*
Saturday, July 20, 2024
spot_img

Latest Posts

මැද රට විත්ති ….

ජපානය, ජර්මනිය වැනි රටවල් ගණනාවක මිනිස්සු තමන්ගේ රට හඳුන්වන්නේ බාහිර ලෝකය ඒ රටවල් හඳුන්වන නමින් නෙමෙයි. ජපන්නුන්ට තමන්ගේ රට නිහොන් (日本). ජර්මානුවන්ට තමන්ගේ රට ඩොයිච්ලන්ඩ් (Deutschland). චීනයටත් මේ කතාව පොදුයි. චීන්නුන්ට තමන්ගේ රට චොංගුආ (中国).

චොංගුආ කියන්නේ මැද රට. කාලයක් තිස්සේ චීන්නු හිතාගෙන හිටපු විදිහට චීනය කියන්නේ ලෝකයේ මැද. මේ විදිහට හිතාගෙන හිටපු එකම ජාතිය චීන්නු නෙමෙයි. ගොඩක් මිනිස්සු වගේම ජාතීනුත් හිතන්නේ ලෝකය කැරකෙන්නේ තමන් වටේ කියලයි. අනෙක් රටවල් සම්බන්ධව කොහොම වුනත්, චීනය කේන්ද්‍ර කරගත් ලෝකයක් කියන එකනම් නිකම්ම හිතළුවක් නෙමෙයි.

පසුගිය සති දෙක ගත කළේ මැද රට එහෙමත් නැත්නම් චීනයේ. මීට කලින් අන්තිමට චීනයට ගියේ අවුරුදු දා හතකට කලින්. එහෙම කිවුවත්, එකම ගඟ දෙපාරක් බලන්න බැහැ වගේ එකම රටකට දෙපාරක් යන්නත් බැහැ. අවුරුදු දා හතකට කලින් චීනය සහ අද චීනය කියන්නේ රටවල් දෙකක්. ඒ වගේම, අවුරුදු දා හතකට පස්සේ නැවත චීනයට යන්නේ කලින් ගිය පුද්ගලයාම නෙමෙයි.

කලින් පාර චීනයට යද්දී එරට ආර්ථිකය හෝ දේශපාලනය ගැන මට ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. ඒ දවස් වල ආර්ථිකය හා දේශපාලනය ගැන අද හිතන විදිහට හිතුවෙත් නැහැ. ආර්ථිකය හා දේශපාලනය පිළිබඳව කලින් නොදුටු පැති බොහොමයක් පේන්න ගත්තේ ඇමරිකාවේ ජීවත් වීම නිසා ලැබුණු අත්දැකීම් එක්කයි. ඇමරිකන් අත්දැකීම් නොතිබුණානම් ලෝකයෙන් ලොකු කොටසක් මග හැරෙනවා.

ඇමරිකාව කියන්නේ ලෝකයෙන් ලොකු කොටසක් වුනත් ලෝකය නෙමෙයි. චීනය කියා කියන්නේ ඇමරිකාවෙන් බාහිර ලෝකයේ ලොකු කොටසක්. ඒ කොටස නොසලකා හැරියොත් වෙන්නෙත් ලෝකයෙන් ලොකු කොටසක් මග හැරෙන එක.

චීනය ඇතුළටම ගිහින් චීනය අත් විඳින එක ටික කලක පටන් තිබුණු උවමනාවක්. බටහිර මාධ්‍ය පෙරණයන් වලට අහුවෙලා එළියට එන චීනය දිහා බලලා චීනය ගැන නිගමන වලට එන එකේ අවදානම මග හරින්න තිබුණු හොඳම ක්‍රමය ඒකයි. මම හිතන්නේ මගේ අවශ්‍යතාවය සෑහෙන දුරකට ඉටු වුනා.

කලින් පාර ගියේ බෙයිජිං අගනුවරට. මේ පාර රට මැද පිහිටි වුහාන් වලටත්, දකුණු චීනයේ ශාමෙන් දූපතටත් ගියා. වුහාන් ගැනනම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නම කියපු ගමන් ගොඩක් අය දන්නවා. නමුත් ශාමෙන් ගැන ගොඩක් අය ඒ තරම්ම දන්නේ නැතිව ඇති.

ශාමෙන් කියා කියන්නේ දකුණු චීනයේ ෆුජියාන් ප්‍රාන්තයේ තායිවානයට ආසන්නව පිහිටි චීනයට අයිති දූපතක්. තායිවානය පමණක් නෙමෙයි හොංකොං වගේම වියට්නාමය, පිලිපීනය, ජපානය, දකුණු කොරියාව වගේ රටවල් වුනත් බෙයිජිං අගනුවරට වඩා ශාමෙන් දූපතට කිට්ටුයි.

චීන භාෂාව ලෝකයේ වෙනත් බොහොමයක් භාෂා වගේ අකුරු හෝ ශබ්ද මත පදනම් වූ භාෂාවක් නෙමෙයි. භාෂාව ගොඩ නැගෙන්නේ මූලික වචන එකතු වෙලා. ඒ නිසාම, පුද්ගලයෙකුගේ හෝ නගරයක නමක් ගත්තත් එයට තේරුමක් තිබෙනවා. චීන භාෂාවෙන් ශාමෙන් (厦门) කියන්නේ “මන්දිර ද්වාරය” වැනි තේරුමක් තිබෙන වචනයක්. ශාමෙන්ඩා (厦门岛) නැත්නම් ශාමෙන් දූපත කියා කියන්නේ මන්දිර ද්වාර දූපත.

ශාමෙන් කියන නම ඉතාම උචිත නමක්. සියවස් ගණනාවක ඉතිහාසය පුරාම ශාමෙන් දූපත පැවතිලා තියෙන්නේ චීනය නම් වූ මන්දිරයට පිවිසිය හැකි හා ඒ මන්දිරයෙන් පිටව යා හැකි ද්වාරයක් ලෙසයි. ඒ නිසාම, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය වැනි යාබද රටවල සිටින චීන සම්භවයක් ඇති පිරිස් අතර වගේම චීනයට ඈත රටවල චීන ඩයස්පෝරිකයන් අතර පවා ශාමෙන් සිට සංක්‍රමණය වූ අයගෙන් පැවතෙන්නන්ගේ අනුපාතය ගොඩක් වැඩියි. අනෙක් අතට එතරම් විදේශිකයින් ජීවත් නොවන චීනයේ ශාමෙන් කියන්නේ සාපේක්ෂව වැඩි විදේශිකයින් ප්‍රමාණයක් ජීවත් වන නගරයක්. හැබැයි එහෙම කිවුවත් මේ ගොඩක් අය චීන භාෂාවම කතා කරන, චීන සම්භවයක් තිබෙන අයයි.

ශාමෙන් වරාය පැරණි සේද මාර්ගයේ පිහිටි ප්‍රධාන වරායක්. නාවික මාර්ග හරහා සියවස් ගණනක් ලංකාව එක්ක සම්බන්ධව පැවති ස්ථානයක්. ඒ වගේම, නූතන සේද මාර්ගයේද වැදගත් සන්ධිස්ථානයක්.

කාලයක් සමාජවාදී, සංවෘත ආර්ථික ආකෘතියක දැඩි ලෙස හිර කර තිබුණු චීනයේ, 1976දී සිදු වූ මා ඕ සේතුංගේ මරණයෙන් පසුව, ඩෙන් ශියාවෝ පිංගේ නායකත්වය යටතේ වෙළඳපොළ දෙස යොමු වූ ප්‍රතිසංස්කරණ ක්‍රමිකව සිදු කෙරුණා. “මැද රට” ලෝකයට විවෘත කෙරුණා. චීන ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තේ මේ වෙළඳපොළ ප්‍රතිසංස්කරණ වලින් පසුවයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේම සිදු කෙරුණු මේ ප්‍රතිසංස්කරණ හරහා සාමූහික ගොවිපොළ ක්‍රමයෙන් ඉවත් වීම, විදේශ ආයෝජන වලට ඉඩ දීම, මිල පාලන ඉවත් කිරීම, රාජ්‍ය දේපොළ පෞද්ගලීකරණය, ලෝක වෙළඳ සංවිධානයට එකතු වීම වගේ ගොඩක් දේවල් සිදු වුනා. ඒ එක්කම චීන ආර්ථිකයට දේශීය හා විදේශීය පෞද්ගලික අංශයන් ලැබුණු දායකත්වය වේගයෙන් ඉහළ ගියා. චීන දළ දේශීය නිෂ්පාදිතයේ පෞද්ගලික අංශයේ පංගුවද වේගයෙන් ඉහළ ගියා. වසර ගණනාවක් 10%කට ආසන්න වේගයකින් චීන ආර්ථිකය වර්ධනය වුනා.

ඩෙන් ශියාවෝ පිං විසින් මුලින්ම චීනයට ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් සිදු කළ ප්‍රධානම කාර්යයක් වුනේ දකුණු චීනයේ විශේෂ ආර්ථික කලාප පහක් ස්ථාපනය කිරීම. ශාමෙන් දූපත ඒ කලාප පහෙන් එකක්. මේ කලාප තුළ චීන මධ්‍යගත සැලසුමෙන් වෙනස් වූ වඩා නිදහස් ආයෝජන-හිතකර ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුනා. ශාමෙන් ඇතුළු මුල් විශේෂ ආර්ථික කලාප වල සාර්ථකත්වය මත පදනම්ව පසුව තවත් එවැනි “විවෘත ආර්ථික කලාප” ගණනාවක් පිහිටුවනු ලැබුවා. කොහොම වුනත් ශාමෙන් කියා කියන්නේ චීනය තුළ මුලින්ම ප්‍රතිසංස්කරණ සිදු කෙරුණු ප්‍රදේශයක්.

මුලින්ම ශාමෙන් විශේෂ ආර්ථික කලාපය ලෙස නම් කෙරුණේ වර්ග කිලෝ මීටර 2.5ක කොටසක් පමණයි. ඒ 1980දී. වසර හතරකට පසුව 1984දී මෙම කලාපය මුළු දූපතම ආවරණය වන පරිදි පුළුල් කෙරුණා. ඒ අනුව, මේ වන විට වසර 40ක කාලයක් ශාමෙන් දූපත චීනයේ විශේෂ ආර්ථික කලාපයක් ලෙස පැවතිලා තිබෙනවා. 1994දී චීන මධ්‍යම රජය විසින් ශාමෙන් විශේෂ ආර්ථික කලාපයට නීති සම්පාදනය කර ගැනීමේ බලයද ලබා දී තිබෙනවා.

ශාමෙන් ආර්ථිකය පසුගිය දශක කිහිපය තුළ චීනයේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයද ඉක්මවමින් 15%ක පමණ වේගයකින් වර්ධනය වී තිබෙනවා. 2020 වසර අවසන් වන විට ලෝකයේ ප්‍රධානම සමාගම් පන්සීයෙන් (Fortune 500) හැට තුනක් ශාමන් විශේෂ ආර්ථික කලාපය තුළ ආයෝජනය කර තිබුණා. 1980 වන විට ඩොලර් මිලියන 141ක් පමණක් වූ ශාමන්හි විදේශ වෙළඳාම 2020 වන විට ඩොලර් බිලියන 109ක් දක්වා ඉහළ ගොස් තිබුණා. මෙය 18%ක සාමාන්‍ය වාර්ෂික වර්ධනයක්.

චීනයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 12,720ක් වෙද්දී ශාමන්හි එම අගය ඩොලර් 21,527ක්. විශේෂ ආර්ථික කලාපයක් වන ශාමන් දුපතද ඇතුළත් ශාමන් නාගරික කලාපයේ ජනගහණය මිලියන 5.3ක් පමණ වුවත් එහි දළ දේශීය නිෂ්පාදිතය ලංකාවේ දදේනිය ඉක්මවනවා. එම අගය ඩොලර් බිලියන 114.5ක් පමණ. මැක්ඩොනල්ඩ්ස්, KFC, පීසාහට්, ස්ටාර්බක්ස් වැනි අවන්හල් ශාමන් දූපත තුළ දැකගත හැකියි.

මේ සියළු කරුණු අනුව පැහැදිලි විය යුත්තේ ශාමෙන් යනු බටහිර රටක කෝණයෙන් බැලූ විට චීනය තුළ පිහිටි වඩාත්ම දියුණු හා වඩාත්ම විවෘත ප්‍රදේශයක් බවයි. එසේ වුවද, ශාමෙන් නගරයේදී පවා “චීනයට ඇතුළු වීමේ” කම්පනයෙන් මිදෙන්න ලැබෙන්නේ නැහැ. ඊට ප්‍රධානම හේතුව ශාමෙන් දූපතද “චීන මහා අග්නි-ප්‍රකාරය” තුළ පිහිටා තිබීමයි.

“චීන මහා අග්නි-ප්‍රකාරය” තුළට ඇතුළු වූ වහාම නැති වන දේවල් ගණනාවක් තිබෙනවා. ඒ දේවල් කොයි තරම් දුරට “නැතිවම බැරි” දේවල් බවට පත් වී ඇත්ද යන්න හරියටම අවබෝධ වන්නේ ඒවා නැතිව යම් කලක් ජීවත් වන්නට සිදු වූ විටයි.

මෙම ලිපිය පළ කෙරෙන “බ්ලොගර්” වෙබ් අඩවිය සහ වත්පොත චීනයට ඇතුළු වෙද්දී අහිමි වන දේවල් දෙකක්. ඊටත් වඩා ප්‍රශ්නයක් වුනේ මගේ පෞද්ගලික විද්‍යුත් තැපැල් ගිණුම අහිමි වීමයි. ඊට අමතරව ගූගල් සිතියම්ද සාමාන්‍යයෙන් මා නිතිපතා භාවිතා කරන්නක්. විශේෂයෙන්ම නුපුරුදු රටකදී හෝ ප්‍රදේශයකදී. මේ ප්‍රශ්නය කලින්ම දැනගෙන සිටි නිසා පෙර සූදානමක් ලෙස VPN කිහිපයක්ම දමාගෙන ගියත් ඒ එකකින්වත් ප්‍රයෝජනයක් වුනේ නැහැ.

හැබැයි මේ කිසිවක් චීන්නුන්ට ප්‍රශ්න නෙමෙයි. ඔය හැම දෙයක් වෙනුවටම චීන විකල්ප තිබෙනවා. “චීන මහා අග්නි-ප්‍රකාරය” ලොකුවටම ප්‍රශ්නයක් වෙන්නේ චීන භාෂාව නොදත් අප වැනි විදේශිකයින්ටයි.

මගේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය දේවල් වී තිබෙන බ්ලොග් එක, වත්පොත, ඊ-මේල් ගිණුම, ගූගල් සිතියම් ඇතුළු තවත් දේවල් අහිමිව කල් ගෙවද්දී කල්පනා වුනු තවත් දෙයක් වුනේ ගූගල් වැනි සමාගමක් මගේ ජීවිතයෙන් කොපමණ පදාසයක් අත් පත් කරගෙනද කියන එක. අපිව පාලනය කරන්නේ රජයයන් විසින් පමණක් නෙමෙයි.

ශාමෙන් පාලනාධිකාරය විසින් යටිතල පහසුකම් සංවර්ධනය හා නගරාලංකාරය වෙනුවෙන් විශාල පිරිවැයක් දරන බව පෙනෙන්නට තිබෙනවා. මෙය අඩු වැඩි වශයෙන් වුහාන් නගරයේදීද දැකගත හැකි වූ තත්ත්වයක්. මේ දවස් වල ඇමරිකාවේද විශාල යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සිදු වෙනු දැකිය හැකියි. විශේෂයෙන්ම මාර්ග සංවර්ධන ව්‍යාපෘති. මේවා රජය මුල් වී කරන දේවල් මිසක් පෞද්ගලික අංශය විසින් කරන දේවල් නෙමෙයි. එසේ රජය මුල් නොවුනානම් බොහෝ විට මේ දේවල් පෞද්ගලික ආයෝජන විදිහට සිදු වෙන එකක් නැහැ.

චීනය මාර්ග සංවර්ධනය වෙනුවෙන් කොපමණ මුදල් වැය කරමින් සිටියත් ඇමරිකාවට සාපේක්ෂව මාර්ග තදබද දැකිය හැකියි. මෙයද ශාමන් වලදී මෙන්ම වුහාන් වලදීද දැකිය හැකි වූ තත්ත්වයක්. එයින් පෙනෙන්නේ මේ අයුරින් චීන රජය මුල් වී මාර්ග සංවර්ධන කටයුතු සිදු කිරීම කළ යුතුම දෙයක් බවයි.

