රජය විසින් සමාජ මාධ්‍ය හා ඩිජිටල් මාධ්‍ය වාරණය කිරීමේ අරමුණින් මර්දනය කිරීමේ පනතක් ඉදිරිපත් කිරිමට නියමිත බවත් මාර්ගත ක්‍රමවල සුරක්ෂිතභාවය යන නම පෙරටු කර ගත්තත් එහි කිසිදු ආරක්ෂාවක් නොමැති බවත් එහි ඇත්තේ මර්දනය බවත් එහි අරමුණ පොදුජන හඩ, ජනතා හඩ හා විපක්ෂය නිහඩ කිරිම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මේ සඳහා කොමිසමක් පත් කිරිමට නියමිත බවත් එහි සභාපති හා සාමාජිකයන් පත් කරන්නේ සහ ඉවත් කරන්නේ ජනාධිපති බවත් තමන් කියන ආකාරයට කටයුතු නොකරන්නේ නම් එම සාමාජිකයන් ඉවත් කළ හැකි බවත් තමන්ට හිතවත් අතකොලුවන් පත් කර මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පෙරටු කර ගෙන තමන්ගේ තනතුරේ, තමන්ගේ හා තමන් හිතවත් පුද්ගලයන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා (23) මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතවරුන්, වරියන් හා අපේක්ෂකයින් සමඟ පැවැත් හමුවකදී ය.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේ මේ පනතට නොරැවටෙන ලෙසත් විකාශන අධිකාරි පනත සම්බන්ධයෙන් ගරු අධිකරණය පවා කියා සිටියේ නියාමනයක් අවශ්‍ය වුවත් ඒ සඳහා විධායකයට බලයක් නොමැති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුවන් පෙර ලබා දුන් තීන්දු තීරණවලට පටහැනිව වත්මන් රජය ඉදිරිපත් කරන මාධ්‍ය මර්දන පනතේ කිසිදු වලංගුභාවයක් නොමැති බවත් ඒ මහතා පැවසීය.
ජනාධිපති නම් කරන මේ කොමිසම අධිකරණයේ බලය පවා අභිබවා යන බව පැවසූ විපක්ෂ නායකවරයා මෙය මෙරට ජනතාවගේ මූලික අයිතිය උල්ලංඝනය කිරිම බවත් මිලියන 230කට වැඩි ජනගහනයක් සිටින පාකිස්ථානයේ ඉම්රාන් ඛාන් මෙවැනි පනතක් ගෙන ඒමට සූදානම් වුවත් ඔහුට එය හකුලා ගැනීමට සිදුවූයේ අන්තර්ජාල පහසුකම් ලබා දෙන ආයතන ඉවත්වීමට සූදානම් වූ නිසා බවත් පෙන්වා දුන්නේය.
මේ පනතේ වසර 5ක සිරදඩුවම් ලබා දෙන බලයක් ඇති නිසා අන්තර්ජාල කේන්ද්‍රස්ථාන මෙරට හැරයාමේ අවධානමක් ඇති බවත් දැන්ටමත් ෆේස්බුක් ට්විටර් ඉන්ටර්ග්‍රෑම් ගූගල් වැනි ආයතන පවා අනතුරු අගවා ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
වත්මන් රජය ඩිජිටල් ආර්ථිකයක් ගෙන එනවා යැයි පුරසාරම් දොඩමින් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය වාරණය කිරිමට උත්සාහ කරන බවත් මේ සෑම දෙයක්ම සිදු කරන්නේ ජනාධිපති පට්ටම්, තනතුරු ආදිය ආරක්ෂා කර ගැනීමටත් බවත් තමන්ට රිසි නොවන මත සම්පූර්ණයෙන්ම බැහැර කර රාජ්‍ය ත්‍රස්තවාදයක් හරහා මාධ්‍ය මර්ධනය කිරිමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
මෙවැනි අනපනත් තුළ අපේ රටට නව තාක්ෂණය නොපැමිණෙන බවත් සෘජු විදේශ ආයෝජන පවා නැති වන බවත් මේ අන පනතේ බොහෝම පැහැදිලි අරමුන වන්නේ ජනතා හඩ නිහඩ කර ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය විනාශ කිරිම බවත් වෙනස් වෙනස් මත යටපත් කිරීම බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේ රජයට විරුද්ධව මතයක් දැරුවොත් දඩුවම් කිරීමටත් මත දැරීමේ නිදහස සිතිමේ නිදහස එකතුවීමේ නිදහස අහෝසි වන බවත් පැවසීය.
එම නිසා සමගි ජන බලවේගය මෙවැනි අනපනතක් ගෙන ආවොත් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන බවත් ඊට අමතරව මේ මාධ්‍ය මර්දන දුර්දාන්ත ප්‍රතිපත්තිය පරාජය කරන්න මහපාරට බහින බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
රට තුල ඒකාධිපතීත්වයකට ආඥාදායකත්වයකට ඉඩක් නොමැති බවත් මර්දනය වෙනුවට ජනතාවට නිදහස හා සත්‍ය දැන ගැනීමට ඇති අයිතිය තිබිය යුතු බවත් මේ අනපනත් සම්මත වුවහොත් පාස්කු ප්‍රහාරය පිටුපස ඇති මහමොලකරුවන් සම්බන්ධයෙන් පවා සොයා බැලීම සිදු කළ නොහැකි බවත් දේශපාලන කුමන්ත්‍රණ කිසිවක් සොයා ගැනිමට නොහැකි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
RN