සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ දකුණු ප්‍රදේශයට බලපෑ ‘නූල්’ (Typhoon Noul) සුළි කුණාටුව හේතුවෙන් ගුවැන්ඩොං (Guangdong) පළාතේ පුද්ගලයින් 715,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබේ.
සුලි කුණාටුවත් සමඟ හොංකොං සහ දකුණු චීනය පුරා ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති අතර දුම්රිය සහ ප්‍රවාහන සේවා රැසකටද බාධා එල්ල වී ඇති අතර චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ, 2026 වසරේ චීනයට ගොඩබැසූ ප්රබලතම සුළි කුණාටුව නූල් බවයි. එය ඉරිදා අලුයම ගුවැන්ඩොං පළාතේ හුයිඩොං (Huidong) වෙරළ තීරයට ගොඩබැසීමත් සමඟ දැඩි සුළං සහ අධික වර්ෂාපතනයක් ඇතිවිය.
හොංකොං ගුවන් තොටුපොළේ ගුවන් ගමන් 350කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කළ අතර, සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇත. කුණාටුව හේතුවෙන් ගොඩනැගිලි ඉදිකිරීම් ආවරණ (scaffolding) කඩා වැටීම සහ ගස් මුලින්ම උදුරා වැටීම වැනි සිදුවීම්ද වාර්තා වී තිබේ.
චීනයේ ජාතික කාලගුණ මධ්‍යස්ථානය විසින් ගුවැන්ඩොං, ෆුජියන් (Fujian), ජියැන්සි (Jiangxi) සහ හුනාන් (Hunan) ඇතුළු ප්‍රදේශවලට තවදුරටත් අධික වර්ෂාපතනය, හදිසි ගංවතුර සහ නායයෑම් අවදානමක පවතින බවට අනතුරු අඟවා තිබූ අතර පළාත් බලධාරීන්ට අවදානම් ප්‍රදේශ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින ලෙස උපදෙස් ලබාදී තිබේ.
කුණාටුව ගොඩබැසීමෙන් පසු එහි ශක්තිය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින නමුත්, දකුණු චීනයේ ප්‍රදේශ රැසකට ඉදිරි දින කිහිපය තුළත් දැඩි වැසි සහ ගංවතුර අවදානම පවතින බව කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබේ.

