව ඇති තොරතුරු අනුව, තැන් කිහිපයක හැර, එජාපය තනිව තරඟ කරන්නේ නැහැ. මේ වන විට පවතින දේශපාලන වාතාවරණය තුළ, විශාල විකෘතියක් වුවත්, එජාපය සහ පොදුජන පෙරමුණ කටයුතු කරන්නේ එකම කණ්ඩායමක් ලෙසයි. මෙම කඳවුර තුළ එජාපය ප්‍රමාණාත්මක සුළුතරය වුවත්, පොදුජන පෙරමුණේ මතවාදය අසාර්ථක වී අතහැර දමනු ලැබීමෙන් පසුව, එහි මතවාදී නායකත්වය දරන්නේ එජාපයයි.

එජාප-පොහොට්ටු කඳවුර තුළ සිටින එජාපයේ ශක්තිය මහ මැතිවරණයෙන් පසුව තවදුරටත් දුර්වල වී ඇතැයි සිතන්නට හේතුවක් නැහැ. මහ මැතිවරණයේදීම එජාපය තවත් වැටෙන්නට තැනක් නැති තරමටම වැටුණා. රනිල් වික්‍රමසිංහ විසින් පොහොට්ටුවට හිසක් දැමීමේ ආශ්වාදය සමඟ එජාපය සතු වූ ඡන්ද ලක්ෂ දෙකහමාර සුළු වශයෙන් හෝ වැඩි වෙන්නට මිස අඩු වෙන්නට හේතුවක් නැහැ. එහෙත්, පොහොට්ටු ඡන්ද පදනමේ විශාල කඩා වැටීමකින් පසුව වුවද, එම කඳවුර තුළ එජාප ඡන්ද නියෝජනය පවතිනු ඇත්තේ ඉතා පහළ මට්ටමකයි.

ප්‍රධාන විපක්ෂය වන සජබය සතු වූ 23.9%ක ඡන්ද ප්‍රතිශතය අඩු වෙන්නට විශාල හේතුවක් නැහැ. අනෙකුත් පක්ෂ හා කණ්ඩායම් අතර බෙදී යාමට නියමිතව ඇත්තේ පොදුජන පෙරමුණ සතුවූ 59.1%ක ඡන්ද ප්‍රමාණයෙන් කැඩී යන කොටසයි. එම පෙරමුණට ඉතාම වාසිදායක තත්ත්වයක් යටතේ පවා, දැනට එම කඳවුර සතු දේශපාලන බලය විශාල ලෙස ගිලිහී යාම පැහැදිලි කරුණක්. අවිනිශ්චිත කරුණු වන්නේ ඒ කොපමණද හා කෙලෙසද යන්නයි. එජාප ගොඩද එකතු කළොත්, මේ කඩා වැටීම පටන් ගන්නේ 61.2%ක ප්‍රතිශතයක සිටයි. ඒ නිසා, මේ ගොඩෙන් තුනෙන් දෙකක්ම කඩා වැටුණත්, 20%කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ඉතිරි වෙනවා. බාගයක් කඩා වැටුනොත්, 30% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ඉතිරි වෙනවා.

පළාත් පාලන මැතිවරණ වලට වඩාත් සංවිධානාත්මක ලෙස මුහුණ දෙන්නේ ජාජබයයි. ප්‍රධාන පක්ෂ දෙකම කෙටි කලක් තුළ අසාර්ථක වීම තුළ පෙර කෙදිනකටත් වඩා එම කඳවුරට වාසිදායක ලෙස පිටිය සකස් වී තිබෙනවා. එම බිම් වාසියද ලබා ගනිමින්, ජාජබ කඳවුර සැලසුම්සහගත ලෙස කල් තබා සූදානම් වී, අලුත් ඡන්දදායකයින් හා පොදුජන පෙරමුණට සහාය දුන් පාවෙන ඡන්දදායකයින් විශාල ලෙස ආකර්ෂණය කර ගනිමින් සිටිනවා. කෙසේ වුවත්, ඔවුන්ට ගොඩ නැගෙන්නට සිදු වන්නේ 3.8% මට්ටමේ සිටයි.

ජාතික මට්ටමෙන් තරඟයක් දිය හැකි අනෙක් ප්‍රධානම කණ්ඩායම අලුතෙන් හදාගත් නිදහස් ජනතා සන්ධානය හෙවත් හෙලිකොප්ටර් සන්ධානයයි. ඒ තුළ සිටින සියලුම කණ්ඩායම් කලින් පොදුජන පෙරමුණේ කොටස්ව සිටි අයයි. අසාර්ථක වීමෙන් පසු පොදුජන පෙරමුණට ඉවත ලන්නට සිදු වූ එහි ආරම්භක මතවාදය මේ වන විට නියෝජනය වන්නේ මෙම කඳවුර තුළ බව කිව හැකියි. නිදහස් ජනතා සන්ධානයේ දේශපාලන බලය ප්‍රධාන වශයෙන්ම රැඳී තිබෙන්නේ ඉතිරිව ඇති ශ්‍රීලනිපයේ ශක්තිය මතයි.

මීට පෙර පැවැත්වුණු 2018 පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ විසින් 40.5%ක ඡන්ද ලබා ගනිද්දී ශ්‍රීලනිපය විසින් 12.1%ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත්තා. 2020 මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ ලැබූ 59.1%ක ඡන්ද ප්‍රතිශතය තුළ මෙම ශ්‍රීලනිප ඡන්දද තිබුණා. එම ඡන්ද රඳවා ගන්නා අතරම පොදුජන පෙරමුණෙන් ගිලිහෙන ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් රඳවා ගැනීමේ හැකියාවද නිදහස් ජනතා සන්ධානය සතුව තිබෙනවා.

ඉහත කඳවුරු හතරටම 15% ඉක්මවන හෝ ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ ශක්‍යතාවයක් තිබෙනවා. මීට පෙර මැතිවරණ වලදී එවැනි බල තුලනයක් පෙනෙන්නට තිබුණේ නැහැ.

ඉහත කඳවුරු හතරට අමතරව වාමාංශික පක්ෂ කිහිපයක්ද දිවයින පුරා තරඟ කරනවා. පවතින වාතාවරණය තුළ එම පක්ෂ වලට ලැබෙන ඡන්ද ප්‍රමාණ වල වුවද යම් වැඩි වීමක් සිදු විය හැකියි. ඊටත් අමතරව, එකම කණ්ඩායමක් ලෙස නොවුනත්, අරගලයට සම්බන්ධ වූ කණ්ඩායම් ප්‍රදේශ ගණනාවක් තුළ ස්වාධීන කණ්ඩායම් ලෙස තරඟ කරනවා. මැතිවරණයට පෙර ඒකාබද්ධ බලයක් ලෙස පෙනී සිටිය හැකිනම් ඔවුන්ටද සැලකිය යුතු නාගරික ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා.

ජනවාර්ගික පදනමින් දේශපාලනය කරන ප්‍රාදේශීය දේශපාලන පක්ෂ වලට පළාත් පාලන මැතිවරණ කොහොමටත් වාසිදායකයි. මේ සියලුම පක්ෂ හා කණ්ඩායම් අතර ඡන්ද බෙදී යද්දී බල තුලනය වඩාත් සංකීර්ණ වෙනවා.

ඉහත පසුබිම මතකයේ රඳවා ගනිමින් අපි මෙම මැතිවරණ පැවැත්වෙන ආකාරය දෙස බලමු.

මෙම මැතිවරණ පැවැත්වෙන්නේ කුඩා කොට්ඨාශ මත පදනම්වයි. අඩු වශයෙන් හැටේ දශකයේ හෝ ඉන්පසුව ඉපදුණු අයට මෙය අලුත්ම අත්දැකීමක්. මෙතෙක් බොහෝ දෙනෙකු දැන සිටි කුඩාම මැතිවරණ ඒකකය එක්කෝ ආසනයක්. නැත්නම් පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක්. මෙම මැතිවරණයේදී එක එක් පළාත් පාලන ආයතන බල ප්‍රදේශය කුඩා කොටස් ගණනාවකට කැඩෙනවා.

මැතිවරණ ආසන ලෙස ලංකාව කැඩෙන්නේ කොටස් 160කට පමණයි. පළාත් පාලන බල ප්‍රදේශ ලෙස කොටස් 340කට කැඩෙනවා. කොට්ඨාශ ක්‍රමය යටතේ ලංකාව ඡන්ද කොට්ඨාශ 4,919කට කැඩෙනවා. මෙම කොට්ඨාශයක් ඉතා කුඩා ප්‍රදේශයක්.

ලංකාවේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022ක් තිබෙනවා. මේ අනුව පෙනෙන පරිදි මැතිවරණ කොට්ඨාශයක් කියා කියන්නේ සාමාන්‍ය වශයෙන් ග්‍රාම නිලධාරී කොට්ඨාශ තුනක ප්‍රමණ ප්‍රදේශයක්. එහෙත්, ඇතැම් තැන් වල මැතිවරණ කොට්ඨාශයක් කියා කියන්නේ ග්‍රාම නිලධාරී කොට්ඨාශයකින්ද කොටසක්.

ලංකාවේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 65,610ක්. ඒ අනුව, මැතිවරණ කොට්ඨාශයක සාමාන්‍ය භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 13.3ක්. එනම් පැත්තක් කිලෝමීටර 3.65ක් වූ චතුරශ්‍රයක භූමි ප්‍රමාණය. ගොඩක් මැතිවරණ කොට්ඨාශ මීටත් වඩා පොඩියි.

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

කිලෝමීටර තුන හතරක දුරක් කියා කියන්නේ පහසුවෙන්ම බයිසිකලයකින් හෝ පයින් ඇවිද ගමන් කළ හැකි දුරක්. මේ වගේ පොඩි ප්‍රදේශයක ඡන්ද ප්‍රචාරණයේ යෙදෙන්න විශාල වියදමක් දැරිය යුතු නැහැ. ලංකාවේ නිවාස ඒකක ගණන ආසන්න වශයෙන් මිලියන 5ක් පමණ බව සලකද්දී, එක් මැතිවරණ කොට්ඨාශයක් කියා කියන්නේ ගෙවල් දහසක පමණ ප්‍රදේශයක්. අපේක්ෂකයෙකුට ගෙවල් දහසකට ගෙයින් ගෙට යාම වුවත් එතරම් අසීරු නැති වැඩක්.

ඉහත තත්ත්වයන් එක්ක ප්‍රධාන කඳවුරු හතරට වගේම කුඩා පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට වුවත් මැතිවරණ කොට්ඨාශයක් තුළ ඉදිරියට පැමිණීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම, ජාති, ආගම්, කුල හා ප්‍රාදේශීය සාධක වල බලපෑම් කැපී පෙනෙන ලෙස ඉස්මතු විය හැකියි.

පසුගිය පළාත් පාලන මැතිවරණ වලින් පසුවත්, ඊටත් පෙර 2015 ජනාධිපතිවරණයෙන් පසුවත්, සමාජ මාධ්‍ය වල සංසරණය වූ ප්‍රතිඵල සිතියම බොහෝ දෙනෙකුට මතක ඇති. එහි රටේ සිංහල-බෞද්ධ බහුතර ප්‍රදේශ සියල්ලම වගේ පොදුජන පෙරමුණේ දුඹුරු පැහැයෙන් වර්ණ ගන්වනු ලැබ තිබුණා. රටම එක් මැතිවරණ කලාපයක් සේ සැලකෙන ජනාධිපතිවරණයකදී ඡන්ද වල ප්‍රාදේශීය වෙනස්කම් ඉලිප්පීම නිවැරදි නොවුනත්, අදාළ සිතියමෙහි ආසන මට්ටමෙන් එවැනි චිත්‍රණය කිරීමක් සිදු කර තිබුණා.

ඉහත ආකාරයේ ප්‍රතිඵල සිතියමක් මේ මැතිවරණයෙන් පසුවද සංසරණය විය හැකියි. එහෙත් එහි පැහැය පුරෝකථනය කිරීම පහසු නැහැ.

ආසන මට්ටමේදී යම් නිශ්චිත පක්ෂයක් පැහැදිලි ජයග්‍රහණයක් ලබන විටදී පවා, ආසනය තුළ, ඡන්ද මධ්‍යස්ථාන මට්ටමේදී ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයන් දැකිය හැකියි. ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන් ලෙස හෝ නිරීක්ෂකයින් ලෙස කටයුතු කර ඇති අය මේ ගැන දන්නවා. මෙවැනි වෙනස්කම් මෙතෙක් පොදු සමාජයේ අවධානයට ලක් වුනේ නැහැ. එහෙත්, මෙවර එය සිදු විය හැකියි.

උදාහරණයක් ලෙස සුළුතර වාර්ගික හා ආගමික කොටස්, ඇතැම් කුල වලට අයත් අය, ගම්කාරයින් හා පිටින් ආ අය පදිංචි ප්‍රදේශ තරමක් ලොකු මැතිවරණ සිතියමක වෙන් වශයෙන් පෙනෙන්නේ නැහැ. එහෙත්, කොට්ඨාශ කුඩා වීමේදී මෙවැනි වෙනස්කම් හොඳින් කැපී පෙනෙන්න පුළුවන්. සුළුතර කණ්ඩායම් වල රුචිකත්වයන් වඩා හොඳින් නිරූපණය වීමක් නිසා මම මෙය නරක දෙයක් ලෙස සලකන්නේ නැහැ.

