ගරු සෞඛ්‍ය ඇමතිතුමනි!

උපාලි කොළඹගේ
කොළඹ LNW:රටේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම සඳහා ඔබ විසින් යම් යම් පියවර ගනිමින් සිටින බවක් පෙනෙනවා. දේශීය දානපතියන් මෙන්ම විදේශීය ආයතන මගින් දෙනු ලබන ණය හා ආධාර මනා ලෙස කළමනාකරණය කරගනිමින් රටේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීමට හා ඉදිරි ඉලක්ක ගත සෞඛ්‍ය සංවර්ධනය උදෙසා ඔබ විසින් ගෙන යනු වැඩ පිළිවෙල සාර්ථක වේවා යයි පතමින්ම ඉදිරි අදහස් දැක්වීම සිදු කිරීමට කැමැත්තෙමි .

ඇමතිතුමනි, ඔබේ රාජකාරිමය වපසරිය අතිශයින්ම පුළුල්ය. ඔබ සෞඛ්‍ය ඇමති වනුයේ මුළු රටටමය. නොඑසේව සෞඛ්‍ය අමාත්‍යංශයට හෝ රෝහල් පද්ධතියට පමණක් නොවේ.

සෞඛ්‍ය සේවකයන් මෙන් රටේ සියලුම ජනයා තෘප්තිමත්ව තැබීම ඔබේ රාජකාරිමය බැඳීමකි. එය ප්‍රමාණවත් අයුරින් සිදුවනවාද යන්න ගැටලුවකි. විශේෂයෙන් වැඩිහිටි ජනගහනය ප්‍රමාණාත්මකව වර්ධනය වෙමින් පවත්නා වර්තමානයේ ඔවුන්ගේ සුවසෙත සඳහා දායක වීමද ඔබේ යුතුකමකැයි සිතමි. ග්‍රාමීය ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන පිහිටු වීම පිළිබඳව පසුගිය කාලයේ ඉමහත් ප්‍රචාරයක් සිදුවූ මුත් ඉන් එහාට සිදු වූ දෙයක් ගැන දැන ගැනීමට නැත.

ඇමතිතුමනි, පෞද්ගලික රෝහල් පද්ධතිය පරිහරණය කරන ලක්ෂ සංඛ්‍යාත රටේ පුරවැසියන්ගේත් සෞඛ්‍ය ඇමති ඔබය. එමෙන්ම හන්දියක් හන්දියක් ගානේ පිහිටුවා ඇති ඩිස්පැන්සරිවලින් බේත් ගන්නා රෝගීන්ගෙත් සෞඛ්‍ය ඇමති ඔබය.

අපි පළමුවෙන් පෞද්ගලික රෝහල් පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරමු. මෙම රෝහල් කරා දිනපතා උදේ සවස මෙතරම් රෝගීන් සංඛ්‍යාවක් ඇදී යන්නේ ඇයි? තම තමන්ගේ සමාජ තත්ත්වය නඩත්තු කරගැනීම පිණිස ඒවාට යන පිරිසක් ද සිටිති. ඒ හැරුණු විට තමන්ට තිබෙන එකම විකල්පය පෞද්ගලික රෝහලක පිහිට පැතීම නිසා ඒවාට යන පිරිසක් ද සිටිති. බහුතරය මෙවැනි අය යැයි සිතමි.

කෙසේ වුවද කෙනකු පෞද්ගලික රෝහලක පිහිට පැතීමට පෙළඹෙන්නේ ඇයි? විශේෂඥ වෛද්‍ය සේවය පහසුවෙන් ලබා ගැනීම, පොරොත්තු ලේඛන වල නොසිට ශල්‍යකර්මයක් සිදු කර ගැනීම හෝ ඒහා සමාන සේවයක් ලබා ගැනීම, රාජකාරී වේලාවෙන් පසුව රෝහල් සේවය ලබා ගැනීමට ඇති පහසුව මේ අතර ප්‍රධාන වේ.

ඇමතිතුමනී, මේ ආකාරයෙන් පෞද්ගලික රෝහල්වල පිහිට ලබා ගැනීම සඳහා මොන තරම් ධනයක් වැය කළ යුතු ද යන්න ඔබ නොදැන සිටිනවා විය නොහැක. ඔබ මේ රටේ සෞඛ්‍ය ඇමතිවරයාය. එමෙන්ම චෛද්‍යවරයෙකි. ඇතමෙකු තම කණකර උගසට තබා හෝ විකුණා පෞද්ගලික රෝහල්වල සේවය ලබා ගන්නා බව කීම අතිශයෝක්තියෙන් නම් නොවේ. තමන් හෝ තම කිට්ටුවරයකු දැඩි ලෙස රෝගී වූ අවස්ථාවක ඔහු හෝ ඇය ඉන් මුදවා ගැනීමට කළ හැකි හැම දෙයක්ම කිරීම සාමාන්‍ය ස්වභාවයයි.

මෙහි ඇති අනික් උත්ප්‍රාසවත් කරුණ නම් පෞද්ගලික රෝහලකදී සේවය ලබා ගන්නා විශේෂඥ වෛද්‍යවරයා තමන් කලින් රජයේ රෝහලකදී හමුවූ වෛද්‍යවරයා වීමය. ඇතැම් විට වාට්ටුවේදී හමුවන අනෙක් වෛද්‍යවරුන් ද රජයේ වෛද්‍යවරුන් විය හැක.

එමෙන්ම පෞද්ගලික රෝහල් ගාස්තුද දිනෙන් දින ඉහළ යන බව අමුතුවෙන් කිවයුතු නැත. සාමාන්‍ය අසනීපයකට පවා දින කිහිපයක් පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබුවහොත් බොහෝ විට රෝහල් බිල ලක්ෂ පහක් හෝ ඊට ආසන්න මුදලක් විය හැක. ඇතැම් විට ඊට වැඩි විය හැකි අවස්ථා ද ඇත.

අමාත්‍යතුමනි, මෙම තත්ත්වය නම් දරා ගතහැකි තත්ත්වයක් නොවේ. මේ ගැන නිවැරදි සමීක්ෂණයක් කළ හොත් මීට අදාළ තවත් කරුණු රාශියක් එළිදරව් කර ගැනීමට හැකි වෙතැයි සිතමි. කෙසේවුවත් මේ පිළිබඳව නෑසු කන්ව සිටීම සංවේදී සෞඛ්‍ය ඇමතිවරයකුට නොතරම්ය.

ඇමතිතුමනි, දැන් අපි ඔබේ පැත්තට හැරෙමු. ඔබට සෞඛ්‍යට අදාළ සියලු කටයුතු කිරීමට ඇත්තේ වාර්ෂිකව අයවැයෙන් වෙන්කෙරෙන මුදලින්ය. රට දුෂ්කර තත්ත්වයක පවතින නිසා ඊට ප්‍රමාණවත් මුදලක් නොලැබෙන වාද වියහැක. එමෙන්ම කාලයක් තිස්සේ ලියලා වැඩුණු පෞද්ගලික රෝහල් මාෆියාව මුලිනුපුටා දැමීමේ හැකියාවක්ද වර්තමාන සන්දර්භය තුළ නැත. කළ හැක්කේ රැවුල ත් කැඳත් දෙකම බේරා ගැනීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම මගේද විශ්වාස යයි.

ඇමතිතුමනි, මේ සියලු දෝමනස්සයන්ට පරම හේතුව මුදල් අවශ්‍ය ප්‍රමාණයට නොමැතිකම යන්න අවිවාදිතයයි සිතමි. එසේ නම් ඊට පිළියම් සොයමු. උකටලී වීමට කම් නැත. 70 දශකයේ මුලට යමු. එවක මුදල් ඇමතිකම හෙබ වූයේ යුගයේ සිටි දැවැන්තම වාමාංශික නායකයා වූ එවකට ලංකා සම සමාජ පක්ෂයේ නායකයාව සිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ය. මේ තරමට පෞද්ගලික රෝහල් පද්ධතිය මෝරා නොතිබුණ ද රජයේ රෝහල් පද්ධතියේ දුබලතා එදාට සාපේක්ෂකව ඉහළ අගයක පැවතිණ. එදාද රජයේ රෝහල් සඳහා ලැබුණු මුදල් ප්‍රමාණවත් නොවීය.

ඇන්. ඇම්. මෙයට අලුත් යෝජනාවක් ඉදිරිපත් කෙළේය. එනම් රජයේ රෝහල්වල බාහිර අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට එන රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමේදී සත 25 මුද්දරයක් දිය යුතුය කියාය. මොකක් හෝ දේශපාලන අහේතුවක් නිසා මෙම යෝජනාව නිසියාකාරව ක්‍රියාත්මක වූයේ නැත. මතකයේ හැටියට මාස හය හතක් එය ක්‍රියාත්මක වූවා වියහැක .

කෙසේ වුවත් එවකට සිටි ආර්ථික ප්‍රවීණයන් මෙය ඉතා ප්‍රශස්ත පියවරක් ලෙස විග්‍රහ කෙරිණ.

එමෙන්ම මෙවැනි පියවරකට යන්නේ නම් එය යාවත්කාලීන කළ යුතු බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය. රජයේ රෝහලකින් බෙහෙත් ගැනීමේදී රු.25-50 මුදලක් අයකිරීම කිසිම වරදක් ඇති ක්‍රියාවකැයි මට නම් නොසිතේ. මා නම් යොජනා කරන්නේ නේවාසික රෝගීන්ගෙන් දිනකට රාත්‍රියක් සඳහා රු.100 ක් අය කළ යුතු බවය. දුප්පත්ම රෝගීන් හා වයෝවෘද්ධ අය මින් ඉවත් කළ හැක.

අනික් කරුණ අතීතයේ මෙන් ආරෝග්‍යශාලා ලොතරැයියක් ඇරඹීමය. මෙවැනි පියවරකට නොගිහින් වර්තමාන තත්ත්වය වෙනස් කිරීමට අන් මගක් ඇතැයි නොසිතේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...

ධර්මයෙන් හදන්න බැරි අය ඉන්නවා, ඒ අය හදන්න කෙවිට අතට ගන්න වෙනවා – මන්ත්‍රී රත්නසිරි

වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ කඩවැටුණු සමාජයක් සුවපත් කිරීමට බවත්...

දුම්බර බන්ධනාගාරයේ වෙඩිතැබීමක්. පළායාමට තැත් කළ රැඳවියෙක් මරුට !

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පළායාමට තැත් කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියකු...

ඉන්ධන මිල වැඩි කෙරේ !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...