උපාලි කොළඹගේ
කොළඹ LNW:ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ විශ්රාම යන වයස දීර්ඝ කිරීමේ කතාවක් මේ දිනවල මහත් ආන්දෝලනයට ලක්ව තිබේ. දැනට ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්රාම යන වයස අවුරුදු 65 වන අතර අභියාචනාධිකරණ විනිසකරුවන්ගේ විශ්රාම යන වයස අවුරුදු 63 වේ. මේ පුවත සමාජ මාධ්ය මගින් මුලින්ම හෙළිදරව් වූ අතර මට මතක හැටියට මේ ගැන හා ඊට සම්බන්ධ පුවත් රාශියක් ප්රචාරය විය.
මේ පුවතත් සමග ආණ්ඩුවට දැඩි දෝෂාරෝපණයක්ද මේ සමගම එල්ල විණි. මේ වසර අවසානයේ විශ්රාම යෑමට නියමිත අග්රවිනිශ්චයකාරවරයා තවදුරටත් එම පදවියේ තබා ගැනීම පිණිස මෙය සිදු කිරීමට යන බවටද චෝදනා එල්ල විය. නීතීඥ සංගමය මල් වට්ටියට අත ගැසුවේ මේ පුවත සෑහෙන දුරට ප්රචාරය වූවාට පසුවය.
අධිකරණ ඇමති හර්ෂණ නානයක්කාර පසුගියදා පාර්ලිමේන්තුවේදී කියාසිටියේ ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ විශ්රාම වයස තීරණයක් ආණ්ඩුව මෙතෙක් ගෙන නොමැති බවය. එමෙන්ම ඔහු සුපුරුදු ආක්රමණශීලී ස්වරය වෙනුවට නිවුණු හඬකින් සිය මතය ඉදිරිපත් කළේය.
මගේ නම් ඔළුවට ආවේ බෝට්ටුව මොන අත පෙරළුණත් තමන්ගේ කතාව වලංගු වන පරිදි සිය අදහස ඉදිරිපත් කළ බවය. මේ පිළිබඳව විවිධ පාර්ශවයන් මගින් ඉදිරිපත් කෙරෙන අදහස් සලකා බලන බවක්ද ඇමතිවරයා සඳහන් කළේය .
ආණ්ඩුවට ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමේ අදහසක් ඇත්තෙම නැත්නම් පක්ෂ විපක්ෂ අදහස් විශ්ලේෂණය කිරීමේ අවශ්යතාවයක් නැත. බළලා මල්ලෙන් එළියට පැන්නා කෙසේ වෙතත් මල්ලෙන් ඔළුව එළියට දැම්ම බවක් නම් පැහැදිලිව පෙනුණි.
මෙම පුවත සමාජ හා අනිකුත් මාධ්ය මගින් ආණ්ඩුවට දැඩි විරෝධයක් ද පළවිය. විශේෂයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකට එරෙහිව බරපතළ ලෙස චෝදනා එල්ල වුණි. ජේ ආර් ගේ මහින්දගේ චන්ද්රිකාගේ කාලයේ මෙන් අධිකරණයට මළගම උදාවනු ඇතැයිද ඔවුන් කියා සිටියේය.
මේ සියලු චෝදනා එල්ල කළේ ආණ්ඩුව මේ ගැන කිසිදු නිල ප්රකාශයක් කිරීමට පෙරය.
ඉහළ අධිකරණවල පුරප්පාඩු පිරවීමේදී ආණ්ඩුව දක්වන අසමත්කමද මෙහිදී දැඩි විවේචනයට ලක් විය. විශේෂයෙන් මෙහිදී චෝදනාවට ලක්වනුයේ ජනාධිපති අනුරය. ඒ මෙය ඔහු සතුව ඇති විධායක බලතල අනුව සිදු කළ යුත්තක් නිසාය.
කෙසේ වුවත් පැන නැඟී ඇති දැඩි විරෝධය මධ්යයේ මෙවැනි අදහසක් තිබුණද එය හකුලා ගැනීමට බොහෝදුරට ඉඩඇති බව චිචාරකයන්ගේ මතයයි.
එමෙන්ම උපකල්පන මත පමණක් මෙවැනි චෝදනා එල්ල කළා නම් එයද වැරදි සහගතය.
මොකද ආණ්ඩුවක් අධිකරණය සියතට ගැනීමට උත්සාහ කරන්නේය යන්න බරපතළ චොදනාවක් නිසාය. ඒ වගේම මේ ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව පාරම්බා ඇති ප්රමාණයට අධිකරණ කටයුුතුවලට මැදිහත් වීමේ නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැත. අධිකරණ නිලධාරීන්ගේ අඩුව වැනි හේතු මත මෙවැනි විශ්රාම වයස කල්දැමීම වැනි තීන්දුවලට එළඹෙන්නේ නම් එය ද කළ යුතු ක්රමවේදයක් ඇත. ආණ්ඩු ක්රම ව්යවස්ථාවට පැලැස්තර අලවන්නේ නැතිව මුළු ආණ්ඩු ක්රමයම වෙනස් කරන අවස්ථාවක ඊට මෙතරම් ප්රබල විරෝධයක් ඇතිවන්නේ නැත. එසේම මුළු අධිකරණ පද්ධතිය තුළම මෙම වෙනස් වීම කළ හැක. විනිසුරුවන්ගේ විශ්රාම වයස ඒ ඒ රටවල එකිනෙක වෙනස්ය. ඇමරිකාවේ විශ්රාම යන වයසක් නියම කර නැත. ඇතැම් අය මෙහිදී ගෙන එනු ලබන තර්කයක් නම් අධිකරණ පද්ධතිය තුළ වෙනසක් සිදු කරන්නේ නම් අනික් රාජ්ය සේවකයන්ටත් විශ්රාම වයස දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටිය හැක. නමුත් මෙහිදී අමතක නොකළ යුතු කරුණක් ඇත. එනම් අධිකරණ , වෛද්ය , මාධ්ය වැනි සේවා පළපුරුද්ද හා පරිණතභාවය සමග බද්ධ වූ සුවිශේෂ සේවා බවය. කෙසේ වෙතත් වැඩිහිටි ජනගහණයේ ව්යාප්තිය අනුව රජ්ය හා පෙෘද්ගලික අංශයේ විශ්රාම වයස ඊට අනුරූපව සකස්විය යුතු ය.
කෙසේ වුවත් අවසානයේ සඳහන් කළ යුත්තේ ඉහළ අධිකරණවල විනිසකරුවන්ගේ විශ්රාම වයස් සීමාව වැඩි කිරීමේ අදහසක් හෝ ඇත්නම් එය දැන්ම ක්රියාත්මක නොකළ යුතු බවයි. එසේ කළ හොත් අධිකරණ පද්ධතිය තුළ බෙදීමක් හටගැනීම වැළැක්විය නොහැකි අතර එය පාරාවළල්ලක් වීමටද බොහෝ දුරට ඉඩ ඇත. ඕනෑම රාජකාරිමය පද්ධතියක ශක්තිය රඳා පවතිනුයේ එය නොබෙදී සිටින තාක්ය. විනිසුරුවෝද මනුෂ්යයෝ මිස රොබෝවරු නොවේ.