හොඳ මට්ටමේ මාර්ග කොපමණ අලුතෙන් ඉදි කර තිබුණද මාර්ග තදබද අඩුවක් නොතිබීමෙන් පෙනෙන්නේ පාරවල් ඉදිවන වේගයට වඩා වැඩි වේගයකින් වාහන භාවිතය ඉහළ යන බවයි.

ඇමරිකාවට සාපේක්ෂව චීනයේ පොදු ප්‍රවාහනය ඉතා හොඳ මට්ටමක තිබෙනවා වගේම මිල ගණන්ද අඩුයි. ශාමන් නගරයේ හැම අතටම දිවෙන බස් පද්ධතිය භාවිතා කිරීම සඳහා යුවානයක මිලක් ගෙවීම ප්‍රමාණවත් (රුපියල් 42ක් පමණ). මෙය සාපේක්ෂව ගොඩක් අඩු මිලක්. අනිවාර්යයෙන්ම චීන රජය විසින් ප්‍රවාහනය විශාල ලෙස සුබසාධනය කරනවා විය යුතුයි.

ටැක්සි භාවිතයද ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. මෙය සමාන කළ හැක්කේ ලංකාවේ ත්‍රිරෝද රථ භාවිතයටයි. මේවා මීටර් ටැක්සි. අවම මිල යුවාන් දහයක් වන අතර කිලෝ මීටර තුනෙන් පසුව කිලෝමීටරයකට යුවාන් දෙක බැගින් එකතු වෙනවා. රටටම පොදු මිල සූත්‍රයක් නොවුනත් වුහාන් වල තිබුණේද මේ මිල සුත්‍රයයි.

මෙම ටැක්සි මිල අධිකයැයි කිව නොහැකි වුවත්, යුවානයක් ගෙවා බස් රථයක යා හැකි ගමනක් ටැක්සියකින් යාමට යුවාන් විස්සක් තිහක් පමණ හෝ ඊටත් වඩා වැඩි මුදලක් යනවා. එසේ වුවත්, පහසුවෙන් බස් රථයක යා හැකිව තිබියදී, බොහෝ දෙනෙකු ගමන් කරන්නේ මෙම ටැක්සි වලයි. මා සමඟ කතා කළ බොහෝ දෙනෙක් මෑත කාලයේදී කවදාවත් බස් රථයක ගමන් කර තිබුණේ නැහැ. මම හිතන්නේ මේ මධ්‍යම පාන්තික මානසිකත්වය බවයි. මේ නිසාම හෝ වෙනත් හේතු නිසා බොහෝ විට බස් රථ වල ආසන මගීන්ගෙන් පිරී තිබුණේ නැහැ.

මීට අමතරව බොහෝ දෙනෙකු විසින් කුඩා ස්කූටර් භාවිතා කරනවා. විශේෂයෙන්ම සරසවි සිසුන් වැනි අය.

මේ සියළු විකල්ප තිබියදී වුවද සැලකිය යුතු පිරිසක් මෝටර් රථ භාවිතා කරන බව පේනවා. මෙයින් පෙනෙන්නේ පොදු ප්‍රවාහනය කොයි තරම් දියුණු වුනත්, විකල්ප තිබුණත්, මිනිසුන්ගේ තේරීම් වලට සීමා නැති බවයි. ඒ වගේම, පෞද්ගලික වාහනයක් නඩත්තු කළ හැකි චීනයේ මධ්‍යම පන්තිය වේගයෙන් ප්‍රසාරණය වන ආකාරයයි.

වාහන භාවිතය ඉහළ යද්දී රජය මුල් වී අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම නරක දෙයක් නෙමෙයි. රාජපක්ෂ දශකයේ ලංකාවේ රජය විසින් කළේද මෙයයි. මෙහි තවත් සමානත්වයක් වන්නේ චීනය චීනයේ සල්ලි වලින් පාරවල් හදද්දී ලංකාවද චීනයේ සල්ලි වලින්ම පාරවල් හැදීමයි. චීනය චීනයේ සල්ලි වලින් පාරවල් හදනවානම් ලංකාවත් ඒ වැඩේම කරන එකේ වැරැද්ද මොකක්ද? කොහොම වුනත් තමන්ගේම සල්ලි වලින් යටිතල පහසුකම් සංවර්ධනය කළ චීනයට ලංකාවට මෙන් ණය අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුනේ නැහැ.

ඇමරිකාවේ රජය විසින්ද මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජන සිදු කළත් චීනය ඇතුළු ආසියානු රටවලට සාපේක්ෂව නගරාලංකාරය වෙනුවෙන් එතරම් මුදල් වැය කරන්නේ නැහැ. පාර අතුගාන හා කුණු එකතු කරන ශ්‍රමිකයින් ශාමන් දූපත පුරාම දැකිය හැකියි. මේ ගොඩක් අය වයස්ගත පුද්ගලයින්. ඔවුන්ගේ මුහුණු වල දැකිය හැක්කේ අසරණකම පමණයි.

පසුගිය කාලය ඇතැම් අය ලංකාවට චීනයෙන් කොසු ඉදල් ආනයනය කිරීම සඳහා වැය වන පිරිවැය ගැන කතා කර තිබුණා. එහෙත් ලංකාවට කොසු ඉදල් එවන චීනයේ කම්කරුවන් මෙවැනි කොසු ඉදල් භාවිතා කරන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. මේ හැම දෙනෙක්ම වගේ පාර අතුගෑම සඳහා භාවිතා කලේ ගස් වල ඉපල් එකතු කර හදාගත් බෝලතු. මෙය හැම තැනම දැකිය හැකි වූ සාමාන්‍ය තත්ත්වයක්.

එක පැත්තකින් මැක්ඩොනල්ඩ්ස්, KFC ගොස් ආහාර ගන්නා, ටැක්සි වලින් ගමන් බිමන් යන මධ්‍යම පාංතිකයින් විශාල පිරිසක් සිටියද, එම ස්ථරයට පහළින් වෙනම ලෝකයක ජීවත් වන විශාල පිරිසක්ද සිටිනු නිරීක්ෂණය කරන්න අමාරු නැහැ. ඒ අය කරන්නේ ජීවත්වීම සඳහා පාර අතුගාන එක හෝ මූදු වෙරළේ අඹ විකුණන එක වගේ වැඩක්. නගරාලංකාරය වෙනුවෙන් කොයි තරම් මහන්සි වුනත්, අහස උසට නැගුනු සුපිරි හෝටල්, සුපිරි වෙළඳසැල් අතරම සාමාන්‍ය ජනතාව ජීවත්වන මහල් නිවාසද දැකිය හැකියි. නගරාලංකාරය වෙනුවෙන් ඉවත් කළ නොහැකි තරම් විශාල පිරිසක් ඒවායේ ජීවත් වන බවයි පෙනෙන්නට තිබෙන්නේ.

මේ හැම මහල් නිවාසයකම මෙන් රෙදි වැල් දැකිය හැකියි. එයින් පැහැදිලි වන්නේ රෙදි සෝදන යන්ත්‍රයක් බොහෝ චීන්නුන්ට සුඛෝපභෝගී භාණ්ඩයක් බවයි. දස අත විසිරුණු චීන භෝජන ශාලා ප්‍රධාන වීථි වල පිරී තිබුණත්, මහල් නිවාස පේලි අතර අතුරු පාරවල් වල දැකිය හැක්කේ සාමාන්‍ය ජනතාවට නූඩ්ල්ස් වැනි සරල ආහාර ලාබෙට විකුණන තැන් සහ ඒ තැන් වලින් ආහාර ගන්නා අයයි.

කෙසේ වුවත්, යාචකයින් කිසිවකු දැක ගත හැකි වූයේ නැහැ. ඒ වගේම, බඩු විකුණා ගැනීම පිණිස පස්සෙන් එන හෝ බඩු බලෙන් ඇඟේ ගසන අයද දැකිය හැකි වූයේ නැහැ. ඒ වගේම, ටැක්සි රියදුරන් කිසිම විටක වැඩියෙන් සල්ලි ගත්තේ හෝ දුර පාරවල් වලින් ගමන් කළේ නැහැ. මේ හැම දෙයකින්ම පෙනෙන්නට තිබුණේ නීතිය දැඩිව ක්‍රියාත්මක වන ආකාරයයි. වැඩිම දෙනෙකු විසින් කරනු දැකිය හැකි වූ රැකියාව පාර අතුගාන එකද නැත්නම් පොලිස් සේවයද යන්න හරියටම කිව නොහැකි වුවත් ඔය දෙකෙන් එකක් විය යුතුයි.

රටක් කෙටි කලක් තුළ වේගයෙන් දියුණු වෙද්දී සිදු වන්නේ අඩු ආදායම්ලාභීන් බොහෝ දෙනෙකු මධ්‍යම පාන්තිකයින් බවට පත් වීමයි. චීනයේ සිදුව තිබෙන්නේද මෙයයි. මගේ පෞද්ගලික මිතුරන් බොහෝ දෙනෙක් මෙවැනි මධ්‍යම පාන්තිකයින්. ඔවුන්ගේ ප්‍රශ්න මධ්‍යම පාන්තිකයින්ගේ ප්‍රශ්න. මේ අය එකතු වූ විට ඔවුනොවුන් කතා කළ දෙයින් පිළිබිඹු වූ ප්‍රධානම දෙයක් වූයේ ඉහළ බදු අනුපාතය පිළිබඳ ඔවුන්ගේ කණස්සලයි.

එහෙත්, මේ මධ්‍යම පාන්තිකයින්ට වඩා පහළ ස්ථරයක විශාල චීන ජාතිකයින් පිරිසක් ජීවත් වන බව පැහැදිලිව දැකිය හැකි වූ කරුණක්. ඔවුන්ගේ ජීවන තත්ත්වය මෙන්ම හැසිරීම් විසින්ද නැවත නැවත මතක් කර දෙන්නේ චීනය යනු තවමත් සංවර්ධනය වෙමින් තිබෙන රටක් බවයි. පාර අයිනේ තාප්පයකට මුත්‍රා කරන පුද්ගලයින් ශාමන් වලදී මෙන්ම වුහාන් වලදීද කිහිප වර දැකිය හැකි වූ දෙයක්. මැක්ඩොනල්ඩ්ස් වැනි තැන් වල වැසිකිලි අගුළු ලා ඇති අතර පොදු වැසිකිලි වලට කිට්ටු වෙන්න අමාරුයි. ලෝකයේ අනෙක් බොහෝ රටවල වගේම චීනයේත් ලෝක දෙකක් දැකිය හැකියි.

එක් පොදු පිරිමි වැසිකිලියක මුත්‍රා කරන ස්ථානයට ඉහළින් ප්‍රදර්ශනය කර තිබුණු පාඨය මගේ සිත් ඇදගත්තා. එයින් කියවුනේ මෙයයි.

“ඔබ ඉදිරියට තබන එක් කුඩා පියවරක් ශිෂ්ඨත්වය වෙනුවෙන් තබන විශාල පියවරකි.”

මෙයින් අදහස් කර තිබුණේ කරුණාකර මුත්‍රා හැම තැනම හලන්නේ නැතිව අඩියක් ඉස්සරහට ගිහින් හරි තැනට මුත්‍රා කරන්න කියන එකයි. මෙවැනි ඉල්ලීමක් කරන්න අවශ්‍ය වී තිබෙන්නේ ඇයි කියන එක හිතාගන්න පුළුවන් විය යුතුයි.

රටක සමාජ-ආර්ථික ක්‍රමය මත ඒ රටේ මිනිස්සුන්ගේ චර්යාවන් හා රුචිඅරුචිකම් තීරණය වෙනවද? එහෙම නැත්නම් රටේ මිනිස්සුන්ගේ චර්යාවන් හා රුචිඅරුචිකම් මත සමාජ-ආර්ථික ක්‍රමය තීරණය වෙනවද? මට අනුවනම් මේක ඉස්සෙල්ලා ආවේ බිත්තරයද නැත්නම් කිකිළිද වගේ ප්‍රශ්නයක්.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan