*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ඇත්තම සිංහයෙක් නිහඬ වෙයි

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 20, කොළඹ (LNW):

සිංහ ධජය යනු ශ්‍රී ලංකාවේ නියෝජනයකි.එහෙත් එය පසුගිය කාලයේ භාවිතා වූ ආකාරය ගැන එතරම් කැමත්තක් නැත.මේ රටේ එක් ජන කොටසක් නියෝජනය වන බවත් පෙන්වන සිංහයා පෙරටු කර එම ජන වර්ගය මහ රටේ ප්‍රධාන ආගම නියෝජනය කළ පිරිස් අනෙක් ජන කොටස් පෙළීම සඳහා සාමුහිකව එක් වන තැනදී මේ සිංහයාව දූෂණය කළ අවස්ථා අපි දුටිමු.මේ සටහනෙන් සංවේගයෙන් සිහිපත් කරන වියෝවේ හිමිකරු ද වරක් සිංහ ජන කොටසේ නියෝජිතයෙක් නොවුණු නිසා ආසියානු කෙළි මඩල ජයගත් මලල ක්‍රීඩකයින් ඇගයෙන මොහොතක නොසළකා හැරිය බවද අපි දනිමු.
ඇත්තටම සිංහයා සතෙකි.

ඔහු වනයේ අධිපතිය.සිංහයන්ගේ පමණක් නොව සියළු වන සතුන්ගේ රජු හැටියට නියෝජනය වන සිංහයා වෙන්නට සමහර හිවලුන් ද හම් පොරවාගෙන උත්සාහ කරන බව අපි අසා ඇත.ඒ නිසා සිංහ හැසිරීම් ලෙස අප හිවල් සම් පොරවා ගත් හිවලුන්ගේ හැසිරීම් ද විශ්වාස කළා වෙන්නට හැකිය.කෙසේ වුව වනයක් ලෙස ශ්‍රී ලංකාව ගතහොත් ආචාර්ය නාගලිංගම් එදිරිවීරසිංහම් යනු සිංහයෙක් වූ සැබෑ රජෙකි.ඔහු වනයේ සිටින සියල්ලන්ගේම කුසලතා සම්බන්ධයෙන් සම සිතින් හැකියාවන් ඇගයීමට ලක් කළ විශිෂ්ඨයෙකි.නායකයෙකි.දැණුමෙන්,භාවිතයෙන්,පෞද්ගලික ධනයෙන් ආදී තමන්ට හැකි සෑම අයුරෙන්ම සේවය සළසා දුන් රජෙක් බඳු පීතෘ හැඟීමෙන් යුත් ආදරණීය මිනිසෙකි.


ඔහු ලංකාවේ දක්ෂයෝ තමන් රැදී උන් ඉහළ දියුණු සංස්කෘතික සමාජයට රැඟෙන ගොස් ඔප මට්ටම් කරන්නට කැප වුණ අයෙකි.ඒ අතරින් සුසන්තිකා ජයසිංහගේ ඔලිමිපික් රිදී පදක්කම පිටුපස සිටින ස්වර්ණමය චරිතයකි.ආසියාව ජය ගත් ලෝකයේ අවධානය ලක් වූ මංජුල කුමාර විජේසේකරව පුහුණු කළා පමණක් නොව ඔහුගේ ජීවිතයේ පීතෘ භූමිකාවක බර කරට ගත් සොඳුරුතම මිනිසෙකි.කොළ පැහැති සහ තැඹිලි පැහැති තීරුවට වඩා විශාල සිංහයාගේ වගකීම ගත් මේ සොඳුරු මිනිසා ආසියානු ක්‍රීඩා උළෙලක පළමු වරට ශ්‍රී ලංකා ධජය අන් රටවලට ඉහළින් රඳවන්නට සමත් වූ ලාංකිකයා ය.ඒ 1958 දී ටෝකියෝ ආසියානු ක්‍රීඩා උළෙලේ දී ය.


එවර මීටර් 2.03 ක උසක් තරණය කරමින් නව ආසියානු වාර්තාවක් සමඟ එදිරිවීරසිංහම් දිනා දුන් රන් පදක්කම අද්වීතීය වන්නේ එය ඉක්මවා පළමු රන් පදක්කම දිනා දෙන්නට යළි කාටවත් නොහැකි වන නිසාය.එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ආසියාතික ක්‍රීඩා උළෙල වාර්තාව තබා ඇති පුද්ගලයා ලෙස ඔහුගේ නම ඉතිහාසයට එක් වීම ද සදාකාලිකය.එසේම ඔහු ක්‍රීඩාවේ සහ අධ්‍යාපනයේ සමබරතාවය ගැන පරමාදර්ශී චරිකයක්ය.ඉහත දැක් වූ දක්ෂතා පළමු වරට කළ ලාංකිකයා මෙන්ම එවැන දස්කම් කරමින් පළමු වරට ආචාර්ය උපාධියක් සාක්ෂාත් කර ගත් මලල ක්‍රීඩකයා ද එදරිවීරසිංහම් ය.


1962 දී ඔහු ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම ජයග්‍රහණය කළේය.ඔහු ප්‍රථම වරට 1952 දී ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරන මොහොතේදී ද පළමු,දෙවන සහ තෙවන ස්ථාන දිනූ තිදෙනා සමග උපරිම සම උසක් පැන්න ද ඒ ඒ උස තරණය කිරීමේදී පසු බෑ අවස්ථා සළකා සිවිවැනි තැනෙන් සෑහෙන්නට සිඳුව ඇත.

එසේම 1952 දී සහ 1956 දී නාගලිංගම් එදිරිවීරසිංහම් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් නියෝජනය කළේය.
යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ සිටම මලල ක්‍රීඩාවේ උස පැනීමට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ද එකසේ හපන්කම් පෑ එදිරිවීරසිංහම්ගේ ඒ හපන්කම ඉදිරියට ගෙන ඒමට පහසුකම් උතුරට එදත් නොතිබිණි.අදත් නැත.එහෙත් පසු කළෙක ඔහු සියොරාලියොන් හී සිටියදී එම විශ්ව විද්‍යාලයට ක්‍රිකට් ක්‍රීඩාවෙන් නායකත්වය දී ඇත.එපමණක් නොව ඔහු 39 වැනි වියේ සිටියදී සියොරාලියොන් ජාතික කණ්ඩායමට නායකත්වය දෙමින් ගැම්බියා කණ්ඩායම සමඟ ජාත්‍යන්තර වශයෙන් තරග වැදුණ බව ද කියැවෙන්නේය.


එදිරිවීරසිංහම් යාපනයෙන් පැමිණ පසුව කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ද ඉගෙනගෙන ඇත.එහෙත් ඔහු රටට කළ දේ සම්බන්ධ ඇගයීම් නිසි පරිදි නොලද්දේ වුව,ඔහු යුතුකම් ඉටු කිරීමට නොපැකිළිව ඉදිරිපත් විය.සුසන්තිකා ජයසිංහගේ ඔලිම්පික් පදක්කමේ ද එදිරිවීරසිංහම්ගේ වෙහෙස තැවරී තිබිණ.ඔහුගෙන් පසුව ඔලිම්පික් තරගයක උස පැනීම සඳහා සුදුසුකම් ලැබුණු මංජුල කුමාර විජේසේකර පුහුණුව ලැබුවේ පමණක් නොව ඇමෙරිකාවට කැඳවා ඔහුව දරා උන්නේ ද එදිරිවීරසිංහම් ය.


යාපනය මැදි විදුහල් ක්‍රීඩා පිටිය ඔහුගේ සාඩම්බර නම රදා සිටිනු හැර ඔහු වෙනුවෙන් මෙරටින් මෙරටට දිනා දුන් දේ සඳහා දිනන්නට මග පෙන් වූ දේ සඳහා ඇගයීමක් නැත.අපූරු පරිත්‍යාගශීලී මිනිසෙක් ලෙස මෙන්ම අපූර්ව ක්‍රීඩා කුසලතා සහිත මානව හිතවාදියෙක් ලෙස ද අප්‍රමාණ කැපවීමක් කර ඇති ආචාර්ය නාගලිංගම් එදිරිවීරසිංහම් වැනි සාඩම්බර චරිතවල නමින් තැණුන කෙළිබිම් හෝ ක්‍රීඩාවට අදාළ ස්ථාන නැත.රට බංකොළොත් කළ බවට අධිකරණ තීන්දු පවා ලැබුණු අයගේ නමින් දිදුළන පිටිවල දරුවෝ ඉතිහාසය වර්ණවත් කළ එදිරිවීරසිංහම් වැනි ශ්‍රේෂ්ඨයන්ගේ දස්කම්වල අනාගතය නියෝජනය කරමින් චෞරයන්ගේ නම් යටතේ අභීෂේක ලබමින් ඇත.ඒ මේ රට ආචාර්ය එදිරිවීරසිංහම්ලාගේ කුසලතාවයෙන් සහ ජයග්‍රහණවලින් වර්ථමානය වන විට ඈත් වී ගිය හැටි කියන වෘතාන්තයේ කොටසකි.


ඔහු ඉදිරිපත්ව කළ උදව්වක් හැරෙන්නට ඔහු මේ රටේ යමක් ක්‍රියාත්මක කරන්නට කිසි විටෙක කැඳවුණේ නැත.අප්‍රමාණ ක්‍රීඩා දැණුම මෙන්ම ඔහු ආචාර්ය උපාධිය ලද කෘෂි කේෂ්ත්‍රයෙන් ද මේ රටට වැඩක් ගත්තේ නැත.නිකං දෙන දේ දැක වත් එය විධිමත්ව ඔහුව දායක කරගෙන ගන්නට සිතුවේ නැත.ඒ වචනවලින් අසරිමත් කියන ජයෙන් උදාර වූ ජාතියක අනන්‍යතාවය ය.


එවැනි පසුබිමක මේ සමුගත්තේ ඇත්තම සිංහයෙකි.රෙද්දක මුද්‍රිතව ඉහළ ළෙලදෙන පණ නැති සිංහයාට ආසියාවේ ඉහළින්ම රැඳෙන්නට පළමු වරට භාග්‍යය උදා කළ හෙතෙම සිංහ ලීලාවෙන් ඇවිඳ යන්නට ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට නිහඩව මඟ පෙන් වුව ද,ඒ වටිනාකම ඔහුට ලංකාව නිවැරදිව දුන්නේ හෝ ගත්තේ නැත.ඔහු සැබවින්ම සිංහයාට පන දෙන්නට මහන්සි ගත්තද,සිංහ වංශයේ කියා ගන්නා බොහෝ අය පෙණුම පමණක් සිංහ කර ගනිමින් නිකුත් කළේ වෙනත් සත්ව හඬවල් ය.

පන නැති රෙද්දක ඇලවුණ සිංහයෙකුගෙ රූපේ
අයිතිය අරගෙන රැඳුණේ ඇළුණු පිරිස් පාපේ
ඒ හින්දා රට නැඟුමට ආ බාධා සාපේ
මැකිච්චි තැන් බලද්දි එහි “එදිරි” නමත් සුපිපේ

(මේ සටහනට අයත් නැති,ලියවෙමින් තිබෙන ක්‍රීඩාව සම්බන්ධ කවි පොතකට රචිත මේ පද පෙළත් ආචාර්ය එදිරිවීරසිංහම් වෙනුවෙන් අමුණමි.)
උස පැනපු උසස් මිනිසා

ටෝකියෝ ආසියාතික කෙළි පනස් අට
පළමුව පළමු තැනකට ගියෙ අපේ රට
පිම්මෙන් ඉහළ අන් රටවල් කරපු යට
බැබලෙයි සදා එදිරිව නොමැකේය හෙට

පිං ඇති පුතුන් තැනු ලක් මව නම් අඹර
රන් තරුවක්ව සැරසුව පුතු වේ අමර
ඉන්නේ නැතිව යුතුකම් ගනිමින් පවර
රන් තරු හොයනවා සරසනු නව අඹර

සුසි ගේ ඔලිම්පික් ගැන අපි දෙසන කොට
පිදේවි ඇගෙ හඩින් එදිරිට කුසුම් මිට
පිමිවල මංජුලගෙ උස එක කරපු රට
තිබුණා එදිරි මුසු කළ දා බිඳිති කැට

දෙමළා නිසා කොටි හැන්දෙන් බෙදල වස
පිරිසක් බෙදා ගත්තා තම නමට රස
දිනු රන්වලට ගැටුණේ නැති අගයෙ ඇස
ඔහු ඇහැරුවේ නව මඟකට එළිය ඉස

යාපා පටුන මැදි විදුහල හතර කොනේ
පෑ විස්කම්ය ලක් මෑණිට මැණික් වුණේ
සිව් කොන බෙදුන විට රටටයි වෙන්නෙ හෙනේ
එය වළකන්න දී අම්මේ සමව සෙනේ

(මේ සමඟ පළවන බොහෝ ඡායාරූප මංජුල කුමාර විජේසේකරගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගෙන ඇත.)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan