*
Friday, April 26, 2024
spot_img

Latest Posts

නොදැවී 150

කොළඹ කාර්ය බහුල ඩෑම් වීදිය දිගේ අඩියක් තබා ඇවිද යන්නට බැරි තරමට තදබදය ඉහළය.වාහන මිනිස්සු පොර බදිමින් සිටින දහවලක සයිඩ් සයිඩ් කියා මිනිසුන් පෙරළා දමාගෙන දුවන්න සැරසෙනා නාට්ටාමිලා හෝ බඩු පිරවූ අත් කරත්ත නැති සමහර රැයක ඩෑම් විදීයේ තැන තැන ගැටව් විනෝදය පිණිස ක්‍රිකට් ගසති.බොහෝ දෙනෙක්ගේ උඩු කය නිරුවත්ය.යටට ඇද ඇත්තේ සරම පමණි.

මේ වර්ථමාන කතාවට බොහෝ වෙනස් ක්‍රිකට් සංස්කෘතියක් මීට වසර 150 ට පෙර ඩෑම් වීදියේ තිබී ඇත.ඒ බව මතු වූවේ කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට වසර 150 ක් සැපිරීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවේදී ය.1873 වසරේදී කෝල්ට්ස් ක්‍රිඩා සමාජය ආරම්භ කර ඇත්තේ ඩෑම් විදීයෙන්ය.එකල එම ප්‍රදේශ ඇඟිල්ලක් ගසන්නට බැරි තරමේ ජනාකීර්ණව නොතිබි යුගයකි.එහි ක්‍රිකට් ගසන්නට තරම් විශාල ඉඩක් තිබුණේ ද යන්න සාක්ෂි නැතත් එකල ගෝල්ෆේස් පිටියේත් ක්‍රිකට් ගැසූ බව ඇත්තය.

කොල්ට්ස් 1873 දී ඩෑම් වීදියෙන් ඇරඹි ගමනේ පළමු ජාතිකමය වටිනාකම එකතු කර ගන්නේ 1891 දී ය.ඒ 1871 ඉපැදී ටොමී කෙලාර්ට් හරහා ය.වත්මන් කෝල්ට්ස් අනුශාසක ට්‍රෙවර් රාජරත්නම් එම මතකය ඇහිද ගෙන විත් තිබිණ.ලොවම ක්‍රිකට්වලින් හෙල්ලූ වෛද්‍ය ඩබ්ලිව්.ජී.ග්‍රේස් එකල 20 හැවිරිදි වියේ සිටි කෝල්ට්ස් සාමාජිකයා ඉදිරියේ දැවී ගොස් ඇත.ඒ සම්බන්ධ ඉතිහාසය විමසීමේදී තරගය පැවති ගෝල්ෆේස් පිටියේ යම් යම් තාවකාලික ඉදිකිරීම් ඉවත් කරමින් ග්‍රේස්ගේ සුපිරි පිති හරඹය දැක ගන්නට මිනිසුන්ට අවස්ථාව දෙන්න එවකට සිටි ආණ්ඩුකාර හැව්ලොක් අවස්ථාව සළසා දුන්නද ශ්‍රේෂ්ඨයාට වැඩි වේලාවක් පිටියේ රැඳෙන්න කෙලාර්ට් අවස්ථාව දි නැත.

කෙලාර්ට් සැලකෙන්නේ ක්‍රීඩා සමාජ මට්ටමේ තරගවලදී පළමුවරට කඩුලු 1000 පසු කළ ක්‍රීඩකයා හැටියටය.එසේම එවකට සිලෝන් නම් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි කෙලාර්ට්ගේ වමත් වේගය තරමටම පසු කාලයක ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළ ඔහුගේ බෑනනුවන් වන එඩී කෙලාර්ට් ද සිය දකුණත් පිට දග පන්දුවෙන් විශේෂ දස්කම් පෙන් වූ අයෙක්ය.නමුත් එඩී ද ක්‍රිඩා කර ඇත්තේ ශ්‍රී ලංකාව නිදහස ලැබීමට පෙර බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පැවති සිලෝන් ක්‍රිකට් කණ්ඩායමටය.

නමුත් මේ දායාදයන් ලංකාවට අහිමි වන්නේ ඕස්ට්‍රේලියාව,එංගලන්තය වැනි රටවල් අවස්ථා කිහිපයකදී මේ රටේ ජිවත් වූ බර්ග්ර් ජාතිකයන්ට සිය රටවල පුරවැසිකම ප්‍රදානය කිරීම හේතුවෙන්ය.ක්‍රීඩාශීලී කාර්යශූර බර්ග්ර් ජාතිකයන් මෙරටින් නික්ම යෑම ක්‍රිකට්ම නොවුණ,රටේ සෑම ක්‍රීඩාවකම දක්ෂතා කෙරෙහි බලපෑමක් ඇති කළ බව ඇත්තය.එයට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයද ගොදුරු වූයේ එය ඇසුරේ වූ බර්ගර් ජාතිකයන්ට ද මෙරට හැර යාමට මාර්ග සකස්වීම නිසාය.ටොමී කෙලාර්ට් ලංකාවේ මිය ගිය ද එඩී පසු කලෙක මිය යන්නේ ඒ ආකාරයට ලංකාවෙන් ඈත්ව ඕස්ට්‍රේලියාවේ ජිවත්වෙමින් සිටියදී ය.

රාජරත්නම් පවසනාකාරයට කෝල්ට්ස් වර්තමානයේ පවතින තිඹිරිගස්යාය පෙදෙසට සපැමිණ ඇත්තේ මීට වසර 80 ට පමණ පෙරය.කොළම කොටුව අවට සීමා රහිතව ජනාකීර්ණ වෙන්නට ඉඩ දී ඉවතට එන කෝල්ට්ස් හා බැදුණ පිටිය තවමත් පූර්ණ වශයෙන් කෝල්ට්ස් පිටිය හා බැදුණු අයිතියක් නොවන බව දැන ගන්නට ලැබුණේ වත්මන් සභාපති නිශාන්ත රණතුංගගෙන්ය.කොළඹ නගර සභාවේ දේපළක් හැටියට බඳු යටතේ පවතින කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට යම් යම් ඉඩ අහිමිවීම් ද නිසා ගොඩනැඟිළි සංවර්ධනයේදී යම් යම් ගැටළු පැන නඟින බව ඔහුගේ අදහසය.
“අපිට ඉතිං රජයෙන් ඉඩමක් දෙනවනම් ඉන්ඩෝර් නෙට් එකක් ස්විම්න්ග් ෆූල් එකක් වගෙ හදන්න බලාපොරොත්තු වෙනවා.”
නිශාන්ත පවසන්නේ බලාපොරොත්තු ඇතිවය.එහෙත් එය එක අතකි.තනි අතින් අත්පුඩි ගැසීමට නොහැකිය.නිශාන්තගේ හඬ සමඟ වගකිවයුතු බලධාරීන් එකඟ විය යුතුය.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සිය ඉතිහාසය පුරාවම දක්ෂතා අතර සිටින ක්‍රිකට් කණ්ඩායමක් උරුම කර ගත්තේය.අපට ටෙස්ට් තත්ත්වය ලැබෙන විට ශ්‍රී ලංකාව සතුව සිටි හොඳම අන්තර්ජාතික මට්ටමේ පිතිකරුවා සේ සැළකුණේ රෝයි ඩයස් ය.අදත් ඔහුගේ ක්‍රිකට් තාක්ෂණය ගැන නිතර ඇසෙන්නේ එහි තිබුණ ගුණාංගයන් නිසාමය.ඩයස් මෙන්ම හේමන්ත දේවප්‍රිය වැනි ක්‍රීඩකයන් ද පෝෂණය ලැබුවේ කේල්ට්ස් වෙතින් ය.


1996 දී ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය ජය ගනිද්දී එම කණ්ඩායමේ පන්දු යැවීම ඇරඹන්නටත්,ලකුණු ලැබීම අරඹන්නටත් කෝල්ට්ස් සාමාජිකයින් දෙදෙනෙකු හවුල් විය.ඒ චමින්ද වාස් සහ රොමේෂ් කළුවිතාරණය.ඔස්ට්‍රේලියාවට එරෙහිව අවසන් තරගයේ කඩුලු දඩයම ඇරඹුවේද වාස් ය.
“සෑහෙන ප්ලේයර්ස්ලා කෝල්ට්ස් එක හදලා තියෙනවා.සමහර විට දිගටම කෝල්ට්ස්වල නොසිටියා වෙන්න පුළුවන්.හැබැයි එළියට එන්න පාර හදාගන්නෙ කෝල්ට්ස් හරහා.උදාහරණයකට ගන්නකො අද ඉන්න මහේෂ් තීක්ෂණ,අලුතින් ඇවිත් ඉන්න දුෂාන් හේමන්ත වගෙ ක්‍රීඩකයො.”

චමින්ද වාස් ලංකා නිවිස් සමඟ ක්‍රීඩකයන්ට දෙන දායකත්වය පැහිදිළි කරයි.දිල්රුවන් පෙරේරා,කුසල් ජනිත්,ප්‍රභාත් ජයසූරිය,වැනි නම් ගණනාවක් අයත් වර්ථමානයට වාස් පිවිසෙන්නේ හේමන්ත දේවප්‍රිය,රෝයි ඩයස්,දුලිප් සමරවීර,තිලාන් සමරවීර සහ කලක් රණතුංග පවුලේ සාමාජිකයන්ගේ දායකත්වයේ සිටය.
“අපි 2014 දි ටී ටුවෙන්ටි වර්ල්ඩ් කප් එක ගෙනෙද්දිත් කොල්ට්ස් තුනක් ටීම් එකේ හිටියා.නුවන් කුලසේකර,ඇන්ජලෝ මැතිවිස් සහ තිසර පෙරේරා”
ඒ ජාතික කණ්ඩායමේ සුවිශේෂ ජාත්‍යන්තර ජයග්‍රහණ සම්බන්ධ මතකයේ කොල්ට්ස් උරුමය ගැන සිහිපත් කිරීම නිශාන්ත රණතුංගගෙන්ය.


ජේ.ආර් ජයවර්ධන,විලියම් ගොපල්ලව වැනි ජනාධිපතිවරු කෝල්ට්ස් සමඟ තිබුණ සම්බන්ධය සහ දුන් අනුශාසකත්වය ගැන ට්‍රෙවර් රාජරත්නම් මෙන්ම නිශාන්ත රණතුංග ආඩම්බරයෙන් පවසති.
“සීයේ උත්සවයට ආවෙ විලියම් ගොපල්ලව”
ඔහු රටේ පළමු ජනාධිපතිවරයා ය.විධායක බලය නොතිබි ඔහු පළමු නාමික ජනපති වූ අතර පළමු විධායක ජනපති ජේ.ආර්. ද සැමරුම්වලට පැමිණ ඇති බව රාජරත්නම් පවසන්නේ ඔහුට නෑකම් ඇති කෝල්ට්ස් බැදීමේ වසර පනහකට ඇති මතකයේ ආඩම්බරය නිහතමානීව භුක්ති විදිමින්ය.

කෝල්ට්ස් මතක අතරේ රසාලිප්ත මතක ද අප අසා දැක කියවා ඇත.කොල්ට්ස් ක්‍රිකට් සමඟ බැදී එ් වෙත ගැලූ මීවිතෙන් පිරුණු ගීවිත එච්ආර් ජෝතිපාල කොල්ට්ස් හී ප්‍රමුඛතම ක්‍රිකට් ලෝලියෙකුව සිට ඇත.

රෝයි ඩයස් සිය මතක සටහන් අවදි කරන සෑම විටෙකම තරග පැවත්වෙන අවස්ථාවල කෝල්ට්ස් කණ්ඩායමට දිවා භෝජනය දුන් ජෝතිපාල ගැනත්,තමන්ගේ විවාහයේ මධුසමය වෙනුවෙන් ජොතිපාල බෙන්ස් රථය දුන් බවත් පවසන්නේ එකල මේ ජනකාන්ත ගායකයා කෝල්ට්ස් සමඟ ගීතයක් තරම් මිහිරට පවත්වාගෙන ගිය බැදීම් සිහිපත් කරමින්ය.


මේ සියල්ල වසර 150 ක් තිස්සේ ඉදිරියට පැමිණ ඇත.ඒ 150 සරසන්නට මතක විසුරුවන වැඩ සමූඑයකට ඉඩ උදාවෙමින් ඇත.ඒ වැඩ කාලය පුරාම කෝල්ට්ස් පෝෂණයට දායක වූ අයව ගෞරවයෙන් සිහිපත් කරමින් මෙන්ම කෝල්ට්ස් පෝෂණය කළ ක්‍රීඩාවන් ආලෝකමත් කරමින් සංවිධානය වන ඉසව් පොකුරකි.

ආරම්භය ජුනි 10 සහ 11 ය.එදින සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් කොල්ට්ස් පිටිය කේන්ද්‍ර කරගෙන පවත්වන්නට නියමිතය.ක්‍රීඩා සමාජ 16 ක් පිරිමි අංශයෙන් තරග වැදීමට සූදානමින් සිටින බව එම තරගාවලියේ සංවිධායක කටයුතු මෙහෙයවන කොල්ට්ස් කණ්ඩායමේ උප සභාපති චමින්ද මෙණ්ඩිස් පෙන්වා දුන්නේය.කාන්තා අංශයෙන් කණ්ඩායම් තුනකි.මේ කාන්තා සහ පිරිමි අංශ දෙකටම වසර 150 ක සැමරුමේ සූරතාවය බලාපොරොත්තුවෙන් කොල්ට්ස් ක්‍රීඩකයෝ ද,ක්‍රීඩිකාවෝද තරග වදිති.
“හොඳ ඉතිහාසයක් තියෙන දක්ෂතම කණ්ඩායම්වලට තමයි අපි ආරාධනා කරල තියෙන්නෙ.”
තරගකාරීත්වය සහ ක්‍රීඩාවේ ගුණාංගද සළකා බැලූ බව නොකියා පවසමින් චමින්ද මෙණ්ඩිස් අවධාරණය කරන්නේය.

අනතුරුව ජූලි 21 දා වෙන් ඉනික්බිති ඇරඹෙන සති අන්ත දෙකක කොල්ට්ස් ක්‍රීඩා සමාජයේ 150 වස් සැමරුම වෙනුවෙන් සංවිධානය වන බිලියඩ් තරගාවලියකි.අගෝස්තු 5 සහ 6 දෙදින තුළ පොලිස් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන හොකී තරගාවලියකි.

සැප්තැම්බර් 23 වන දා තෙවන වරටත් මෙරට ජනාධිපතිවරයෙක් කෝල්ට්ස් සැමරුම් සමඟ රොඳ බදින්නට නියමිතය.ඒ රාත්‍රියේ වර්ණවත් වන්නේ කොල්ට්ස් ඉතිහාසයේ ස්වර්ණමය මතක හිමි ක්‍රියාකාරීහු වෙති.රටට ක්‍රීඩා සමාජයට ක්‍රීඩාවේ අපූර්ව වින්දනය වෙනුවෙන් කරන ලද දායකත්වය සළකමින් සිදු කරන එම උපහාර උළෙල වෙතින් ඔව්හූ රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් ඇගයෙති.වසර 150 ක සොඳුරුතැන් අකුරෙන් ලියකම් කළ මතක පොදි බැඳුණු සැමරුම් පොකුරක්, ග්‍රන්ථයක් සේ සුවද විහිදා පිපෙන්නට නියමිත ද එදිනටය.

ඔක්තේම්බර් 21 දින සැමරුම් රාත්‍රියකින් කෝල්ට්ස් පවුලේ ආදරය සිය සාමාජිකයන් සමඟ බෙදා ගන්නා සැණකෙලිමය අත්දැකීමකින් වසර 150 ක රසාලිප්ත මතක සංග්‍රහය නිමා වෙන්නට නියමිතය.ඉතිහාසයට පියවර මනින විට හමුවන කෝල්ට්ස් මතකවල ගැඹුර අපේ හතවත් හී ගැඹුරුම තැන ද ගෞරවයෙන් ස්පර්ශ කරන ආදරයෙන් තැන්පත් වුණ තැන් බොහෝමය.ඉතිං ඒ නිසාම මේ ජාතික වටිනාකම ආයුෂ තව තවත් වැඩෙන්නට ඇවැසිය.එමෙන්ම මේ මතක කවරේද යන්න සොයන්නට සහ රැදෙන්නට කරන පෙළැඹුමක් වස් කෝල්ට්ස් 150 වෙනුවෙන් කාලයට ඉතුරු වෙන මුද්දරයක් නිකුත් කළ හැකිනම් එය ද වැදගත් ය.හැකිනම් යන්න කීවාට මුද්දර නිකුත් වන ප්‍රස්තුත බලන විට කෝල්ට්ස් වසර 150 ඊට ඒ නිකුත් කිරීම් බොහෝමයකට වඩා සුදුසුකම් ඇති නිමිත්තක් සපයන බව අපේ අදහසය.

මේ අතීත මතක සමරා අපේ මතකයද කොනිත්තා අවදි කළ කෝල්ට්ස් 150 සැමරුම් කලාපය ගැන කියන්නට පැවති මාධ්‍ය හමුවට කොල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් සභාපති නිශාන්ත රණතුංග,ලේකම් මේජර් ජෙනරාල් ශිරාන් අබේසේකර,භාණ්ඩාගාරික එම්.රත්නකරන්,උප සභාපති චමින්ද මෙණ්ඩිස්,අනුශාසක ට්‍රෙවර් රාජරත්නම්,විධායක දමිටු සාමාජික චමින්ද වාස්,සමාජ ලේකම් චමින්ද රත්නායක සහ ක්‍රීඩා සමාජ නායක දිනේෂ් වික්‍රමනායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සටහන – නිශ්මං රණසිංහ


Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan