*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

රටට අවශ්‍ය මුහුණුද ? ක්‍රමයක්ද ?

මෑත කාලීන පසුබිම අනුව ශ‍්‍රී ලංකාවේ පොදු ජනතාව කාණ්ඩ දෙකකට වර්ග කළ හැකිය. යහපත් රටක්, සැනසිලි සහගත අනාගතයක් ගැන බලාපොරොත්තු ඇතිව කිසියම් ආර්ථිකයක් ඇතිව ජීවත්වන පිරිස එයින් එක කොටසකි. රට ගොඩනැගිය නොහැකි අතර, ඕනෑම ක‍්‍රමයකින් වෙනත් ඕනෑම රටකට ගොස් අනාගතය සාක්ෂාත් කරගැනීමට වෑයම් කරන කාණ්ඩය අනෙක් කොටස වශයෙන් දැක්විය හැක. මෙම කාණ්ඩ දෙක අතර පොදු ලක්ෂණයක් තිිබේ. ක‍්‍රමය සහ නායකයන් ගැන විශාල වෛරයක් ඇත. දේශපාලන නායකයන් විශ්වාස කරන්නේ නැත. රට තුළ පවතින ආර්ථික හා සමාජ පසුබිම අනුව මහජනතාව විශාල පීඩාවකින් පසුවේ. දේශපාලනඥයන් අතරින් බහුතරයක්, දැනට මුහුණ පා ඇති ජීවත්විය නොහැකි තරමට දරුණු තත්වයට සෘජුව වගකිවයුතු බවට චෝදනා කරති.

අවුරුදු ගණනකින් ආපසු හැරවිය නොහැකි පසුබෑමකට මුහුණ පා ඇති බව පිලිගත යුතුය. අප සියළුම දෙනා මෙම ඉරණම නිර්මාණය කරගත් කොටස්කරුවන් බව සදහන් කළහොත්, සැලකිය යුතු පිරිසක් එකහෙලා විරුද්ධවන බව ද ඉතාම පැහැදිලිය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය අනුව පවත්වන ඡන්දයකින් මහජන නියෝජිතයන් පත් කරගන්නා අප දේශපාලන පක්ෂයක් ඔසවා තබයි. පක්ෂ නායකයෙකු විශාල ප‍්‍රසාදයකින් බලයට පත්කර ගනී. ආණ්ඩුවල ජනප‍්‍රියත්වය වැඩි කාලයක් පවතින්නේ නැත. අවුරුද්දකින් දෙකකින් අප‍්‍රසාදයට පත්වන බව පසුගිය අත්දැකීම් දක්වයි. විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගන්නා නායකයන් ගේ ගමන අපේක්ෂිතව කෙළවර වේ. ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රම පවතින ලෝකයේ බොහෝ රටවල සිදුවීම් මේ හා සමානය.

ක‍්‍රමය වෙනස් කරන්නට සමාජ එකගතාවයක්

ඉදිරියේ දී පවත්වන්නට නියමිත මැතිවරණ සදහා ඉදිරිපත්වීම අරමුණු කරගෙන සැලසුම්, ක‍්‍රියා මාර්ග හා සංවාද පැන නැගෙමින් තිබේ. අලූත් නායකයන් පෙළ ගැසෙමින් සිටී. පසුගිය සිද්ධිවලින් පාඩම් ඉගෙනගත් ජනතාව ඡන්දය පාවිච්චි කරන ආකාරය තීරණාත්මක විය හැකි බව පෙනේ. ශ‍්‍රී ලංකාවේ පැවැත්ම ගැන තීරණාත්මක තීන්දුවක් ගත යුතු අවස්ථාවක, දේශපාලනඥයන් හා දේශපාලන පක්ෂ ක‍්‍රමය කෙරෙහි ඇති වෛරයෙන් තීරණ ගැනීමෙන් යහපතක් සිදුවෙන්නේ නැත. සන්සුන්ව සහ එකගතාවයකින් යුතුව තීරණ ගත යුතුව තිබේ. රට එකතු කළ හැකි, ආර්ථිකය, සමාජය හා සංස්කෘතිය ඉහළට ඔසවන්නට සමත් පුද්ගලයන් ගැන අවධානය යොමු කළ යුතුය. නිශ්චිත කාල වකවානුවක් තුළ නිෂ්පාදනය නංවන අතර ජන ජීවිතය සුරක්ෂිත කරන නායකයන් තෝරා ගැනීමේ වගකීම අප ඉදිරියේ පවතින බව සදහන් කළ යුතුය. දූෂිත ක‍්‍රමයට වෛර කරන නමුත් යහපත් පුද්ලයන් තෝරාගත යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ අතරින් බව මතක තබාගැනීම වැදගත්ය.

ලෝක සිතියමේ රටවල් අතර ශ‍්‍රී ලංකාවට ඇති ස්ථානය නිෂ්චිතය. කුඩා ආර්ථිකයක් සහිත කුඩා ජනගහනයකින් යුතු දූපතකි. ස්ථානීය පිහිටීම හා මානව සම්පත ශ‍්‍රී ලංකාවට ඇති වටිනාකම් අතර ඉහළින් සිටී. විවෘත මනසකින් ජාත්‍යන්තරය සමග ගනුදෙනුකිරීමෙන් හැර වෙනත් අවස්ථාවක් රටට නැත. රට තුළ උත්පාදනයක් ඇති කරන අතර ශ‍්‍රී ලංකාවේ ශඛ්‍යතා ආයෝජනය කිරීමට දක්ෂ උපායශීලී නායකයන් තෝරාගත යුතුය. නිදහසට පසු ගත වූ කාලයේ දී මෙරට දේශපාලන නායකයන් ජනතාව හමුවට ඉදිරිපත් කළේ රට ගොඩනගන දර්ශනයක් නොවේ. මහජනතාවගේ අතට යමක් දෙන, නොමිලේ බෙදන මැජික් විසදුම්ය. අනන්‍ය සැලැස්මක්, ප‍්‍රායෝගික ක‍්‍රමවේදයක් හා ජනතාව සමග ඇතිකරගන්නා සංවාදයක් තිබුණේ නැත.

නැති ආර්ථිකයකින් බෙදන්නට පුලූවන්කමක් නැති බව මතක තබා ගත යුතුවේ. මැජික් අවසානයේ සියළුම දෙනා රැවටී ඇත. දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන් ද ණය ලබාගෙන බෙදාදීමේ අස්වැන්න අද අප ඉදිරියේ තිබේ. ඉදිරියේ දී පවත්වන මැතිවරණයක දී පවා ජනතාවට සහන දෙන, මහජනතාව සැපවත් කරන ක‍්‍රමයක් හදන බව ප‍්‍රකාශ කරන ඕනෑම නායකයෙකුගෙන් ඒ සදහා ඇති සැලසුම ගැඹුරින් ප‍්‍රශ්න කිරීම අපගේ වගකීමකි. ඡන්ද වේදිකාවේ දී වෙන්දේසි කරන ජාතිය හා ආගම රටට වැදගත් යමක් ලබාදී නැත. සමාජයේ එක්සත්භාවය තුරන්කර, පාර්ශවවලට බෙදා කැබැලිකර තිබේ. එකමුතුභාවයක් නැති රටක පොදු දර්ශනයක් ගොඩනැගෙන්නේ නැත.

යටත් විජිත කාලයේ දී විදේශීය, කුඩා පාලක කණ්ඩායමක් ලංකාවේ සමාජය බෙදා රදල පැලැන්ති නිර්මාණය කරන ලද අතර එකතුවීම වලක්වා පහසුවෙන් පාලනය කරගෙන ගිය බව මතක් කළ යුතුය. එහි ශේෂ වූ කොටස් අදටත් භාවිතා කෙරේ. අනෙක් දක්ෂ කණ්ඩායමකට අවස්ථාව දෙන්නේ නැත. නවීන සමාජ මාධ්‍ය එම වෑයමට කදිම පහසුකම් සපයමින් සිටී. වරින් වර නැගෙන ආන්දෝලනාත්මක අදහස්වලින් රටට වැඩදායක තත්ත්ව ඇති නොකෙරේ.

ආදර්ශවත් විය යුතු නායකයන් රටට සැනසුමකි

රට බාරගන්නට සූදානම් වන නායකත්ව කරන දේ ප‍්‍රකාශ කළ යුතු අතර ප‍්‍රකාශ කරන දේ ඉශ්ඨ කරන්නට වගබලා ගැනීම වැදගත් කරුණකි. ඉලක්ක කරන ලද කොටස සම්පූර්ණ කළ පසු ඉවත්වන මොහොත තීන්දු කිරීම ද වැදගත්ය. බලය ඉල්ලන නායකයෝ මහජනතාව සතු පරමාධිපත්‍ය අමතක කළ යුතු නැත. කැපවීමෙන් හා අල්පේච්ඡුතාවයෙන් පොහොසත්විය යුතුය. මහජනතාවට සේවය කරන අවංක පිරිසක් බව ක‍්‍රියාවෙන් ඔප්පු කිරීම අවශ්‍යය. පලූදු වූ විශ්වාසය ගොඩනගාගන්නා අතර සමාජයේ පවතින වෛරය තුරන් කළ හැකි සරල මාවත තෝරාගත යුතුව තිබේ.

ආර්ථික දුෂ්කරතාවයකින් පසුවන අතර ජාත්‍යන්තරයේ අනුකම්පාවට පත්ව ඇති රටක ස්වභාවය මෙය නොවේ. කාර්යාල හා නිලධාරී මණ්ඩලය සදහා විශාල ධනයක් වැය කරන අතර දේශපාලනඥයන් පරිහරණය කරන වාහන රටේ පවතින ආර්ථිකයට කිසිසේත් ඔරොත්තු දෙන්නේ නැත. පුද්ගලික ජීවිතයේ දී මෙබදු තත්ත්ව අපේක්ෂා කළ හැකිද? ණය ගෙවාගත නොහැකි අවස්ථාවක, පාලකයන් ඉතාම සුපිරි පැවැත්මක පසුවේ. ආදායම් මාර්ග බිදවැටී ජනතාව දුකට පත්ව ඇති කාලවකවානුවක දේශපාලනඥයන් හැසිරෙන ආකාරය සුදුසු තත්ත්වයක් නොවේ. ඉදිරියේ දී බලයට එන්නට අපේ්ක්ෂා කරන නායකයන් ජනතාවට ආදර්ශයක් විය හැකි ආකාරයට හැසිරී, කැපවීම පෙන්නුම් කළහොත් මහජන විශ්වාසය දිනාගත හැක. පොදු ජනතාව බස් රථයක තෙරපී ගමන් කරන කාලයක, වාහන හා ආරක්ෂකයන් සෑහෙන පිරිසක් සමග කරන සංචාර අඩු කිරීමට දේශපාලනඥයන් තීරණය නොකරන්නේ ඇයි? අනවශ්‍ය වියදම් අඩුකිරීමට පියවර නොගැනීට හේතුව කුමක්ද? අසීමිත විදේශ සංචාර අඩුකර ඇමැති මණ්ඩලයේ කැපවීම ඔප්පු කළ යුතුය.

දැනට පෙනෙන පරිදි මහජනතාවගේ ගෞරවය දිනාගත් පිරිස විරලය. දේශපාලනඥයන් පමණක් නොවේ, ආගමික නායකයන්, පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සහ වෘත්තීයවේදීන් ඇතුළු පිරිස ද මෙම ගනයට ඇතුලත්ව තිබේ. දේශපාලනයට ඇතුළුවන්නේ මහජන සේවයක් වශයෙනි. රටට, ජාතියට සේවයක් අපේක්ෂා කරයි. විවිධ ක්ෂේත‍්‍රවලින් බලාපොරොත්තුවන නායකත්ව රට වෙනුවෙන් කැපවීමෙන් කටයුතු ඉටුකරන බවක් පොදු ජනතාව පිළිගන්නේ නැත. වෘත්තීය හැකියාව ඇති කණ්ඩායම ක‍්‍රියා කළ යුතු ආකාරය ගැන, ඔවුන් නැවත සලකාබැලිය යුතු කාලයකි.

නවීන තාක්ෂණය හා සන්නිවේදන අවකාශය තුළ ශ‍්‍රී ලංකාව

ශ‍්‍රී ලංකාව මුහුණ පා ඇති ඉරණම ඉදිරියේ පැහැදිලි අනාගතයක් පෙන්නුම් නොකරන අවස්ථාවක අලූත් තීරණ ගත යුතුව තිබේ. ක‍්‍රමය වෙනස් කිරීමේ තද උවමනාවක් අපට අවශ්‍යය. අලූත් වෙළද පොල අනුව, නවීන තාක්ෂණය හා සන්නිවේදන අවකාශය තුළ ශ‍්‍රී ලංකාව හුදෙකලා විය නොහැකි අතර දිනන්නට නම් නිසි අවස්ථාවේ දී නිසි තීන්දුව ගැනීම වැදගත්ය. තරගකාරීත්වයට ඇතුළුවිය යුතුව තිබේ. අලූත් පරම්පරාවට ගැලපෙන, ඔවුන්ට විශ්වාස කළ හැකි දර්ශනයක් තුළින් අලූත් සැලසුම් එහිලා වැදගත්ය. සමාජ, ආර්ථික සහ දේශපාලන ප‍්‍රතිසංස්කරණ එහි දී විශේෂයෙන් සලකා බැලිය යුතු සාධකයකි. නායකයන් අපට ලබාදිය යුතුව ඇති පැවැත්ම එයයි.

ක‍්‍රමය වෙනස් කළ යුතු ඇයි? ප‍්‍රතිසංස්කරණවලට නැඹුරුවීමේ වැදගත්කම කුමක්ද? ලෝකය පුරා අලූත් වෙනස්කම් සිදුවෙමින් පවතී. දේශපාලනය, ආර්ථිකය සහ සමාජ ප‍්‍රවාහය ඉතාමත් වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර තාක්ෂණ යුගයේ දී, වෙනස්කම් ඉතාමත් සියුම්ව සිදුවනබව නිරීක්ෂණය කළ හැකිය. මෙම පරිවර්තනය සමග ගමන් නොකළහොත් පසුගාමීවීම වැලැක්විය නොහැකිය.

පක්ෂ හා පුද්ගලයන් මාරු කිරීමෙන් ශ‍්‍රී ලංකාවේ තත්ත්වය දියුණුවට පත් වි නැත. ඉතිහාසයේ සිට බලපවත්වන ලද ප‍්‍රශ්න එලෙසම පවතී. දරුවන්ට හොද පාසලක්, රැකියාවක්, ඉඩමක්, ස්ථාන මාරුවක් හැම දෙයකටම දේශපාලනය මැදිහත්වේ. දේශපාලන මැදිහත්වීමෙන් ආර්ථිකයක් දියුණු වෙන්නේ නැත. සමාජ ක‍්‍රමය වෙනස් වන්නේ ද නැත. බිහිකර ඇති සංස්කෘතියට මුල ආගමික, දේශපාලන, ආර්ථික හා සමාජ නායකයින් ගේ පටුභාවය බව සදහන් කළ යුතුය. මාධ්‍ය භාවිතාව ද මෙම තත්ත්වයට වගකිව යුතුය. එදිනෙදා ප‍්‍රශ්න විනා රටට ගැලපෙන, දීර්ඝ කාලීන දැක්මක් සහිතව කි‍්‍රයාකරන පුද්ගලයන් විරලය. සෑම ක්ෂේත‍්‍රයකම නායකත්ව පුලූල් දැක්මක් සහිතව පෙනීසිටිය යුතුය. අද යුගයට අවශ්‍ය ප‍්‍රශ්නයක් දෙස මැදහත්ව බලන්නට හැකි නායකයින්ය. හැම දෙයකටම විරුද්ධ නොවෙන මැදහත්ව බලන, සමාජයට පණිවුඩයක් නිකුත් කළ හැකි නායකයින්ය. විවිධ ආගම්, විවිධ ජාතීන් හා සියළු සංස්කෘතික ලක්ෂණ සහිත රටක් වශයෙන් අන්‍යයන්ගේ ආගමට සංස්කෘතියට ගරු කරන්නට තරම් පුලූල් දැක්මක් සහිත පරම්පරාවකි.

වෛරයෙන් පමණක් කිසිසේත් දිනන්නේ නැත

පටු අභිමතාර්ථයන් සලකා මහජන නියෝජිතයන්, දේශපාලන නායකයන් හා ආණ්ඩු තෝරාගැනීමේ වරද අප හමුවේ ඇත. රට විකුණන, රට බෙදන හෝ රට ගලවාගන්නා යනාදී වශයෙන් සටන් පාඨවලින් රටට හෝ ජනතාවට ප‍්‍රයෝජනයක් සිදුවී නැත. වරද වටහාගෙන නිවැරදි මගට අවතීර්ණවීම සදහා නිසි එකමුතුවක් සදහා වැඩ පිළිවෙලක් අවශ්‍යය. පාලකයන් තෝරාගැනීමේ විලාසය බක ජාතකය ආදර්ශයට නංවා ඇත. විලේ ජීවත් වූ මසුන්ට තමන්ගේ නායකයෙකු ගැලපුණේ නැති අතර සන්සුන්තාවය ද ප‍්‍රතික්ෂේප කළේය. අවසානයේ දී මසුන් ආහාරයට ගන්නා කොකෙකු පත්කර එවන ලද අතර සියළුම මසුන් ආහාරයට ගත් පසු කොකා පාඩමක් ඉගෙනගත්තේ කකුළුවෙකුගෙන්ය. මෙරට දේශපාලනයේ දී කකුළුවෙකු සොයාගන්නා තෙක් විපත සිදුවන්නට ඉඩ දිය යුතුද? දේශපාලනඥයන්ට හෝ පක්ෂවලට පාඩමක් උගන්වන අරමුණෙන් තීරණ ගැනීමෙන් අනාගතය ගොඩනැගෙන්නේ නැත.

පවතින රාමුව වෙනස් කිරීමේ වගකීම අපට ඇත. අප සියලූ දෙනා මෙම ක‍්‍රීඩාවේ කොටස්කරුවන්ය. දේශපාලන ක‍්‍රමයකින් යැපෙන්නෙකු නොව, රටට යමක් පරිත්‍යාගකරන නායකයෙකු විය යුතුය. මෙවැනි නායකත්ව බිහිකරන පසුබිමක් රටට අවශ්‍යම යුගයක් කරා අද සේන්දු වී සිටී. විලාශය වෙනස් නොකිරීමෙන් රටට සිදුවූ හානිය අවබෝධ කරගත යුතුය. තරුණ අපේක්ෂා, ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකරන්නට නම් ඔවුන් ගේ ආකල්ප සිතුම් පැතුම් හදුනාගැනීම වැදගත්ය.

පවතින ක‍්‍රමය වෙනස් කිරීමට සාධනීය විප්ලවයක් සිදු වියයුතු අතර මුහුණු වෙනස් කරන්නට විප්ලව අවශ්‍ය නැත. ක‍්‍රමය වෙනස් කරන්නට බලකරන ලද විප්ලව, අරගල ගණනාවක් පසුගිය කාලය තුළ පැන නැගිණ. අරගලකාරීන්ගේ අරමුණ, අධිශ්ඨානය හා කැපවීම රට ඉදිරියට ගෙන යන්නට භාවිතාකිරීම සදහා මෙහයවන්නට අසමත් වූ අප ජීවගුණය මර්දනය කර ආපසු හැරවීය. රටට අහිමි වූයේ කපවීමකින් කටයුතු කරන නායකත්ව බවට පත් විය හැකි තරුණ කණ්ඩායමකි. රටට අහිමි වූ චරිත අද ඉතිරිව සිටියා නම් ඕනෑම අංශයක නිරත නිදහස් මතධාරී පිරිසක් රට හමුවේ සිටී.

~ මිලින්ද මොරගොඩ
2023.10.16 – ලංකාදීප

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan