ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:තවදුරටත් ඩෙංගු වසංගතය ව්‍යාප්ත වෙමින් තිබෙන තත්ත්වයක අද (09) ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛා සංගමය විසින් මහජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
එහිදී එම ශාඛා සංගමයේ සභාපති අමිත් කුමාර මහතා පැවසුවේ ජූනි මාසයේ පමණක් ඩෙංගු මදුරුවන් බෝවන ලෙස වගකීම් විරහිතව ක්‍රියා කළ පුද්ගලයින් 1186ක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමර්ග ගත් බවත් එම පිරිසෙන් රු.එක්කෝටි දෙලක්ෂ විසිපන්දහසක දඩ මුදලක්ද අයකර ගෙන තිබෙන බවයි.
එය දඩ මුදලක් ලෙස නොව වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් සිදුකරන දඬුවමක් බවද අමිත් කුමාර මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් ඉදිරි දින කිහිපය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන වහාම පිරිසිදු කරගන්නා ලෙසද ඔහු ජනතාවට දැනුම් දුන්නේය.
හිස් ඉඩම්, වසා දමා ඇති නිවාස පරීක්ෂා කිරීම මෙන්ම ඒවා සම්බන්ධයෙන් පියවර ගැනීම මේ මොහොතේ විශාල ගැටළුවක්ව පවතින හෙයින් ඒවායෙහි හිමිකරුවන් ඉදිරි දින දෙක තුන ඇතුළත එම පරිශ්‍ර පරීක්ෂා කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඇත්නම් ඒවා ඉවත් කරන ලෙසද අමිත් කුමාර මහතා දැනුම් දෙන ලදී.
මේ අතර රෝග ලක්ෂණ පහළ වී තිබෙන අය රැකියා සඳහා යාම, පාසල්, ළඳරු පාසල් යැවීම සිදුනොකරන ලෙස වහාම විවේක ගන්නා ලෙසත් දැනුම් දෙයි.
එමෙන්ම මේ වන විට අඛණ්ඩව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඩෙංගු මර්දන ව්‍යාපෘතියේ නියැලෙමින් ඉතා වෙහෙසකර ලෙස මැදිහත්වීම් සිදුකරමින් පවතින තත්ත්වයක ගමේ මරණාධාර සමිති, යෞවන සමාජ, ගොවි සමිති ඇතුළු පිරිස් වෙතින් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ ඩෙංගු මර්දන වැඩසටහනට සහය වෙමින් මේ සතිය තුළ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටියි.
තවද ජුනි මාසයේ පමණක් කොළඹ දිස්ත්‍රික්කයට අදාළව නිවාස 494ක් රජයේ හා පුද්ගලික ආයතන 134ක් පාසල් 4කට ආගමික ස්ථාන 2කට නීතිමය ක්‍රියාමර්ග ගෙන තිබේ.
මේ අතර රාජකාරීයේ දී සිටි කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් මහජ සෞඛ්‍ය පරීක්ෂකවරුන් 08 දෙනෙකුට ඩෙංගු වැළඳී තිබෙන හෙයින් මහජනතාව සිය වගකීම ඉටුකරන ලෙසද මහජන සෞඛ්‍ය පරීක්ෂවරු අවධාරණය කරයි.