සාමාන්‍යයෙන් ඡන්දදායකයින් 1000-1500 අතර ප්‍රමාණයකට එක් ඡන්ද මධ්‍යස්ථානයක් වැටෙන නිසා එක් මැතිවරණ කොට්ඨාශයක් තුළ බොහෝ විට තිබෙනු ඇත්තේ ඡන්ද මධ්‍යස්ථාන දෙකක් හෝ තුනක් පමණයි. ඇතැම් විට එකක් පමණක් විය හැකියි. ගණන් කිරීමේ කටයුතුද ඡන්ද මධ්‍යස්ථාන තුළම සිදු වීමට නියමිත නිසාත්, ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන්නට අවශ්‍යනම් එසේ කිරීමට සිදු වන්නේ කොට්ඨාශය තුළම පිහිටි තවත් මධ්‍යස්ථානයකට නිසාත් ගණන් කිරීමේ කටයුතු ඉක්මණින් ආරම්භ කිරීමට ඉඩ ලැබේයැයි සිතිය හැකියි.

බොහෝ විට එක් කොට්ඨාශයක වලංගු ඡන්ද ප්‍රමාණය දෙදහසක් පමණ විය හැකියි. මෙවැනි ඡන්ද ප්‍රමාණයක් ගණන් කිරීම සඳහා විශාල කාලයක් ගත වන්නේ නැහැ. ඒ නිසා, මැතිවරණ ප්‍රතිඵල ඉක්මනින් ලැබෙන්න පුළුවන්. නමුත්, විවිධ සංකීර්ණ තත්ත්වයන් ඇති විය හැකියි.

උදාහරණයක් ලෙස සාපේක්ෂව අඩු ඡන්ද ප්‍රමාණයක් කණ්ඩායම් හතරක් හෝ වැඩි ගණනක් අතර බෙදී යද්දී කොට්ඨාශ එකක හෝ කිහිපයක සමාන-වැඩිම ඡන්ද වැටෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ජයග්‍රාහකයා තෝරන්න වෙන්නේ කුසපත් ඇදීමකින්. ඒ වගේම, මේ කුඩා බෙදීම තුළ, තැපැල් ඡන්ද වෙනම ගණන් කිරීමේ හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැහැ.

කොට්ඨාශ ක්‍රමය තුළ වුවත්, අපේක්ෂකයින් ඉදිරිපත් වන්නේ පක්ෂයක් හෝ කණ්ඩායමක් නියෝජනය කරමිනුයි. එසේ තේරී පත් වන නියෝජිතයෙකුට පසුව පක්ෂ මාරු කිරීමේ අයිතිය ඇත්ද යන්න මා දන්නේ නැහැ. මගේ අදහසනම් ඒ අයිතිය තිබිය යුතු බවයි. ප්‍රාදේශීය සාධක සැලකිල්ලට ගනිමින් හොඳම නියෝජිතයෙකු තෝරා ගැනීමට ඡන්දදායකයින්ට ඉඩ ලැබෙන්නේ එම අයිතිය නියෝජිතයාට ඇත්නම් පමණයි.

කොට්ඨාශ 4,919 අතරින් 4,750ක් කේවල නියෝජිත කොට්ඨාශයි. කොට්ඨාශ 165කින් නියෝජිතයින් දෙදෙනෙකු බැගින්ද, තවත් කොට්ඨාශ 4කින් නියෝජිතයින් තිදෙනෙකු බැගින්ද තෝරාපත් කර ගත හැකි නිසා තේරීපත් වන සෘජු නියෝජිතයින් ප්‍රමාණය 5,092ක් වුවත් කේවල කොට්ඨාශ 20ක් හා බහු මන්ත්‍රී කොට්ඨාශ දෙකක් අයත් කල්මුණේ නගර සභාව සඳහා මැතිවරණයක් නොපැවැත්වෙන නිසා මෙවර තේරී පත් වීමට නියමිතව ඇත්තේ සෘජු නියෝජිතයින් 5,068 දෙනෙකු පමණයි. මීට අමතරව, එම ප්‍රමාණයෙන් තුනෙන් දෙකකට ආසන්න නියෝජිතයින් ප්‍රමාණයක් (3,300+) සමානුපාතික ක්‍රමයට තේරී පත් වීමට නියමිතයි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.