කොළඹ LNW:ආචාර්ය පූජා කලිතා විසින් රචිත ‘බුදුන් වහන්සේ අයිති කාටද?’ නමැති ළමා පොත දොරට වැඩීම උදෙසා කතාබහක් ඊයේ (12) වන දින පස්වරුවේ කොළඹ, නිදහස් මාවතේ ජාතික පුස්තකාල ශ්රවණාගාරයේදී පැවැත්විය.
එක් අවස්ථාවකදී, මෙම පොතේ ප්රධාන චරිතය වන තාරා නම් දරුවාගේ පියා පවසන්නේ, “බුදුන් වහන්සේ අයිති වන්නේ කරුණාවන්ත, අනුන්ට ආදරය කරන, අවංක, හැමෝටම උදව්කරන හැමදෙනාටම” බවයි. තාරා ඉන්දු-නේපාල දේශසීමාව අසල ඉන්දීය ගමක ජීවත් වන කුඩා දරුවෙකු වන අතර, ඇයගේ පියා එම දේශසීමාවෙන් ඔබ්බේ පිහිටි ලුම්බිණියට රැකියාව සඳහා යයි.
බුදුන් වහන්සේ උපත ලැබුවේ වර්තමාන නේපාලයට අයත් භූමියක වන අතර, උන්වහන්සේ ජීවත් වූයේ වර්තමාන ඉන්දියාවට අයත් භූමියකය. එමෙන්ම, උන්වහන්සේගේ ධර්මය (ථේරවාදය) දකුණු ආසියාව තුළ වඩාත්ම ප්රචලිතව පවතින්නේ වර්තමාන ශ්රී ලංකාව තුළය. මෙවැනි පසුබිමක, “බුදුන් වහන්සේ අයිති කාටද?” යන්න පිළිබඳව තාරා නඟන ප්රශ්නය වටා මෙම කතාව ගෙතී තිබේ.
මෙම පොත ඉංග්රීසි, සිංහල, නේපාලි සහ හින්දි යන භාෂාවලින් ප්රකාශයට පත් කර ඇත. මෙය කොළඹ ‘තම්බපණ්ණි ඇකඩමික් පබ්ලිෂර්ස්’ ආයතනය විසින් ඔවුන්ගේ ‘තම්බපණ්ණි ටේල්ස්’ (Tambapanni Tales) සන්නාමය යටතේ ප්රකාශයට පත් කර තිබේ. මෙහි සිතුවම් නිර්මාණය අනෝලි පෙරේරා විසිනි.
ජායාරූප – හිරුෂිකා ප්රහිභානි අමරසිංහ













