*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

වෙනස්කොට සැලකීම් කරන රුධිර දායක මාර්ගෝපදේශ ප්‍රතිසංස්කරණය කරනු!

නීතිවිශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසමේ (International Commission of Jurists) ශ්‍රී ලංකා ජාතික නීති උපදේශිකා මතුරි තමිල්මරන්ගේ අදහස් ඉදිරිපත් කිරීමකි.

රුධිරය ජීවිතයට අත්‍යාවශ්‍ය බවත්, රුධිරය දායාද කිරීම ජීවිත බේරාගන්නා බවත් අමුතුවෙන් කිව යුතු නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, පුද්ගලයකු වෙත ලබා දිය හැකි වටිනාම ත්‍යාගය වන්නේ රුධිර පරිත්‍යාගය බවයි. එසේ නම්, මෙතරම් ත්‍යාගශීලී අභිනයක් වෙනස්කොට සැලකීම් සහ අපකීර්තියට ලක්විය යුත්තේ ඇයි?

රුධිර දායකයකු ඇතැම් ‘අවදානම්කාරී හැසිරීම්වලින්’ තොර පුද්ගලයකු විය යුතු බවට, ශ්‍රී ලංකාවේ ජාතික රුධිර පාරවිලයන සේවාව (NTBS) මඟින් ප්‍රකාශයට පත් කර ඇති, වර්තමානයේ භාවිතා වන රුධිර පරිත්‍යාග මාර්ගෝපදේශ වල දැක්වෙයි. මෙම මාර්ගෝපදේශ විසින් පහත දැක්වෙන ක්‍රියාකාරකම් “අවදානම්කාරී හැසිරීම්” ලෙස හඳුනා ගනු ලබයි.

  • ලිංගික සහකරුවන් එක් අයකුට වඩා සිටීම;
  • පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් (MSM);
  • ලිංගික වෘත්තියේ අවම වශයෙන් එක් වරක් වත් නියැලී තිබීම;
  • ඉකුත් වසර තුළ “අවදානම්කාරී ලිංගික හැසිරීමක” නියැලී තිබීම; සහ
  • එක් වරක් වත් එන්නත් කටු හරහා මත්ද්‍රව්‍ය එන්නත් කර ගෙන තිබීම.

මෙහි ප්‍රතිඵලයක් ලෙස, මෙම පුද්ගලයන් “අවදානම්කාරී හැසිරීම්වලට” නැඹුරු අය යැයි වර්ගීකරණය කිරීමක් සිදුවන අතර, ඒ හරහා මෙම මාර්ගෝපදේශ විසින් සමරිසි සහ ද්වීරිසි පුරුෂයන් මෙන්ම ලිංගික වෘත්තියේ නියැලෙන පුද්ගලයන්ට එරෙහිව විසමනුපාතික ලෙස වෙනස්කොට සැලකීම් සිදුකරනු ලබයි.

ඉතිහාසයේ පටන්ම සමරිසි පුරුෂයන් එච්අයිවී/ඒඩ්ස් වාහකයන් යැයි හංවඩු ගැසීම සිදුව ඇති අතර, මෑත වසරවල සාක්ෂාත් කරගනු ලැබූ විද්‍යාත්මක ප්‍රගතීන් හමුවේ නවීන තාක්ෂණික විසඳුම් සොයාගෙන ඇති අතර, එච්අයිවී වෛරසය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකිව තිබේ. එය සම්ප්‍රේෂණය වන ආකාරය, සම්ප්‍රේෂණය වළක්වා ගැනීම සහ ප්‍රතිකාර ආදියට අදාළ එච්අයිවී පිළිබඳ විද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි හමුවේ, රුධිරය පරිත්‍යාග කිරීමට අදාළ ජාතික මාර්ගෝපදේශ ප්‍රතිසංස්කරණය කිරීමට මඟ පාදා දී ඇති අතර, එමඟින් එම මාර්ගෝපදේශ ජාත්‍යන්තර මානව හිමිකම් නීති සහ ප්‍රමිතීන්වලට අනුකූල කළ හැකිය. තව ද, ජාතික එච්අයිවී සංඛ්‍යාලේඛන අනුව, 2020 වර්ෂයේදී හඳුනා ගනු ලැබූ නව ආසාදන 363 න් සියයට 48 ක් පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් වූව ද, සියයට 41 ක් ම විෂමරිසි සබඳතාවල නියැලුනු පුද්ගලයන් ය.

මෙම මාර්ගෝපදේශ විසින් “අවදානම්කාරී හැසිරීම්” යැයි හඳුනාගන්නා ක්‍රියාවන් – පුද්ගලයකුගේ සැබෑ හෝ අනුමානකරන ලද ලිංගික දිශානතිය, සමාජභාවය, සමාජභාවී අනන්‍යතාවය හෝ සමාජභාවී ප්‍රකාශනය කුමක් වූව ද – ඕනෑම පුද්ගලයකු විසින් දක්වා තිබිය හැකි මුත්, සමරිසි සහ ද්වීරිසි පිරිමි සහ ලිංගික වෘත්තියේ නියැලෙන පුද්ගලයන් මීට අදාළ පරම පුද්ගල කණ්ඩායාම් බවට ඉලක්ක කිරීම එහි දක්නට ලැබෙන අතර, එහි අවසාන ප්‍රතිඵලය ලෙස එම පුද්ගල කණ්ඩායම්වලට එරෙහිව වෙනස්කොට සැලකීම් සහ අපකීර්තිය ස්ථාපනය වීම සිදුවේ. මෙමඟින් අපකීර්තිය, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, ගොඩනැඟෙන්නේ ඔවුන්ගේ රුධිරයට එරෙහිව ය.

සමරිසි සහ ද්වීරිසි පුරුෂයෝ, සාපරාධීකරණයට ලක්වීම ඇතුළු වෙනස්කොට සැලකීම, අපකීර්තිය සහ ආන්තීකරණයට ලක්වීමේ බහුවිධ ස්ථරයන් දැනටමත් අත්විඳිමින් සිටිති. ශ්‍රී ලංකාවේ 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති ඔස්සේ පිළිවෙලින් “ස්වභාවධර්මයට පටහැනි ලිංගික සංසර්ගය” සහ “දැඩි අශිෂ්ට ක්‍රියා” සාපරාධීකරණයට ලක්වීම සිදුවේ. දණ්ඩ නීති සංග්‍රහය විසින් මෙම වගන්තිවලට අර්තනිරූපණයක් ලබා දී නොතිබුණ ද, සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා, සහ සමරිසි සහ ද්වීරිසි පුරුෂයන් සාපරාධීකරණය කිරීමට මෙම වගන්ති දෙකම භාවිතා කර තිබේ. මෙම “අපරාධවලට” වරදකරුවන් බවට පත්වන පුද්ගලයන් වසර දහයක කාලයක් දක්වා වූ සිරදඬුවමකට නියම කළ හැකිය.

ශ්‍රී ලංකාව යනු, සියළු ප්‍රධාන ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම්වල පාර්ශවකරුවෙකි. එබැවින්, ශ්‍රී ලංකාව බැඳීමට ලක්ව ඇති ගිවිසුම් හරහා, වෙනස්කොට සැලකීම්වලින් නිදහස්ව සිටීමේ අයිතිය, නීතිය ඉදිරියේ සමානාත්මතාවයට ඇති අයිතිය, සහ වෙනස්කොට සැලකීමකින් තොරව නීතියේ සමාන රැකවරණය ලැබීමේ අයිතිය ආදිය තහවුරු කර පවතියි. මෙම ලේඛන මඟින්, පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින්, සමරිසි සහ ද්වීරිසි පුරුෂයන් සහ ලිංගික වෘත්තියේ නියැලෙන පුද්ගලයන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සමානාත්මතාවයට ඇති අයිතිය සහ වෙනස්කොට සැලකීම්වලට ලක් නොවී සිටීමට ඇති අයිතිය තහවුරු කරනු ලබයි. 2017 වර්ෂයේ දී, යෝගියකාර්ටා මූලධර්ම+10 (Yogyakarta Principles+10) හඳුන්වා දෙන ලදී. යෝගියකාර්ටා මූලධර්ම+10 හි ලබා ගත හැකි ඉහළම සෞඛ්‍ය ප්‍රමිතියට ඇති අයිතියට අදාළ අතිරේක රාජ්‍ය වගකීම් පිළිබඳව (යෝගියකාර්ටා මූලධර්මවල 17 වන මූලධර්මය) දැක්වෙන්නේ, “රුධිරය, ජන්මානු සෛල, කළල, අවයව, සෛල හෝ වෙනත් පටක පරිත්‍යාග කිරීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන, රෙගුලාසි හෝ වෙනත් පරිපාලනමය පියවරයන් ලිංගික දිශානතිය, සමාජභාවී අනන්‍යතාවය, සමාජභාවී ප්‍රකාශනය හෝ ලිංගික ලක්ෂණ පදනම් කරගෙන වෙනස්කොට සැලකීම් සිදුනොකරන බවට රාජ්‍යයන් විසින් සහිතක විය යුතු” බවයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිය 12 වන වගන්තිය හරහා, සියලු පුද්ගලයන්ට නීතිය ඉදිරියේ සමානාත්මතාවයට ඇති අයිතිය සහ නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාව ලැබීමට ඇති අයිතිය තහවුරු කර ඇත. එමඟින් වාර්ගිකත්වය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී-පුරුෂභාවය, දේශපාලනික මතය සහ උපන් ස්ථානය මත පදනම් වූ වෙනස්කොට සැලකීම තහනම් කරන මුත්, ලිංගික දිශානතිය, සමාජභාවී අනන්‍යතාවය හෝ සමාජභාවී ප්‍රකාශනය මත සිදුවන වෙනස්කොට සැලකීම නිශ්චිතවම තහනම් කර නැත. කෙසේවෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය ඔස්සේ ලිංගික දිශානතිය සහ සමාජභාවී අනන්‍යතාවය මත සිදුවන වෙනස්කොට සැලකීම තහනම් කර ඇති බවට ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන් බැඳි විවිධ වේදිකා හමුවේ අවධාරණය කර ඇත. නමුත් ඉහත සඳහන් කළ පරිදි, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති වැනි නිශ්චිත ප්‍රතිපාදන සහ සැබවින්ම නීතිය ක්‍රියාත්මක කිරීම මෙම ප්‍රකාශයට පටහැනි බවක් නිරීක්ෂණය කළ හැකිය.

ලොව පුරා විවිධ රටවල්, යල්පැනගිය රුධිරය පරිත්‍යාග කිරීම සඳහා වූ යෝග්‍යතා අවශ්‍යතාවලින් බැහැර වෙමින් සිටින අතර, පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් විසින් රුධිරය පරිත්‍යාග කිරීමට අදාළව පනවා ඇති සීමාවන් ලිහිල් කර තිබේ. මෙය ලිංගික වෘත්තියේ නියැලෙන පුද්ගලයන්ට ද එසේම වේ. එක්සත් රාජධානියේ, “පරිත්‍යාගය මිස වෙනස්කොට සැලකීම නොවේ” (donation not discrimination) මැයෙන් ක්‍රියාධරයන් විසින් රැගෙන ගිය ව්‍යාපාරයකින් අනතුරුව, 2021 වර්ෂයේ දී රුධිරය පරිත්‍යාග කිරීමේ නීතිවලට සංශෝධනයක් ඇතුළත් කරන ලදී. යෝග්‍යතාවය පදනම් විය යුත්තේ පුද්ගලයකු නිශ්චිත කාණ්ඩයකට සත්‍ය වශයෙන්ම හෝ අනුමානකළ පරිදි ඇතුළත් වීම මත නොව, ඔවුන්ගේ තනි අත්දැකීම මත බවට වර්තමානයේ නිගමනය වීම මෙහි ප්‍රතිඵලයයි. සමාජභාවය හෝ ලිංගික දිශානතිය කුමක් වූව ද, පුද්ගලයකු ගතවූ මාස තුන ඇතුළත අලුත් සහකරුවකු හෝ සහකරුවන් කිහිපදෙනෙකු සමඟ ගුදලිංගික සංසර්ගයේ නියැලී තිබෙන්නේ නම්, ඔවුනට රුධිරය පරිත්‍යාග කිරීමට තවත් මාස තුනක කාලයක් ඉවසා සිටීමට සිදුවේ. එමෙන්ම, මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් එකම සහකරුවකු සමඟ සිටින පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින්ට රුධිරය පරිත්‍යාග කිරීමට අවසර හිමිවේ. ප්‍රංශය, කැනඩාව, ඉතාලිය, ස්පාඤ්ඤය, සහ ඊශ්‍රායලය වැනි රටවල් කිහිපයකම රුධිරය පරිත්‍යාග කිරීමට අදාළ ප්‍රතිපත්ති මීට සමාන අන්දමින් වෙනස්කර තිබේ. මීට සමාන නීති, 2023 අප්‍රේල් මස පටන් ක්‍රියාවට නංවන බව මෑත දිනක ජර්මනිය විසින් ද ප්‍රකාශ කර තිබිණි.

එවන් පසුබිමක, තවමත් ශ්‍රී ලංකාවේ ජාතික රුධිර පාරවිලයන සේවාව විසින් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා නිකුත් කරනු ලබන පෝරමය, ඉහත සඳහන් කරන ලද (i) සහ (v) කරුණු මත රුධිරය පරිත්‍යාග කිරීම නුසුදුසු බව දැන සිටියේ දැයි ප්‍රශ්න කරමින්, රුධිරය පරිත්‍යාග කිරීමට අපේක්ෂා කරන පුද්ගලයා සහ/හෝ ඔවුන්ගේ සහකරුවා ඉන් කුමන හෝ කාණ්ඩයකට අයත් වන්නේ දැයි ප්‍රශ්න කරමින්, ඔවුන්ගේ ලිංගික දිශානතිය හෙළිදරව් කිරීමට බල කරයි. පුද්ගලයකුට රුධිරය පරිත්‍යාග කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව තහවුරු කර ගැනීමට මෙවන් ප්‍රවේශයක් ගැනීම හරහා සැබවින්ම සිදුවන්නේ ද ඊට පරස්පර විරෝධී ලෙස රුධිර දායකයා තම ලිංගික දිශානතිය පිළිබඳව අවංක නොවීමට උනන්දු කරවීමයි. මේ පිළිබඳ සැලකිල්ලක් දක්වන පුද්ගලයන් රැසක් සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවලදී පැහැදිලි වූයේ, සමරිසි/ද්වීරිසි රුධිර දායකයන් තමා පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් සේ හඳුනා නොගන්නා බව, හෝ රුධිරය පරිත්‍යාග කිරීම සඳහා අසන ප්‍රශ්නවලට අපේක්ෂා කරන පිළිතුරුවලට වඩා වෙනස් පිළිතුරක් ලබා දීමට ඔවුන් වැඩි කැමැත්තක් දක්වන බව තහවුරු කරන අවිධිමත් ප්‍රවණතාවයක් මතුව ඇති බවයි. ඇතැම් අවස්ථාවලදී, පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් සේ හඳුනා ගැනුන ද, පුද්ගල අවදානම් තක්සේරුවකට (individual risk assessment) ලක් කිරීමෙන් අනතුරුව ඔවුනට රුධිරය පරිත්‍යාග කිරීමට අවසර ලබා දී තිබේ. විශේෂයෙන්ම, ජාතික රුධිර පාරවිලයන සේවාව විසින් තමාට ලැබෙන සියලු රුධිර සාම්පල, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට ප්‍රකාරව එච්අයිවී, හෙපටයිටිස් බී සහ සී, සිෆිලිස් සහ මැලේරියා සඳහා පරීක්ෂා කරන පසුබිමක් තුළ, මෙසේ රුධිරය පරිත්‍යාග කිරීමට අදාළව මතුවිය හැකි අවදානම් පිළිබඳව පුද්ගලානුබද්ධ ඇගයීමක් සිදුකිරීම ම, අමු අමුවේ ලිංගික දිශානතිය මත පදනම්ව රුධිරය පරිත්‍යාග කිරීම තහනම් කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවට සිදුකරන ප්‍රකාශය හා පටහැනිය.

ශ්‍රී ලංකාවේ රුධිරය පරිත්‍යාග කිරීමට අදාළ යල්පැනගිය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කීරීමේ වාසිදායක බලපෑම් විවිධාකාර වේ. පළමුව, අවදානම් තක්සේරුව පුද්ගල චර්යාව මත මිස ලිංගික දිශානතිය සහ ඊට අදාළ වෙනස්කොට සැලකීම් සහ අපකීර්තිය මත පදනම් නොවන්නේ නම්, “අවදානම් චර්යා” පිළිබඳව ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු වඩාත් නිවරද්‍ය සහ අව්‍යාජ ඒවා වනු ඇත. දෙවනුව, සම්මුතිගත සමරිසි සබඳතා සහ එච්අයිවී ආශ්‍රිත අපකීර්තිය අවමවන තරමට එච්අයිවී පරීක්ෂා කර ගැනීමට පැමිණෙන පුද්ගලයන් සංඛ්‍යාවද ඉහළ යන බව පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත. මෙම මාර්ගෝපදේශ සංශෝධනය කිරීම තුළින්, සමරිසි සහ/හෝ ද්වීරිසි පුරුෂයන් අතර පවා, එච්අයිවී පරීක්ෂාව වැඩිවශයෙන් ප්‍රවර්ධනය වනු ඇත. පරීක්ෂා නිසා පුද්ගලයන් තම එච්අයිවී තත්ත්වය පිළිබඳ වැඩි වැඩියෙන් සැලකිලිමත් වනු ඇති අතර, එමඟින් සම්ප්‍රේශණය අවම කිරීමට සහ ප්‍රතිකාර ආරම්භ කිරීමට ඔවුනට උපකාර වනු ඇත. තෙවනුව, මෙම මාර්ගෝපදේශ සංශෝධනය කිරීම තුළින්, පරිත්‍යාගකළ රුධිරයට ඇති ඉල්ලුම සපුරාලීම සඳහා මහජන සෞඛ්‍ය බලධාරීන් සතු හැකියාව ද ඉහළ නංවනු ඇත.

සමරිසි ලිංගික දිශානතිය “අවදානම් චර්යාවන්” සමඟ හඳුනා ගැනීම තුළින් සමස්ත පුද්ගල කොට්ඨාශයකම පුද්ගලභාවය සිඳ දමන අතර, එමඟින් ඔවුන් වෙනස්කොට සැලකීම, අපකීර්තිය සහ කෙණහිලිකම්වලට නිරාවරණය කරනු ලබයි. දැනට පවතින වෙනස්කොට සැලකීමේ මාර්ගෝපදේශ ප්‍රතිසංස්කරණය කිරීම මඟින් පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් සහ ලිංගික වෘත්තියේ නියැලෙන පුද්ගලයන්ගේ සෞඛ්‍යය මෙන්ම චිත්ත ධෛර්‍යය ද ධනාත්මක ලෙස වැඩිදියුණු කරන අතර, එමඟින් රුධිරය පරිත්‍යාග කිරීම කෙරෙහි වටිනා බලපෑමක් ද ඇති කරනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan