*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

මහතීර් මොහොමඩ් හා IMF ජාතකය

ලෙනින් හෝ මාඕට වඩා මහතීර් මොහොමඩ් ඇතැමෙක් අතර ෆැෂනබල් නිසාවෙන් ;

ලංකාව දැන් කල යුත්තේ වහ වහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නම් ‘ස්වාධීන’ අන්තර්ජාතික ආයතනයේ පිහිට පැතීම යැයි සිතීම ඒ තරමටම ෆැෂනබල් නිසාවෙන් ;

1997 ආසියානු මූල්‍ය අර්බුදයෙන් ඉක්බිති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත බරපතල විවේචනයක් ගෙන ඒම සම්බන්ධයෙන් මහතීර් මොහොමඩ් ප්‍රසිද්ධ වූ නිසාවෙන් ;

ගෝලීයකරණයේ හා නව ලිබරල්වාදයේ ජයග්‍රහණ ලෙස නැගෙනහිර ආසියාතික රටවල් හුවා දක්වන ලෝකල් මැට්ටන් මේ රටවල් ගෝලීයකරණයෙන් යම් ප්‍රයෝජනයක් ලැබුවේ නම් ඒ රාජ්‍ය කේන්ද්‍රීය ප්‍රතිපත්තියක් අනුගමනය කල නිසා බව නොකියන නිසාවෙන්;

දුරාතීතයේ පැවැති සම්මුඛ සාකච්ඡාවක දී මහතීර් මොහොමඩ් කී වචනයක් දෙකක් හුදී ජන පහන් සංවේගය උදෙසා සිංහලයෙන් මෙසේ ගෙන හැර දක්වමු :

පූරක: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපක්ෂපාතී ආයතනයක් නොවේ යැයි බොහෝ අය කියනවා. එය යුරෝපයට, ඇමරිකාවට පක්ෂපාත ආයතනයක්. අර්බුදයට පසුව ඔවුන් ඔබට යම් බෙහෙතක් නිර්දේශ කලා. ඒ බෙහෙත නිවැරදිද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බඳු ආයතන බෙහෙත් නිර්දේශ කිරීමට සුදුසු යැයි ඔබ හිතනවාද?

මහතීර් මොහොමඩ් : ඒක හරි බෙහෙත නෙමෙයි. ඒ නිසා තමයි මුල සිටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පතාගෙන ඒ වෙත යාම අප ප්‍රතික්ෂේප කලේ. ඉන් උදවුවක් නොවෙන බව අප දැන සිටියා. ඔවුන් අනුගමනය කල උපාය මාර්ගය; පොලී අනුපාත ඉහල දැමීම, අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම ආදී වූ ප්‍රතිපත්ති අපි අධ්‍යයනය කලා. ඒවා කිසිම ආර්ථිකයකට හොඳ දේවල් නොවේ.

මේ නිසා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විසඳුම ප්‍රතික්ෂේප කලා. වෙනත් රටවල් එම විසඳුම අනුගමනය කරන විට, අප ප්‍රවේශමෙන් එය නිරීක්ෂණය කලා. ඒ රටවල කිසිදු වර්ධනයක් සිදුවූයේ නැහැ. සිදුවූ එකම දේ ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තව තවත් ණය වීම. මේක අනාගතය සම්බන්ධයෙන් හොඳ දෙයක් නෙමෙයි. මේ ණය ආපසු ගෙවා නිම කිරීමට බොහෝ කල් ගත වේවි.

රටක සැබෑ දුර්වලතාවය කුමක්දැ’යි වටහා ගැනීමට සෑම රටක් ගැනම ගැඹුරු අධ්‍යනයක් කල යුතු බවයි අපේ අදහස. අපිට බැහැ ප්‍රශ්නය අයහපත් ආණ්ඩුකරනය නිසා, දූෂණය නිසා ආදී ලෙස සාමාන්‍යකරණයන්වලට සීමා වීමට. මේ ප්‍රශ්න අඩු වැඩි ලෙස යුරෝපීය රටවල හා ඇමරිකාවේ ද පවතී. අපි කල යුත්තේ ආර්ථිකය හදන්න කල යුත්තේ කුමක්දැ’යි හොඳින් සොයා බලා, ඒ අනුව ප්‍රතිකර්මය සකස් කරගැනීම. පටන් ගත් මොහොතේ සිටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා අයහපත් ආණ්ඩුකරනය ආදී දේවල් ගැන කියන කොට, අපට දැනුණා ඔහු තමුන් කථා කරන්නේ කුමක් ගැනදැ’යි මැනැවින් නොදත් බව. […] මූල්‍යමය වශයෙන් උපකාර කල හැකි තැනක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුවෙනවා. මෙලෙස ආධාර කිරීම සඳහා ඔවුන් තමන්ගේ විධිහට අප කටයුතු කල යුතු යැයි අපේක්ෂා කරමින් එක්තරා ආකාරයක කීකරු වීමක්, යටහත් වීමක් අපගෙන් අපේක්ෂා කරනවා.

පූරක: වොෂිංටන් සම්මුතිය හා ආසියාවේ වෙලඳපොල විවෘත කල යුතු බවට ඇමරිකාව කරන ඉල්ලීම ගැන සලකා බලමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ඔබ වෙත අවුත් ‘ඔබ දැන් කල යුත්තේ ඔබගේ ප්‍රාග්ධන වෙලඳපොල විවෘත කිරීමය, ඉන් ඔබ පොහොසත් වේවි’ යැයි කීවාද? ඉස්සර කාලයේ ශුභාරංචියේ පණිවුඩය ගෙන ආසියාතික රටවලට ගිය මිෂනාරීන් මෙන් ඇමරිකානු නිදහස් වෙලඳපොලවාදීන් නිදහස් වෙලඳපොලේ ශුභාරංචිය රැගෙන විත් කල තවත් කථා තිබේද? මේක ඔබට දැනුණේ කොහොමද?

මහතීර් මොහොමඩ් : මම හිතන්නේ ගොඩක් කාලයක සිට සිදුවූ දෙයක් මෙය. ගෝලීයකරණය කියන වචනය සමීප වචනයක් වීමටත් පෙර යුගයේ සිට. ඇමරිකාවේ ඉඳලා විවිධ නියෝජිතයන් ආවා. හිටපු රාජ්‍ය ලේකම් ඇලෙක්සැන්ඩර් හේග් ගේ ප්‍රධානත්වයෙන් පැමිණි එක් නියෝජිත පිරිසක් අපිට යෝජනා කලා ඇමරිකානු බැංකුවලට ජාතික බැංකුවල තත්වයෙන්ම අප රට තුල ක්‍රියාත්මක වන්ට ඉඩ දෙන්න කියලා. එහෙම කලොත් ඒ බැංකුවල විශාලත්වය නිසා මැලේසියානු බැංකු බංකොලොත් වේවි යැයි අපි පෙන්වා දුන්නා. එහෙත් ඔවුන් කී දේ තමයි, ඉන් අපට යහපතක් වන බව ; මොකද ඔවුන්ගේ විශේෂඥ දැනුම, කාර්යක්ෂමතාවය ආදිය අපගේ පද්ධතියට ගලා එන නිසා.

එහෙත් අපේ දේශීය බැංකු ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අපට වගකීමක් තිබෙනවා. අපි කීවා අපි තාම එහෙම දේකට සූදානම් නොමැති බව. අපි තව ලොකු වෙන කම් ඉන්න. ඉක්බිති ඔබට අප රට තුලට ආ හැක.

මේ විධිහට මුල් කාලයේ සිටම විදේශ සමාගම්වලට ජාතික තත්වය පිරිනැමිය යුතු බවට වූ ඉල්ලීම පැවැතියා. ජාතික තත්වය යනු අපගේ දුබල ව්‍යාපාර, බැංකු හා කර්මාන්ත ආරක්ෂා කිරීමට, ඒවා නොනැසී පවත්වා ගැන්මට අප විසින් යොදාගන්නා උපකරණයක්. ඒ මුල් යුගයේ විදේශ සමාගම්වලට ජාතික තත්වය පිරිනැමුවා නම්, අපගේ ව්‍යාපාර ආරක්ෂා කරගැන්මට කිසිදු විධිහක් නැහැ. ගෝලීයකරණය විධිමත් අදහසක් බවට පත්ව සිටින වර්තමානයේ ඉදිරිපත් කෙරෙන ඉල්ලීමත් මෙයයි ; විදේශ සමාගම්වලට රට තුල ජාතික තත්වය පිරිනැමීම. අපි එහෙම කලා නම්, අපගේ ව්‍යාපාර විදේශ සමාගම් විසින් ගිලගනු ඇති බවට අපිට වැටහුණා. හැමදේම නිකම්ම විනාශ වී යාවි. මෙන්න මේ නිසා තමයි අපි බටහිර රටවල් විසින් නිර්වචනය කරන ගෝලීයකරණය අපට යහපතක් නොකරන බවට කල්පනා කරන්නේ.

හමාර කීම :

එකල මහතීර් මොහොමඩ් අදත් මහතීර් මොහොමඩ්ය. වත්මන් ජාත්‍යන්තර අරමුදල එකල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලමය.

(සම්පූර්ණ ඉංග්‍රීසි සාකච්ඡාව සඳහා සබැදිය මෙතනින්)

  • රමිඳු පෙරේරාගේ ෆේස්බුක් පිටුවෙනි

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan