සටහන: සශිකලා මධුෂාණී
සිංහල නාට්‍ය කලාවට අභිනව මාවතක් විවර කළ විදග්ධ නාට්‍ය කලාවේ පීතෘවර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 30 වැනි ගුණසමරුව අදට (16) යෙදී තිබේ.
1996 අගෝස්තු 16 වැනි දින 82 වැනි වියේදී මෙලොවින් සමුගත් සරච්චන්ද්‍රයන්ගේ භෞතික නික්මයාමට දශක තුනක් පරිපූර්ණ වී තිබුණද, ඔහුගේ සදාතනික නිර්මාණ අද්‍යතන ශ්‍රී ලාංකීය සමාජයේ අතිශයින්ම ජීවමානය. ‘මනමේ’, ‘සිංහභාහු’, ‘පේමතෝ ජායතී සෝකෝ’ වැනි අනර්ඝ නාට්‍ය වේදිකාව මත යළි යළිදු ප්‍රාණවත් වන්නේ ඔහුගේ විප්ලවීය කලාත්මක චින්තනය අද ද අප සමඟ ජීවමාන බවට අභිමානවත් සාක්ෂි සපයමිනි.
සරච්චන්ද්‍රයන් යනු හුදු නාට්‍යකරුවෙකු පමණක් නොවේ. ඔහු ප්‍රගීත ශාස්ත්‍රවන්තයෙකි; විශිෂ්ට සාහිත්‍යකරුවෙකි; ගැඹුරු පර්යේෂකයෙකි; විදග්ධ දාර්ශනිකයෙකි; තියුණු සමාජ විචාරකයෙකි. ඒ සියල්ලටම එපිටින්, ශ්‍රී ලාංකීය අනන්‍යතාව අභිමානවත් ලෙස සෙයා ගිය අමරණීය නිර්මාණශීලී බුද්ධිමතෙකි.
ශාස්ත්‍රීය මූලාරම්භය සහ පෙරදිග රංග සම්ප්‍රදායේ පුනර්ජීවනය
වැදිතන්තිරිගේ යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා හෙවත් එදිරිවීර සරච්චන්ද්‍රයන් 1914 ජූනි 03 වැනි දින ගාල්ල රත්ගමදී ජන්මලාභය ලැබීය. රිච්මන්ඩ් විද්‍යාලය, ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය ඇසුරෙන් විධිමත් අධ්‍යාපනය ලැබූ ඔහු, විද්‍යා විෂයයන් මෙන්ම ඉංග්‍රීසි, ලතින් හා ග්‍රීක භාෂා ප්‍රවීණතාවක් ද ප්‍රගුණ කළේය.
1933 දී කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාලයට ඇතුළත් වූ ඔහු පාලි, සංස්කෘත සහ සිංහල භාෂා හැදෑරීමෙන් අනතුරුව පළමු පෙළ ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව උපාධිය දිනා ගත්තේය. අනතුරුව ලංකා සිවිල් සේවා විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය අත්පත් කර ගත්තද, රාජ්‍ය සේවයේ පටු සීමාවන් අභිබවා කලාව, දර්ශනය සහ සාහිත්‍යය කෙරෙහි වූ නොතිත් ආශාව ඔහුව වෙනත් අභිනව මංපෙත් වෙත කැඳවාගෙන ගියේය.
ශාන්ත පීතර විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙසත්, ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙකු ලෙසත් සේවය කළ ඔහු, පසුව ඉන්දියාවේ ශාන්ති නිකේතනය වෙත ගොස් සංගීතය හා භාරතීය දර්ශනය පිළිබඳ උසස් අධ්‍යාපනයේ නිරත විය. එම අත්දැකීම ඔහුගේ මුළු මහත් කලා දිවියේ හැරවුම් ලක්ෂ්‍යය විය.
භාෂාව, කලාව, සාහිත්‍යය අංශවලට වැඩි නැඹුරුතාවයක් දැක්වූ සරච්චන්ද්‍රයන්ගේ අධ්‍යාපනය සහ පර්යේෂණ කාර්යයන් ද ඒ මඟ යනු ලැබීය.‘Sinhalese Folk Play හෙවත් ‘සිංහල ගැමි නාටකය’ පර්යේෂණ කෘතිය, ඔහුගේ සුවිසල් වෙහෙස මහන්සියක, කැපවීමක ප්‍රතිඵලක් විය.
ඔහු පේරාදෙණි විශ්ව විද්‍යාලයෙන් ලත් ආභාෂයත් සමඟ 1954 දී ”බහින කලාව” නමින් සිය ප්‍රථම ස්ව තන්ත්‍ර නාට්‍ය නිර්මාණය කරන්නට විය. ඊට අමතරව ”කපුවා කපෝති, මඟුල් ප්‍රස්ථාව, වළහැඩියා, මැනේජර්, පබාවතී, වෙද හටන, වඳින්න ගිය දේවාලෙ” වැනි නාට්‍ය කීපයක් නිෂ්පාදනය කර සිටි ඔහු රටින් රට යමින් නාට්‍ය කලාව හා බැඳුණු අත්දැකීම් ලැබීමට සමත් විය. ඒ හරහා නව අධ්‍යයන පර්යේෂණ කරන්නට විය.
ඔහු ලංකාවේ ගැමි නාට්‍ය නරඹමින්ද, අභිචාර විධි අධ්‍යනය කරමින්ද, තොවිල්-පවිල්, කංකාරි, ගම්මඩු, පුනාමඩු, දෙවොල්මඩු ආදියෙහි සැරිසරමින් ද නාට්‍ය කලාවක් බිහිකිරීමට සුවිශාල වෙහෙසක් දැරීය. ඔහු නාට්‍ය විචාරකයෙකු වශයෙන් නිරන්තරව සිය දැනුම සමාජගත කිරීමේලා උත්සුක විය. “සිංහල ගැමි නාටකය, නාට්‍ය ගවේෂණ, වෙස් මුහුණුද සැබෑ මුහුණුද”යන ග්‍රන්ථ නාට්‍ය කලාව හැදෑරීමට අතිශයින් වැදැගත් ශාස්ත්‍රීය කරුණු සංග්‍රහ කරනලද කෘතීන් බිහිවුනේ ඹහුගේ පර්යේෂණ කාර්යයේ ප්‍රතිඵලයක් වශයෙනි. ඔහු එක් ශෛලියකට ගැති නොවී විවිධ සම්ප්‍රධායන් අධ්‍යනය කරමින් නව මාවත් දේශීය සම්ප්‍රදායන්ට විවර කළ නිර්මාණවේදියෙකු, පර්යේෂකයෙකු, ශාස්ත්‍රීය දැනුම් ගවේෂකයෙකු විය.
ලෝකධර්ම සහ නාට්‍යධර්ම යන උභය සම්ප්‍රදායටම අයත් නිර්මාණයන් සරච්චන්ද්‍රයන් අතින් නිම විය. ඔහු සිය සමාජ කියවීම මඟින් අත්කර ගන්නා ලද ඥාණනයේ ප්‍රකාශ මාධ්‍ය වූයේ ඔහුගේ කෘතහස්ත නිර්මාණයි.
සිංහල වේදිකාවේ මහා පෙරළිය: ‘මනමේ’ සහ ‘සිංහභාහු’

1956 වසරේදී වේදිකාගත වූ ‘මනමේ’ නාට්‍යය සිංහල නාට්‍ය කලාවේ අමරණීය මංසලකුණකි. එහි සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ට කලා නිර්මාණ පිටුපස ඉතා රසවත් ගැඹුරු පර්යේෂණ ව්‍යායාමයක් දැකිය හැකියි. සැබැවින්ම ”මනමේ”තුළ ඉන්දීය අවශිෂ්ටව පැවති ගුජරාටි, මරාථි, පාර්සි, හින්දි ආදී වූ විවිධ ප්‍රාදේශීය භාෂාවලින් රඟ දැක්වූ නාට්‍යවල මුල් බීජත්, ජපානයේ නෝ කබුකි මෙන්ම චීනයේ බෙයිජිං ඔපෙරාහි උත්තේජනයත්, මෙරට ගැමි නාඩගම් සම්ප්‍රදායේ ද තත් ලක්ෂණයන්හි ආභාශයත්, දක්නට ලැබේ. එමෙන් ම නාඩගම් හෝ ජන නාට්‍ය සම්ප්‍රදායේ සිට නවීන වේදිකා නාට්‍ය ආකෘතිය වෙත මාරු වීම පෙන්වා දෙන ප්‍රථම සිංහල නාට්‍ය වශයෙන් ද හඳුනා ගත හැකිය.
මනමේ හා සිංහභාහු පිළිබඳ කියවීම පහසු නැත. එහි අර්ථයද ගුණයද දැනුම ද සුගුණය.
ඉන් අනතුරුව, 1961 දී බිහි වූ ‘සිංහභාහු’ ඔහුගේ නිර්මාණාත්මක දිවියේ අග්‍රගන්‍ය උච්චස්ථානය සනිටුහන් කළේය. මහාවංශගත ජනප්‍රවාදයක් ඇසුරින් නිර්මාණය වූ මෙම නාට්‍යය තුළින් ඔහු පවුල, ප්‍රේමය, බලය, වෙන්වීම සහ මනුෂ්‍ය භාවයේ සංකීර්ණ හැඟීම් පිළිබඳ දාර්ශනික ප්‍රශ්න මතු කළේය. සරච්චන්ද්‍රයන්ගේ ජාතිකත්වය යනු අනෙකා බැහැර කරන සංකීර්ණතාවක් නොව, තමන්ගේ සංස්කෘතික මූලයන් හඳුනාගෙන ඒවා ලෝකය සමඟ සංවාදයට යොමු කරන පුළුල් මානුෂීය දැක්මකි.

1957 වසරේ නිෂ්පාදනය කරන ලද ”පේමතෝ ජායතී සෝකෝ ” නාට්‍යද සද්ධර්මාලංකාරයේ එන “ස්වර්ණතිලකා”කතා වස්තුව ඇසුරින් නිර්මිත රමනීය දෘෂ්‍ය කාව්‍යයකි. දේශීය නාට්‍ය සම්ප්‍රදායේ සුජාත ලක්ෂණ ගවේෂණය කරන නිර්මාණකරුවන්ට සරච්චන්ද්‍රයන්ගේ ජනකාන්ත නාට්‍ය සම්ප්‍රදාය විශ්ව කෝෂ බඳුය. සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ ප්‍රභාසංස්කරණය නාට්‍ය කලාවට පමණක් සීමා නොවීය. ‘මළගිය ඇත්තෝ’, ‘වල්මත් වී හසරක් නුදුටිමි’, ‘මළවුන්ගේ අවුරුදු දා’, ‘හෙට එච්චර කළුවර නෑ’ සහ ‘විලාසිනියකගේ ප්‍රේමය’ වැනි නවකතා ඔහුගේ සාහිත්‍ය මෙහෙවරේ සුවිශේෂී සලකුණු විය. විශේෂයෙන්ම ‘මළගිය ඇත්තෝ’ කෘතියේ එන,
“ආවොත් යා යුතුය. නොගොසින් එන්නට බැරිය. මෙලොව ඇත්තේ යාම් සහ ඒම් පමණකි.” යන අනභිභවනීය වදන් පෙළ ඔහුගේ ගැඹුරු දාර්ශනික ලෝක දැක්ම මනාව පිළිබිඹු කරයි.
ඔහුගේ ශාස්ත්‍රීය සේවය ජාත්‍යන්තර මට්ටමින්ද ඇගයීමට ලක් වූ අතර, ඉන්දියාවේ කීර්තිමත් ‘කුමාරන් අශාන්’ සම්මානයෙන් සහ පිලිපීනයේ ‘රාමෝන් මැග්සෙසේ’ ජාත්‍යන්තර සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරයෙකු මෙන්ම ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද ඔහු මාතෘභූමියට අනභිභවනීය සේවයක් ඉටු කළේය.
1996 අගෝස්තු 16 වැනි දින මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් භෞතිකව අප අතරින් නික්ම ගොස් දශක තුනක් පරිපූර්ණ වී ඇත. එහෙත් ‘මනමේ’ තවමත් වේදිකාව ප්‍රාණවත් කරයි; ‘සිංහභාහු’ ප්‍රේක්ෂක හදවත් තුළ ගැඹුරු ප්‍රශ්න මතු කරයි; ඔහුගේ ලිඛිත වචන තවමත් අපට සිතන්නට බල කරයි.
භෞතික ශරීරයෙන් ඔහු නික්ම ගියද , ඔහු දැල්වූ ප්‍රඥාවේ සහ බුද්ධියේ පහන්සිළුව අදටත් අර්ථපූර්ණ ලෙස දැල්වෙමින් පවතී. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 30 වැනි ගුණසමරුව වෙනුවෙන් අප අභිමානයෙන් සිහිපත් කරන්නේ යුගයක් නිර්මාණය කළ ඒ අමරණීය මහා ප්‍රාඥයාණන්ය.
“ආවොත් යා යුතුය. නොගොසින් එන්නට බැරිය. මෙලොව ඇත්තේ යාම් සහ ඒම් පමණකි.”

