වර්තමාන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය “ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය” කියලා ලාල්කාන්ත කියන කොට, විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා ඒ මොන විදිහේ ආර්ථික ක්‍රමයක්ද කියන එක නිෂ්චිතව පැහැදිලි කරන්න කියලා. ඉල්ලීමක් කිව්වට ඉතිං ඒක පැහැදිලි අභියෝගයක්. මොකද? ධනවාදයයි සමාජවාදයයි කියන ආන්තික ආර්ථික ක්‍රම දෙක ඇරුණහම අපි දන්නේ ඒ දෙක අතරමැද කලාපය තුළ ක්‍රියාත්මක කරන සහ අත්හදා බලන ආර්ථික ක්‍රමෝපායන් විතරයිනේ. ඒත් “ලොවෙත් නැති” දේවල් අපි කරන්නේ වගේ වහසිබස් ආණ්ඩු පක්ෂයේ සමහරුන්ගෙන් ප්‍රකාශ වෙන හින්දා තමයි ඒ වගේ ප්‍රශ්න විරුද්ධවාදීන් විසින් අහන්නේ. ඉතිං ආණ්ඩුවට වගකීමක් තියෙනවා ඒ ගැන හරිහමන් විග්‍රහයක් කරන්න. එහෙම නොකිරීමෙන් වෙන්නේ තාමත් ආණ්ඩුවට නිෂ්චිත ආර්ථික දැක්මක් නෑ කියන චෝදනාව සනාථ වෙන එක තමයි.
නව ලිබරල්වාදයයි සමාජවාදයයි අතර දෝලනය වෙමින් සහ මිරිකෙමින් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා දෙයක් හඳුන්වලා දෙන්න ලාල් කාන්ත තැතනුවාට ඒ මොකක්ද කියල නම් එලියට ආවේ නෑ. ඒ විඳින දුකට එක විසඳුමක් විදිහට එයාට මං යෝජනා කරනවා, ලාල් සහෝදරයා ඔයා ඉස්සෙල්ලම ඔය “නවලිබරල්වාදය” කියන වචනය අයින් කරලා ලිබරල්වාදය කියන වචනය විතරක් ගන්න කියලා. මොකද සමාජවාදීන් විදිහට ඔයාල විරුද්ධ විය යුත්තේ පොදුවේ සමස්ත ලිබරල්වාදයටම මිසක් ලිබරල්වාදයේ ආන්තික තත්ත්වයක් වෙච්ච නව ලිබරල්වාදයට විතරක් නොවෙයිනේ. ධනවාදයේ දේශපාලනික ප්‍රකාශනය වෙච්ච ලිබරල්වාදයට විරුද්ධ වුණාම එතනදී ඔයාලගේ විරෝධය නව ලිබරල්වාදයට පවා එල්ල වෙනවා. ඊළඟට ඔයා ලිබරල්වාදය කියන වචනයත් අත හැරලා ඔයා හොඳටම දන්න කියන ධනවාදය කියන වචනය විතරක්ම ගන්න. හරිම සරලයිනේ ඒක නේද? මොකද සමාජවාදීන් විදිහට ඔයාලා විරුද්ධ වෙමින් හිටියේ ඉතා ගැඹුරින්ම ධනවාදය කියන ආර්ථික ක්‍රමයට මිසක්, ඒක න්‍යායිකව ඔප මට්ටම් කරන්න, පින්තාරු කරන්න බිහිවෙච්ච ලිබරල්වාදයට නොවෙයිනේ. ඔයාලා ධනවාදය අහෝසි කිරීමේ අරමුණින් පක්ෂය ගොඩනගන කොට, හරි පැහැදිලියි! එතකොට අපි අරගලයක ගාම්භීරත්වය දැක්කා. ඒත් ලිබරල්වාදයත් එක්ක හැප්පෙන කොට ඒක නිකං ධනපතියොත් එක්ක රණ්ඩු කරනවා වගේ වැඩක්. ඒකත් කමක් නෑ කියමුකෝ. ඔයාලා මේ නව ලිබරල්වාදයත් එක්ක හැප්පෙනවා කියන්නේ අනුන්ගේ රණ්ඩුවක් මැද්දට පැනලා ඇඟ තලාගන්නවා, ඇඳුම් ඉරා ගන්නවා වගේ වැඩක්. කොටින්ම ඔය ලිබරල්- නව ලිබරල් කතා ඔයාලට වැඩක් නෑ. ඒ ගැන ධනපතියොම බලා ගත්තදෙන්. සමාජවාදීන් විදිහට ඔයාලා පොදුවේ ධනවාදයට විරුද්ධව නැගී සිටින්න. සමාජවාදය වෙනුවෙන් පමණක් කටයුතු කරන්න. ඒක බැරි දෙයක් කියලා දැන් දන්නවා නම් මිරිකි- මිරිකි ඉන්නෙ නැතිව සමාජවාදය අත් හරින්න. ධනවාදයම තෝර ගන්න. අන්න ඊට පස්සේ කමක් නෑ ඔයාලා නවලිබරල්වාදයට විරුද්ධ වුණාට. මං හිතන්නේ ආර්ථික ප්‍රජාතාන්ත්‍රවාදයක් ගැන ලාල්කාන්ත කතා කරන්නේ ඒ පදනමින් වෙන්නත් ඇති. හරි කමක් නෑ! ඒත් ඉතා පැහැදිව කියන්න ඕන ඒකෙන් මොකක්ද එයා අදහස් කරන්නේ කියලා.
අපි දැන් සමාජවාදයත් එක්ක නෑ! ඒත් නව ලිබරල්වාදයට වැටිලත් නෑ! අපේ ක්‍රමය ඒ දෙකටම වෙනස් කියලා කියන්න ලාල් කාන්ත දරන උත්සහය තුළ ලොකු දෙයක් කියවුණේ නෑ. ලංකාවේ මෙතෙක් පැවතුණු ක්‍රමයම තියා ගෙන ඒක ප්‍රවර්ධනය කරනවා වගේ අදහසක් විතරයි උපරිම වශයෙන් අපේ ඥානයට නම් ස්පර්ශ වුණේ. ඒක එහෙම නම් ඉතිං ඔච්චරම තටමන්නේ නැතිව ඒක කියන්න බැරි කමක් නෑනේ. ඇත්තටම මෙතන තියෙන ප්‍රශ්නෙ ඇවිල්ලා ජාජබ විදිහට නිශ්චිත දර්ශනයක් නැතිකම. ඉතිං අනෙක් හැම කරුණකදීම වගේම මේ ප්‍රධාන කරුණේදීත් ජා.ජ.බ.යේ කට්ටිය තම-තම නැණ පමණින් කෙසේ වෙතත් තම-තම හැකි පමණකින් (හුදු මුඛරිකමින්) කුමන හෝ දෙයක් කියන්න පෙලඹිලා තියෙනවා. කමක් නෑ! අපි ඒ ගැන එච්චර වැලලෙන්න ඕන වෙන්නේ නෑ කියලා මං හිතන්නේ සිද්ධ වෙමින් පැවති දේ තව දුරටත් සිද්ධ වෙමින් පවතින බව තේරෙන නිසාමයි.
අපි මේ භුක්ති විඳින “දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය” අපට ලැබෙන්නේ ධනවාදයත් එක්ක. පළමුව ධනපතියන්ට තාන්ත්‍රික අයිතිවාසිකම් ලබා ගැනීමෙන් සහ දෙවනුව එය සමස්ත ජනතාවටම ලබා ගැනීම වශයෙන්. ඒත් අවසාන විග්‍රහයේදී ඒ වනාහී ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තත්ත්වයන්ගේම ප්‍රතිඵලයක් බවත් කියන්න වෙනවා. මොකද? දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගෙන්නේ, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය (හෙවත් ධනවාදය) දිනා ගැනීමේ සහ එය පුළුල් කර ගැනීමේ වෑයම තුළ බව අපි දන්න නිසා. ඉතිං ලාල්කාන්තලා එයාලගේ ආණ්ඩුව මාර්ගයෙන් රටට අමුතුවෙන් ලබා දෙන්න යන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය නම්, ඒත් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ධනවාදය නම්, ජයවේවා! අපේ ආශීර්වාදයත් ඒ සඳහා ලැබෙනවා. ඒත් ප්‍රශ්නය තමා එතකොට දැන් මේ තියෙන ක්‍රමය මොකක්ද කියන එක.මං හිතන්නේ සමාජවාදය කියලා පිලිගන්නවා ඇති. ඔව්! එහෙම නම් ලාල් සහෝදරයා!ඔයා හරියටම හරි. සමාජවාදය කියන්නේ වැඩවසම්වාදය වගේම ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ආර්ථික ක්‍රමයක්. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය නැති ඕනම තැනක ආර්ථිකය එක තැන පල් වෙනවා. දියුණුවක් දකින්න අමාරුයි. ඒ හින්දා තමයි සමාජවාදී රටවල් සමාජවාදය අතහැරලා ධනවාදයට අනුගත වුණේ. රුසියාව “පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්ට්නොට්” (ප්‍රතිව්‍යුහකරණය සහ විවෘතභාවය) කියන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේත්, චීනය සමාජ-වෙළඳපොල ක්‍රමය කියන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේත් ඒ වෙනුවෙන්ම යි.
ගැමුණු කුසුම් දිසානායක
2025.02.26
