*
Sunday, October 20, 2024
spot_img

Latest Posts

‘මුහුද දිහා බලන්න කියද්දිත් එයා මතක් වුණා’… – නිල්හාන් සෙනවිරත්න

නිල්… ගැඹුරු සමුදුර රළ නැගෙන තැන… නීල නිල්වන් රළ බිඳෙන තැන… හදගැස්ම මම කවියකට අමුණමි.

“මුහුද දිහා බලාගෙන මූඩ් එකක් දෙන්න”

ඒ සේයාරුවට සේයාරුවක් සොයන සුමුදුය.

මා දන්නා තරමට නොදන්න… මා නොදන්නා තරමටම දන්න නිල්… ඔබට මේ මහ මුහුද ප්‍රේමණීයම ප්‍රේමයක මතක හදගැස්ම යා කරන වග රළ අතර රඳවන ඔය නෙත් මට රහසේම කියයි… නිල්… කිසිදා මතකයෙන් නොගිලී යා යැයි ඔබ කියන ප්‍රේම පුරාණයක අවසන් මතකය මේ මහ මුහුද හා යා වෙන්නේ කෙළෙසකදැයි ඉතින් මම නොඅසමි. ජීවිතයේ පාර දිගේ ඒ ප්‍රේමණීය මතක දිගේ ඇවිද යන්නට ඉස්මත්තෙන් මට ඔබ හා ඇවිද යන්නට මාවත් බොහොමයකි. ඔබ කියනා විට අසනු රිසින් මා බලා හිඳිනා කතාන්දර බොහොමයකි.

අදටත් මගේ හදවතේ එක් තැනක එක් මතකයක ඇඟට ලොකු කහ පාට කමිසයක් ඇඟලා ගත් රොමාන්තික අමුතු උන්මාද හිනාවක් ළාවට තොල් අතර තවරාගත් හිතුවක්කාර “අමුතු පිස්සු” මලයාලම් සිනමාවී මතකයක් මගේ හිතේ තැනක සිත්තම් කළ ඉලන්දාරියෙක් හුස්ම ගනී. ඒ තරුණයා මගේ හිතේ නැවතුණේ මා පාසල් සිසුවියක ලෙස කන්‍යාරාමයේ උගන්නා වියේදීය. ඒ කහ පාට කමිසකාරයා එදා මට දිලිසෙන තරුවකි. නන්නාඳුනන තරුවකි. ඒ කහ කමිසකාර මතකයෙහි අයිතිකාරයා අදටත් මට එදා වගේම තරුවකි. කිසිදා මා සිත් අහස හැර නොයන තරුවකි. වෙනස එදා නන්නාඳුනන තරමටම අද දැන හඳුනන පුදුම තරුවකි. අමුතු තරුවකි. ඒ තරුව නිල්හාන් සෙනෙවිරත්නය.

නළුවෙක්. අරුම පුදුම සෞන්දර්යක් දෑසෙහි හා අතැඟිලිහි තවරාගෙන වර්ණ සිත්තම් අතරෙහි සැරිසරන විචිත්‍රවත් ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්.

nil 33
හිතුවක්කාරයෙක් ආඩම්බරකාරයෙක්. කෘතවේදී ආදරණීය සංවේදී හදවතක අයිතිකාරයෙක්. පුංචි දේටත් රිදෙන, ඇස් දෙකට කඳුළු එන මලක් වන් හිතක අයිතිකාරයෙක්. රොමාන්තික ප්‍රේමවන්තයෙක්. සංගීතයට, ගීතයට, සිනමාවට ආලවන්ත රසකාමියෙක් ඇවිදින කලාගාරයක්. ඒ කොයි හඳුන්වා දීමත් නිල්හාන්ට වලංගුය.

ගිය සතියේ දවසක මහ වැහි වැටුණු උදෑසනක පින්තූර ටික ගන්නට සැරසුණු දවසේ අතරමං පූස් පැටවෙකුට නිල්හාන් ගෙදර දොර ඇරියේය.
“ඔයා එක්ක කතා කරන්න ඉස්සර අරයට කිරි ටිකක් හදලා දීලා එන්නම්”

නිල්හාන්ගේ හදවත එහෙමය. එහෙමමය. කිරි හදන ටිකට නමක් ගමක් නැති, කාත් කවුරුත් නැති ඒ පූස් පැටවාට නිල්හාන් රූබන් යැයි නම් තබා ද අවසන්ය. කෙනෙකුගේ සැපේදී අත්හැරියත් දුකේදී කිසිවකු අත්නොහල ඒ ආදරණීය හදවත චමත්කාරයේ ඉසියුම්ම රේඛා මවාලන ඔහු නිමැවූ ඇඳුම් ආයිත්තම් තරමටම සුන්දරය. වර්ණවත්ය.

image cfd46a567bඉතින්… ඒ මා කියවූ නිල්හාන්ය. ඉතින් ඒ මා හඳුනාගත් නිල්හාන්ය. ඉතින් ඒ මට දැනෙන නිල්හාන්ය. ඉතින් ඒ මට මගේ හදගැස්ම හා ආත්මීය වූ නිල්හාන්ය.

ඉතින් පවුලක පුංචිම එකා වී ඉපදිච්ච නිල්හාන්ගේ පුංචි දවස්වල මතක අතරෙහි එයත් එක්ක මම ඇවිදින්නට පටන් ගන්න තත්ත්පරයයි මේ…
අයියලා තුන්දෙනයි අක්කලා දෙන්නයි… එහෙව් දරු පැටවු රොත්තක්ම උන් නුවර ගෙදරක අම්මා කෙනෙක්ගේත් තාත්තා කෙනෙක්ගේත් තුරුල්ලට සපැමිණි පුංචිම දරුවා වූයේ නිල්හාන්ය. නිල්හාන් මේ ලෝකයට එන්නට පෙර ආ දරුවා… නිල්හාන්ගේ පොඩිම අයියණ්ඩි නිල්හාන්ට වඩා වයස අවුරුදු නවයකින් වැඩි වයස් වෙද්දී ලොකුම අයියා නිල්හාන්ට වඩා අවුරුදු විසි ගණනක්ම වැඩි වයස් වූයේය. හුරතලේට ආදරේට බැඳි ලෝබකම් මැද අම්මාගේ තුරුල්ලේ උණුහුමත්, රක්ත වර්ණ රුහිරු දහරා ශ්වේත වර්ණ කිරි දහරා බවට පරිවර්තනය කළ ළමැදේ දැවටිල්ලත් ඉල්ලා හිඳි තරමටම නිල්හාන්ට ලැබුණේදැයි මට හිතෙන්නේ ඒ පුංචි වියේදීම නුවරින් කොළඹට විත් ගෙවන්නට වූ දවස් නිල්හාන්ගේ ජීවිත කතාන්දරයේ වැඩි පිටු ගණනක් අයිති කරගත් නිසාමය. “මම හිතන්නේ මට අවුරුදු හයක් විතර ඇති. ඒ දවස්වල චිත්‍රපට බලන්න, මනමේ සිංහබාහු වගේ නාට්‍ය බලන්න මාවත් එක්ක යනවා. මම චිත්‍රපට නාට්‍ය බලන්නේ අයියගේ උකුලේ ඉඳගෙන. මගේ ලොකු අයියා හරි ලස්සනයි. හින්දී නළුවෙක් වගේ. මට මතකයි Sound of music චිත්‍රපටය බලද්දි නම් මම තනි ‘සීට්’ එකක ඉඳගෙන තමයි චිත්‍රපටය බැලුවේ…

නිල්හාන්… අම්මා සහ අම්මාගේ ආදරය දැනුණේ කොහොමද ඔයාට…

මගේ අම්මා නැතිවෙද්දි මම ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්. ඒත් අම්මාගේ අල්මාරිය ඇරලා බලද්දි එක සාරියක්වත් ඒ ඇඳුම් අල්මාරියේ නෑ. හේතුව අම්මා එයාගේ සාරි ඔක්කොම එක එකකෙනාට දීලා. මගේ යාළුවෙක් ආවොත් මට කලින් බත් එක බෙදන්නෙ එයාට. මගේ අම්මා එහෙම තමයි. එයාට තිබුණේ දෙන්නම හුරුවෙච්ච අතක්. ඒත් මගේ හිතට අම්මගේ ආදරය ඕනෑම කාලෙක මට මගේ අම්මව හුඟාක් මඟ ඇරුණා. මට නුවර ගෙදර මගේ අම්මා එක්ක ඉන්න ලැබුණෙ ටික කාලයයි. මට ඉන්න වුණේම දෙහිවල ගෙදර. අම්මා මාව බලන්න එනවා. ඒත් මම ආසා වුණේ අම්මගේ තුරුල්ලේ දැවටි දැවටි අම්මගේ ආදරය විඳින්න. ඒත් මට එහෙම මගේ හිතේ හැටියට ඒ ආදරය විඳගන්න ලැබුණෙ නෑ. ඒත් මම අදත් මේ මොහොතෙත් ආසයි ඒ ආදරයට… ඒ හින්දම අම්මා මතක් වෙද්දි මගේ ඇස් දෙකට කඳුළු එනවා. දැනුත්… මගේ ඇස් දෙකට කඳුළු එනවා…

image 14914932e1ඉඳින් නිහඬතාවය කඳුළකට වෙන් කරමි. කඳුළක් යනු සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද හදවතට දැනෙන හැඟීමක, හදවත කකියවන කතාන්දරයක අවසන් සාක්ෂිය වග මම දනිමි.

මගේ අම්මා හැම තිස්සෙම කියපු කතාවක් තමයි මේ කොල්ලා මට කවදාවත් කිසි කරදරයක්, වදයක් දුන්නැති දරුවෙක් කියලා. පුංචි කාලයේ මම සුදු ලස්සන කොලු පැටියෙක්ලු. අම්මා ඉස්සර ආසයි පිංපොං (රජිත හිරාන්) ඉන්න නාට්‍ය බලන්න. එයා ඒ හිනා හරියට වින්දා. මම අම්මාව ලංකාව වටේම අම්මා යන්න ආසා හැම තැනකම ඇවිදින්න එක්ක ගියා.

පුංචි කාලේ මම ආසාවෙන්ම අහපු සින්දුව දන්නවද? නිල්හාන් මගෙන් ප්‍රශ්නයක් අසයි.

මොකක්ද නිල්හාන්?

සුජාතා අත්තනායක ගායනවේදිනිය ගයන ගංතීරේ ගංඟාවේ ගීතය. ඒ ගීතය අහද්දිත් අම්මා තමා මතක් වුණේ.

එසේම පුෂ්පා පුංචි අම්මාගේ ආදරණීය මතකය අස අදටත් නිල්හාන් අපමණක් බැතිමත්ය.

පුෂ්පා පුංචි අම්මා තමයි අම්මාගේ තුරුල්ලෙන් ඈත්වුණු මට පුදුම ආදරයක් දුන්නේ. ඉස්කෝලේ යද්දි මගේ කොණ්ඩය පීරනවා. කලිසම අන්දලා ලස්සනට කමිසය යට කරලා මාව සරසන්නේ එයා. මම හැම නත්තලකදීම ගියා පුංචි අම්මා බලන්න. මට යහගුණ හුඟාක් පුරුදු කළේ පුංචි අම්මා.

ඉතින්…

තව කතාවක් කියන්නද… වික්ටර් රත්නායක මහත්මයාගේ ‘ස’ ප්‍රසංගය බලලා ලොකු අයියා අපිව එයා බඳින්න හිටපු අක්කාගේ ගෙදර එක්ක ගියා. අයියාගේ මංගල්‍යයේ මල් කුමාරයට හිටියේ මම. ඒ අක්කා සහ පවුලේ අය සිංහල චිත්‍රපට බලනවා. අශෝක, සමන්ත වගේ චිත්‍රපට ශාලාවල ඒ කාලේ අපි කට්ටිය චිත්‍රපට බැලුවා. සිනමා උන්මාදය ළය ලෙයටම එන්නත් වූ නිල්හාන් එදවස සබීතා, විජය, මාලිනී ආදී තරු රූ සිත්තම් වූ පෝස්ට් කාඩ් ප්‍රමාණයේ සේයාරූ මිලට ගෙන ආදරයෙන් ඒවා එකතු කළේය. එකක මිල රුපියල් තිහකි.

image 09037b0eacකොහොමද නිල්හාන් එතකොට විල්සන් ගුණරත්නගේ ඇරයුම් පතට වෙන්වෙලා තිබුණු ආසනයේ ඉඳගෙන සරසවි සම්මාන උළෙල බැලුවේ…

මම පස්සෙ කාලෙක විල්සන් ගුණරත්නට කීවා අයියෙ මම ඔයාගේ සීට් එකේ ඉඳගෙන තමයි සරසවි සම්මාන උළෙල බැලුවේ කියලා. සරසවිය පුවත්පතේ උපාලි ෆොන්සේකා අයියා තමයි මාව විල්සන් අයියා එදා එන්නැති නිසා ඒ ඇරයුම් පත මට දුන්නේ. ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා වගේ අය එන සරසවි සම්මාන උළෙලක් බලන්න මට සීට් එකක් හම්බවුණා කියන්නේ…

අසන්නට කිසිත් නැත… ඒ සතුටෙහි චමත්කාරය නිල්හාන්ගේ කතා කරන නෙත් තවත් දිදුලවයි. සුද්දි ඇන්ටි – පුංචි අම්මා නිල්හාන්ගේ මතක අතරෙහි තවත් චරිතයකි. සීතා ඇන්ටි… තවත් චරිතයකි. අද දුක සැප නිති විමසන සුදු අක්කා (ගායිකා චන්ද්‍රිකා රත්නායක) තවත් චරිතයකි.

පෙරදා මහ රූ, සඳ මිදුලට එනවා, රුවට රුවේ සකුරා ඉවුරේ වැනි ගී සිංග් ලංකා කැසට් පටයෙන් ඇති තරම් අසා ඇති තරම් විඳි කාලයේ තවත් මතකයක් වන්නේ නිල්හාන්ගේ ඥාති අක්කණ්ඩිලා රැකියාවෙන් වැටුප් අතට ගෙන තම ආදරණීය සුද්දෙක් වන් මලයණ්ඩියට රුපියල් සියයක් දෙන ආදරණීය දවසයි.

ඒ කාලේ රුපියල් සියයක් කියන්නෙ ලොකු ගණනක්. මොකද කළේ ඒ රුපියල් සියයෙන්?

මිල්ටන් මල්ලවාරච්චි වගේ මම ආසා ගායක ගායිකාවන්ගේ කැසට් 3 ක් විතර මට ගන්න පුළුවන්. කැසට් පට සේම සිනමා සඟරා, පුවත්පත් මිලට ගන්නටත් නිල්හාන් ලද රුපියල් වියදම් කළේය.

නුවර ඉඳන් කොළඹ එන දාට නිල්හාන්ගේ අතේ රුපියල් දෙසීයක් පමණ රඳවන්නට හැමදාමත් කාරුණික වූ ආදරණීය පුංචි අම්මා කෙනෙක් නිල්හාන්ට සිටියේය. මාසෙකට කී වතාවක් කොළඹ ආවත් නිල්හාන්ට ඒ රුපියල් දෙසීය නම් වැරදුණේ නැත. ඒ ළතෙත් ආදරයේ හැටි හැමදාමත් එහෙමම වූයේය. මම ඉතින් අලිපේර ටිකකුත් ඒ සල්ලිවලින් අරගන්නවා. ඒ කාලේ නන්දා මාලිනියගේ ශ්වේත රාත්‍රිය ප්‍රසංගය බලන්න මට ආසා හිතුණා. රුපියල් 100 ක් දීලා ටිකට් එකකුත් අරන් ශ්වේත රාත්‍රිය බලන්න හීන දැක දැක මම ලුම්බිණියට එද්දි අනේ ශ්වේත රාත්‍රිය පටන් අරගෙන.

image e1405e3c0bකතාවක් කියන්න විශ්වාස කරනවද? ඒ නිල්හාන්ය.

හා… ඒ මමය.

මට ශ්වේත රාත්‍රිය බලන්න නෑ. මට දුකයි. ඉතින් මම මාලිනී ෆොන්සේකා බලන්න ගෙදර යනවා කියලා හිතාගෙන පයින්ම මාලිනි අක්කගේ ගෙදර ගියා. මම පඩිපෙළ නගිද්දි මාලිනි අක්කා මාව දැක්කා. ඒත් මම උඩට ගියාම එළියට ආවේ සෙනාලිගේ තාත්තා වෙච්ච මාලිනි අක්කගේ මල්ලි.

“මම නුවර ඉඳන් ආවේ මාලිනි අක්කා බලන්න. මම ආසයි එයා බලන්න”

“එයා වැඩක්නෙ දැන්”

“මගේ ගාව ඔටෝ ග්‍රාෆ් එක තියෙනවා. මට ඒකෙ මාලිනි අක්කාගේ අත්සනක් දාලා දෙන්න එහෙනම්…”
එදා නිල්හාන්ගේ සමරු පොතේ අත්සන රැඳවූ මාලිනියට පසු කලෙක නිල්හාන් සෙනෙවිරත්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කල්‍යාණ සුමිතුරකු වූ වග මම දනිමි.

එහෙම නේද?

අනේ ඔව්… තවත් සතුට කියන්නේ මගේ නෑදෑයෝ ඔක්කොම මාලිනී ෆොන්සේකාට හරි ආසයි… ඇත්තම කීවොත් මම මාලිනී පිස්සා… මට කට්ටිය කියනවා යුද්ධය තියන කාලෙ මාලිනී කීවොත් නිල්හාන් යාපනයටත් යයි කියලා. මාලිනී අක්කාට පිළිකා රෝගය වැළඳිලා සැත්කමට ඉන්දියාවට අරගෙන යද්දි මාලනී අක්කා එක්ක මාත් ගියා. මම ඒ දවස් ටිකේ හැමදාම පාන්දර 4.00 ට නැගිටලා උදේම එයාව බලන්න ගියා. දොර අරිද්දි මම හැමදාම දොර ගාව. මගේ අක්කා කෙනෙක් එයාගේ අල්මාරියේ මාලිනි අක්කාගේ පින්තූර ගහලා තිබුණා. මම ඉතින් අක්කා අල්මාරියේ දොර අරිනකම් ආසාවෙන් බලාගෙන ඉන්නවා, මාලිනී අක්කාගේ පින්තූර බලන්න. ඒ කාලේ මම ආසයි නව සිනමාව සඟරාව ගන්න. ඒත් මට ඒක ගන්න සල්ලි නෑ. මගේ ලොකු අක්කා මගෙන් හරි දුරස් වෙලා හිටියේ. ඒත් මගේ දෙවැනි අක්කා මට ළඟයි. මම නුවර ඉද්දි අක්කා පඩි ගත්තම මට කාබන් කොළේක ඔතලා ලියුමක දවටලා රුපියල් 50 ක් 100 ක් එවනවා.

image db890df56dඒ මතක මහ කන්ද අස කතන්දර මහ ගොඩකි. ඉතින් මම අසා හිඳිමි. ජර්මනියේ හිඳිනා රාජා අයියා එකල කතරගම කැටුව ගිය පවුල් නඩයේ එක් සාමාජිකයෙක් වූයේ නිල්හාන්ය. වැඩිහිටි කන්ද නැග්ග, මැණික් ගඟේ දිය නෑ ඒ මතක සමුදාය දෙවුර දරාගෙනම නිල්හාන් කතරගම දෙවිඳුන්ගේ භක්තිමත් බැතිමතෙක් වූයේය. අදටත් කතරගම වන්දනාව හා කෝවිල් වන්දනය නිල්හාන්ගේ ජීවිතයේ අත් නොහැරුණු පිළිවෙතකි.

නිල්හාන් මතකයි නේද සනත් ගුණතිලකට පේන්න පත්තරය දිග ඇරගෙන අරගෙන ගිය කාලය…

අනේ ඔව්… ඒ දවස්වල මම හිටියේ සොයිසාපුර ෆ්ලැට්වල. සනත් අයියා ඉන්නෙ අල්ලපු ගෙදර. මම පත්තරය අරගෙන එයාට පේන්න දිග ඇරගෙන එනවා. මගේ ආසාව එයාට කතා කරන එක. සනත් අයියා හරි ආඩම්බරකාරයා. එහෙම කතා කරන්නෙ නෑ ඒ දවස්වල. මම පේන්න අරගෙන යද්දි මගෙන් පත්තරය ඉල්ලගෙන හිටගෙනම බලනවා.

ප්‍රීති මාමාගේ දරුවන් චිත්‍රපට බලන්න යන්න අවුස්සන්නේ ද නිල්හාන්මය. ඒ පොඩිකමට කළ දඟ වැඩය. එසේ ගොස් නිල්හාන්ට අවශ්‍ය වන්නේ ද වැඩිම ප්‍රවේශ පත්‍ර මිලට ගන්නට සලස්වා සුව පහසුවට චිත්‍රපට බලන්නටය. නිල්හාන්ට නිල්හාන්ගේ ජීවිතයේ ලැබුණු පළමු ඔරලෝසුව ත්‍යාගය ලැබුණේද නොඑසේනම් පළමු ඔරලෝසුව නිල්හාන්ට තෑගි කළේ ද ප්‍රීති මාමාගේ ප්‍රිය බිරිය ශීලාය. නිල්හාන්ගේ ජීවිතයට රස මතක එකතු කළ තවත් චරිතයක් වන්නේ කමල් අද්දරආරච්චිය.

“ඔයා කියන්නේ ඒ කාලේ කමල් කෙල්ලක්ගේ ලියුමකටවත් උත්තර යවන්නෙ නැති තරම්. මම නුවර ඉද්දි කමල්ට ලියුමක් දැම්මා. කමල් ඉංග්‍රීසියෙන්ම මට ඒ ලියුමට උත්තර එවලා තිබුණා. ඒ කමල්ට ලියුම් මලු පිටින් එන කාලය. ඒ මම සලමන් ෆොන්සේකා මහත්මයාගේ පන්තිවලට යන කාලය…”

හිරුට මුවාවෙන් කරපු හර්බට් රංජිත් පීරිස් මට හීන් කුරුල්ලා කියලා නමක් දැම්මනෙ. ඒ කාලේ මම ආසයි ඔය ඉඳිආප්ප කතාවට…

මට දැනෙන හැටියක කවදාවත් කාටවත් බොරුවක් නොකියන සහ බොරුවක් නොකරන නිල්හාන් තවත් අතෙකින් රස කතා සරාගයකි.

හීන් කුරුල්ලා වියරුවෙත්, පුලින ප්‍රාසාදයේත් නළුවෙකි. වියරුවේ සුද්දකුගේ චරිතයකට හුස්මක් දුන් නිල්හාන් දෙනවක හාමිනේ, සනෝජා බිබිලේ ආදීන් සමඟ එහි රඟපෑවේය. වසන්තයේ මල් ගීතයේ රූප රචනාව තුළ රඟපෑවේය. ඒ රඟපෑමේදී අමුතුම ලස්සන සුදු කළු ‘පිස්සුම’ ඇඳුමක් ඇඟ ලෑවේය. තවත් ගී රූප රචනාවන්හි රඟපෑවේය. සෞන්දර්යාත්මක හිතුවක්කාරයන්ගේ සොඳුරු ආඥාදායකයන්ගේ හැටි එහෙමය. සොයා යන්නේත්, ලොබ බඳින්නේත්, පෙම් කරන්නේත් අමුතුම අමුතුම දේවල්වලටය. මාලිනිය බලන්න ඇති ආසාව නිසාම දර්ශන තලයේ සිටි කට්ටියටම ලොකු කෑම පෙට්ටිය අරගෙන යන්නට කෙනෙක් සිටියදී ඒ ලොකු කෑම පෙට්ටිය ඉල්ලාගෙනම අරගෙන ගොස් මාලිනිය නිල්හාන්ට තෑගි කළ හිනාව පපුවටම තුරුල් කරගෙන ඒ හිනා මල නිල්හාන් ආදරයෙන් පපුව මැද පරිස්සම් කළේ ඒ අමුතු සොඳුරු ගති සොබා නිසාමය.

මම මේ කියන දවස්වල මගේ ඥාති සොයුරියක් සොහොයුරෙක් එක්ක අපි ටාජ් එකේ. මාලිනි අක්කා සැන්ඩි ජයසූරිය කියන එයාගේ යෙහෙළියක් එක්ක ඉන්නවා මම දැක්කා. මාලිනි අක්කා මලක් වගේ ලස්සනයි. අක්කා මට කීවා ගිහින් කතා කරන්න කියලා. අපේ අක්කා කියලා මම එයා ඉන්න පොත්, පින්තූර එකතු කරනවා කියලා. රම්සි රහමන් නිල්හාන්ගේ ජීවිතයේ තවත් හමුවීමකි. එවන් හමුවීම් කෘතවේදීත්වයෙන් සඳහන් කළ නිල්හාන් තව නම් කියුවත් කී තරම් ලියන්නට නොහැකිවීම නම් මගේවත් නිල්හාන්ගේවත් වරදක් නොව පිටුවෙහි එතරම් අකුරු එකතුවකට ඉඩ නැතිවීමේ වරදකි. එහෙත් මේ නම නම් නොලියා කෙලෙසකදැයි මට සිතේ…

පූර්ණිමා… හඳුනා ගැනීම නිල්හාන්ගේ ජීවිතයේ නිල්හාන්ට වෘත්තිමය වටිනාකම් උදෙසා මඟක් කී හමුවීමක්ම වූයේය.

ප්‍රවීණ මාධ්‍යවේදිනී නාලිකා රාජපක්ෂ, පද්මකුමාර මෙත්තසේන, යාත්‍රා හා එක්වූ ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර, රමේෂ් උවයිස්, නීල් කරුණාරත්න වැනි තවත් එවන් හමුවීම් බොහොමයක් නිල්හාන් ස්නේහයෙන් සිහිපත් කළේය. නිල්හාන්ට අපමණක් දයාබර වූ මව්වත් ගුණයෙන් සැලකූ අද මේ ලෝකයේ නැති ආදරණීය නෑණන්ඩිලා දෙදෙනා ද කෘතවේදීත්වයෙන් සිහිපත් කළේය. මගේ හදවතේ ගායකයා ටී.එම්. යැයි කියමින් ජැක්සන් ඇන්තනී, සංගීතා වීරරත්න, නදීෂා හේමමාලි, යශෝධා විමලධර්ම ඇතුළු තරු පොකුරක්ම ස්නේහයෙන් සිහිපත් කළේය. ඒ නාම මාගලම ලියාගන්නට බැරිවීම නිල්හාන්ගේත් මගේත් වරදක් නොව සීමා අසීමාන්තික නොවීමේ වරදකි. අමරසිරි පීරිස්, සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක, නන්දා මාලිනියගේ පටන් නිල්හාන් නිමැවූ චමත්කාරවත් ඇඳුම් ආයිත්තමින් නොසැරසුණු කලා ලොවේ ඇති අයට වඩා සැරසුණු අය බොහෝ වෙත්. කලා ලෝකයට නිල්හාන් හඳුන්වා දුන් තාරකාවෝ ද ඒ අතර වෙත්. අබා, සොකරි ආදී සිනමා වියමන් සමුදායක ඇඳුම් නිර්මාණය කළ නිල්හාන් සොයා 26 වතාවක් පැමිණ හමු නොවී ගිය රංගන ශිල්පියෙක් ද සිටී.

කවුද ඒ…

රන්ජන් රාමනායක… රන්ජන් අයියා…

මොකද වුණේ…

එයාගේ වන් ෂොට් චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය කරගන්න මාව හමුවෙන්න 26 වතාවක් ඇවිත්. අන්තිමේ මට ලියුමක් එව්වා මම විසිහය වතාවක් ඔයා හමුවෙන්න ගේට්ටුව ළඟට ඇවිත් ගියා කියලා.

ආදරය… විඳි නොවිඳි ස්නේහ මතක…

ඒකපාර්ශ්වීය ආදර කතාන්දර…

නිල්හාන් ඔයාට ආගන්තුක නැති විත්තිය මම දන්නවා.

මම ඒකපාර්ශ්වීයව ආදරය කරපු දිග කොණ්ඩයක් තිබුණු ලස්සන කෙල්ල ක්‍රිෂාණි. ඒ මගේ පුංචි අම්මගේ දුව. ඒත් එයාට පෙම්වතෙක් හිටියා. ඒ කොල්ලා සමහරදාට ඒ කෙල්ලට චොක්ලට් එහෙම එව්වෙ මගේ අතේ. මම ටිකක් කාලා සමහර වෙලාවට ඉතුරු ටික ගෙනත් දෙනවා. මාත් එක්ක ආදරය බෙදාගත්ත පෙම්වතියන් හිටියා. ඒ අය දැන් වෙනත් අයට අයිති වෙලා. කමක් නෑ කොහේ හිටියත් සතුටින් නම් මට ඒ ඇති. ඒකපාර්ශ්වීයව ආදරය කරපු මට හම්බවෙන වටිනා තෑගි, ලව් කාඩ් දීපු තව කෙල්ලෙක් හිටියා. එයා ලංකාවේ ජනප්‍රියම නිළියකගේ නැගණියක්. මම ආදරය කරපු තවත් කෙල්ලක් විවාහ ගිවිස ගන්න දවසේ මම ඒ කෙල්ලගේ ඔළුවෙ කොණ්ඩ කටුත් ගැහුවා එයාගේ අම්මා එක්ක. තනූජා කියන්නෙත් මම ආදරය කරපු කෙල්ලක්. හුඟාක් අය හිතුවා තනූජා සහ මම විවාහ වෙයි කියලා. ඒත් ඒක එහෙම වුණේ නෑ. අත්හැරුණු දේවල් සහ අත්හැරෙන දේවල් කියන්නේ අයිතියක් නැති දේවල් වෙන්න ඇති. ආදරය කියන්නෙ ආදරයට අත්හැරෙන තැනත් ආදරයම පවතින එකට.

නිරෝෂා විරාජිනීටත් මම ඒකපාර්ශ්වීයව ආදරය කළා. මම නිරෝෂාගේ නංගිට තමයි කීවේ මම අක්කට කැමතියි කියලා. ඒත් මට නිරෝෂාගේ ආදරය ලැබුණේ නෑ. තමන් තමන් එක්කම ජීවත්වීමේ සතුට, හුදෙකලාවේ වින්දනය, ඒ රසය මම විඳිනවා අද. මාස ගණනක් ආදරය කරලා අවුරුදු තුනක් විතර හමු නොවී හිටපු කෙනෙක් මගේ ජීවිතයේ ඉන්නවා. කාලෙකට පස්සෙ කතා කරලා හමුවෙමු කීවත් අතහැරෙන බව දැනෙන සහ අත්හැරෙන බව දන්න බැඳීමක් ළඟ නවතින්න බැරි නිසා මම එයා හමු නොවී හිටියා. ඒත් මගේ මතකය තුළ ඒ මතක සහ මගේ හදවත තුළ ඇයට දුන් වචනයක් මගේ ගාව තාම පරිස්සමින් තියෙනවා. ඒ නිසා බොහෝ විට ආය බැඳීමක මම බැඳෙන එකක් නෑ. ඒත් ඊළඟ තත්ත්පරය ගැන නිශ්චිතවම කියන්න

මම දන්නෙ නෑ. පින්තූරය ගන්න මුහුද දිහා බලන්න කීවාමත් මට මතක් වුණේ එයා.. ඉතින් එයා මගේ හදවතේ ඉන්න තැන සහ ඒ මතක එක්ක මගේ හදගැස්ම සංවේදී වෙන විදිහ ඔයාට දැනෙනවා ඇති…

ඔව් නිල්හාන් මට ඔබ දැනේ!

ඔබ කියවූ සහ කියවන බොහෝ දෙනාටත් ඔබ දැනේ යැයි මට දැනේ.

(සංජීවිකා සමරතුංග – සුමුදු හේවාපතිරණ)

උපුටා ගැනීම – ඉරිදා දේශය 

TheLeader.lk

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan