*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරණය කැඳවන දින ලංවෙද්දී අපේක්ෂකයෝ පිරී යයි – විජේදසගේ පිම්ම – රනිල් සජිත් එක කරන යෝජනා නව ආරකින් – ධම්මික ගමට – මැයි දිනය තීරණාත්මකයි – සජිත් අනුර විවාදයට දින නියම වෙයි – ප්‍රබල ඇමතිලා පිල් මරුවක – ජනගහනයෙන් අටෙන් එකක් රටෙන් ගිහින්

  • ජනාධිපතිවරණය කැඳවන දින ලංවෙද්දී අපේක්ෂකයෝ පිරී යයි
  • විජේදසගේ පිම්ම
  • රනිල් සජිත් එක කරන යෝජනා නව ආරකින්
  • ධම්මික ගමට
  • මැයි දිනය තීරණාත්මකයි
  • සජිත් අනුර විවාදයට දින නියම වෙයි
  • ප්‍රබල ඇමතිලා පිල් මරුවක
  • ජනගහනයෙන් අටෙන් එකක් රටෙන් ගිහින්

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ශ්‍රීලංකාවේ දේශපාලනය මේ වන විට අන්කවරදාකටත් වඩා ව්‍යාකූලවී තිබේ. ජනාධිපතිවරණය කැඳවීම ප්‍රකාශ කරන්නට මැතිවරණ කොමිසමට බලය ලැබීම සඳහා ඇත්තේ දින අසූ ගණනකි. මේ වසරේ ජුලි 17 වැනි දාට පසුව ඒ සඳහා මැතිවරණ කොමිසමට බලය ලැබේ. ඔක්තෝබර් 18වැනිදා වන විට නව ජනාධිපතිවරයා පත් කර ගත යුතු අතර ඒ අනුව ඒ සඳහා ජනාධිපතිවරණය ඔක්තෝබර් පහ හෝ සැප්තැම්බර් 28 වැනි දා පවත්වනු ඇතැයි පැවසේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයෝ ගොන්නක්

ඒ සඳහා වර්තමාන ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ,විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස , ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ධම්මික පෙරේරා , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විජේදාස රාජපක්ෂ , මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර හා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක තරග වදින බවට මේ වන විට ප්‍රකාශවී තිබේ. ඩලස් අලප්පෙරුම ,විමල් වීරවංශ හෝ පාඨලී චම්පික රණවක වැන්නවුන් ද අවසන් මොහොතේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නට ඇති අවස්ථාවන් ද බැහැරකළ නොහැක.

අවසන් සටන කා අතර ද ?

කෙසේ වෙතත් මේ වන විට පෙනෙමින් ඇති ආකාරයට අවසානය වන විට මෙයින් කීප දෙනෙකු අතර තරගයක් බවට මෙය පත්වනු ඇතැයි අපේක්ෂිතය. අනෙක් අය ඒ ඒ අපේක්ෂකයාට සහය පල කරමින් ඇතැම්විට තරගයෙන් ඉවත්වීමට ඉඩ තිබේ. කෙසේ වෙතත් මේ වන විට තරගය විවෘතය. එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකම පිරිසකගෙන් බිහිව දෙපර්ශවකට බෙදුණු පිරිසක් බැවින් එම පාර්ශව දෙක එක කිරීම සඳහා දෙපාරශයේම පිරිස් මේ වන විට නොගන්නා උත්සාහයක් නොමැත. ඒ සඳහා විවිධ යෝජනා රැසක් ඉදිරිපත්ව ඇතත් එකම ඇමති ධුර හා අගමැති ධුරය ඇතුළු තීරණාත්මක දේ නිසා එම එක්වීමට බාධා කරන්නන් ද එක් කරන්නට උත්සාහ දරන පිරිස තරමටම විශාලය. කෙසේ හෝ මෙම පාර්ශව දෙක එක වන්නේ නම් මේ මොහොතේ ශක්තිමත්ම බලවේගය ඔවුන් වනු ඇත.

මැයි දිනයේ කුමක් වෙයි ද ?

කෙසේ වෙතත් විජේදාස රාජපක්ෂ ගේ ආගමනය ද සරල කොට ගත යුතු නැත. විජේදාස පොදු අපේෂක ධුරයට තරග වදින බව කලක සිට කියවුන ද එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා වෙතැයි කිසිවකු අපේක්ෂාකළේ නැත. කෙසේ වෙතත් අද වන විට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වෙත එල්ලවී ඇති අභියෝග හමුවේ ඔහුට සිටින සුදුසුම අපේක්ෂකයා වන්නේ ද විජේදාස රාජපක්ෂය.

මැයි දිනයේ දී තම ශක්තිය පෙන්නුම් කරලන්නට බොහෝ පක්ෂ හා පාර්ශව සූදානම් වෙමින් සිටිති. මේ නිසා කවුරුන් කවර පාර්ශවයකට එක්වන්නේ දැයි සියලු දෙනා බලා සිටිති.

කොළඹ – හම්බන්තොට ප්‍රබලයන් දෙන්නෙක් සජිත්ට

සමගි ජන බලවේගයේ ප්‍රබලයන් පිරිසක් කුමන මොහොතක හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එක්වනු ඇතැයි අපේක්ෂිතය. එසේම ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසක් දැනටමත් ජනාධිපතිවරයාට එක්ව තිබේ.

මේ අතරේ ආණ්ඩුවේ කොළඹ දිස්ත්‍රික් ඇමතිවරයකු හා හම්බන්තොට දිස්ත්‍රික් ඇමතිවරයෙකු සමගි ජන බලවේගය සමග එක්වීමට නියමිත බව ද පැවසේ.
ජනාධිපතිවරණය ආසන්න වන විට පිල් මාරු ඉහළ යනු ඇති අතර සියලු දෙනාගේ අරමුණ ප්‍රධාන පාර්ශවයකින් මීළඟ මහා මැතිවරණයට ඉදිරිපත් වන්නටය.

මැතිවරණ ජය කාට ද ?

කෙසේ වෙතත් ජනාධිපතිවරයා හදිසි මහා මැතිවරණයකට යාම හෝ එසේ මහා මැතිවරණයකට ගොස් ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඒ හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම මෙන්ම මහා මැතිවරණය හා ජනාධිපතිවරණය එකම දිනයක පැවැත්වීමේ යෝජනාවන් ද ඉදිරිපත්ව තිබේ. මේ නිසා කවර තත්වයක් ඇතිවේ දැයි කිව නොහැකි තරමටම තත්වය ව්‍යාකූලවී තිබේ.

ලක්ෂ විසිපහක් රට අතහැර ගිහින්

මේ අතර ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල සඳහන්වේ.

මේ අනුව 2022 වර්ෂයේ දී එකොළොස් ලක්ෂ විසිහත් දහස් හත්සිය පනස් අට දෙනකු සහ පසුගිය වසරේ දී දාහතර ලක්ෂ තිස් හත්දහස් හයසිය හත් දෙනකු විදේශගතව ඇත. මෙය රටේ සමස්ත ජනගහනයෙන් සියයට දොළහක පමණ ප්‍රමාණයකි.
මින් විදේශ රැකියා සඳහා ගොස් ඇති සංඛ්‍යාව හය ලක්ෂ අටදහස් නවසිය විසි පහකි. එය විදේශවලට ගොස් ඇති මුළු සංඛ්‍යාවෙන් සියයට 24ක පමණ ප්‍රතිශතයකි.

රට ගිය පිරිසේ ඇත්ත තත්වය ?

පසුගිය 2022 වසරේදී තුන් ලක්ෂ එකොළොස් දහස් දෙසිය හැට නවයක් ද පසුගිය වසරේ දී දෙලක්ෂ අනූ හත්දහස් හයසිය පනස් හය දෙනකු ද විදේශ රැකියා සඳහා පිටව ගොස් ඇත.

පසුගිය 2023 වර්ෂයේ දී විදේශ රැකියා ස ඳහා පිටව ගිය අයගෙන් සියයට හැත්තෑවක් පමණ වෘත්තීය වශයෙන් ඉහළ සුදුසුකම් සහිත ඉංජිනේරුවරුන් වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ගණකාධිකාරීවරුන් ඇතුළු පිරිස් වෙති. පසුගිය වර්ෂයේ දී විදේශ රැකියා සඳහා ගිය අය අතුරින් සියයට 34ක් වයස 25-34 අතර අය වෙති. පසුගිය වසර දෙකේ දී විදෙස් ගතවූ පිරිසෙන් සියයට පනස් පහක් පිරිමි ද සියයට 45 ක් ගැහැනු අය ද වෙති. මේ හේතුවෙන් රට තුළ වෘත්තිකයන් අඩුවීමේ ප්‍රවනතාවයක් පවතී.

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව පසුගිය වසර දෙකේ දී නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව දහ අට ලක්ෂ විසි දහස් හාරසිය හැත්තෑ නවයක් බව සඳහන්ය. සෑම දිනකම හැකි සෑම දෙනෙකුම විදෙස් ගතවෙමින් සිටිති.

විදෙස්ගත ප්‍රමාණයේ ශීග්‍ර වර්ධනයක්

ආර්ථික අගහිඟකම් සහ අපේක්ෂා භංගත්වය යනා දී කාරණා හේතුවෙන් මෙම පිරිස මෙසේ විදේශ ගත වෙති. කෙසේ වෙතත් මොවුන් රටට එවන විදේශ විනිමය ප්‍රමාණය ද සැලකිය යුතු ප්‍රමාණයකි.

මීට පෙර වසර වල දී විදෙස් ගත වුවන් ද එක් කර ගත්කළ රටේ ජන ගහනයෙන් සුවිශාල ප්‍රමාණයක් විදෙස් ගත ව සිටිති. එසේම මෙය මැතිවරණ සඳහා ඡන්ද භාවිත කරන ප්‍රමාණය වෙත ද සුවිශාල බලපෑමක් කරනු ඇත. මෙසේ විදෙස්ගතවූ සියයට අනුනවයක්ම මෙවර මැතිවරණ සඳහා ඡන්ද ප්‍රකාශ කරන්නට නැවත මෙරටට පැමිණෙන්නේ නැත. ඒ අනුව මෙවර ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව ලක්ෂ එකසිය හැත්තාවක් ලෙස කලින් ගණනය කර තිබුන ද එම ප්‍රමාණය විශාල ලෙස අඩුවනු ඇත.

එසේම විදෙස්ගත වුවන් මේ තරම් විශාල ප්‍රමාණයක් සිටින බැවින් ඔවුන්ගේ ඡන්ද කිසියම් සංවිධානාත්මක පිරිස් විසින් භාවිත කරන්නටත් එය අවසන් ප්‍රතිඵලය සඳහා සුවිශාල බලපෑමක් එල්ල කරන්නට ඇති ඉඩ කඩත් බෙහෙවින් වැඩිය. එම නිසා සියලු පාර්ශව මේ සඳහා දැඩි අවධානයක් යොමුකළ යුතුව තිබේ.

ජනපති රනිල් මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකියි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ.

පසුගිය දා මහනුවරට පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් මල්වතු මහා විහාරය වෙත පැමිණ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. මෙහි දී ජනාධිපතිවරයා සහ මහනාහිමියන් සුහද කතාබහක ද නිරතවී තිබේ.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

ජනාධිපති රනිල් නුවරඑළියේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත විය.

“පිකෝ ට්‍රේල් (Peko Trail) මංපෙත හරහා ජනාධිපතිවරයා පා ගමනින් මෙම සංචාරයට එක් වීම විශේෂත්වයකි.

“පිකෝ ට්‍රේල්” යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා දිවෙන කිලෝ මීටර් 300ක පමණ කඳු නැගීමේ මාර්ගයකි. එය ආසියාවේ හොඳම රහසිගත මාර්ගවලින් එකක් ලෙස සැලකේ.

“පිකෝ ට්‍රේල්” නම් මෙම මංපෙත සුප්‍රසිද්ධ මහනුවර නගරයෙන් ආරම්භ වී දකුණු දෙසින් හැටන් සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දෙසට ගමන් කරයි. ඉන්පසු එය හපුතලේ සහ ඇල්ල හරහා නැගෙනහිර දෙසට ගමන් කර සුන්දර නුවරඑළිය නගරය වටා ගමන් කර අවසන් වේ. මෙම මාර්ගය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී විශාල වතුවල සිට කර්මාන්තශාලා වෙත තේ ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරන ලද්දකි. “පිකෝ ට්‍රේල්” මාර්ගය ඔස්සේ කිලෝමීටර 3.2ක පමණ දුරක් පාගමනින් ඇවිද ගිය ජනාධිපතිවරයා කෝට් ලොජ් වතුයායේ සේවයේ නිරතව සිටින කම්කරු ජනතාවගේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

රංගේ බණ්ඩාරගෙන් සජබ පිරිසකට ආරාධනා

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න ට ආරාධනා කරන බව එජාප මහ ලේකම් පාලිත රංග බණ්ඩාර පසුගියදා ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති දැන් සමගි ජන බලවේගයේ නැතැයි කී මහලේකම්වරයා සජබෙ දැන් බදු ගෙන සිටින ගොඩහේවලාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා ද? නැතිනම් එජාප ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා ද? කියා තීරණය කරන්නැයි ඉල්ලා සිටින බව ද කීය. එමෙන්ම නම නොකී සැමට ද පොදුවේ ආරාධනාවක් කරන බව මහලේකම්වරයා සඳහන් කළේය.

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත රැකගැනීමට සජිත් සටනට

මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත රැකගැනීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක නොවන වර්තමානයේ එම කර්මාන්තකරුවන්ට නැවත ගොඩනැගීමට විශේෂ වැසටහනක් අත්‍යවශ්‍ය බවත් එම කර්මාන්ත පිළිබඳව දියුණු රටවලින් පාඩම් ඉගෙනගෙන ශ්‍රී ලංකාවට අන්‍යනය වූ ආකෘතියක් සහ වැඩපිළිවෙළක් සමඟ එම කර්මාන්ත වෙනුවෙන් අනිවාර්ය කටයුතු කිරීමට කාලවකවානු සහිතව සූදානමින් සිටින බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

එම කර්මාන්ත වෙනුවෙන් මෙම කාලයේ බොහෝ දේවල් කිරීමට ඇති බව කී විපක්‍ෂ නායකවරයා බිඳ වැටුණු ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාර්මාන්තකරුවන්ට ප්‍රාග්ධනයට ප්‍රවේශයට පහසුකම්, කාරක ප්‍රාග්ධන පහසුකම් සහ ප්‍රාග්ධනය දරාගත හැකි පිරිවැයකට සපයා ගැනීමේ පහසුව ආදිය සැපයීමට කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

ලංකා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සංසදය ආරම්භ කරමින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැති සම්මන්ත්‍රණයේ දී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ බව ප්‍රකාශ කළේය.

වර්තමාන තත්වය අනුව කෙටි කාලීනව, මධ්‍යය කාලීනව සහ දීර්ඝ කාලීන කළ යුතු දේ වඩාත් හොඳින් අවබෝධ කරගනිමින් රටේ ආර්ථිකයේ එන්ජිම වන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තවලට විනාශවීමට නොදී රැකගැනීම සඳහා කෙටි කාලීන පියවර ලෙස කඩිනම් පියවර ගත් යුතු බවත් ඒ සඳහා බලවේග රැසක් එකතුව පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට අවස්ථාව ලැබුණු බවත් විපක්ෂ නායක වරයා පැවසීය.

ජනාධිපති හා අග්‍රාමාත්‍ය ධුරයන් බෙදාගෙන තරඟ කිරීමට යෝජනාවක්

එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති හා අග්‍රාමාත්‍ය ධුරයන් බෙදාගෙන තරග කිරීමට යෝජනාවක් සමගි ජන බලවේගයට ලැබී ඇති බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසයි. ඔහු පැවසුවේ එක ප්‍රධාන පක්ෂයකින් මෙම යෝජනාව ලැබී තිබෙන නමුත් එම කිසිම යෝජනාවකට පක්ෂය ප්‍රතිචාර නොදක්වන බවය.

තම පක්ෂය ඉතා දුෂ්කර ලෙස ගොඩනගන ලද්දේ ජයග්‍රහණ වෙනත් සමඟ පක්ෂ සමග බෙදා ගැනීමට නොවන බවත් එවන් අවශ්‍යතාවයක් නැති බවත් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කළේය.

විජේදාසට ශ්‍රීලනිප නායකත්වය සමඟ ජනපති අපේක්ෂකත්වය

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය විසින් පත් කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමක් පසුගිය දා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ හෝටලයක දී පවතී අතර මෙම පත්වීම කර ඇත්තේ එම රැස්වීමේ දී ය.

විජේදාස පිලි නොගන්නා බව චන්ද්‍රික පාර්ශවයෙන් ප්‍රකාශයක්

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත් කිරීම පිළි නොගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය. පක්ෂයේ සාමාජිකයකු වත් නොවන පුද්ගලයකු වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කිරීමට කිසිම නීතිමය හැකියාවක් නැතැයි ඔහු පෙන්වා දුන්නේය. ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු කීය. කෙසේ වෙතත් මෛත්‍රීපාල පාර්ශවය පවසන්නේ විජේදාස ඇමතිවරයා පක්ෂයේ සාමාජිකයෙකු බව ය.

විජේදාසගේ ඇමති ධුරය හා මන්ත්‍රී ධුරය ගලවන්න පොහොට්ටුවෙන් යෝජනා

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සාමාජිකත්වය අහෝසි වී මන්ත්‍රී මන්ත්‍රී ධූරය ද අහෝසි වීමේ සියලුම අව්‍යශ්‍යතා සපුරා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මත තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස අමාත්‍ය ධුරයක් දරා ලබාගෙන විපක්ෂය නියෝජනය කරන පක්ෂයකට ගොස් එහි සාමාජිකත්වය ලබාගෙන එහි සභාපති ධුරයක් ලබා ගැනීම ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් වීමට ප්‍රමාණවත් බව ද හෙතෙම කියා සිටියේය. මෙම කාර්යයේ ඇති නීතිය අවනීතිය ඉතා හොඳින් නීතිය දන්නා විජයදාස රාජපක්ෂ දැනුවත් ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

සජිත් – අනුර විවාදයට දින යෝජනා වෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම්ව බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස ලිඛිතව දැනුම් දී තිබේ.

සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර එම ලිපිය යොමුකළ බව ජාතික ජන බලවේගය පවසයි.

එම විවාදයට නිශ්චිත දින නියම වීමක් මෙතෙක් නොවීම හේතුවෙන් ජනතාව අතර විවාදය සම්බන්ධව වැරදි අදහස් මතු වීමේ ඉඩක් ඇති බවත් යම් හෙයකින් සමගි ජන බලවේගය මෙම විවාදයට එකඟ නොවන්නේනම් ඒ බව කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව එම ලිපියේ සඳහන් කර තිබේ.

ධම්මික රට හදන වැඩපිළිවෙල ගමෙන් ආරම්භ කරයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය හිමිවෙතැයි පැවසෙන්නේ ව්‍යාපාරික ධම්මික පෙරේරාටය. පොහොසත් ගමක් – පොහොසත් රටක්’ නමැති සංකල්පය ඔස්සේ ග්‍රාමීය ආර්ථිකය නාග සිටුවීමට උර දී සිටින ඔහු මේ වන විට ගම්මාන දෙකක් ප්‍රයෝගිකවම එම තත්වයට පත් කර නියමු ව්‍යාපෘති ආරම්භ කර තිබේ. ඒ බිබිල හා අකුරණ ප්‍රදේශ වලදී ය.

පොහොසත් ගමක් නොසදා පොහොසත් පවුලක් සැදිය නොහැකි බවත්, පොහොසත් ගමක් හැදීමෙන් පොහොසත් රටක් සැදිය හැකි බවත් මෙය රජයකින් ඉටුවනතුරු බලා නොසිට, පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙමින් ආ දිළිඳු බවේ විෂම චක්‍රය කඩමින් පොහොසත් ගමක් හැදීමේ ක්‍රමවේදය තමා විසින්ම ක්‍රියාවට නැංවූයේ යැයි ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා ‘පොහොසත් ගමක් – පොහොසත් රටක්” යන සිය සංකල්පය ඔස්සේ ‘ඩීපී අනාගත නියමු ව්‍යාපෘතිය දියත්කරමින්, බිබිල මහජන ක්‍රීඩාංගණයේ දී පැවසීය.

බිබිල හා අකුරණ ටත් අවුරුදු උත්සව

මෙරට ග්‍රාම සංවර්ධනය උදෙසා වයස් භේදයකින් තොරව එහි වෙසෙන සියලු ප්‍රජාවන්ට සෙත සැලසෙන් සේ මේ ආකාරයේ බහු සංවර්ධන ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැංවෙන ඉතිහාසයේ පළමු සහ අවස්ථාව මෙය වීම සුවිශේෂී වෙයි.

2012 පටන් මම මේ රටේ ඩිජිටල් යුගයක් හදන්න අදහස් දුන්නා. මා විසින් හැදු ඩිජිටල් යටිතලයන්ට මාගේ නම යොදන්න හදනකොට එය රජයේ වැඩසටහනක් ලෙසින් ඉදිරියට ගෙනයෑම වෙනුවෙන් ඒ නම පවා පරිත්‍යාග කළා. නමුත් ඒවා බලාපොරොත්තු වූ පරිදි සිදු නොවන තැන මා විසින්ම ඒ කටයුත්ත සිදුකළා. අපි මේ රටේ හැම දරුවකුටම එක හා සමාන හොඳම අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් මෙරට හොඳම ගුරුවරු යොදාගෙන ඩීපී එඩියුකේෂන් වැඩසටහන ඇරඹුවා. ජපානය, මැලේසියාව, දකුණු කොරියාව ආදී රටවල් පරදවා එය ආසියාවේ හොඳම අධ්‍යාපන වැඩසටහන වුණා. ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් හරහා දරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබාදුන්නා. ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබා නොදී ජාත්‍යන්තරය සමග කටයුතු කළ හැකි අයෙක් හදන්න බැහැ. ඔබේ දරුවා මෘදුකාංග ඉංජිනේරුවෙක් වූ දවසට පරම්පරාවෙන් උරුම වූ දුප්පත්කම එතැනින් එහාට යන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ග්‍රාමීය ආර්ථිකය නංවන්න බිබිල ප්‍රදේශයේ දොඩම් වගාව යළි නගා සිටු වීමේ වැඩසටහනක් මෙන්ම මිනිසාගේ පැවැත්ම උදෙසා ආහාරයේ අවශ්‍යතාව පෙරදැරි කරගනිමින් ප්‍රජා මුළුතැන්ගෙයකුත් ඔබට පිරිනමනවා” යැයි ධම්මික පෙරේරා මෙහි දී වැඩිදුරටත් පවසා සිටියේය.

පොහොසත් රටක් හදන්න නම් සාරධර්මවලින් පොහොසත් සමාජයක් හැදිය යුතුයි. ඩීපී එඩියුකේෂන් ඩිජිටල් පිරිවෙන හරහා අපි බලාපොරොත්තුවන්නේ එයයි. පිරිවෙන් අධ්‍යාපනයේ දැඩි අවශ්‍යතාවක් සපුරා දෙන්න ඒ හරහා අපට හැකිවුණා. මේ සඳහා සුදුසු ගුරුවරුන් සෙයාගැනීම ආදිය සැබැවින්ම අභියෝගාත්මක දෙයක් ද වුණා. නමුත් මෙරට පිරිවෙන් 800න් 400කට එම පහසුකම සලසාදෙන්න අපට හැකිවුණා. මෙහෙණි පිරිවෙන් ඇතුළු අනෙකුත් පිරිවෙන් සියල්ලටමත් ඩිජි එඩියුකේෂන් පිරිවෙන් අධ්‍යාපන වැඩසටහන ලබා දෙන්න කටයුතු කරනවා, යැයි ද ධම්මික පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම මෙවර අවුරුදු උත්සව දෙකක් ද එම ගම්මාන වලදී පවත්වන ලදී.

ආණ්ඩුවේ අපේක්ෂිත ආදායමේ අඩුවක් ?

ආණ්ඩුව මෙම වසරේ අයවැයෙන් අපේක්‍ෂිත ආදායම සියයට 14 කින් අඩු වන බවත් ඒ අනුව අයවැයෙන් ඉලක්ක ආදායම අඛණ්ඩව අහිමිවන 33 වැනි වසර මෙය බවත්සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ආණ්ඩුව 2024 අයවැයෙන් රුපියල් බිලියන 4.164 ක ආදායමක් අපේක්‍ෂා කළ ද ලැබිය හැක්කේ රුපියල් බිලියන 3,570 ක ආදායමක් පමණක් බව වන අතර එම හිඟයෙන් සියයට 61 ක් ‘වැට්’ බදු අධිතක්සේරුව නිසාත් ඉතිරි සියයට 39 සමාගම් සහ පෞද්ගලික ආදායම් බදු, සමාජ ආරක්‍ෂක බද්ද සහ රේගු ආනයන බද්ද අධිතක්සේරුව නිසා නිර්මාණය වී ඇති බව හෙළිවී තිබේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩු 1991 වසරේ සිට ඉදිරිපත් කළ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වී ඇති බවත් පසුගිය වසරේ (2023) අයවැයෙන් අපේක්‍ෂා කළ ආදායම් ඉලක්කය ද සියයට 13 කින් අඩු වූ බව ද පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව හෙළි කර ඇත.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan