*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ගුවන් විදුලි රැස් මාලාවෙන් ජීවිතය පුබුදු කල කලා පෞරුෂය, ආරියසිරි විතානගේ

ජීවත්වන ප්‍රකට චරිතයක අතීතාවලෝකනය වෙත යාමට නම් ඔහු සමඟ සම්මුඛ පිළිසඳරක යෙදිය යුතුමය. එමඟ වඩාත් අර්ථවත් වන්නේ එම කීර්තිමත් පවුල් පසුබිම වෙත ලෙන්ගතු වීමෙණි. සරසවිය වැලඳගත් ඔහු, දෙ උර මත සිට සිරිකත ද මුව සිඹීම කලා කරුවෙකුගෙන් කලාතුරකින් අසන අසිරිමත් පුවතකි. මෙම කලා පෞරුෂය විටෙක ගුවන් විදුලි මැදිරිය තුල සිහින කුමරා විය. තවත් විටෙක ඔහු රූපවාහිනී තිරය මත ආලින්දයට පැමිණෙන සොඳුරු ඇමතුමකි. ජනතා ප්‍රසංග වේදිකාවේදී ප්‍රවීණ ප්‍රකාශකයෙකු හැටියට රසික ජනතා ආදරය ලැබූ පූජනීය ඇමතුම් ස්වරය “මා ඔබේ හිතවත් ආරියසිරි විතානගේ” ය.

ජනතාව සමඟ ලබැඳි ගමනකදී දේශබන්දු නාමයෙන්, දේශමාන්‍ය නාමයෙන් කිත් පැසසුම් පුද ලබා ඇති ප්‍රවීණ නිවේදක ආරියසිරි විතානගේ මහතාගේ ජීවන ගමන් මඟ ගැන අද මුහුණු පොත වෙත සටහන් තබමි. ශ්‍රේෂ්ඨ රුසියන් ලේඛක මැක්සිම් ගෝකි වෙත රුසියන් විප්ලවයෙන් පසු නව සෝවියට් දේශයක් ගොඩ නැගීමේ කාර්යයට වැඩි බරක් පැවරුණි. ඔහුගේ චින්තනය වූයේ තරුණ පරපුර වෙත ආදර්ශමත් චරිත කියවා ඉගෙන ගැනීමට ඉඩ සැලසීමයි. තම විදේශීය මිතුරන්ට ඔහු ආයාචනයක් කළේය. ඒ ඔබේ රටේ සිටින දිරියෙන් ජීවිතය ජයගත් චරිත ගැන අපේ තරුණයන්ට කියවන්න ලියා එවන ලෙස කරන ඉල්ලීමයි. එහිදී බර්ටන් රසල්, H.G වේල්ස්, බර්නාට් ෂෝ වැනි උගතුන් ඔහුගේ ඉල්ලීම් ඉටුකර දුනි.

ඉන් සෝවියට් සමාජයට අභිමානවත් ආදර්ශයක් ඇති විය. අපේ රටට තවම එවැනි අසහනයක් උදාවී නැත. ගමෙන් ඇවිත් දිරියෙන් කටයුතු කර, තම මහන්සියෙන් උපයාගත් ධනයෙන් දියුණු වී ලෝකය වෙත ගිය චරිත අපට ඇත. එවැනි චරිතයක් අද අපි සොයා යමු. මාතර, තෙලිජ්ජවිල, අකුරුගොඩ, උස්ගොඩ සුන්දර ගම්මානයේ ජීවත් වූ සෝමදාස විතානගේ සහ පියවතී විදානගම යන දෙමාපියන්ගේ කුළුදුලේ දරුවා “ලොකු පුතා” ලෙස ආදරය ලැබුවේය. සම වයසේ ගමේ මිතුරන් සමඟ වෙල් ඉපනැල්ල, ඇළ දොළ, දිය දහර පහස විඳිමින් තුරුලිය සෙවණේ හැදී වැඩුණු ඔහු එහි හොඳින් හුස්මගත්තේය.

අකුරු කියවීම අරඹා, අකුරුගොඩ කණිෂ්ඨ විද්‍යාලයට ඇතුලත්වූ ඔහු පස්වෙනි පන්තිය දක්වා උගත්තේය. අනතුරුව ඔහු කොළඹ විදුහලකට අධ්‍යාපනය සඳහා යොමු කිරීම, පියාගේ සිහිනය විය. තම පියා ගමක ජීවත්වන කෙනෙකු වුවත් එදා කොළඹ සමාජය, කෙනෙකුට සංවර්ධනය වීමට අවශ්‍ය වටපිටාවක් තිබූ බව වටහාගෙන තිබුණි.

සෝමදාස විතානගේ මහතා කොළඹ මරදාන කාර්මික විද්‍යාලයේ මුල්ම කණ්ඩායමේ පුහුණුව ලැබූ කාර්මික සහකාරවරයෙකු ලෙස සහතික ලබා තිබුණි. ඔහු පසු කලෙක තම ජීවන වෘත්තිය ආරම්භ කළේ කාර්මික ශිල්පියෙකු ලෙස රජයට සම්බන්ධ ආයතනයකට එක්වීමෙනි. පසුව ඔහු ව්‍යාපාර කටයුතු ද අරඹා ඇත. ඔහුගේ දුර දක්නා නුවණ විහිදුවා තම ලොකු පුතා මොරටුව, කටුබැද්ද වේල්ස් කුමර විදුහලට ඇතුලත් කළේය. නේවාසිකාගාරයේ නතරකර අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙනයාමට සැලැස්විය. දැන් මම කැමතියි ආරියසිරි විතානගේ මහතා වෙත යොමුවන්න…. අපි එදා ආදුනිකයන් විදියට ප්‍රවීණයන් අමතන විට ඔවුන්ගේ නම කෙටියෙන් සඳහන් කොට “අයියා” යන නම සඳහන් කිරීමට පුරුදු වුණේ ඉබේටමය. අදත් එසේමය,

▪️මට කියන්න ආරි අයියේ ඔබේ ගමේ ගෙදර ගැන හැඩහුරුවක්?

“අපේ ගෙදරට ගමේ කට්ටිය කියන්නෙ ” උළු ගෙදර ” කියල. ගමේ සිංහල උළු හොයපු ගෙදරක් තිබුණෙ අපේ ගෙදර. උළුවහු ජනෙල් ඉහලින් මිදි වැල පසාරු ලියකම් කැටයම කැපුණු අලංකාර වා කවුළු වලින් අපේ ගෙදර හැඩ වී තිබුණා. වාර්ණිෂ් කල දොර ජනෙල් පලු වලින් යුතුයි. එදා වාත්තු විද්‍යාවේ හඳුන්වන විදියට දහතුන් රියන දෙපිට බරාඳ ගෙදරක්…මමයි, මගේ නංගිලා තුන්දෙනයි, මල්ලිලා පස්දෙනයි අපි නව දෙනයි මේ ගෙදර ඉඳගෙන ඉගනීමේ කටයුතු හොඳින් කරගෙන ගියා…”

▪️ඔබට මතක ඇති ගුවන් විදුලිය ගැන හැඟීමක් ඇතිවුණ දිනය?

“ඔව්…අපේ අම්මගෙ අයිය කෙනෙක් හිටිය දො.සි විදානගම කියල. ඔහු විදුහල්පතිවරයෙක්. ඒ මගේ මාමා. සාහිත්‍ය, ජනකලා, ජන ගායනා හදාරපු කෙනෙක්. 50 දශකයේ අගබාගයට වෙන්න එතුමාට ගුවන් විදුලියෙන් ජන ගායනා වැඩ සටහනකට ආරාධනා ලැබිල තිබුණා. ඔහුගේ ගායනා වලට අත්වැල් ගායනය සඳහා පාසල් ළමයෙක් විදියට මමත් එක්කරගෙන ගියා. එදා තමයි මම ගුවන් විදුලියට ගිය මුල්ම දවස…”

▪️ඔබ නිවාඩු කාලෙට ගමේ ආවම කොහොමද? ඒ ගතකල ජීවිතය?

“මට හිටිය හොඳ යළුවො කට්ටියක්…ඒ අයට හොඳ අදහස් තිබුණ. අපි එකතු උනාම කලා කටයුතු, ප්‍රජා සත්කාර වගේ බොහෝ දේ ගමේ කලා. අපේ ගෙදර ඉස්සරහ හිස් ඉඩමක් තිබුණා. ඒ ඉඩමෙ පොල් අතු හෝල් එකක් හදල ප්‍රජාශාලාවක් හදල, එතන ඉඳගෙන තමයි අපි ඒව කලේ. එතන ඉඳන් නාට්‍ය පිටපත් පවා ලිව්වා. ඊටපස්සෙ ඒවා රඟපෑව. නළු නිලියන් උනේ අපි අපිමයි. ඉතින් අපි මේ නාට්‍ය ගමේ කට්ටියට පෙන්නුවා. පස්සෙ පිට පලාත් වලින් ශිල්පීන් ගෙන්නල නාට්‍ය රඟපෑම් කලා මතකයි.”

▪️තවත් විනෝද ජනක දේ ඇති නේද?

“ඔව්…අපේ ගෙදර තමයි ගමෙන්ම ඉස්සෙල්ලාම රේඩියෝ එකක් තිබුණෙ. ඒක අපි කට්ටියම අහනව. මම සමහර දවස් වල නුවර පෙරහැර විස්තර ප්‍රචාරය නිදිමරාගෙන අහනව. පහුවෙනිදා අපේ වත්තෙ කජු ගහක අත්තක් උඩට නැගල පෙරහැර විස්තර ප්‍රචාරය දෙනව…ඉතින් කට්ටියම අහගෙන ඉන්නව.

▪️ඔබේ මුල්ම රැකියාව?

“ඒ වෙනකොට රත්මලානෙ අපේ පුංචි මාමගෙ ගෙදර තමයි මම හිටියෙ. ගුවන් තොටුපොළ වාර්තාකරු හැටියට පත්තර කලාවෙන් තමයි මුල්ම ආරම්භය ගත්තෙ. ඊට පස්සෙ පුද්ගලික දැන්වීම් ප්‍රචාරක ආයතනයක පිටපත් රචකයෙකු හැටියට කටයුතු කලා. ඒ වෙළඳ වැඩසටහන් පිටපත් අරගෙන ගුවන් විදුලියට යන්න එන්න පටන් ගත්ත. එතන තමයි මගේ ගුවන් විදුලි නිවේදක ගමනේ ඇරඹුම. ඉන්පසු පූර්ණ කලීන නිවේදකයෙකු හැටියට ගුවන් විදුලියට බැඳිල වැඩකරගෙන ගියා”.

▪️තේ පැන් පානයෙන් පසු මගෙන්…

1978 වසර මම ගුවන් විදුලියට පිවිසුණු වසරයි. මාස හයක ප්‍රායෝගික සහ ඤායාත්මක පුහුණුවෙන් පසු මම රාජකාරියේ නියුතු වුණා. එදා ගුවන් විදුලිය ජනතාව අතරට ගෙන ගිය දෙවන පරම්පරාවේ යොවුන් සන්නිවේදක පිරිස සමඟ සෙනෙහසින් වැඩ කල කාලය සුන්දර මතකයක්. සතියකට දෙවරක් වෙළඳ සේවයේ බදාදා රාත්‍රී කාලයේ නිවේදක තේරීම් වැඩ සටහන් සහ බ්‍රහස්පතින්දා හැන්දෑවේ ඉදිරිපත් වන ” ගුරුදා සොඳුරු සෙවණ ” ආරි අයියාගේ ඉදිරිපත් කිරීම් වලට මම මැදිරියේ සිට ආසාවෙන් එකතු වුණා මතකයි. ප්‍රමාදවී මැදිරියට පැමිණීම ගැන ඔහුට චෝදනා තිබුණ. කලින් සේවා මුරයේ යෙදෙන නිවේදක, පිපිරි පිපිරී ඉන්නා අතරට ඔහු එන්නේ කාරුණික සිනාවත් සමඟින්. හිත සොම්නසින් තම වැඩ අවුල් නොකරගෙන කාරුණිව වැඩ කිරීම මා ඔහුගෙන් උගත් පාඩමක්. මෙසේ වසර දෙකක් ගෙවී යද්දී මට කොළඹින් මාතරට මාරුවීමක් ලැබුණ. ඒ රුහුණු සේවය ආරම්භ කිරීමට එන කණ්ඩායම විදියට‍යි. මේ ගමනට එවකට කොළඹ ජනප්‍රිය සන්නිවේදක චරිත කිහිපයක්ම එක්වුණා. ඒ ඉතා කෙටි කලකට පමණයි. නැවතත් මට එහිදී ආරි අයියා හමුවුණා. සතියකට දෙවරක් උදෑසන විකාශනය ආරම්භවන දින දෙක ඔහු මා සමග රැඳුණා. ඔහුට පැවරෙන මාතර රාජකාරි පටිගත කිරීම් සහ සංස්කරණ කටයුතු කෙසේහෝ නිමකොට රාත්‍රී දෙකට පමණ කොළඹ යාමට මා සමග ගාලු පාරට ගොස් බස් එකට ඇරලවා පැමිණෙන බොහෝ අවස්ථා තිබුණා.

ආරි අයිය මට නිතර කියන්නේ ඒ වන විට ඔහුගේ පුංචි පුතු ඔහු එනතුරු මගබලා ඉන්නා බවය. ඔහු රුහුණේදී නිර්මාණය කල” රුහුණේ අප්‍රකට තොරතුරු ” වැඩ සටහන ඉතා ජනප්‍රිය වූ එකක්. මේ සඳහා ඉපැරණි තොරතුරු ඇතුලත් වුණා. ඒ වගේම ” ශනිදා රුහුණු ගෙදර ” දමයන්ති නානායක්කාර සමග අපි එක්වුණු තවත් වැඩසටහනක්. මෙම වැඩ සටහන ප්‍රචාරය වන දිනක තමයි ඔහුට නැවතත් කොළඹට මාරුවීම ලැබුණු දිනය. එදා ආරි අයියාගෙ අවුරුදු 8 ක පුංචි පුතා අම්මත් එක්ක මාතරට ඇවිත් තිබුණා.

අපි එදා ප්‍රසාද් පුතත් වැඩසටහනට හවුල් කරගත් හැටි මතකයි. ඒ ඔහු මයික්‍රෆෝනයට ගිය මුල්ම දවසයි. මෙදින තවත් හමුවීමක්ද සිදුවුණා…

▪️මම කැමතියි ඔබේ රූපවාහිනී වැඩ සටහන් ක්ෂේත්‍රයේ ආගමනය සිදුවුණේ කොහොමද කියල දැනගන්න?

“ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී සේවය හැටියට ස්වාධීන රූපවාහිනී සේවය ආරම්භ කිරීමේදී එහි නිසි බලධාරියා හැටියට කටයුතු කළේ තේවිස් ගුරුගේ මහතා. ස්වාධීන රූපවාහිනියේ නව වැඩ සටහන් ඉදිරිපත් කිරීමට ඔහු දන්නා, හැකියාව ඇති ගුවන් විදුලි ක්ෂෙත්‍රයේ පිරිසකට අවස්ථව ලැබුණා. ඒ අවස්ථවට ගුරුගේ මහතා මමත් එක්කර ගත්තා.” “මෙහිදී මට සජීවී ප්‍රසංග අවස්ථා වගේම කාලීන වැඩසටහන් ඉදිරිපත් කිරීමේ අවස්ථා ද ලැබුණා. විනෝදාස්වාදය, රසවින්දනය, පිණිස ඉදිරිපත් කළ වැඩසටහන් කිහිපයක් ද තිබුණා. මම අදත් ආදරෙන් මතක් කරන්නේ ගොඩක් ජනප්‍රියත්වයට පත්වුණු “මධුරසාංග” වැඩ සටහන ගැනයි. ශ්‍රාවක ප්‍රජාව එක්ක ලොකු දුරක් යන්න ඒ වැඩසටහනෙන් හැකි වුණා. ඉඳුනිල් දිසානායකත් මමත් ඒ වැඩසටහන මෙහෙය වූයේ කාර්‍යාල සහ වැඩ කරන ස්ථාන වගේ ඉසව් වලට සජීවී ගමනක් ගිහින්, කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පීන් වගේම නවකයන් සහභාගි කරගෙන ජනතාවට අර්ථවත් වැඩසටහනක් ලබා දෙන්න එයින් හැකියාව ලැබුණා.

▪️ඔබ මාධ්‍ය ක්ෂේත්‍ර දෙකකම කටයුතු කරල ගුවන් විදුලියෙන් සමුගැනීම සිදු කලේ සේවා කාලය අවුරුදු ගණනක් ඉතිරිවෙලා තියෙද්දි, ඒ මොකද?

“මම ගුවන් විදුලියට බැඳුණු දවස මට හොඳට මතකයි. ගුවන් විදුලියේ වැඩ කරන්න සිහින දකිමින් සිටි මට ලොකු අවස්ථවක් ලැබීම නිසා මා අසීමිත සතුටක් වින්දා. නිවේදකයෙකගෙන් ගුවන් විදුලි මාධ්‍යය බලාපොරොත්තු වන වගකීම එදා අධ්‍යක්ෂ ජනරාල්ව සිටි රිජ්වේ තිලකරත්න මහතා මැනවින් විග්‍රහ කලා. ආධුනික අප කැඳවා කල එම අවවාද අනුශාසනා මගේ හිත තුල ඉතිරි වෙලා තිබුණා. එතුමා එදා අපට කිව්වෙ “ගුවන් විදුලිය ලලිත කලා ආයතනයක්, ඒකෙ වැඩ කරන හැම දෙනාම උතුම් කලාවට සේවය කරන කලා කාරයෝ පිරිසක්, ඒක හිතට එකඟව කැපවීමෙන් කල යුතුයි. මුදල් හම්බ කරන රස්සාවක් විදියට හිතන්න එපා, එහෙම හිතුන දවසට මේ රස්සාවෙ ඉන්නත් එපා”. ලොකු කැපවීමකින් නොමඳ වින්දනයක් ඇතිව ගුවන් විදුලියේ මම වැඩ කරගෙන ගියත් ටික කලක් යනකොට අනාගතයේ ජීවත්වෙන්න වැඩිපුර මුදල් අවශ්‍ය යැයි සිතුන නිසාත්, අර කතාවට ගැලපෙන තීරණයක් හැටියට මම ගුවන් විදුලියෙන් සමුගත්තා.”

▪️ඔබේ ඉදිරි ගමන ගැන තවත් කිව්වොත්?

“ඔව්, මගේ පියා ප්‍රායෝගික දැනුම සහිත චරිතයක්. මම ඔහුගෙන් ඉගෙන ගත්තා, උපයන දේ රැකගෙන ආයෝජනය කරන මග. ඒවා පසු කලෙක මගේ ජීවිතයට අත්වැලක් වුණා. ඒ වගේම මගේ ජීවිතයට හෙවනැල්ලක් වගේ ඉඳගෙන මට ඉදිරියට යන්න ශක්තියක් වුණේ මගේ බිරිඳ සුභද්‍රා. මටත් කලින් අපේ පවුල් වලට ඉටුවිය යුතු යුතුකම් ඉටුකර දුන්නේ ඇයයි.”

▪️ඔබේ ව්‍යාපාර කටයුතු දැන් උපරිම අවස්ථාවට ලංවී ඇති බව අප දන්නවා. අනුරාධපුරය, කොල්ලුපිටිය, ගල්කිස්ස, රත්මලාන, මාලඹේ යන ප්‍රදේශවල විසිරී ඇති ව්‍යාපාර සමාගම් දහයක සභාපති හැටියට කටයුතු කරන්නේ කුමන වැඩ පිළිවෙලකටද?

“මේ සියල්ලම මගේ අධ්‍යක්ෂක මණ්ඩල සහ සේවක පිරිස් කාරුණිකව ඉටුකරන බව මට විශ්වාසයි. ඒවා අධීක්ෂණය කිරීමට මගේ පුතාගෙන් (ප්‍රසාද් විතානගේ) ලැබෙන සොයා බැලීම් මට ලොකු හයියක්.”

▪️සමාජසේවා සහ අනෙකුත් වැඩපිළිවෙළවල් ගැන දැනගන්න කැමතියි

“මා ඉගෙනගත් පාසල් දෙකටම මගෙන් ඉටුවියයුතු උපකාර මා ලබා දී තිබෙනවා. ගමේ අපි එදා ඇරඹූ පැරණි ප්‍රජාශාලාව නවීකරණය කර නැවතත් ගමේ තරුණයින්ට ලබා දුන්නා. ඒවගේම ගමේ පන්සල ( කොත්පහ වෙහෙර ) අංග සම්පූර්ණ ආකර්ෂණීය පුදබිමක් විදියට නිර්මාණය කිරීම මා ලැබූ සතුටක්. හැමදාම මගේ උපන් දිනය මගේ ගමේ මේ පන්සලේදී සිදුවන බව තවත් විශේෂයක්.”

▪️ඔබගේ අලුත් ගමන් මග කොහොමද?

“මැදපෙරදිග රටවල ජීවත්වෙන ශ්‍රී ලාංකික ජනතාවගේ ඉල්ලුමට අපේ රටේ වැවෙන අල බතල, පලා වර්ග, එළවළු සහ පලතුරු ජාති කලට වෙලාවට නැවුම් ලෙස ඔවුන්ට යැවීමට අපට හැකිවී තිබෙනවා.” “අපේ කෙතෙන් අපේ බතට” නාමය සහිතව සහල් වර්ග සහ කුළු බඩු “ආරිය” මුද්‍රාව සහිතව ඔවුන් පිළිගැනීමට පුරුදු වී සිටීම මට සතුටක්. “ආරිය කිරි” නිෂ්පාදනය දේශීය වෙළඳපොළ පිළිගැනීම සහ ජනතා විශ්වාසය නිරතුරුව රැකගෙන “කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ” බව ඔවුන්ගෙන් අපට සහතික වී තිබෙනවා.”

ජීවන ගමන් මග මුහුණු පොතේ පිටුවක් කරන්නට ගිය ගමන දික් ගැස්සුනා වැඩියි වගේ…ඒත් සටහන් වූ තොරතුරු සාරාංශගත වූ බව කිව යුතුය. කාර්‍යබහුල ඔබ සමග කාලය ලබාදීම ගැන මට ඇත්තේ සතුටක්.

ඔබ, මට සසර ගමන් මග හමුවූ ආදරණීය සිහිවටනයක්! චිරංජයතු! තෙරුවන් සරණයි! ?

ජිනදාස අබේවික්‍රම කලාභූෂණ රාජ්‍ය සම්මාන ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan