නුවර – කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම – කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම්!

අද (28) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී නුවර – කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම – කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ප්‍රතිලාභ කඩිනමින් ජාතික ආර්ථිකයට එක් කර ගැනිම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු සඳහා ලබාදිය හැකි කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ඇතුළත් යෝජනා පිළිබඳවද සාකච්ඡා විය.

කොළඹ නගරයේ මාර්ග තදබදය අඩු කිරීම සඳහා දුම්රිය පද්ධතිය වැඩිදියුණු කිරීම සහ බස්‍ රථ හා මාර්ගස්ථ සේවා ප්‍රමිතිගතකරණය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් ආරම්භ කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

එමෙන්ම කොළඹ, නුවර, කුරුණෑගල, මොරටුව යන නගර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබා නොදෙන ඉඩම් හඳුනාගැනීම සහ එම ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීම පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.‍