එක එක වෙලාවට, එක එක කලෙට එක එක විදියට රැලි නඟින මූද දිහා බලා ඉන්ඬ මං ආසා බවත් ඒ රැලි ගල් පර වල වැදිලා චප්ප චොරොස් වෙන හැටි, බල බිඳගෙන ආවට වඩා වේගෙන් මූදට යන හැටි බලා ඉන්ඬ එයිටත් වඩා ආසා බවත් ගිය සතියෙද කොහෙද ලීවා මතකය.
මාස තුන හතරකට කලිං මැදවච්චියේ සමුපකාර නිලවරනයෙන් ජවිපෙය සභික ධූර 16 ම දිනා ගත් විට මං ඒ දෙස බලං සිටියේද ආසාවෙන්ය.
වෙනදා මග තොට හම්බ වුනාම මචං, මාත්තයා, සර් කියලා කට පුරා හිනා වුන සමහරුන් නිලවරනයෙන් පසු අහසේ වලාකුළු දෙස බලමින් ගෝන අං තට්ටුව ගිලපු පිඹුරන් සේ අහක බලං උජාරුවෙං යන හැටි මං බලං හිටියේද මහත් ආසාවෙන්ය. හැමදාම එන යන මූදු රැල ඔවුන්ට පෙනෙන්ඩ ඇත්තේ සුනාමියක් ලෙස විය යුතුය.
නිලවරනයේ අක්‍රමිකතාවක් හේතුවෙන් සමුපකාර කොමසාරිස් විසින් එය අවලංගු කලේය.
ඊයේ නැවත එය පැවැත්විය.
පොහොට්ටු, සජබ, යූඇන්පී භේදයකින් තොරව ගියවර පැරදුන සෙට්ටෙක සන්ධානගත විය.
උද්දච්චකම විතරක් එකම ආයුධය කර ගත් ජවිපෙය එකදු සභික ධුරයක්වත් නැතිව අන්ත පරාජයක් ලැබීය.
තාත්තා වෙනුවට පුතාත්, මාමා වෙනුවට බෑනාත් රාජ්‍යත්වයට පත් කරමින් ප්‍රංශයේදී කෙලවර වුන සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ විප්ලවය හෑල්ලුවට ලක් කල මාක්ස්ගේ ලුයි බොනපාට්ගේ 19 වෙනි බෲමරය නම් රසවත් ලියවිල්ල ආපහු කියවන ගමං දැ මං බලාන ඉන්නේත් ලොකූ විප්ලවවාදියෙක් ගේ මැලවුන මූනත් තහඩුවක් දැං දැං මං ඉදිරිපිට පෙනෙන්ඩ ගනියි කියන ආසාවෙන්ය.
මූද රැලි නංවනවාට මං ආසා වුනාට , වෙලාවකට ඒ ඝෝෂාව මට හෙන කං කරච්චලයක්ය.
~ වසන්ත සිරි වටගොඩ
RN