යකා කියන තරම් කළු නැතත් සුදු නැත !

උපාලි කොළඹගේ

කොළඹ LNW:මේ ආණ්ඩුව ගැනත් කියන්න තියෙන්නෙ ඇතැම් විපක්ෂ කණ්ඩායම් කියන තරම් ආණ්ඩුව නරක නැතත් හොඳමයි කියන්නත් බැරි බවය. ආණ්ඩුවට තියෙන ආශිර්වාදය නම් රටේ පාලනය භාරදීමට තරම් සුදුසු පක්ෂයක් විපක්ෂයේ නැති බවය. පල් ගඳ ගහන මඩ පුවක් හැලියකට රට භාරදෙන්නේ කෙසේද යන්නය අපට ඇති ප්‍රශ්නයයි. මේ ආණ්ඩුවට හොරුන් යැයි චෝදනා කිරීමද තවම ගැලපෙන්නේ නැත. නීලකාස හොරු කණ්ඩායමක් එසේ චෝදනා කරන විට එය පිළිකුල දනවන සුළුය. නමුත් එයින් අදහස් වන්නේ මේ ගොයියල පෙ⁣රාපු රත්තරන් කියල නම් නොවේ. හොරකම් කළත් හොරුන් ආරක්ෂා කළත් ඒ දෙකේ ඇත්තේ කෙස් ගහක වෙනසකි.

මැක්කගෙ කතාව වගේ මේ දවස්වල ඕනැම දේශපාලන කතා බහක් නිමාවට පත්වන්නේ ඇමති කුමාර ජයකොඩිගෙනි. කුමාර ජයකොඩි ඉංජිනේරු මහත්තය හොරෙක්ද නැද්ද වංචනිකයෙක්ද නැද්ද යන්න ගැන හාංකවිසියක දැනුමක් මා සතුව නැත. මා දන්නේ ඔහු මහාධිකරණය විසින් අධිචෝදනා භාර දුන් සැකකරුවකු බවය. නීතිය පිළිබඳව ගැඹුරු දැනුමක් නැති මුත් අධිකරණයෙන් අධිචෝදනා ලැබූවකුට අනුමානයන් මත සම්පූර්ණයෙන් නිර්දෝෂී පුද්ගලයකු යැයි චරිත සහතිකයක් දීමටද නොහැකිය. ඔහු සම්පූර්ණ නඩු විභාගයකට ලක්ව අධිකරණය මගින් තීන්දුවක් ලබා දෙන තුරු වරදකරුවකු වන්නේද?

නමුත් කුමාර ජයකොඩි හොඳ මහත්මයකු නම් මේ අතරමැදි කාලය නිමාවන තුරු කළයුතු හොඳම දේ ඇමතිකමෙන් ඉල්ලා අස්වීමය. අධිකරණ විභාගයේ පාරදෘශ්‍යභාවයටද එය ඉමහත් රුකුලකි. එය ඔහුට ඇමතිකම දුන් ජනාධිපතිතුමාටත් ආණ්ඩුවේ සෙසු සාමාජිකයන්ටත් මහත් අස්වැසිල්ලක් වනු නියති. කෙසේ වුවත් ඇමති කුමාර ජයකොඩි ඒ තීන්දුව ගත්තේ නැත.

අධිකරණ කටයුත්ත නිමාවන තුරු තමා වැරදිකරුවකු නොවන නිසා ඉල්ලා අස්වන්නට අවශ්‍ය නැතයි සරල බයිලාවෙහි ඔහු එල්ලී සිටී.

ආණ්ඩුවේම අභාග්‍යයකට මෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එම සරල බයිලාව අනුමත කරන්නකු බවට පත්ව තිබේ. ජනාධිපති ඊටත් එහා ගිය සෙයකි. ඔහු පවසන්නේ චෝදනාව ඇමතිවෙන්න ඉස්සර කළ දේකට නිසා ඉල්ලා අස්වීමට අවශ්‍ය නැති බවය. මෙය නම් හතර බීරි කතාවකි. ඇයි හත්වලාමේ ඔය විදියට ස්ත්‍රී දූෂණයකට දඬුවම් ලැබූවකුද ඇමති මණ්ඩලයට ගතහැක. අනික් කරුණ ජනාධිපති අනුර මේ පිළිබඳව කර ඇති ප්‍රකාශවලට අනුව පොහොර සංස්ථාවේ සිටියදී කළ දේකට වරදකරු වුවද කුමාර ජයකොඩි ඇමති මණ්ඩලය තුළ තබා ගනීවි යැයි අනුමාන කළ හැක. මේක නම් අනුර කුමාර ආණ්ඩුවේ දූෂණ විරෝධය වාෂ්ප කරන තීරණාත්මක මංසන්ධියකි.

ආණ්ඩුවේ ඇතැම් පාර්ශව පවසනුයේ පොහොර සංස්ථාවේ ජයකොඩිට පහලින් සිටි අයගේ වැරදිවලට ඔහුට වගකීමට සිදුවී ඇති බවය. ඔය කතාවම ගල්අඟුරු වංචාව ගැන ද කියවේ. එය ද සම්පූර්ණයෙන් නිලධාරීන් පිට පැටවීමේ වෑයමක් දැන් දැන් දක්නට ලැබෙයි. මේ කරණු සත්‍ය නම් අපට නිගමනය කළ හැකි වන්නේ කුමාර ජයකොඩි වනාහී කිසිදු වගකීමක් දැරීමට නුසුදුසු දුබලයකු ලෙසය. තාවකාලිකව නොව ඇමතිකමක් දැරීමට කොහොමවත් නුසුදුස්සකු ලෙසද වර්ග කළ හැකිය.

මේ මනුස්සයා අස්වන හෝ අස් නොකරන නිසා කරලියට එන මේහා බැඳුණු කතා රාශියකි. කුමාර ජයකොඩි පොහොර සංස්ථාවේ සිටි කාලයේ ඇමතිවරයා වූයේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකය. 76 වසරක ශාපයට මේ ආණ්ඩුවේ නායකයන් දායකත්වය දුන් කාලයයි. පරිවාස රසමසවුල්ල භුක්ති විඳින කාලයයි.

කෙසේ වුවද මේ අනුව විවිධ සැකසංකා පහළ වීම නොවැලැක්විය හැකිය. මාලිමා ආණ්ඩු වේ පමණක් නොව ජනාධිපතිතුමාගේ මුහුණේ ද දැලි තවරා අවසන්ය. ගල් අඟුරු දැලිත් එකතු වූ විට තත්ත්වය තවත් බරපතලය.

ඇමතිතුමෝ ඔබ හොඳ මිනිහකු විය හැකියි. යන්න අකමැතිත් ඒ නිසා විය හැකියි. ඒ වුණාට දැන්වත් අපට පව් නොදී යන්න . please හො⁣ඳේ!