Thursday, August 18, 2022
spot_img
spot_img

Latest Posts

අවරදිග ආවර්ජනා : දික්කසාද වීමට අයිතිය ඇති මුත් වෙනත් විවාහයකට අයිතිය නැති යුක්රේනය

රුසියාව මේ මොහොතේ යුක්රේනය ආක්‍රමණය කොට තිබේ. මෙය රුසියානු-යුක්රේන යුද්ධයක් වශයෙන් හැඳින්වීම නිවැරදි නැත. එය සහසුද්දෙන්ම මහ බලවතෙකු විසින් තවත් රටක් ආක්‍රමණය කරනු ලැබීමකි. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කරනු ලැබීමට මෙය වෙනස් වන්නේ, මේ දක්වා ඇති කර තිබෙන විනාශයේ පරිමාව විසින් පමණි. යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළාදකිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පසුගිය සතියේ ගෙනා යෝජනාවට එහි සාමාජිකයන් 15 දෙනාගෙන් 11 දෙනෙක් පක්ෂව ඡන්දය පාවිච්චි කළහ. රටවල් 3 ක් (ඉන්දියාව, චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය) ඡන්දය දීමෙන් වැළකී සිටියේය. රුසියාව පමණක් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේය. ආක්‍රමණයට පක්ෂ වී ඇත්තේ ආක්‍රමණිකයා පමණක් බව එහි අදහසයි.

එසේ වෙතත් මේ ආක්‍රමණය අනුමත කරන යම් පිරිසක් ලංකාවේ සිටිත්. ඔවුන් සියල්ලන් වෙතින් තෙවදෑරුම් මනෝභාවයක් දෘශ්‍යමාන වෙයි. එයින් එක් පිරිසක්, රුසියාව තවමත් එක්තරා ආකාරයකින් පැරණි සමාජවාදය නියෝජනය කරන රටකැයි අචේතනිකව ගනිති. ඒ නිසාම, රුසියාවට විරුද්ධව යුක්රේනයට සහයෝගය දක්වන කඳවුර අධිරාජ්‍යවාදී ගැත්තන් වශයෙන් ගැනීමට ඔවුහූ නැමියාවක් දක්වති. ඒ අනුව, රුසියානු ආක්‍රමණයට පක්ෂපාතී වීමෙන්, මොවුන්ට අධිරාජ්‍යවාදයට විරුද්ධ විය හැකිය. සමහරු එය කෙලින්මත් කියති. අනෙක් අය නොකියා කියති.

දෙවැනි පිරිස සමන්විත වන්නේ, සමාජවාදයක්/ධනවාදයක් නොව, යකඩ ජාතිකවාදියෙකු රටක නායකත්වයේ සිටීම අගය කරන්නන්ගෙනි. මේ පිරිස, මීට වසර දෙකකට කලින්, ලංකාවට ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු ගෙන ඒමට සම්මාදම් වූ පිරිසෙන් කොටසක් විය හැකිය. අද වන විට, ඒ ගෝඨාභය රාජපක්ෂගේ සායම් දිය වී යමින් තිබෙන හෙයින්, වෙනත් රටකින් හෝ තමන්ගේ ආශාව නියෝජනය කරන කෙනෙකු මේ මොහොතේ දකින්ට ලැබීම, තමන්ට ස්වදේශීයව අහිමි වූ දෙයක් ඈතකින් හෝ දැකීමෙන් ලැබෙන සතුටට සමාන හැඟීමක් ඔවුන් තුළ ඇති කරනවා විය හැකිය.

තුන්වැනි පිරිස, රුසියාව විවේචනය කරන තරමටම යුක්රේනයත් විවේචනය කරති. එහිදී, යුක්රේනයේ ඉතිහාසයත්, රුසියාවේ ඉතිහාසයත් පිළිබඳ කරුණු (ඇතැම්විට සාවද්‍ය අන්දමින්) දක්වමින් ප්‍රශ්නය විග්‍රහ කිරීමට යම් උත්සාහයක් ගැනේ. එහෙත්, අවසාන විග්‍රහයේදී එයින් ඇතැමෙක් වැඩි වරද යුක්රේනයට බැර කරති. ඒ අතින් ගත් විට ඔවුන්ද කරන්නේ, මේ ආක්‍රමණය අනියමාර්ථයෙන් අනුමත කිරීමයි. (ලංකාවේ සිටින මේ සියලු වර්ගයේ පුටින්වාදීන් තමන්ගෙන් අසාගත යුතු වැදගත් ප්‍රශ්නයක් තිබේ: එනම්, පුටින්ගේ තර්කයම ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කළොත් තමන් එය භාරගන්නේද යන්නයි).

ඒ සියල්ලන්ට අමතරව තවත් පිරිසක් රටවල් දෙකේම ඓතිහාසික වගකීම සාධාරණ මාත්‍රාවෙන් අවධාරණය කරතත්, නිර්දය ලෙස ආක්‍රමණිකයා හෙළාදකිමින්, යුක්රේනයේ ස්වෛරීත්වය සහ නිදහස වෙනුවෙන් මේ මොහොතේ කොන්දේසි විරහිතව අප පෙනී සිටිය යුතු බව කියා සිටිති. මුල් වැරැද්ද කෙළේ කවුද, වැඩි වැරැද්ද කෙළේ කවුද යන්න මත පමණක් පදනම් වෙමින් වර්තමාන ලෝකයේ කිසි අර්බුදයක් විසඳාගැනීමට නොහැකි වීම එක පැත්තක තිබේ. අනිත් පැත්තෙන්, වැරැද්ද/නිවැරැද්ද ගැන කෙරෙන ඕනෑම වාදයක්, අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට අවසානයක් නැති අනන්තය දක්වා ඇදගෙන යාමට හැකිය. එනිසා, වඩාත් සබුද්ධික ප්‍රතිචාරය වන්නේ, ආක්‍රමණය හෙළාදකිමින්, වින්දිතයාගේ පැත්තේ සිටගැනීමයි. එසේ නොවුණොත්, වර්තමාන ලෝකයේ තිබෙන ජාතික රාජ්‍ය පද්ධතිය පවත්වාගෙන යාමට නොහැකි වෙනවා සේම, දුර්වලයා පාගමින් ශක්තිවන්තයා ජයගන්නා ලෝකයක්ද නිර්මාණය විය හැකිය.

ඉතිහාසය කෙටියෙන්

රුසියානු-යුක්රේන වර්තමාන ගැටුමේ තත්වය සාකච්ඡා කිරීමට කලින්, පසුබිම් කාරණා කිහිපයක්, සාමාන්‍ය පාඨකයාගේ නිරවුල් අවබෝධය සඳහා පැහැදිලි කරගැනීම වැදගත් ය.

රුසියාව නමින් අද හඳුනාගන්නා දේශයේ තිඹිරිගෙයත් සැබවින්ම යුක්රේනයයි. ඒ, 9 වැනි සියවසේදී ය. වර්තමාන යුක්රේනයේ අගනුවර වන කියෙව් එදා රුසියාවේ මූලස්ථානය විය. ඒ දවස්වල, රුසියාවට පහළින් මොංගෝලියානු අධිරාජ්‍යයක් තිබුණි. මේ අධිරාජ්‍යය වෙතින් එන නිරන්තර ආක්‍රමණ සහ අවසානයේ 13 වැනි සියවසේදී කියෙව් නගරය ඔවුන් විසින් තීරණාත්මකව යටපත් කරගැනීමෙන් පසුව වර්තමාන රුසියානු අගනුවර වන මොස්කව් නගරය රුසියානු රාජ්‍යයේ කේන්ද්‍රය බවට පත්විය. 15 වැනි සියවස වන විට එරටේ නායකයා හෙවත් පළමුවැනි ‘සාර්’ වශයෙන් රාජ්‍යත්වයට පත්වන ‘බිහිසුණු අයිවන්’ යටතේ රුසියාව මහා දේශයක් බවට පත්විය. රුසියානු මහජාතිකවාදී නිර්දයභාවයේ පියා ඔහු ය. තමාගේ ආරක්ෂාව සලසාගත යුත්තේ මුලින්ම අනිකාට පහරදීමෙන් ය යන න්‍යාය සූත්‍රගත කළ පළමුවැන්නා ඔහු බව කියැවෙයි. 18 වැනි සියවස වන විට ගොඩනැඟෙන මහා රුසියානු අධිරාජ්‍යය එහි ප්‍රතිඵලයයි.

1917 දී කොමියුනිස්ට්වාදය බලයට පත්වන රුසියාවට උරුම වන්නේ, ඇත්තෙන්ම ‘සකල ලෝකවාසී කම්කරුවන් එක් කරගත්’ දේශයක් නොව, අර ඉහතින් කී අධිරාජ්‍යවාදී බලය විසින් පිටස්තර දේශයන් ඈඳා ගත්, ඇමරිකාව මෙන් දෙගුණයක් විශාල, එක්සත් රාජධානිය මෙන් 70 ගුණයක් විශාල, යුරෝපය සහ ආසියාව පුරා පැතිරුණු, මහා අධිරාජ්‍යයකි. යුරෝපය අවසන් වී, ආසියාව ආරම්භ වන යුරල් කඳුවැටි ශිඛරයේ එක් ස්ථානයක විශාල කුරුසයක් සිටුවා තිබේ. ඒ, යුරෝපා-ආසියා මායිමයි. ඇත්ත වශයෙන්ම, මේ මහා දේශය, එකම භාෂාවක් කතා කරන, එකම වාර්ගික ජාතියක් විණි නම්, ඉතිහාසය මීට වඩා වෙනස් වනු ඇත. කෙසේ වෙතත්, එසේ නොවීම නිසා ඇති විය හැකි අවදානම සැලකිල්ලට ගැනීමත්, ජාතීන්ගේ ස්වයං-නිර්ණ අයිතිය ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගැනීමත් හේතුකොටගෙන, 1917 දී බලයට පත් රුසියානු කොමියුනිස්ට් ආණ්ඩුව තමන්ගේ රාජ්‍යය, ‘සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය’ වශයෙන් (යූ.එස්.එස්.ආර්) ස්ථාපිත කරගත්තේය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව මේ රාජ්‍යය, ලෝක බල කඳවුරු දෙකෙන් එකක් බවට පත්විය. එසේ වුණේ තවත් රටවල් සහ ජාතීන් තමන්ගේ දෘෂ්ටිවාදයට හෙවත් කොමියුනිස්ටවාදයට නම්මවා ගනිමිනි. දැන්, සාර් අධිරාජ්‍යය යටතේ අතීතයේ ආක්‍රමණික බලයෙන් අත්පත් කරගත් ජාතීන්ට අමතරව, දෘෂ්ටිවාදීමය ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් වශයෙන් කොමියුනිස්ට් බල කඳවුරකට ගොනු කරගත් තවත් රටවල් රාශියක නායකත්වයත් ඊට හිමි විය. (මේ රටවල් ගොනු කරගැනීම සඳහා සහායක වූ තවත් බොහෝ සාධක ඇතත් ඒවා දැනට අපට අදාළ නැත). කෙසේ වෙතත්, එකම ආර්ථික ක්‍රමයක්, එකම දේශපාලනික දෘෂ්ටිවාදයක් සහ එකම ආරක්ෂක සන්ධානයක් (වෝර්සෝ) ඊට තිබුණි.

අනිත් බල කඳවුර වුණේ ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුරයි. ඊට අයත්, (මහා බි්‍රතාන්‍යය, ප්‍රංශය, නෙදර්ලන්තය, බෙල්ජියම, ස්පාඤ්ඤය ආදී) රටවල්වලටත් වෙනම අධිරාජ්‍යයන් තිබුණි. මේ කඳවුරත්, සමාන ආර්ථික ක්‍රමයක්, සමාන දේශපාලනික දෘෂ්ටිවාදයක් සහ පොදු ආරක්ෂක සන්ධානයක් (නේටෝ) තුළ සංවිධානය වී තිබුණි.

සෝවියට් කඳවුර බිඳවැටීම

මෙසේ තිබියදී, සෝවියට් කොමියුනිස්ට් ක්‍රමය 1989 වන විට කඩා වැටුණි. ඒ අනුව, සෝවියට් දේශය වෙනම රාජ්‍යයන් 15 කට බෙදී වෙන් වුණි. යුක්රේනය එයින් එක් රාජ්‍යයකි. එසේ වෙන් වූ කිසි රාජ්‍යයකට විරුද්ධව හමුදා බලය පාවිච්චි කිරීමට හෝ ඔවුන් බලහත්කාරයෙන් තමන් යටතේ තවදුරටත් තබාගැනීමට හෝ රුසියාව යොමු වුණේ නැත. හේතුව වෙන කිසිවක් නොව, රුසියාව නමැති මව්රට වන තමනුත් කොමියුනිස්ට් දෘෂ්ටිවාදය අත්හළ පසු, තමන්ගේ සහකාර ප්‍රාන්තයන්ද එම දෘෂ්ටිවාදය අතහරිමින්, තමන්ගෙන් නිදහස් වෙනම රාජ්‍යයන් වශයෙන් බිහිවීම නතර කිරීමේ තර්කණයක් රුසියාවට නොතිබුණු බැවිනි. (ඊට කලින්, එනම්, කොමියුනිස්ට් ක්‍රමය ස්වකීය රාජ්‍ය මතවාදය වශයෙන් තමන් විසින් ආරක්ෂා කරගනිමින් සිටි 50 සහ 60 දශක තුළ, තමන්ගේ අභ්‍යන්තරික ප්‍රාන්ත ප්‍රදේශ නොව, තමන්ගෙන් පිටස්තර ස්වාධීන රාජ්‍යයන් වශයෙන් පැවති චෙකොස්ලොවැකියාව සහ හංගේරියාව නමැති ජාතික රාජ්‍යයන් සම්බන්ධයෙන් පවා සෝවියට් රුසියාව හැසිරී තිබුණේ ඊට සපුරා වෙනස්, ප්‍රචණ්ඩකාරී සහ ආක්‍රමණකාරී ආකාරයකටයි). කෙසේ වෙතත්, කොමියුනිස්ට් දෘෂ්ටිවාදයෙන් මාරු වීමේදී, තමන්ගේ අභ්‍යන්තරික ප්‍රාන්ත දේශයන් සේම, තම සමාජවාදී කඳවුරේ වෙනත් ස්වාධීන රාජ්‍යයන්ද ධනවාදී මාවතක ගමන් කිරීම දෙස බලා සිටීම හැර වෙන කළ හැකි දෙයක් රුසියාවට තිබුණේ නැත. යුක්රේනයට ඒ අයිතිය හෙවත් සමාජවාදී ආර්ථික සහ දේශපාලනික ක්‍රමයෙන් දික්කසාද වීමේ අයිතිය එදා ලැබුණි.

වර්තමාන ප්‍රශ්නය

සෝවියට් කඳවුර බිඳ වැටීමෙන් පසු ඊට එතෙක් අයත්ව සිටි, සෝවියට් සංගමයෙන් පිටස්තර, නැගෙනහිර සහ මධ්‍යම යුරෝපීය රටවල් සියල්ල සමාජවාදී ආර්ථික සහ දේශපාලනික ක්‍රමය අතහැර ධනවාදී ක්‍රමයට පිවිසුණා පමණක් නොව, යුරෝපා සංගමයේ හෝ ධනවාදී කඳවුරේ ආරක්ෂක එකමුතුව වන ‘උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානයේ’ (නේටෝ) හෝ සාමාජිකත්වයද ලබාගත්තේය. එපමණක් නොව, කොමියුනිස්ට් සෝවියට් සංගමයේ අභ්‍යන්තර ප්‍රාන්ත රාජ්‍යයන් වශයෙන් එතෙක් පැවති එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව වැනි (සෝවියට් ක්‍රමය කඩා වැටීමෙන් පසු) අලුතෙන් නිදහස ලැබූ රටවල්ද, (ධනේශ්වර ආර්ථික සහ ධනේශ්වර දේශපාලනික) යුරෝපා සංගමයේත්, නේටෝ සංවිධානයේත් සාමාජිකත්වය ලබාගත්තේය. එම රාජ්‍යයන් යුරෝපා සංගමයට හෝ නේටෝ සංවිධානයට එසේ ඇතුළත් වීම වැළැක්වීමට කළ හැකි කිසිවක් රුසියාවට තිබුණේද නැත. එහෙත්, එවැනිම තවත් නිදහස ලබාගත් රටක් වන යුක්රේනය මෙවර නේටෝ සංවිධානයට හෝ යුරෝපා සංගමයට බැඳෙතියි සැක කෙරෙන විට රුසියාවේ තහංචිය සහ විරෝධය ඉස්මතු වුණේය. ඒ ඇයි?

රුසියාවේ තර්කය වන්නේ, යුක්රේනය නේටෝවට හෝ යුරෝපා සංගමයට බැඳීම, තම රටේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි. මීට වසර 8 කට කලින්, යුක්රේනයට අයත්ව තිබූ ක්‍රිමියාව නමැති ප්‍රදේශය රුසියාව විසින් ආක්‍රමණය කොට අල්ලාගන්නා ලදි. එහිදී පුටින්ගේ තර්කය වුණේ, ක්‍රිමියාවේ වෙසෙන සියයට 65 ක් වන වාර්ගික රුසියානුවන්ගේ ආරක්ෂාව සඳහා තමන් එම ප්‍රදේශය රුසියාවේ අණසක යටතට ගත් බවයි. එසේ ක්‍රිමියාව තමන්ට ඈඳා ගැනීමෙන් රුසියාව නතර වෙතැයි එදා බොහෝ දෙනා සිතූහ. එහෙත් අද වන විට යුක්රේනයේ තවත් කෑලි දෙකක් පුටින් විසින් තමන්ට ඈඳාගෙන, සමස්ත යුක්රේනයමත් ආක්‍රමණය කොට ඇත.

නේටෝවට ඇතුළත් වීමට පැරණි සෝවියට් රාජ්‍යයන් මෙසේ උත්සුක වන කාරණය කුමක්දැයි අප කෙටියෙන්වත් සලකා බැලිය යුතුය. සෝවියට් සංගමය තුළ සිටි අභ්‍යන්තරික ප්‍රාන්ත කොමියුනිස්ට් සමූහාණ්ඩු සේම (යුක්රේනය, ජෝර්ජියාව, ලැට්වියාව, එස්තෝනියාව ආදිය සේම) එයින් පිටස්තර කොමියුනිස්ට් කඳවුරේ සිටි නැගෙනහිර සහ මධ්‍යම යුරෝපීය රටවල්ද (රුමේනියාව, ඇල්බේනියාව, පෝලන්තය, හංගේරියාව, චෙක් ජනරජය, ස්ලෝවැකියාව සහ බල්ගේරියාව ආදී රටවල්) දීර්ඝ කාලයක් තිස්සේ සෝවියට් දඬු අඬුව තුළ රුසියානු මහජාතිකවාදයේ වින්දිතයන් වී සිටි සමාජයන් ය. 1990 දශකයේ ඒ සමස්ත කඳවුර කඩාවැටීමෙන් ලැබුණු නිදහස තුළ මේ සෑම රටක්ම තමන්ගේ ආරක්ෂාව පතා හැරෙනුයේ එතෙක් කල් තමන්ව නතු කරගෙන සිටි බලවේගය (රුසියාව) වෙතට නොව, ඊට ප්‍රතිවිරුද්ධ සහ තමන්ගේ අලුත් දේශපාලන සහ ආර්ථික දෘෂ්ටිවාදය සමග සමාන්තර වන කඳවුර (ඇමරිකා-යුරෝපා කඳවුර) වෙතට ය. තවත් විදිහකින් කිවහොත්, තමන්ගේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි අද යුක්රේනයට සිතෙන්නේ රුසියාවයි. ඔවුන් නේටෝවේ සාමාජිකත්වය ඉල්ලා සිටින්නේ එබැවිනි.

එකම තර්කය දෙපැත්තකින්

එතකොට, යුක්රේනය ආක්‍රමණය කිරීමට පුටින් ඉදිරිපත් කරන තර්කයම (ජාතික ආරක්ෂාව), නේටෝවට සහ යුරෝපා සංගමයට ඇතුළු වීමට යුක්රේනයත් ඉදිරිපත් කරන බව අපට පෙනේ. මේ දෙපාර්ශ්වයේම තර්කයේ යම් සත්‍යයක් ඇතැයි මතුපිටින් පෙනුණත්, වඩාත් තාර්කිකව පිළිගත හැකි විත්තිවාචකය කුමක්දැයි සොයා බැලීම වැදගත් ය. පුටින්ගේ තර්කය සාධාරණ යැයි අප පිළිගත්තොත්, යුක්රේනය පමණක් නොව, රුසියාව වටේට පිහිටා ඇති (ලැට්වියාව, එස්තෝනියාව, ලිතුවේනියාව, පින්ලන්තය, මොල්ඩෝවා සහ ජෝර්ජියාව ආදී) වර්තමානයේ ස්වාධීන ජාතික රාජ්‍යයන් සියල්ල රුසියාවේ බලකේන්ද්‍රයට යටත් කරගත යුතුව තිබේ. එය, වර්තමාන ලෝක ප්‍රජාවට පිළිගත හැකි දෙයක් නොවේ.
අනිත් අතට යුක්රේනය ඉල්ලන්නේ, නිදහස් රාජ්‍යයක් වශයෙන් තමන්ගේ ස්වෛරීත්වය තමන්ට තිබිය යුතු බවයි. යම් ක්‍රියාවක්, එක අංශයකදී (ආර්ථික/දේශපාලනික අංශයේදී) යුක්තිසහගත වීමටත්, එනම් සමාජවාදී ක්‍රමයෙන් ධනවාදී ක්‍රමයට අවතීර්ණ වීම යුක්තිසහගත වීමටත්, ඊළඟ පියවර වශයෙන් ඒ ධනවාදී ක්‍රමය ආරක්ෂා කරන තවත් අංශයකදී (ජාතික ආරක්ෂාව පිළිබඳ අංශයේදී), එනම් නේටෝ සංවිධානයට ඇතුළත් වීමකදී යුක්තිසහගත නොවීමටත් හේතුවක් නැත.

එහෙත් පුටින් ඉදිරිපත් කරන ප්‍රති-තර්කයක් තිබේ. එනම්, සමාජවාදය අතහැර ධනවාදී ක්‍රමයක් භාරගැනීම ගැන තමන්ගේ විරෝධයක් නැත. තමන්ගේ රටත් අද එවැනිම ධනවාදී රටකි. එහෙත් නේටෝ සංවිධානය යනු, තමන්ව හමුදාමය වශයෙන් වට කිරීම සඳහා උපායමාර්ගිකව කටයුතු කරමින් සිටින ඇමරිකානු ව්‍යාප්තවාදී ව්‍යාපාරයකි.

එහි යම් සත්‍යයක් ඇතත්, පුටින්ගේ ඇත්ත ප්‍රශ්නය එයද, නැත්නම් තමන්ගේ මහජාතිය (රුසියානු) ප්‍රමුඛ වන බල කඳවුරක් නවතමයෙන් ස්ථාපනය කරගැනීමේ අභිලාෂයද? රුසියානු මහජාතිකවාදය යනු, ‘බිහිසුණු අයිවන්ගෙන්’ පටන්ගෙන, කැතරින් අධිරාජිනිය හරහා ජෝසප් ස්ටැලින් දක්වා රුසියානු චින්තනය තුළ ඓතිහාසිකව වර්ධනය වූ ප්‍රපංචයක් බව මෙහිදී සිහිපත් කරගැනීම වටී.

මහජාතිකත්වය, 19-20 වැනි සියවසේ පැවති තත්වයෙන් 21 වැනි සියවන වන විට දුර්වල අඩියකට වැටී ඇත. සෝවියට් දේශයෙන් කැඩී ගිය කුඩා රාජ්‍යයන් සහ යුගෝස්ලාවියාවෙන් කැඩී ගිය කුඩා රාජ්‍යයන් විසින් වර්තමානයේ වට කරනු ලැබූ සීමාවක් තුළ, පැරණි මහ රුසියානු අධිරාජ්‍යය නැවත වරක් රුසියාව තුළ බිහි කිරීමේ පුටින්ගේ අභිලාෂය ප්‍රායෝගික නොවන්නේ එබැවිනි. වෙනත් වචනයකින් කිවහොත් පුටින් කියන්නේ මෙයයි: තමන්ගෙන් දික්කසාද වූ ගැහැනිය වෙන කෙනෙකු සමග විවාහ වීම තමන් නොඉවසන බවයි. හිටපු සැමියෙකු තුළ මේ නොඉවසීම ඇති විය හැකිය. ඒ, ප්‍රායෝගික හේතු නිසාවෙනි. උදාහරණයක් වශයෙන්, එම විවාහයෙන් දරුවන් සිටින නිසා, ගැහැනිය වෙනත් කෙනෙකු සමග විවාහ වීම දරුවන්ට නරක අන්දමින් බලපෑ හැකි බවට පරණ සැමියා සාධාරණ තර්කයක් මතු කළ හැකිය. පුටින්, අද යුක්රේනයේ දකුණේ ප්‍රදේශ දෙකක ජීවත් වන රුසියානුවන් ගැන ප්‍රශ්නය හුවාදක්වමින්, එම ප්‍රදේශ දෙක තමන්ට ඈඳා ගනිමින්, සිය ආක්‍රමණය යුක්තිසහගත කරගැනීමට බලන්නේ එබැවිනි.

මේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමේ වෙනත් කිසි මාර්ගයක් ඇත්තේම නැතිනම්, එකී ප්‍රදේශ දෙක රුසියාවට භාර දී හෝ දෙවැනි විවාහයක් කරගැනීමේ නිදහස සහ අයිතිය (යුරෝපා සංගමයට සහ නේටෝවට ඇතුළත් වීමේ අයිතිය) යුක්රේනයට තිබිය යුතුය. කොහොමත්, එක භාෂාවක් කතා කරන, එක ජාතියකට සහ එක ආගමකට අයත් ප්‍රජාවක් නම්, ඔවුන් (වාර්ගික රුසියානුවන්) එක රාජ්‍යයක් තුළ සිටීම, එසේ නොසිටිනවාට වඩා හොඳ ය. එසේ වෙතත්, පුටින්ගේ හිතුවක්කාරී ආක්‍රමණය වෙනුවෙන් වන්දියක් නොගත්තොත්, සාමකාමී යුරෝපයක් පිළිබඳ සිහිනය නැවත වරක් බොඳ වීමට හොඳටම ඉඩ තිබේ. එබැවින්, රුසියාවට එරෙහිව තව තවත් සම්බාධක පනවන අතරේම, යුක්රේනයට ස්වකීය නිදහස සහ ස්වෛරීත්වය ආරක්ෂා කරගැනීම සඳහා ශක්තිය සැපයීම මේ මොහොතේ සමස්ත ලෝක ප්‍රජාවගේ වගකීමක් වන්නේය.

ගාමිණී වියන්ගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.