*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

මෙය විප්ලවයක් , අපි සියලුදෙනා එක්ව මේ ගමන යා යුතුයි – ජනපති උරුමය වැඩසටහන අමතමින් දඹුල්ලේදී කියයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW): වත්මන් ආණ්ඩුව ලැබූ පළමු ජයග්‍රහණය රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලක්ෂ 20ෙක ජනතාවට ප්‍රතිලාභ සැලසෙන “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කට වැටුප් වැඩි කිරීම අනෙකුත් ජයග්‍රහණ බවදජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේ කොටසකගේ පමණක් සහාය ඇතිව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙවන් පුළුල් වැඩකොටසක් ඉටු කිරීමට ආණ්ඩුව සමත් වූවා නම් පාර්ලිමේන්තුවේ සියලුදෙනාගේ සහාය ඇතිව රට ඔසවා තැබිය හැක්කේ කුමන ස්ථානයකට කියා සියලුදෙනා සිතා බැලිය යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

රජයේ ඉඩම් ආඥා පනත යටතේ එදා විදේශිකයන්ට ඉඩම් ලබා දුන්නා නම් ජනතාවට එමඅයිතිය ලබාදීමට කිසිදු බාධාවක් තිබිය නොහැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2024 අය වැය යෝජනා අතර 08 වන යෝජනාව වූයේ “උරුමය වැඩසටහන මඟින් 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගොවින් වෙත බලපත්‍ර හා කොන්දේසි සහිත දීමනාපත්‍ර මත බැහැර කර ඇති රජයේ ඉඩම්වල පූර්ණ අයිතිය ගොවි ජනතාව වෙත ලබාදීමට අපේක්ෂා කර ඇත” යන්නයි.

උරුමය වැඩසටහන යටතේ ඉඩම්වල පූර්ණ අයිතිය ඉල්ලුම් කරන අයදුම්කරුවන් සඳහා ප්‍රධාන අදියර 03ක් යටතේ නිදහස් දීමනාපත්‍ර ලබාදීමට නියමිතය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රජාව වෙතින් ඉදිරිපත් වන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට අදාළ ආයතන සම්බන්ධීකරණය කරමින් මෙහෙයවීමේ යාන්ත්‍රණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ උරුමය මෙහෙයුම් ලේකම් කාර්යාලයක් ද ස්ථාපිත කර තිබේ.

සංකේතාත්මකව ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු බෙදාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙහිදී සිදු විය.

නව්‍යකරණය කරන ලද ක්‍රීඩාංගණ විදුලි ආලෝක පද්ධතිය විවෘත කෙරුණේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිනි.මේ අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ ‘විශිෂ්ටත්වයේ කේන්ද්‍රය” මාධ්‍ය මධ්‍යස්ථානයට, නව ප්‍රේක්ෂකාගාරයට සහ ගෘහස්ත ක්‍රීඩාගාරය ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙම උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,

” මේ මගේ රටයි, මා ඉපදුණ රටයි, මගේ උරුමය තහවුරු කළ රටයි.අද අප මෙතනට රැස් වී සිටින්නේ මේ රටේ ජනතාව ඉඩම් අයිතිය ලබා ගැනීමට කළ අරගලය අවසන් කිරීමටයි. ඒ වගේම අද අප මේ සහභාගී වන්නේ විප්ලවීය අවස්ථාවකට. ලක්ෂ 20කට ඉඩම් අයිතිය ලබාදීම අද සිදු වෙනවා. මම මෙය විප්ලවයක් කියා හඳුන්වන්නේ ඒ නිසයි.

මෙම විප්ලවය භුක්ති විදින්නේ රටේ ජනතාව. මේ ඉඩම් අයිතිය ලැබුණු විට ඔබ කිසිවෙකුට යටත් විය යුතු නැහැ.මන්ත්‍රීවරු, නිලධාරීන් පසුපස ගිහින් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය නැහැ. ඉඩම තමන්ට අවශ්‍ය පරිදි සංවර්ධනය කළ හැකි අතර කිසිවෙකුට ඊට බලපෑම් එල්ල කරන්න බැහැ.

තමන්ට ලැබෙන මෙම අයිතිය ආරක්ෂා කර ගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. මෙම අයිතිය තමන්ට පමණක් නොව තමන්ගේ දරුවන්ටත් හිමි විය යුතුයි. මෙයින් නිසි ප්‍රයෝජන ලබා ගන්න ඔබ කටයුතු කළ යුතුයි. ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව ගණනාවක් ඇති වී තිබෙනවා. අද මේ රටේ කිසිදු විප්ලවයක් නොමැතිව ජනතාවට ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා.

බොහෝ දෙනෙක් සිතුවේ මෙය කළ නොහැකි දෙයක් ලෙසයි. නමුත් අපේ ආණ්ඩුව ඒ තීරණය ගෙන කටයුතු කළා.විශේෂයෙන්ම ගොවිතැන් කළ අයට මෙන්ම නිවාස ඉදි කරගත් සියලුදෙනාට ඒ ඉඩම් අයිතිය හිමි වෙනවා.

ගොවිතැන් කටයුතුවල නිරතවන ඔබ සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමනවා. මේ රටේ ආර්ථිකය ගොඩගැනීමට පසුගිය මහ කන්නයේත්, යල කන්නයේත් ඔබෙන් ලැබුණු සහයෝගය අමතක කරන්න බැහැ. අස්වැන්න සාර්ථක වුණා. ඒ තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් වුණා. ඒ වගේම මේ ඉඩම්වල නිවාස ඉදිකරගත් පිරිස ඉන්නවා. මම ඔවුන්ටද ස්තූතිවන්ත වෙනවා. මේ සියලුදෙනාට අපේ ස්තූතිය පිරිනමන්නේ මේ සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම මගින්.

මෙය ඓතිහාසික අවස්ථාවක්. සිංහල රජ සමයේත් ඔප්පු ක්‍රමයක් තිබුණේ නැහැ. ප්‍රභූවරුන්ට, නිලමේවරුන්ට සන්නස් මගින් ඉඩම් ලබා දුන්නා. අනෙක් අයට වගා කටයුතු සඳහා ඉඩම් ලබා දුන්නා. ජනතාවට ස්ථීර ඔප්පු තිබුණේ නැහැ. මුඩු බිම් පනත යටතේ මේ සියල්ලම රජයට අයත් වුණා. වතු වෙනුවෙන් ඇතැම් ඉඩම් සුදු ජාතිකයන්ට පවරා දුන්නා . ජනතාවට කිසිවක් හිමි වුණේ නැහැ.

නමුත් ඩී.එස් සේනානායක මැතිතුමා 1935 ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් ගොවිතැන් කටයුතු සඳහා ජනතාවට ඉඩම් ලබාදීමට පියවර ගත්තා. ඉඩම් අත්පත් කරගැනීමේ පනත සමඟ ගම්මාන ව්‍යාප්ත කිරීමට ඉඩම් අත්පත් කර ගත්තා. නමුත් ඉඩමේ අයිතිය කිසිවෙකුට හිමි වූයේ නැහැ.

ඉන් පසුව වියළි කලාපවල ජනතාව පදිංචි කළා. ඒ සමග වී වගාව ආරම්භ කළා. වැඩියෙන්ම කුඹුරු තිබුණේ තෙත් කලාපයේ එම කුඹුරු දියුණු කිරීමට පිලිප් ගුණවර්ධන මැතිතුමා කුඹුරු පනත ගෙනාවා. එම අවස්ථාවේත් විශාල විරුද්ධත්වයක් ඇති වුණා. නමුත් එය ඉදිරියට ගෙන ගියා.

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මහවැලි ව්‍යාපාරයෙන් තවත් අක්කර ලක්ෂ ගණනක් ජනතාවට ලබා දුන්නා. දැන් අප මෙම වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා.

පසුගිය කාලයේ ගයන්ත කරුණාතිලක මහතා මේ වැඩපිළිවෙළ ආරම්භ කළ අවස්ථාවේ අලුත් නීතියක් ගේනවා කියලා එතුමාට විරුද්ධව නඩු දැම්මා. නමුත් මෙවර අලුත් නීති බලන්න ගියේ නැහැ. රජයේ ඉඩම් ආඥා පනතින් සුදු ජාතිකයන්ට ඉඩම් ලබා දුන්නා නම්, ආයෝජකයන්ට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දුන්නා නම් ජනතාවට එම අයිතිය ලබා දීමට නොහැකි ඇයි.

එදා ආයෝජකයන්ට ඉඩම් ලබා දීමට භාවිතා කළ ආඥා පනතින් අපි අද ඔබ සියලුදෙනාට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා. නැවත අධිකරණයට යන්න අවශ්‍ය නැහැ. මෙම වැඩපිළිවෙළ ඓතිහාසිකයි. විප්ලවවාදීයි. ආසියාවේ ඉඩම් අයිතිය ලබා දී තිබෙන්නේ ජපානය සහ දකුණු කොරියාව පමණයි. අද අපේ රටේ ජනතාවට එම අයිතිය ලබා දී තිබෙනවා.

මේ වැඩ කටයුත්ත සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මම උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා පක්ෂ බේදයකින් තොරව එකතුවන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ ආණ්ඩුව ලංකාවේ මෙතෙක් බිහි නොවු ආණ්ඩුවක් බව කිවයුතුයි. අසීරු කාලයේ වගකීම් ගත හැකි සියලුදෙනා ඒ සමග එකතු වුණා. විවිධ පක්ෂ ඒ අතර සිටියා. අපි කොටසක් එක්ව ආණ්ඩුව හැදුවා. හැම පක්ෂයකම කොටසක් කැඩී වෙනත් පක්ෂවලට ගියා. එලෙස ගොඩනඟාගත් ආණ්ඩුවක් මඟින් රට ගොඩනැගීමේ අභියෝගයට අප මුහුණ දුන්නා.

අපේ රට දැන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. මේ රටේ ජනතාව දුක් විඳි බව මම පිළිගන්නවා.

තවමත් සමහරු දුක් විදිනවා. මේ සියලු ජනතාවට අපට හැකි අයුරින් සහන ලබා දුන්නා. ඒ සඳහා අපි අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කළා. අප තවම බංකොළොත්භාවයෙන් නිදහස් වුණා විතරයි. තෙවන පියවර ලෙස ජනතාවට මෙම සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කර තිබෙනවා. මේ ආර්ථික අසීරුතාවයන් හමුවේ අප මෙම කටයුතු සිදු කරනවා නම් ඉදිරියේ දී රටේ ආර්ථිකය ශක්තිමත් වීමෙන් පසු කළ නොහැක්කේ මොනවද කියලා මම අහන්න කැමතියි.

අපි ආරම්භ කළ මේ ගමන ඉදිරියට ගියහොත් 2025 වසරේ දී 5%ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. අපි සියලුදෙනා එකතු වුණේ රට බේර ගන්න. එහිදි අප පක්ෂ දේශපාලනයක නිරත වුණේ නැහැ. එහෙම වුණා නම් මෙම සාර්ථකත්වය ලබා ගන්න බැහැ. මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ වැඩකටයුතු කරගෙන යාමට අප සමග එකතු වෙන්න කියලයි.

අපි හිතන්න ඕන අපි ගැන නෙවෙයි. රටේ ජනතාවගේ අනාගතය පිළිබඳවයි. අපි එකතුවෙලා රටේ ජනතාවගෙන් ලක්ෂ 20කට ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා. තවත් ලක්ෂ 20කට අස්වැසුම ප්‍රතිලාභ ලබා දී තිබෙනවා. ලක්ෂ 15කට වැටුප් වැඩිකර තිබෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කර ආදායම් මාර්ග ඇති කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ එක් කණ්ඩායමක් ලෙස මෙතරම් විශාල වැඩකොටසක් කළ හැකි නම් පාර්ලිමේන්තුවේ සියලුදෙනා එකතු වුණොත් මොනවද කරන්න බැරි කියලා සියලුදෙනා සිතිය යුතුයි. අප එම මාර්ගයේ යා යුතුයි.

ඉදිරියේදී මේ රට දියුණු කිරීමට අවශ්‍ය තවත් නීති ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. අපි සියලුදෙනා එකතුව ඉදිරියට යමු. කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම හරහා දැවැන්ත කෘෂි විප්ලවයක් රටේ සිදු වෙනවා.

අපිට නැවත ණය වෙන්න බැහැ. අපට නැවත හිඟන ජාතියක් වෙන්න බැහැ. අපේ අභිමානය ආරක්ෂාකරගත යුතුයි. අපි සියලුදෙනා එක්ව මේ ගමන යා යුතුයි.

අද ඔබ මේ රටේ අයිතිකරුවන්. ඒ බව මතක තබා ගනිමින් අභිමානයෙන් කටයුතු කරන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටිමින් මම ඔබ සියලුදෙනාට සුබ පතනවා”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ උරුමය වැඩසටහනේ පළමු අදියරට අදාළව නිදහස් ඔප්පු 10,000ක් ගොවි ජනතාව වෙත ප්‍රදානය කිරීමට අද (05) පස්වරුවේ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan