මුම්බායි හි ටාටා අනුස්මරණ රෝහල ශ්‍රී ලංකාව වෙත අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ තොගයක් පරිත්‍යාග කරයි

Date:

මුම්බායි හි ටාටා අනුස්මරණ රෝහල (TMH) 2022 ජූලි 15වැනි දින ලංකා රුපියල් මිලියන 20 ක් වටිනා පිළිකා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කළේය. අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ බලාපොරොත්තුවෙන් මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ සිටින පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වන උෂ්ණත්වය පාලනය කොට නිපදවන ලද පිළිකා ඖෂධ මෙම තොගයට ඇතුළත් වේ. මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය,මෙම ඖෂධ තොගය 2022 ජූලි 16 වැනි දින ගුවන් මගින් මෙරටට ගෙන ඒම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීම මෙන්ම නිෂ්කාශන සඳහා පහසුකම් සැලසීම සඳහා පරිත්‍යාගශීලී පාර්ශ්වය සහ අදාළ ශ්‍රී ලංකා සහ ඉන්දීය බලධාරීන් සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කළේ ය.

මෙම පරිත්‍යාග කටයුත්ත සංවිධානය කළ TMH හි අධ්‍යක්ෂ සී. එස්. ප්‍රමේෂ්, ළමා පිළිකා රෝග පිළිබඳ මහාචාර්ය සහ අංශ ප්‍රධානී වෛද්‍ය ගිරිෂ් චින්නස්වාමි මහතා,TMH හි සහකාර වෛද්‍ය අධිකාරී වෛද්‍ය විනිත් සමන්ත්, TMH හි පිළිකා රෝග පිළිබඳ සහකාර මහාචාර්ය‍ වෙන්කට රාම මෝහන් ගොල්ලමුඩි මහතා,TMH හි සාමාන්‍යාධිකාරී (CSR) සුනීතා රාඕ සහ TMH හි ඖෂධවේදී වොනෝද් නායර් යන නිලධාරීහු, මෙම ඖෂධ තොගය භාර දීමේ අවස්ථාව සඳහා සහභාගී වූහ.

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ආචාර්ය වල්සන් වෙතෝඩි මහතා සහ කොන්සල් (වාණිජ) සඳුන් සමීර මහතා මෙම ඖෂධ තොගය භාරදීමේ උත්සවය සඳහා සහභාගි වූහ. ශ්‍රී ලංකාවට සහය අවැසි මෙම මොහොතේ දී TMH රෝහල සිදු කළ මෙම අමිල පරිත්‍යාගය අගය කළ කොන්සල් ජනරාල්වරයා, පිළිකා ප්‍රතිකාර ක්‍රම ඉහළ නැංවීම සඳහා පිළිකා ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමට TATA අනුස්මරණ මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකාවේ පිළිකා ප්‍රතිකාර ආයතන අතර වැඩිදුර සහයෝගීතාව ගොඩනංවන ලෙස ඉල්ලා සිටියේය.

ටාටා අනුස්මරණ රෝහල ලොව පැරණිතම සහ විශාලතම පිළිකා මධ්‍යස්ථාන අතරින් එකක් වන අතර, එතුළ වසර 75කට අධික අත්දැකීම් සපිරි සුවිශේෂී සත්කාර, උසස් තත්ත්වයේ පුහුණුවක් සහ නව්‍ය පිළිකා පර්යේෂණ ආදිය සමන්විත ය. එය ජාතික හා ගෝලීය පිළිකා පාලන ප්‍රයත්නයන් හි ඉදිරියෙන්ම සිටී. එය පිළිකා වැළැක්වීම, පිළිකාවලට ප්‍රතිකාර කිරීම සහ පර්යේෂණ යනාදිය සඳහා ඉන්දියාව තුළ ස්ථාපිත පුළුල් ජාතික පිළිකා මධ්‍යස්ථානය ද වේ.

ටාටා අනුස්මරණ මධ්‍යස්ථානය මූලික, පරිවර්තන, වසංගත රෝග සහ සායනික පිළිකා පර්යේෂණ සඳහා වන ලොව ප්‍රමුඛයයන් අතරින් එක් මධ්‍යස්ථානයක් වේ. පිළිකා ජීව විද්‍යාව අවබෝධ කරගැනීම සඳහා වූ අධ්‍යයන, පොදුවේ හටගන්නා පිළිකා සඳහා විශාල ප්‍රජාවන් මූලික කොටගත් පරීක්ෂණ සහ සහයෝගීතා අධ්‍යයන, නව උපවර්ධක සහ උපවර්ධක ප්‍රතිකාර, ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවල සිදු කරන සත්කාර ආශ්‍රිත මැදිහත්වීම්, ශල්‍ය අත්හදා බැලීම්, ඖෂධ නැවත සකස් කිරීම සහ රෝගියාගේ රෝගී කාල පරිච්ඡේදය තේරුම්ගැනීම සඳහා වන ගුණාත්මක පර්යේෂණ යනාදිය ටාටා අනුස්මරණ මධ්‍යස්ථානය තුළ සිදු කෙරෙන පර්යේෂණවලට ඇතුළත් වේ. මීට අමතරව, පුහුණුව සහ අධ්‍යාපනය යන අංශ කෙරෙහි ටාටා අනුස්මරණ මධ්‍යස්ථානය තුළ ප්‍රධාන අවධානයක් යොමු වන අතර, එය ඉන්දියාවේ පිළිකා රෝග පිළිබඳ පුහුණුව සඳහා වන ආයතන අතරින් ඉහළම ඉල්ලුම සහිත ආයතනය ද වේ.


ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය
මුම්බායි
2022 ජූලි 22 වැනි දින

මාධ්‍ය නිවේදනය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...