*
Tuesday, April 16, 2024
spot_img

Latest Posts

IMF ණය සතුට – සුපුරුදු විදේශ මුදල් සූදුවට නැවත යාමේ සුදානමක් ද?

පසුගිය 21 දින IMF විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක පමණ ණය මුදලක් අනුමත කළ බවටත්, එහි මුල් වාරිකය වන ඩොලර් මිලියන 333 ක පමණ මුදල ඉදිරි දින කිහිපය තුළ ලැබෙන බවටත් වූ උණුසුම් පුවත  ශ්‍රී ලංකාවේ අගනගරය මෙන්ම ගම් නියංගම් පුරා ව්‍යාප්ත විය. එහි ඉතා දුක්මුසු පුවත වූයේ, සමහර මහජන කොටස් විසින් කිරිබත්, රතිඤ්ඤා සහ ට්විටර් පණිවිඩ සංග්‍රහ පවත්වමින් එය සැමරීම යි. 

ඉන් බොහෝ දෙනෙකු IMF හෝ IMF ණය මුදල පිළිබඳ ව හෝ ඉන් දැනට කඩා වැටී තිබෙන ආර්ථිකයට ඉන් ලැබෙන සැබෑ සෙත පිළිබඳ ව හෝ කිසිවක් දන්නා අය නොවේ. එසේම, මේ පිළිබඳ ව සැබෑ තතු හොඳින් දන්නා ඉහළ පෙළේ දේශපාලනික නායකයන් සහ මහජන ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ද අදහස් දැක්වූයේ, IMF ණය මුදල යනු වත්මන් ආර්ථික අර්බුදයෙන්  ශ්‍රී ලංකාව බේරා ගෙන, ඉදිරියේ දී ලෝකයේ ධනවත් රටක් වීමට අවශ්‍ය දේව වරම ලැබීමක් ලෙස ය. මෙහි පුදුමය වන්නේ ගෝලීය මට්ටමේ සමහර ආර්ථික විද්‍යාඥයන් පවා මෙම IMF ණය මුදල ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන අමෘතය ලෙස දැක්වීම යි.

එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, IMF හෝ IMF ණය මුදල ගැන තාක්ෂණික අදහස් ඉදිරිපත් කිරීම නොව, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් මෙම IMF ණය මුදල හරහා තම පෞද්ගලික යහපත තකා, පොදු මහජනයාගේ අනාගතය තවත් විනාශ මුඛයට පත් කිරීමේ මූල්‍ය සූදුවක යෙදීමේ අවදානම පිළිබඳ ව අදහසක් ඉදිරිපත් කිරීම යි. 2021 වර්ෂය ආරම්භයේ සිට ආර්ථිකය බංකොලොත් වීමට හේතුව වූයේ ද මෙම මූල්‍ය සුදුව යි.

ලිපියේ පදනම 

මෙතරම් බංකොලොත් විමටකට පත් වී ඇති ශ්‍රී ලංකාවේ IMF ණය සැමරුම දුටු විගස මට සිහිපත් වූයේ, ඇමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙකු වූ ජොන් ඩැනිල්සන් විසින් පසුගිය වසර අවසානයේ එළි දක්වන ලද නව කෘතිය වන The Illusion of Control. Why Financial Crises Happen, and What We Can (and Can’t) Do about It” හි පළමු පිටුවේ පළමු ඡේදය යි. එය පහත දැක්වෙයි.

“Almost every economic outcome we care about is long term. Pensions, the environment, crises, real estate, education, you name it, what matters is what happen years and decades hence. Day-to-day fluctuations don’t matter to most of us-the short run isn’t very important. So it stands to reason that the way we manage our financial lives should emphasize the long run. But by and large, it doesn’t work. We are good at managing today’s risk but at the expense of ignoring the promises and threats of the future. That is the illusion of control.

මෙහි සරල සිංහල තේරුම මෙසේ ය.

“අප සැලකිලිමත් වන්නේ සෑම ආර්ථික ප්‍රතිඵලයකම දිගු කාලීන තත්ත්වය යි. විශ්‍රාම වැටුප්, අර්බුදයන්, මූර්ත වත්කම්, අධ්‍යාපනය යනා දී ලෙස ඔබ විසින් නම් කරනු ලබන ඕනෑම දෙයක වැදගත් වන්නේ ඉදිරි වර්ෂවල හෝ දශකයන්හි කුමක් සිදු වේ ද? යන්න යි. එදිනෙදා සිදු වන උච්ඡාවචනයන් අපි බොහෝ දෙනෙකුට වැදගත් නොවේ. එනම්, කෙටි කාලය එතරම් වැදගත් නොවේ. ඉන් දැක්වෙන්නේ, අප විසින් අපගේ මූල්‍ය ජීවිතය කළමනාකරණයේ දී දිගු කාලය අවධාරණය කළ යුතු බව යි. එහෙත්, සමාන්‍යයෙන් එය එසේ සිදු වන්නේ නැත. එදිනෙදා අවදානම කළමනාකරණය කිරීමට අප දක්ෂ වෙයි. එහෙත්, එය කෙරෙන්නේ අනාගත පොරොන්දු සහ තර්ජනයන් නොසලකා හැරීමේ පාඩුව දරමිනි.”

මෙම කතුවරයාගේ ග්‍රන්ථය පදනම් වන්නේ, රටවල් සහ කලාපයන් කලින් කළට මුහුණ දෙන ආර්ථික අර්බුදයන් මූල්‍ය අර්බුදයන් හරහා හට ගන්නා ආකාරය පිළිබඳ ව ප්‍රයෝගික විග්‍රහයක් කිරීම යි. මෙම ග්‍රන්ථයේ තේමාව වනුයේ, දිගු කාලයේ දී ආර්ථිකයන් මුහුණ දෙන පද්ධති අවදානම් ඇති කෙරෙන මූලයන් සැලකිල්ලට නොගෙන, එදිනෙදා හට ගන්නා අවදානම් ඒ ඒ අවස්ථාවට කළමනාකරණය කිරීමට උත්සාහ කිරීම සෑම අර්බුදයකටම හේතුව බව යි. එය ග්‍රන්ථයේ පළමු ඡේදයෙන්ම ඉදිරිපත් කොට ඇත. 

එම ඡේදය තේරුම් ගැනීමට සාමාන්‍ය බුද්ධියක් තිබෙන ඕනෑම කෙනෙකුට, මෙම IMF ණය මුදල යනු, කිසිම දිගු කාලීන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් නොමැති, හුදෙක් වත්මන් ප්‍රතිපත්ති සම්පාදකයන්ට හුරු පුරුදු කෙටි කාලීන පිළියමක් බව අවබෝධ වනු නිසැකය. ඊට හේතුව, මෙය ශ්‍රී ලංකාව විසින් IMF ණය ලබා ගත් 17 වැනි වතාව වන අතර මීට පෙර 16 වතාවේ දී සිදු නොවූ ආර්ථික සංවර්ධන  ප්‍රාතිහාරයක් 17 වැනි අවස්ථාවේ අවුරුදු හතරක් තුළ කොටස් වශයෙන් ලැබෙන ඩොලර් බිලියන 3 කින් සිදු කළ නොහැකි බව අවබෝධ කර ගැනීමට ආර්ථික විද්‍යා න්‍යායන් දැන ගැනීම අවශ්‍ය නොවේ. 

විශේෂයෙන් 2009 ජුලි සිට 2012 ජුලි දක්වා ඩොලර් බිලියන 2.6 ක් ද, 2016 ජුනි සිට 2020 ජුනි දක්වා ඩොලර් බිලියන 1.5 ක් ද, ලෙස IMF ණය වැඩ සටහන් දෙකක් වත්මන් ප්‍රතිපත්ති සම්පාදකයන් විසින්ම ක්‍රියාත්මක කළ ද, 2021 දී ආර්ථිකය බලා සිටිය දී කඩා වැටීම සිදු විය. එහෙත්, එම IMF ණය වැඩසටහන් දෙකේ ද කොන්දේසි සහ වචන මාලාව නව වැඩසටහනට බොහෝ සමාන වෙයි. එසේම, ලෝකයේ IMF ණය වැඩසටහනකින් ධනවත් වූ රටක් ද නොමැත. එහෙත්, රාජ්‍ය අධිකාරීන් විසින් වැරදි ආර්ථික කළමනාකරණයක් තුළ හිර වන අවස්ථාවක, IMF ණය වැඩසටහනකින් ඔවුන්ට තාවකාලික මූල්‍ය හුස්ම ටිකක් ලැබෙන බව සත්‍යයකි.

එය අවබෝධ කර ගැනීම සඳහා පළමුව ශ්‍රී ලංකාවේ දිගු කාලීන ආර්ථික යහපත සදහා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් අතීතයේ දී ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්/ව්‍යාපෘති  කිහිපයක් මෙහි දී දැක්විය හැකිය.

දිගු කාලීන අතීත ආර්ථික ක්‍රියාකාරකම්

1. රජ පාලන සමයේ රටපුරා වැව් අමුණු ඉඳි කිරීම සහ නඩත්තු කිරීම

2. බ්‍රිතාන්‍යයන් විසින් තේ, පොල්, රබර් අපනයන ආර්ථිකයක් බිහි කොට, එයට අවශ්‍ය ප්‍රවාහන සේවාවන් සඳහා මහා මාර්ග සහ දුම්රිය සේවාව ඇති කිරීම

4. නිදහස ලැබීමෙන් පසු ගොවි ජනාවාසයන් බිහි කිරීම

5. මූල්‍ය ක්‍රමය ස්ථාපිත කොට එය නියාමනය සහ අධීක්ෂණය සඳහා මහ බැංකුව පිහිටු වීම, මූල්‍ය පහසුකම් ගම් නියංගම් වෙත සැපයීම සඳහා ලංකා බැංකුව ජනසතු කිරීම සහ මහජන බැංකුව සහ ඉතිරි කිරීමේ බැංකුව පිහිටු වීම

6. නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව හඳුන්වා දී පවත්වා ගෙන යාම

7. ආර්ථිකය ගෝලීය ආර්ථිකයට ක්‍රමයෙන් විවෘත කිරීම 

8. කඩිනම් මහවැලි ව්‍යාපාරය ආශ්‍රිත ජලාශ, ජල විදුලි බලය සහ ස්ථිර කෘෂිකර්මය මත වූ දේශීය ආර්ථික සංවර්ධනය.

9. අපනයන ප්‍රවර්ධන කලාපයන් පිහිටු වීම සහ නව කාර්මික අපනයන හඳුන්වා දීම 

10. දේශීය නිවාස, විදුලිය සහ ජල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්තිය

11. මාර්ග සංවර්ධනය සහ අධිවේගී මාර්ග ඉඳි කිරීම

12. වරාය සහ ගුවන් තොටුපොළවල් ඉඳි කිරීම සහ සංවර්ධනය

මේවා කාලයෙන් කාලයට කළමනාකරණය  කළ ආකාරය සහ අයහපත් අතුරු ප්‍රතිඵල පිළිබඳ ව පශ්චාත් විවාදයන් පැවතිය ද, ඒවා මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ මහජනතාවගේ ජීවන තත්ත්වය සංවර්ධනයට දැක්වූ දායකත්වය පිළිබඳ විවාදයක් නොමැත. එවැනි තවත් ව්‍යාපෘති පිළිබඳ දිගු ලේඛනයක් සැකසිය හැකිය. 

එබැවින්, අප විමසිය යුත්තේ, නව IMF ණය වැඩසටහන යනු එවැනි දිගු කාලීන ප්‍රතිඵල ලැබෙන ව්‍යාපෘතියක් ද? යන්න යි. එහෙත්, රාජ්‍ය අධිකාරීන් විසින් මේ දක්වා නිකුත් කොට ඇති තොරතුරු අනුව පෙනී යන්නේ, නව IMF වැඩටහන ද රාජ්‍ය අධිකාරින්ගේ වරදින් හට ගෙන ඇති ආර්ථික අර්බුදය තුළ තවත් කෙටි කාලීන අවදානමක් කළමනාකරණය කිරීම සඳහා භාවිතා කෙරෙන මෙවලමක් බව යි.

අදාළ අධිකාරීන් විසින් මෙය ශ්‍රී ලංකාව ඉදිරි කාලයේ දී ධනවත් රටක් බවට පත් කිරීමේ ඒකායන මාර්ගය ලෙස දැක්වුව ද, එවැනි පැහැදිලි දිගු කාලීන වැඩපිළිවෙලක් එහි නොමැත.

නව IMF වැඩසටහනින් ශ්‍රී ලංකාව ඉදිරියේ දී ධනවත් මාවතට පිවිසෙන බවට දැක්වීම  

මීට අදාළව, රාජ්‍ය අධිකාරීන් විසින් අතිශෝක්තියෙන් දක්වන කරනු කිහිපයකි.

  • පළමුව, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනවලින් ඉදිරියේ දී ඩොලර් බිලියන 7 ක පමණ ණය ආධාර ලැබීම.
  • දෙවනුව, ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නොවන බැවින් විදේශ ආයෝජක විශ්වාසය ඉහළ ගොස් පෞද්ගලික ආයෝජන හරහා ආර්ථිකයට විදේශ මුදල් ලැබීම.
  • තෙවනුව, එම විදේශ මුදල් ලැබීම් හරහා මහ බැංකුවේ විදේශ සංචිතය ඉහළ යාම.
  • සිවුවනුව, එමගින්, රුපියල තවත් ශක්තිමත් වී විනිමය අනුපාතය පහළ යාම තුළින් ඉන්ධන වැනි අත්‍යාවශ්‍ය ආනයන පිරිවැය පහළ යාමෙන් උද්ධමනය පහළ යාම.
  • පස්වනුව, විදේශ සංචිතය ඉහළ යාම හේතු කොට ආනයන සිමා ලිහිල් කිරීම හෝ ඉවත් කිරීම හරහා ආර්ථිකය නැවත ක්‍රියාකාරී වීම.
  • සයවනුව, ආර්ථික වර්ධනය ඉහළ දැක්වීම යාම  සහ දැනට 50% මට්ටමේ පවතින උද්ධමනය 4%-6% මට්ටමට පහළ යාම .

එහෙත්, පැහැර හරින ලද ඩොලර් බිලියන ගණනක රාජ්‍ය විදේශ ණය ගෙවීමේ කිසිම සැලසුමක් තවමත් නොමැතිව, රාජ්‍ය දේශීය ණය ද පැහැර හැරීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ව මැසිවිලි නැගෙන, තවත් කඩා වැටෙමින් පවතින ආර්ථිකයට නැවත හුස්ම ගැනීම සඳහා ඉදිරි දශක කිහිපයක් ගත වනු ඇත. ඒ සඳහා දිගු කාලීන වැඩපිළිවෙලක් අවශ්‍ය වෙයි.

එබැවින්, මෙම IMF ණය මුදලින් කෙරෙන්නේ, ඉතා කෙටිකාලීන හුස්ම සැපයීමක් බව කිව යුතු නැත. අතීත IMF ණය මුදල් මගින් සිදු කරන ලද්දේ ද එවැනි ක්‍රියාවකි. මෙවර IMF ණය මුදල මීට පෙර ඒවා මෙන් නොව ගෙවුම් ශේෂ හිඟය සඳහා පමණක් නොව රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා ද භාවිතා කළ හැකි බවට උදම් ඇනුව ද, මෙම ණය මුදලින් ද දිගු කාලීන ආර්ථික සෞඛ්‍යය ඉහළ නැංවීම සඳහා කළ හැකි දෙයක් නොමැත.

නව IMF ණය වැඩසටහන මගින් රාජ්‍ය අධිකාරීන් විසින් සැරසෙන්නේ නැවත විදේශ මුදල් සූදුවට යාමට ද?

IMF ණය වැඩසටහනට සමඟ ආර්ථිකයට නව විදේශ අරමුදල් ලැබෙන ආකාරය පිළිබඳ ව රාජ්‍ය අධිකාරීන් විසින් ප්‍රකාශ කරනු ලබන අසම්භාව්‍ය අදහස් දෙස බලන විට පෙනී යන්නේ, මෙම අධිකාරීන් විසින් පසුගිය දශකයක පමණ කාලය තුළ යෙදුන විදේශ මුදල් පොන්සි සූදුව නැවත ආරම්භ කිරීමට සැරසෙන බව යි. එනම්, කෙටි කාලීන විදේශ ණය වෙළෙදපොළ මත පදනම් වූ විදේශ මුදල් ප්‍රවාහය තුළින් ප්‍රධාන සාර්ව ආර්ථික ඉලක්කම් සකසා, ආර්ථිකයේ පදනම ශක්තිමත් බව මහජනයාට පෙන්වීම යි. විචක්ෂණ සාර්ව ආර්ථික කළමනාකරණය ලෙස හැඳින් වූයේ මෙම සූදුව යි. පසුගිය දශකයේ එය කරනු ලැබූ ආකාරය කෙටියෙන් පහත දැක්වෙයි.

  • IMF ණය වැඩසටහනක් ලබා ගෙන ආර්ථිකයේ මූල්‍ය විනයක් ඇති බව ලෝකයාට පෙන්වීම.
  • IMF සමඟ කණ්ඩායම් ගතව ක්‍රියා කරන ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ ව්‍යාපෘති සහ වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවට විදේශ මුදල් ණය සහ ආධාර ලබා ගැනීම. 
  • IMF ණය වැඩසටහන් වාර්තාවේ දත්ත මත  පදනම් වී, ජාත්‍යන්තර ණය ශ්‍රේණි ආයතන විසින් ශ්‍රී ලංකාවට ආයෝජන ණය ශ්‍රේණියක් ලබා දීම. මෙය විශේෂයෙන් මහ බැංකුවේ විදේශ සංචිතයේ මට්ටම සහ පුරෝකතනයන් මත පදනම් වෙයි.
  • ස්වෛරිත්ව බැඳුම්කර, සංවර්ධන බැඳුම්කර, දේශීය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ බැංකු ණය හරහා විදේශ ආයෝජන ලබා ගැනීම තුළින් මහ බැංකුවේ විදේශ වත්කම් සංචිතය ඩොලර් බිලියන 5-7 ක පවත්වා ගෙන යාම සහ ගෙවුම් ශේෂ හිඟය පියවීම. මෙහි දී, මහ බැංකුවේ කෙටි කාලීන විදේශ මුදල් හුවමාරු විශේෂ වැදගත් කමක් දරන ලදි. මෙම අරමුදල් රැස් කිරීම ජාත්‍යන්තර ආයෝජන බැංකු සහ සමාගම් කිහිපයක් හරහා සිදු විය. IMF, ලෝක බැංකුව, ණය ශ්‍රේණි ආයතන සහ ආයෝජන බැංකු යනු එකම ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ ආයෝජන කණ්ඩායමකි. එබැවින්, දිගු කාලීන ආර්ථික සංවර්ධනයට අවශ්‍ය මූර්ත නිෂ්පාදන අංශ වෙත ලැබුන ඍජු විදේශ ආයෝජනයන් විරල විය. ඒ බව ආර්ථිකයේ දශක කිහිපයක් පුරා පවතින කෙටි කාලීන විදේශ ණය මත පැවති ආනයන ආර්ථික මොඩලය දෙස බැලීමෙන් පෙනේ.
  • විදේශ සංචිතය මගින් රුපියල අවප්‍රමාණය පාලනය කිරීම හරහා ආනයනිත උද්ධමනය පාලනය කිරීම සහ රාජ්‍ය මූල්‍ය මෙවලම් හරහා දේශීය භාණ්ඩ හා සේවා මිල ගණන් පාලනය කිරීම යනාදිය තුළින් උද්ධමන අනුපාතය පහළ මට්ටමක පවත්වා ගැනීම.
  • ආර්ථිකයේ මුදල් පාලනය විදේශ සංචිතය සහ විදේශ ආයෝජන මත සිදු කිරීම 

මෙම මොඩලය මහ බැංකුව විසින් මෙහෙය වූ අතර එය හුදෙක් කෙටි කාලීන විදේශ මුදල් ප්‍රවාහය කළමනාකරණය කිරීමේ ගිණුම් ලිපිකරුවකුගේ කාර්යය විය. මෙහි දී, ආර්ථිකයේ දිගු කාලීන සංවර්ධන ඉලක්ක නොමැති වූ අතර එදිනෙදා විදේශ මුදල් අවදානම් විසඳා ගැනීම සිදු කෙරින. 

එය සිදු කරනු ලැබුවේ රජයට ලබා ගන්නා කෙටි කාලීන විදේශ ණය හරහා ය. මෙම මොඩලය හුදෙක් පොන්සි අරමුදල් මොඩලයක් වූ අතර එමගින් මැදි හා දිගු කාලයේ ආර්ථිකයට ඇති කෙරෙන පද්ධති අවදානම් ඉතා ඉහළ මට්ටමක පැවතින. පොන්සි ක්‍රමයන් ඉක්මනින් කඩා වැටෙන බව සරල කරුණකි. 2021 වර්ෂයේ සිට ශ්‍රී ලංකා ආර්ථිකය කඩා වැටුනේ, එම මොඩලය කඩා වැටීම හේතුවෙන් බව රහසක් නොවේ. එබැවින්, එම මහ බැංකු සාර්ව ආර්ථික කළමනාකරණ මොඩලයෙන් වින්දිතයන් බවට පත් වූයේ රජය සහ පොදුජනයා ය.

නව IMF ණය වැඩසටහන ඇසුරින් ඉදිරියේ දී ආර්ථිකය ගොඩ එන ආකාරය පිළිබඳ ව අදාළ අධිකාරීන් විසින් දක්වන තොරතුරු අනුව පෙනෙන්නේ, එම සුපුරුදු විදේශ මුදල් සූදුව නැවත ආරම්භ කිරීම තුළින් රජය සහ මහජනතාව නැවත කෙටි කාලීන සතුටකට පත් කොට, ජාතික වීරයන් ලෙස තම තනතුරු ආරක්ෂා කිරීමට උත්සාහ කරන බව යි.

එහෙත්, වත්මන් ගෝලීය ආර්ථිකයේ පවතින පද්ධති අවදානම්, එනම් අධිඋද්ධමන පීඩනය, වේගයෙන් ඉහළ නගින පොලී අනුපාතයන් සහ එහි ප්‍රතිඵලයක් ලෙස හට ගෙන ඇති ආර්ථික අවපාත සහ බැංකු චකිත අවදානම්, යනාදිය දෙස බලන විට එම සුපුරුදු මුදල් සූදුව නැවත ආරම්භ කිරීමේ සම්භාවිතාවය ඉතා සුළු බව කිව හැකිය. 

ඊට හේතුව, ගෝලීය ආයෝජන බැංකු සහ අරමුදල් ද බුන්වත් වීමේ දැඩි අවදානමකට මුහුණ දී ඇති බැවින්, ණය පැහැර හැර කඩා වැටී ඇති ශ්‍රී ලංකාව වැනි රටවලට IMF වාර්තාවන් මත පදනම් වී තම අරමුදල් ආයෝජනය කිරීමට තරම් ඔවුන්ගේ ආයෝජන කළමනාකරුවන් මෝඩ නොවීම යි.

මෙහි ඇති දිගු කාලීන අවදානම වනුයේ, IMF නව කොන්දේසි මත ශ්‍රී ලංකාවේ මහ බැංකුව ඇතුළු ආයතන පද්ධතිය විනාශ කිරීමට IMF දායකයන් ක්‍රියා කිරීම යි. එම ආයතනවල පවතින්නේ කළමනාකරණ ගැටළුවක් මිස, ආයතන ව්‍යුහයේ ගැටළුවක් නොවන අතර ආර්ථික අර්බුදයට දායක වූයේ එම දුර්වල කළමනාකරණය යි. එහි කේන්ද්‍රස්ථානය වූයේ මහ බැංකුව යි. වර්තමානයේ මහ බැංකුව කළමනාකරණය කෙරන්නේ ද එම නිලධාරීන් විසිනි.

සමාප්ත සටහන 

එබැවින්, වර්ෂ හතරක කාලයක් පුරා කොටස් වශයෙන් ලැබීමට නියමිත ඩොලර් බිලියන 3 ක IMF ණය මුදල වෙනුවෙන් කිසිම සෙවීමක් හෝ බැලීමක් නොමැතිව රටේ ආයතන පද්ධතිය විනාශ කිරීම යනු, අටුව කඩා පුටුව සැදීමට වඩා අයහපත් අවදානම්වලට ඉදිරි දශකයේ දී මුහුණ දීමට සිදු වන ක්‍රියාවකි. එම අවදානම් IMF පරිගණක ඉලක්කම්වලට හසු නොවන අවදානම් වෙයි.

එබැවින්, අදාළ සාර්ව ආර්ථික කළමනාකරණ අධිකාරීන් විසින් වහාම කළ යුත්තේ IMF ණය අඬහැරය නවත්වා, ඉදිරි දශක දෙක තුළ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා ප්‍රයෝගික ඉලක්ක සහිත ප්‍රතිපත්ති වැඩසටහනක් ඉදිරිපත් කිරීම යි. 

එසේ නොවුව හොත්, IMF ණය මුදලෙන් ලැබෙන කෙටි ප්‍රතිලාභයන් ඉතා කෙටි කලකින් සුළු පිරිසක් අතට පත් වී, IMF කිරිබත්, රතිඤ්ඤා සහ ට්‍විටර් සැමරුම් කරුවන් විසින් රජයට එරෙහිව නැවත අරගල ආරම්භ කිරීමට වැඩි දිනක් නොයනු ඇත. ඊට හේතුව, ආර්ථිකය සහ  පොදුජනතාව මුහුණ දෙන පද්ධති අවදානම් වර්ෂ හතරක කාලයක් තුළ ලැබෙන අසම්භාව්‍ය ඩොලර් බිලියන 3 කින් විසඳිය නොහැකි බැවිනි.

රාජ්‍ය අධිකාරීන් විසින් IMF ණයෙන් ලැබෙන පළමු ඩොලර් මිලියන 333 ගැන උදම් ඇනුව ද, විදේශ රැකියාවල නියුතු දුප්පත් ශ්‍රී ලාංකිකයන් විසින් මාසයකට ඩොලර් මිලියන 300-400 අතර ප්‍රමාණයක් පසුගිය වසරේ බැංකු හරහා ඒවා ඇත. එය, 2020 වසරේ මාසිකව ඩොලර් මිලියන 500-700 ක් පමණ විය. IMF සේවක මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකු සිතන ආකාරයට ශ්‍රී ලංකා සමාජ ආර්ථිකය වෙනස් කිරීමේ කොන්දේසි හිස මුදුනින් පිළි ගනිමින්, මාස 6 කට වරක් ඩොලර් මිලියන 333 ක IMF ණය වාරිකයක් ලබා ගැනීමට IMF පිටිපස දුවන රාජ්‍ය අධිකාරීන්, මාසික විදේශ සේවක ප්‍රේෂණ ප්‍රමාණය නැවත ඩොලර් මිලියන 500-700 දක්වා ඉහළ දැමීමට අවශ්‍ය විශ්වාසනීය ප්‍රතිපත්ති මෙවලම් ක්‍රියාත්මක කිරීමට කිසිම උනන්දුවක් නොදක්වන බව පෙනේ. පසුගිය සති කිහිපය තුළ සිදු වූ වෙළෙඳපොළ විනිමය අනුපාත සූදුව තුළින් ඔවුන් ලැබූ අනපේක්ෂිත පාඩුව හේතු කොට, ඉදිරියේ දී විදේශ ප්‍රේෂණ තවත් අඩු විය හැකිය.

එබැවින්, අදාළ රාජ්‍ය අධිකාරීන්ගේ වත්මන් වගකීම වනුයේ, පොදුජනතාව මුලා කෙරෙන කෙටි කාලීන අවදානම් පාලන වාත්තු ක්‍රියාකාරකම් නවතා, ආර්ථිකය සහ පොදුජනයාගේ දිගු කාලීන සංවර්ධන ඉලක්ක සහ අවදානම් කළමනාකරණයට ප්‍රමුඛත්වය දෙන ප්‍රතිපත්ති රාමුවක් කඩිනමින් ඉදිරිපත් කිරීම යි. එය, දැනට රාජ්‍ය සේවයේ සිටින ඉහළ නිලධාරීන්ට කළ නොහැකි නම්, පැරණි පොන්සි මුදල් සූදුවලට නැවත නොගොස් එය කළ හැකි නව නිලධාරීන් පත් කිරීම ද රජයේ වගකීම යි.

මෙහි දී, නව ප්‍රතිපත්ති රාමුව කුමක් ද? යන්න යෝජනා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටීම යෝග්‍ය නොවන්නේ, ඒ සඳහා අවශ්‍ය තොරතුරු, දැනුම සහ අධිකාරී බලය පවතින්නේ අදාළ රාජ්‍ය අධිකාරීන් සතු බැවිනි.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව(කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ.(කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)

Economy Discovery: https://economydiscovery.blogspot.com/2023/03/imf.html

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan