මහා පරිමාණ අල්ලස් කුමන්ත්‍රණය : රඛිත රාජපක්ෂ  ඇතුළු තිදෙනා ජූලි 03 දක්වා රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW :

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකුට සහාය වීම සඳහා මෙරට ඉහළ පෙළේ ප්‍රභූන් පිරිසක් සම්බන්ධ වූ බව කියන රුපියල් කෝටි ගණනක දැවැන්ත අල්ලස් මඩගොහොරුවක් පිළිබඳ තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ. රටේ නීතිය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මරු පහරක් එල්ල කරමින්, අපරාධකරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් රාජ්‍ය බලය සහ වගකීම පාවාදීමට ගත් මෙම උත්සාහය, ශ්‍රී ලාංකීය සමාජය තුළ දැඩි කම්පනයක් සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ බරපතල කුතුහලයක් මතු කිරීමට සමත්ව ඇත.

මෙම මහා පරිමාණ අල්ලස් කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගනු ලැබුවේ සමාජයේ වගකිවයුතු ක්ෂේත්‍ර තුනක් නියෝජනය කරන, සමාජය මවිතයට පත් කළ තිදෙනෙකි.

රඛිත රාජපක්ෂ: හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා සහ වෘත්තියෙන් නීතිඥවරයෙකි.

චරිත් අබේසිංහ: සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායකවරයාය.

අරුණ වරුණහැන්දිගේ: සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකි.

මෙහි ඇති බරපතලම තත්ත්වය වන්නේ නීතිය (අධිකරණ අමාත්‍යවරයාගේ පුත්‍රයා), දේශපාලනය (පක්ෂ සංවිධායක) සහ රාජ්‍ය පරිපාලනය (ගුවන්සේවා අධ්‍යක්ෂ) යන ජාතික වැදගත්කමකින් යුත් කුළුණු තුනක් නියෝජනය කරන පුද්ගලයින්, සංවිධානාත්මක අපරාධකරුවෙකුට අනුබල දීම සඳහා මෙලෙස එක්වීමයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සිදුකළ හෙළිදරව්වට අනුව, මෙම කුමන්ත්‍රණයේ මූලාරම්භය 2023 වසරේ මාර්තු මාසය දක්වා දිව යයි. එවකට රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක්කටා’ වෙනුවෙන් මෙම සැකකරුවන් තිදෙනා එකම ගුවන් යානයක නැගී ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

එහිදී ඔවුන් හරක්කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති සහ තවත් ප්‍රබල අපරාධකරුවෙකු වන මිදිගම රුවන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ. මෙම ගමනේ පවතින කුමන්ත්‍රණකාරී ස්වභාවය තවදුරටත් තහවුරු වන්නේ, සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් යළිත් එකම ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බව විමර්ශනවලදී අනාවරණය වීමත් සමඟය. මෙම හමුවීමේදී ඔවුන් පොරොන්දු වී ඇති ප්‍රධාන කරුණු වූයේ: හරක්කටාට එරෙහිව සිදුවන විමර්ශන ලිහිල් කිරීම, පොලිසිය විසින් ඔහු ඝාතනය කිරීම වැළැක්වීම, රැඳවුම් නියෝග ඉවත් කරවා ගැනීම සහ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙනුවට වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම යන කරුණුයි.

මෙම ‘අපරාධ මුදාගැනීමේ මෙහෙයුම’ සඳහා මුලින් ඉල්ලා ඇති මුදල රුපියල් කෝටි 50ක් තරම් අතිවිශාල අගයකි. පසුව එය රුපියල් කෝටි 20 දක්වා අඩු කර ඇති අතර, එහි අත්තිකාරම් මුදල් කොටස් වශයෙන් ලබාගෙන ඇති බව හෙළි වී ඇත..

“හරක් කටා පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම, රැඳවුම් නියෝග ඉවත්කිරීම, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමුකිරීම හා විමර්ශන කටයුතුවලින් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරදෙන බව පවසා රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී අනාවරණවී තිබේ.”

මෙම එකඟතාවයට අනුව, පළමුව රුපියල් කෝටි 10ක මුදලක් ද, පසුව තවත් රුපියල් කෝටි 2ක මුදලක් ද වශයෙන් මුළු රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් සැකකරුවන් විසින් ලබාගෙන ඇති බවද හෙළිදරව් වී ඇත,

මෙම රුපියල් කෝටි 12ක අල්ලස් මුදල මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඔවුන් භාවිතා කර ඇත්තේ නීතිවිරෝධී මූල්‍ය හුවමාරු ක්‍රමයක් වන ‘උණ්ඩියල්’ (Undiyal) ක්‍රමයයි. නිල බැංකු පද්ධතියේ වාර්තා තැබීම මඟහැරීමටත්, මුදල් ගනුදෙනුවේ සුලමුල සැඟවීමටත් ඔවුන් මෙම රහසිගත මාවත තෝරාගෙන ඇත. මෙය , මුදල් විශුද්ධිකරණයට සමාන සංකීර්ණ උත්සාහයක් වන අතර නීතියේ ඇසට වැලි ගැසීම සඳහා ඔවුන් කෙතරම් සූක්ෂම ලෙස සැලසුම් කර ඇත්දැයි මෙයින් මනාව පැහැදිලි වේ.

අද පෙරවරුවේ අල්ලස් කොමිසම මගින් මෙම සැකකරුවන් තිදෙනා ඔවුන්ගේ නිවෙස්වලදී අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී සැකකරුවන් තිදෙනාගෙන් අඛණ්ඩව පැය අටකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු වීඇති අතර, අද පස්වරුවේ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. පසුව අධිකරණ නියෝගය මත රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනාම ජූලි මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සබැඳි පුවත්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...