රාජකාරි පීඩනය වැඩිවී ගෙදර ගිය දෙහිවල ට්‍රැෆික් OICගේ සම්පූර්ණ කතාව

රාජකාරි පීඩනය වැඩිවීම නිසා මනස ව්‍යාකූල වී ඇති බැවින් රාජකාරි කිරීමට නොහැකි බවට සටහනක් තබා තාවකාලිකව රාජකාරි ස්ථානයෙන් පිටව ගිය දෙහිවල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩතහනම් කිරීමට ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පසුගියදා පියවර ගෙන තිබිණි.

මෙසේ වැඩතහනමට ලක්ව ඇත්තේ ප්‍රණිත් උදයංග නම් පොලිස් පරීක්ෂකවරයෙකි. මේ, එම සිද්ධියට අදාළ සම්පූර්ණ විස්තරයකි.

දෙහිවල දෙහිවල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති වශයෙන් රාජකාරි කළ පොලිස් පරීක්ෂක ප්‍රණීත් උදයංග පසුගිය 02 වනදා පොලිස් ස්ථානයට පැමිණ රාජකාරි කිරීමේදී තමන්ගේ මනසට එල්ලවන පීඩනය ගැන තොරතුරු පොතේ සටහනක් යොදා පොලිස් ස්ථානයෙන් තාවකාලිකව පිටව ගොස් තිබුණු අතර පසුදින, එනම් 03 වනදා ඔහු නැවත රාජකාරියට වාර්තා කිරීමට පැමිණ ඇති නමුත් ඒ සඳහා ඔහුට අවසර දී නොමැති බව සඳහන්.

දෙහිවල යනු කොළඹ මහ නගර සීමාවට තදාසන්න ඉතාම ජනාකීර්ණ ප්‍රදේශයකි. එහි රථවාහන අංශයේ රාජකාරි කටයුතු ඉතාම සංකීර්ණ බව බැලු බැල්මටම පෙනෙන දෙයකි. දෙහිවල පොලිස් වසමේ රථවාහන අංශයේ නිලධාරීන් ස්ථානගත කිරීම සඳහා ස්ථාන විස්සක් පමණ ඇති අතර රථවාහන අංශයේ රාජකාරි සඳහා පමණක් නිලධාරීන් 40ක් අවශ්‍ය වුවත් දැනට සිටින්නේ නිලධාරීන් 13 දෙනෙකු පමණක් බව පොලිස් ආරංචිමාර්ග පැවසීය. එමෙන්ම ඒ නිලධාරීන් 13 දෙනා අතරින් ද ඇතැමුන් පොලිසියේ වෙනත් රාජකාරි අවශ්‍යතා සඳහා ද යොමුකරන බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි තත්වයක් තුළ අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණක් තබාගෙන රාජකාරි කිරීම යනු අතිශයින්ම දැඩි පීඩනයක් එල්ල වන තත්වයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. රථවාහන අංශයේ අධිකරණ කටයුතුවල ලිපිලේඛන සකස් කිරීම පවා එහි ස්ථානාධිපතිවරයාට සිදුකිරීමට සිදුව ඇති අතර එසේ අසීරුතා මැද කටයුතු කළත් පොලිස් බල ප්‍රදේශය තුළ රථවාහන තදබදයක් ඇතිවූ සැණින් පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් දැඩි දෝෂාරෝපණයන් ද ඔහුට එල්ල වී ඇති බවත් සඳහන්.

මෙවැනි තත්වයක් තුළ පොලිස් පොතේ සටහනක් ද තබා ඔහු තාවකාලිකව රාජකාරියෙන් බැහැරව ගොස් තිබියදී මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මෙම නිලධාරියා විසින් සිදුකළ ක්‍රියාව අනෙක් නිලධාරීන්ට වැරැදි පූර්වාදර්ශයක් වන බව පවසමින් බී වාර්තාවක් මගින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මෙම නිලධාරියාට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලා ඇත.

එහිදී එම ඉල්ලීම ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට දෝෂාරෝපණය ද කර ඇති බව සඳහන්. එමෙන්ම මෙම ප්‍රණීත් උදයංග නම් නිලධාරීයාට අපරාධමය චෝදනාවක් එල්ල කිරීමට කරුණු අනාවරණය වන්නේ නම් පමණක් ලබන 24 වනදාට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත.

එසේ තිබියදී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග අනුව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය විසින් මෙම නිලධාරියාගේ වැඩතහනම් කර තිබේ. මෙම නිලධාරියා විසින් පොලිස් විනය සංග්‍රහය උල්ලංඝනය කර ඇති බව පවසමින් සැප්තැම්බර් 03 වනදා සිට ඔහුගේ වැඩතහනම් කරන බව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය ලිඛීතව දැනුම් දී ඇත.

මේ පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇත්තේ ඔහු තමන්ට එල්ල වූ රාජකාරි පීඩනය හේතුවෙන් ඇතිවූ ආතතිය නිසා රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින තත්වයක් තුළ වීම විශේෂත්වයකි. මෙය අතිශයින් අමානුෂික ක්‍රියාවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

ශ්‍රී ලංකා පොලීසිය දැනටත් ක්‍රියාත්මක වන්නේ නිලධාරීන් 40,000ක පමණ හිඟයක් ඇතිව ය. එමෙන්ම මුළු දිවයිනටම රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් සිටින්නේ 7000ක් වැනි ප්‍රමාණයකි. රට තුළ මෝටර් කාර් පමණක් ලක්ෂ 14ක් ඇති අතර සමස්ථ රථවාහන ප්‍රමාණය ලක්ෂ 110ක් බව පැවසේ. ඒ අනුව රථවාහන අංශවල පොලිස් නිලධාරීන්ටත් විශේෂයෙන්ම ස්ථානාධිපතිවරුන්ට අතිශයින්ම දැඩි පීඩනයක් තුළ රාජකාරි කිරීමට සිදුවීම අරුමයක් නොවේ.

මේ කතාවට මාතෘකාව වූ දෙහිවල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා තිදරු පියෙක් බවත් ඔහුගේ බාලම දරුවාට වයස මාසයක් බවත් ආරංචිමාර්ග සඳහන් කළේය. එසේම ඔහුගේ පවුලේ එකම ආදායම් මාර්ගය ඔහුගේ රැකියාව පමණක් බවත් සඳහන්. එවන් තත්වයක් තුළ මෙවැනි සිදුවීම් දෙස මීට වඩා මානුෂිකව බැලීමට ඉහළ පොලිස් නිලධාරීන්ට හැකියාවක් තිබිය යුතුය.

එක් එක් පුද්ගලයින්ගේ දරාගැනීමේ හැකියාව එකිනෙකාට වෙනස් ය. එදිනෙදා ජීවන තත්වයන් ද මීට බලපායි. ඒ අනුව රාජකාරි පීඩනය හේතුවෙන් මේ නිලධාරියා ආතතියට පත්ව සිටියේ නම් බලධාරීන් විසින් කළයුතුව තිබුණේ තාවකාලිකව හෝ ඔහුට වෙනත් පොලිස් ස්ථානයකට ස්ථාන මාරුවක් ලබාදීමය. එසේ නොමැතිව ඔහුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර විදෙස් ගමන් තහනමක් ඉල්ලා සිටීම විකාරයකි. එසේ බැරිවූ තැන ඔහුගේ වැඩතහනම් කිරීම ඊටත් එහා ගිය අමනෝඥ ක්‍රියාවකි.

සාමාන්‍ය ජනතාවට ඇති ප්‍රශ්නය වන්නේ පොලීසිය තමන්ගේම නිලධාරීන්ටත් සලකන්නේ මේ ආකාරයෙන් නම් අපිට මොනවා නොකරනු ඇතිද යන්නයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...