*
Sunday, July 7, 2024
spot_img

Latest Posts

දෙවියෝ තරහ වෙන්නෙත් නැහැ.වස් වදින්නෙත් නැහැ.කූට කපුවන් පෝෂණය නොකර ජීවිතයක් බේර ගන්න එකතු වෙන්න!

කොළඹ LNW:ලොව කුමන භූමි භාගයක වාසය කළද මනුෂ්‍ය වර්ගයා පොදුවේ සංස්කෘතිකය. විශේෂයෙන් ආගමික වටපිටාවන් හමුවේ ගොඩනැගෙන මිනිසුන්ගේ ජීවිතයේ බොහෝ දේ ගොඩනැගෙන්නේ එම සංස්කෘතික පරිසරය තුළය. ඇවතුම් පැවතුම්වල සිට අඳින පළඳින කන බොන සියලු දේ මෙම සංස්කෘතික ජීවිතයට යටත්ය. මනුෂ්‍ය වර්ගයා අතර විවිධත්වය රඳා පවතින්නේද මෙම සංස්කෘතික වෙනස්කම් මතයි. ඉතින් අපි හැම විටම සංස්කෘතික මිනිසුන්ය.

විශේෂයෙන් ලංකාව වැනි භූමියක මේ සංස්කෘතික වීම ඕනෑවටත් වඩා වැඩියෙන් ජීවිතවලට එල්බ තිබෙන බව පෙනෙන්නට ඇති කාරණයකි. විශේෂයෙන් ආගමික සහසම්බන්ධයන්,විශ්වාසයන්, පාරම්පරික ඇවතුම් පැවතුම් ඉදිරියට ගෙන යන වටපිටාව තුළ අපේ මිනිස්සු ඉතා සංවේදියි. භාර හාර, පූජා නොකිළිටිව ඉටුකරන්න මහා පුදුම වෙහෙසක් ගන්නේ. ඒ තුළ තියෙන්නේ එකී පුද්ගල බද්ද විශ්වාසයන්. තමන්ට ලැබීම නොලැබීම වාසනාව අවාසනාව සියල්ල එහාට මෙහාට කරගනිමින් එම සංස්කෘතික වටපිටාව තුළම ජීවත් වෙන්න බොහොමයක් අපේ අය ඉතාම කැමතියි. ඒ තුළ අවිද්‍යාව, මිත්‍යාව දළු දමන විට අනෙක් පසින් අතු ඉති දාලා වැඩෙන්නේ කූට ව්‍යාපාර. එයත් දැන් මේ සමාජයට සාමාන්‍යකරණය වී තිබෙන බවක් තමයි පෙනෙන්නට නම් තිබෙන්නේ. නමුත් සංස්කෘතික වටිනාකම්වලට මුවාවී මිනිසුන් කොල්ලකෑම කිසිවිටෙකත් සංස්කෘතික නැත. එම නිසාම මේ ලියවිල්ල ලියා තැබීමට අපි තීරණය කළෙමු.

හෙට (05) දින කතරගම ඇසළ උත්සවය ආරම්භ වීමට නියමිතයි. කතරගම ඇසළ උත්සවය ආරම්භ වීම කියන්නේ එම දේවාල පරිශ්‍රය වෙත විශාල වශයෙන් ජනතාව පැමිණෙමින් ආගමික වතාවත්වලට මෙන්ම භාර හාර පූජාවන්ට වැඩිවශයෙන් යොමුවෙන කාලයක්. එය සංස්කෘතික උත්සවයක්. පාද චාරිකාවෙන් පවා ඊට උතුරු නැගෙනහිර ජනතාව වසරක් පාසා එක්වන්නේ ඉමහත් භක්තියෙනි. එය කෙසේවෙතත් පසුගිය දිනවල මාධ්‍ය තුළ වාර්තා වී තිබුණේ නම් මේ කතරගම ඇසළ උත්සවය ආරම්භ වීමට පූර්වයෙන් කපුවන් ඇනකොටා ගෙන ඇති බවකි. ඒ අනුව රුහුණු කතරගම දේවාලයේ තේවාව භාර කපු පරම්පරා දෙකක් අතර ගැටුමක් ඇති වී තිබෙන අතර කලින් කලට මේ ගැටුම් වාර්තා වීම සිදුවන්නක්. පසුගිය 30 වැනිදාත් දේවාලයේ තේවාව භාර රත්නායක කපු පරපුර හා ආරාපක්ෂ කපු පරපුර අතර ගැටුම ඇතිව තිබෙන අතර එම ගැටුමින් තුවාල ලබා රත්නායක පරපුරේ කපු මහතෙකු වන උපුල් රත්නායක ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුල් වී තිබේ. ගැටුම සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක් දමා තිබීම නිසා පහරදුන් බව කියන ආරාපක්ෂ පරපුරේ කපු මහතෙකු වන ගයාන් ආරාපක්ෂ නැමැත්තාව පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර ඇත.

පැවසෙන අන්දමට මෙලෙස කපු පරම්පරා දෙක ඇවිලී ඇත්තේ ඇසල උත්සවය ආරම්භ වීමත් සමඟ පුජා වට්ටිවලින් ලැබෙන කෝටි ගණනක මුදල් හා රන් ආභරණ වෙනුවෙනි. කතරගම මහ දේවාලයේ කපු මහතුන් 15ක් සිටින අතර සෑම මාසයකම මාසය භාර කපු මහතෙකු නම් කරනු ලබයි. ඒ අනුව දේවාලයේ කටයුතු සිදුවන්නේ එම මාසය භාර කපු මහතාගේ අනුදැනුමට යටත්වය. වාර්තා වෙන අන්දමට නම් එලෙස මාසය භාර කපු මහතා විසින් මාසය තුළ දේවාලයට බැතිමතුන් විසින් පුජා කරන ලද මුදල් හා දේපළ සිය භාරයට ගැනීම සිදුවෙයි. නමුත් නිසි ක්‍රමවේදයට අනුව නම් බැතිමතුන් විසින් පුජා කරන ලද එම දේපොළ දේවාල මාළිගාවේ ගබඩා කොට තැබිය යුතු වෙයි. නමුත් සිදුවන්නේ ඊට ඉඳුරාම පටහැනි දේ බව සඳහන්. කපු පරම්පරා මෙලෙස ඇනකොටා ගන්නේද මේ දේපොළ බෙදා ගැනීමට බව දැන් රටට නොරහසක්.

ඔබට මතක ඇති පාතාල නායකයෙක් ලෙස සැලකූ අංගොඩ ලොක්කාගේ බිරිද විසින් සිය දරුවාගේ අපල දුරුවීමට පුජා කරන ලද පවුම් 38ක් බරැති රත්තරන් තැටිය අතුරුහදන් වීමේ සිදුවීම. එම රන් තැටිය අතුරුදහන් වීමේ සිදුවීම සම්බන්ධයෙන් රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා විසින් 2021 ඔක්තෝමබර් මාසයේ පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබුණි.

එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස අදාළ පුජාව භාරගත් ප්‍රධාන කපු මහතා වූ සොමිපාල ටී රත්නායක අත්අඩංගුවටත් පත්විය. සිද්ධියට අදාළව පොලිස් විමර්ශන යන අතරතුර ඔහු අතුරුදහන් ද වී සිටියේය. කෙසේ නමුත් සිදුව තිබුණේ කුමක්ද යන්න අනාරණය විණි. දේව තේවාවන් වෙනුවෙන් කැපවී සිටින බව කියන මිනිස්සුත් අන්දවා දෙවියන්ටත් කොකා පෙන්වා කපුවන් කරන කෙළි එලෙස වෙද්දීත් තවදුරටත් ඒවා එලෙසින් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවට පැහැදිලි වන්නේ මේ උත්සව සමය ආරම්භ වන විට කපුවන්ගේ මරාගැනිල්ල නිසාය.

ආගමික විශ්වාසයන්ට මුවාවී මිනිසුන් ඉතා දුක්මහන්සියෙන් හරි හම්බ කරන දේ කපුවන් විසින් මෙලස උදුරා ගනිමින් තිබීම කිසිලෙසකින්වත් සාධාරණිකරණය කළ නොහැකිය. ඊට උත්තරයක් ලෙස මිනිසුන්ට මෙවැනි සංස්කෘතික බැඳීම් අතහරින්නට යැයි අපට කියන්නට අයිතියක් නැත. එහෙත් ඒවා සම්බන්ධයෙන් සබුද්ධික වීම බැතිමත් මිනිසුන්ට ඇති වගකීමකි. දේවාලයට බාර හාර වී පඩුරක් මෙන්ම රන් ආභරණ වැනි දේපොළ ද පූජා කරන්නේ ද ශුද්ධ වූ අරමුණක් වෙනුවෙනි. වඩා හොඳ හෙට දවසක් වෙනුවෙනි. ඒ වෙනුවෙන් දැන් බැතිමත් ජනතාවට අවස්ථාවක් උදා වී තිබේ. ඒ කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලැබෙන ආධාර යොදාගෙන මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමය. ”කදිරදේවාපේක්ෂා” ලෙස එම අරමුදල පිහිටුවා තිබෙන අතර කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ වන ඩිෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයකට අනුවයි එම ගොඩනැගිල්ල ඉදිවන්නේ.

මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේ මහල් හතරකින් යුක්තව ඉදිකරෙන සියලු නවීන පහසුකම් වලින් සමන්විත එම ගොඩනැගිල්ල මෙම මස අගදී විවෘත කිරීමට බලාපොරොත්තු වන අතර ඒ මොහොතේදීම තවත් ගොඩනැගිල්ලකට ද මුල් ගල් තැබීමටද නියමිතව තිබේ. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබා ගන්නා දරුවන් වෙනුවෙන් ඉදිවන මෙම ගොඩනැගිල්ල තුළ ප්‍රතිකාර කටයුතු සඳහා මෙන්ම නවීන තාක්ෂණයෙන් සමන්විත පරිගණක ගත කළ විද්‍යාගාරයක්, පුස්තකාලයක්, කුඩා ළමා උයනක් (children’s playground) පවා ඉදි කර තිබීම සුවිශේෂියි. ඒ අනුව දරුවන් වෙනුවෙන් ඉදිකර තිබෙන ගොඩනැගිල්ල විවෘත කරන දින තවත් මහල් හතකින් යුක්ත නව ගොඩනැගිල්ලකටත් අපේක්ෂා රෝහල් පරිශ්‍රයේම මුල්ගල් තැබෙන හෙයින් එම සද් කාර්ය වෙනුවෙන් ඕනෑම කෙනෙකුට සිය දායකත්වය දිය හැකකියි.

කතරගම මහා දේවාල භූමියේද එම අරමුදල ශක්තිමත් කිරීම වෙනුවෙන් ඒකකයක් පිහිටුවා තිබෙන අතර මේ උත්සව සමයේ දේවාලයට යන බැතිමතුන්ට තමන්ට හැකි අයුරින් ඊට දායකත්වය දිය හැකියි. මුදල්,දේපොළ බෙදා ගැනීමට නොහැකිව ගහ මරා ගැනීමට පවා පෙළඹෙන කපුවන්ගේ උදරය තවදුරටත් පෝෂණය නොකර සුව ජීවිතයක අපේක්ෂාවෙන් අපේක්ෂා රෝහලට එන රෝගී දරුවන් මෙන්ම සෙසු රෝගීන්ගේ ජීවිත අපේක්ෂාව දැල්වීමට ඔබට හැකියි.

හතර වටයක් ගසන එකම පුජාවට්ටියෙන් කපුවන් මිලියන ගණනින් සිය සාක්කු තරකර ගනිද්දී ඉන් ලැබෙන දේවාශිර්වාදය කුමක්ද යන්න ප්‍රශ්න කරන ගමන් සැබෑ ලෙසම දෑස් ඉදිරියේ මල් ඵල දරන වෑයමක් වෙනුවෙන් බැතිමත් ඔබගේ පූජාව වෙන්වන්නේ නම් හෙට දිනයේ තවත් බොහෝ ජීවිත අපේක්ෂාවෙන් දැල්වෙනු ඇති. සතුට සැනසුම වෙනුවෙන් වස් දොස් දුරුවෙන්න ඉතින් එයම ප්‍රමාණවත් නොවේද?

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan