පාසල් යන අවධියේ විවිධ උසුළු විසුළු කිරීමට අප දක්වන්නේ පුදුමාකාර ආශාවකි. එමෙන්ම තේරවිලි කියමින් දැනුම උරගා බලන අවස්ථාද එමටය. එවන් අවස්ථාවල නිතර ඇසූ ප්‍රශ්නයක් වන්නේ ලංකාව තුළ ඇති ලංකාව කුමක්ද යන ප්‍රශ්නයයි. බොහෝ දෙනා ඊට සඳලංකාව යනුවෙන් පිළිතුරු ලබාදෙන්නේ මහත් උජාරුවෙනි. සැබැවින්ම සඳලංකාව යනු ලංකාව ඇතුළේ තිබූ වෙනම රටක් යැයි හැඳින්වූවාට කිසිදු වරදක් නැත. ඒ එකල සඳලංකාව තුළ කිසිදු අඩුවක් පාඩුවක් නොමැතිව සෑම දෙයක්ම පැවති බැවිනි.
සඳලංකාව තුළ සියලුම පොදු කටයුතු ක්‍රියාත්මක කළේ සමුපකාර ක්‍රමයටය. එම නිසා සඳලංකාව කියූ සැණින් සිහියට නැගෙන්නේ සමුපකාර ව්‍යාපාරයයි. සඳලංකාව තුළ තිබූ සිනමා ශාලාව සමුපකාරය සතුය. රෝහල සමුපකාරය සතුය. සුපිරි වෙළෙඳසල සමුපකාරය සතුය. මේ ආදී එකී නොකී සෑම දෙයක්ම ඉතා සාර්ථක අන්දමින් සමුපකාර ව්‍යාපාරය හරහා කරගෙන ගියේය.
අද අප මේ කතාව කීවේ වෙන කිසිවක් නිසා නොව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පසුගියදා කළ කතාවක් හේතුවෙනි. හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට ඇත්තේ රට සංවර්ධනය කිරීමට නම් සුදුසුම ක්‍රමය සමුපකාර ව්‍යාපාරය බවයි. ශ්‍රී ලංකා සමුපකාර වංශ කතාවේ වර්ණවත්ම සහ මුල්ම යුගය ආරම්භ වන්නේ සඳලංකා සමුපකාර ව්‍යාපාරයත් සමගය. වර්තමානයේ සඳලංකාව විවිධ සේවා සමුපකාර සමිතියේ බලය හිමිව ඇත්තේ මාලිමාවටය. ඔවුහු ශ්‍රී ලංකාවේ මුල්ම සිනමා ශාලාව වූ වැසීගිය සඳලංකා සිනමා ශාලාවද යළි ආරම්භ කළහ. සමුපකාර ව්‍යාපාරය ගැනත් සඳලංකා සමුපකාර ව්‍යාපාරය ගැනත් අප නැවතත් කතාකළ යුත්තේ එබැවිනි.
සඳලංකාවේ හෙන්ඩියගල පදිංචි ප්‍රකට ලේඛකයකු වන ජෝ නවරත්න මහතාට ඒ ගැන කියන්නට බොහෝ දේ තිබේ.
“සඳලංකා සමුපකාර ව්‍යාපාරය හොඳින්ම ක්‍රියාත්මක වුණු කාලයේ කාර්, ලොරි, ට්‍රැක්ටර් වගේ වාහන විශාල සංඛ්‍යාවක් තිබුණා. ලොරිම දහයක් පහළොවක් විතර. සමිතියේ නිෂ්පාදන කොළඹට අරන් ගියේත් ඒ ලොරි වලින්. සමිතියට ඕන කරන බඩුභාණ්ඩ ඒ ලොරි වලින්ම තමයි අරගෙන ආවේ. ඒ කාලේ සඳලංකා කියන නම ගහපු ලොරි එක දිගට පාරෙ යනකොට පුදුම ලස්සනක් වගේම පුදුම ආඩම්බරයක් දැනුනේ”
සඳලංකාව ගොඩනැගූ යෝධයා
සඳලංකාව තුළ සමුපකාර ව්‍යාපාරය ගොඩනගන්නට පුරෝගාමී වූ පුද්ගලයා වන්නේ වින්සන්ට් සුභසිංහයි. 1956 වර්ෂයේදී සතොස සභාපති පදවියත් 1961 වර්ෂයේදී මහජන බැංකුවේ ආරම්භක සභාපතිවරයා වන්නේත් වින්සන්ට් සුභසිංහයි.
විල්සන්ට් සුභසිංහ පිළිබඳව ඩී. බී. තිලකරත්න මහතා ලියූ “සඳ ලංකා සඳ” නමින් වූ චරිතාපදානයට සඳහන් කර තිබුණේ මේ ආකාරයෙනි. “1940 අවුරුද්දේ… දිනේ හරියට මතක නෑ. කොළඹ ආනන්දයේ එක පන්තියේ උගත් සමුපකාර පරීක්ෂක ධුරයට පත්ව සිටි ටී. පී. සේනානායක මහතා මා සොයා ආවා. එදා ඔහු පැමිණ සාකච්ඡා කළේ තරුණ පිරිස් සම්බන්ධ කරගෙන පොල් නිපදවන්නන්ගේ සමුපකාර සමිතියක් පිහිටුවීමෙන් ලැබිය හැකි ප්‍රයෝජන ගැනයි. ඒ වන විට මාරවිල සහ දූනගහ ද එබඳු සමිති දෙකක් ආරම්භ කර ඇති බවත් ඔහු පැවසුවා”
පළමුවෙන්ම රැස්වීමක් පවත්වා ඇත්තේ හෙන්ඩියගල පාසලේය. ඒ සඳහා දහතුන් දෙනකු සහභාගි වී ඇත. ඔවුන් දහතුන් දෙනා තම තමන්ගේ වතුවල එකතු වන පොල් වින්සන්ට් සුභසිංහට අයත් මැස්සක දමා වේලා කොළඹ ගෙන ගොස් විකුණන්නට එහිදී තීරණය කර ඇත. විකුණා ලැබෙන මුදලින් වියදම අඩුකර ඉතිරි මුදල පොල් ප්‍රමාණය අනුව බෙදාගෙන තිබේ. සඳලංකා සමුපකාර ව්‍යාපාරයේ ආරම්භය පිළිබඳ සටහන් වන්නේ එලෙසිනි.
“සඳලංකා සඳ” කෘතියට වින්සන්ට් සුභසිංහ ප්‍රකාශ කොට තිබුණේ මෙලෙසිනි. “පොල් වෙළෙඳාමේ අංශයට මම අපේ තාත්තාගෙන් ගෙදර වත්තේ අක්කර දෙකක ප්‍රමාණයක් ඉල්ලා ගත්තා. සාමාජිකයන්ගේ දායක මුදල්වලට අමතරව රජයෙන්ද රුපියල් 2000ක් ඉල්ලා ගත්තා.” සමිතිය කොප්පරා නිෂ්පාදනය කළේ එම මුදලිනි.
හෙන්ඩියගල පදිංචි ධර්මපාල නවරත්න ජීවන මංපෙතේ ශතක කඩයිම පසුකොට මේ වනවිට සිය දිවිසැරිය නිමාකොට ඇත. ඔහු මියයන්නට පෙර හමු වූ අවස්ථාවක මීට අවුරුදු අසූ පහකට එහා ගිය මතකය ආවර්ජනය කළේ මෙලෙසිනි.
“මට මතක හැටියට ඒ 1942 කවුරුද්දේ… දෙවැනි ලෝක යුද්ධ කාලයේ රට පුරාම දරුණු ආහාර හිඟයක් ආවා. මේ ආහාර අහේනියට පිළියමක් හැටියට මං ඉස්සර වෙලාම වැටකෙයාව හතරමං හන්දියේ කඩ සමිතියක් පටන් ගත්තා. ටවුමෙන් ගෙනාපු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, කෑම බීම සාධාරණ මිලට අලෙවි කළා.”
සාගතයට මුහුණ දෙන්න විල්සන් රාළහාමිගේ මූලිකත්වයෙන් ප්‍රදේශයේ හිස් බිම් තෝරාගෙන ගොවිතැන් කළා. මට මතකයි ඒ දවස්වල දංකැලේ වත්තේ අක්කර දහතුනක පමණ ඉඩමක මිරිස් හිටෙව්වා. එයින් ප්‍රදේශයේ ගොවියන් අතර මිල මුදල් ගැවසුනා. ඒ එළවළු අරං ගියෙත් කඩ සමිතියට. ඉතින් කඩ සමිතිය බලාගෙන ඉද්දි දියුණු වුණා. ඊට පස්සේ ප්‍රදේශයේ හැම ගමකම වාගේ කඩ සමිති ශාඛා පිහිටෙව්වා. එයින් සෑහෙන පිරිසකට රැකියා උත්පාදනය වුණා.
ප්‍රදේශයේ හිටපු ප්‍රභූ පිරිස් වැටුප් නොගෙන මෙම ව්‍යාපාරයේ දියුණුවට අත හිත දුන්නා.
ගනේමුල්ලේ ජයසිංහ නිලමේ මහත්තයා,
ගෝනුල්ලේ වීරසිංහ රාළහාමි, ගෝනුල්ලේ වැවගෙදර පොඩි අප්පුහාමි මහත්තයා, කොස්වත්තේ රාළහාමි ඉන් කිහිප දෙනෙක්.
ඔය කාලෙ වතු හිමියන් සූරාකමින් ව්‍යාපාරිකයන් අඩු මිලට පොල් මිලදී ගත්තා. ඊට විසඳුමක් තිබුණේ නෑ. මීට පිළියමක් විදිහට වින්සන්ට් රාලහාමි පිටිගල් කෝරලේ පොල් නිපදවන්නන්ගේ සමිතිය පිහිටෙව්වා. ඒක ප්‍රදේශයේ පොල් වතු හිමියන්ට ලොකු සහනයක් වුණා. හැම වත්තකින්ම වාගේ පොල් සාධාරණ මිලට ගත්තා. පස්සේ කොප්පරා වේළලා තෙල් හින්දා. ඒකට ඒ කාලේ පට බැඳුන නම තමයි ‘සුදු කොප්පරා මැස්ස’ ඒකෙ හිඳපු තෙල්වලට හොඳ ඉල්ලුමක් තිබුණා.
මුලින්ම සුදු කොප්පරා මැස්ස පටන් ගත්තෙ වින්සන්ට් සුබසිංහ රාලහාමිගේ වලව්ව ඉස්සරහ ඉඩමේ. ඒකට වටේට ගම්වලින් පොල් ඇද්දෙ කරත්තාවලින්. ඒ කාලෙ ලොරි, ට්‍රැක්ටර් වාගෙ රථවාහන බොහොම අඩුයි. තෙල් හිඳින්න පොල් ලෙලි ගැහුවෙත් මේ පැත්තෙ සේවකයෝ. ඒ අයටත් සාධාරණ මුදලක් ගෙව්වා. පොල් ලෙලිවලින් ලණු, කඹ වාගෙ නිෂ්පාදන ඇති කෙරුවා. ඊට වැලිකැටිය කියන සමුපකාරයට අනුබද්ධ ඉඩමක කොහු කර්මාන්තශාලාවක් ඉදිකළා.
ඊට පස්සේ අද සමුපකාරය තියෙන බිම් ප්‍රදේශය මිලදී ගත්තා. ඒක විශාල ඉඩමක්. අක්කර ප්‍රමාණය නම් මට හරියට මතක නෑ. එතැන සෙක්කුවක් තිබුණා මට මතකයි. එතැන් පටන් කඩ සමිතිය හා පොල් සමිතිය ඒකාබද්ධව එකම ව්‍යාපාරයක් විදිහට කරගෙන ගියා. ඇත්ත වශයෙන්ම සඳලංකා සමුපකාරය අපේ ගමට පහළ වුණ නිධානයක් වාගේ. මේවා දියුණු වෙන්න ගියේ බොහොම සුළු කාලයයි. ඊට හේතුව ප්‍රදේශයේ ජනතාව ඊට දක්වපු ආදරය ඒ ජෝ නවරත්නගේ හඬයි.
මේ සමයේදී වැඩි වශයෙන්ම සමුපකාර සමිතියේ සේවයට බඳවා ගත්තේ අහල පහල අය ය. ඒ ඔවුන් මෙය අපේම දෙයක් යන හැඟීමෙන් ආයතනයේ දියුණුව සඳහාම කටයුතු කරන බැවිනි.
සඳලංකාව, හෙන්ඩියගල, වැටකෙයාව ආදී ගම්වල පැරැන්නෝ කියන හැටියට ඒ යුගයේ මේ කියන සමුපකාරය සේවකයන් බඳවා ගත්තේ අධ්‍යාපන සුදුසුකම්වලට පමණක්ම නොවේ.
අහල පහල ගම්වල වැදගත් අයගෙ අවංක අයගෙ දැන උගත් දරුවන් ගැන තමයි මුලින්ම හොයල බැලුවෙ.
අධ්‍යාපනයට මුල්තැන
වින්සන්ට් සුබසිංහ තමන්ගේම ඉඩමක පාසලක් ආරම්භ කළේ ද මේ කාලයේදීමය. ඒ අහල පහල ගම්වල දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් යුතුවය. අද සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලය සේ රට ප්‍රකට ජාතික පාසල එසේ වින්සන්ට් සුබසිංහගේ ඉඩම් හා ධන පරිත්‍යාගයෙන් ආරම්භ කළ පාසලයි. ඉන් බිහිවූ රටට ලෝකයට වැඩදායී විද්‍යාර්ථින් ගණන බොහෝය.
ඒ එක්කම සඳලංකාව සමුපකාර රෝහලත් පටන් ගත්තා. ඒකේ වාට්ටු කීපයක්ම තිබුණා. නිතරම දොස්තරලා තුන්දෙනෙක් විතර සේවය කළා. හොඳ හෙද හෙදියන් තිස්දෙනෙක් පමණ හිටියා. ශල්‍යකර්ම පවා කළා. ඒ කාලේ මේ රෝහලට ඈත පළාත්වල ඉඳන් ලෙඩුන් ආවා. සමිතියේ සේවය කරන අයට ප්‍රතිකාර කළේ ගාස්තුවෙන් තුනෙන් දෙකක මුදලකට. ඉතිරිය සමුපකාරය මගින් පියෙව්වා. අද සඳලංකාව රෝහල වී ඇත්තේ එදා එසේ ආරම්භ කළ සමුපකාර රෝහලයි.
සඳලංකාව සමුපකාර සමිතියේ වත්මනෙහි බලය හොබවන්නේ මාලිමාවය.
සුදු කොප්පරා මැස්සෙන් ඇරඹුණ මේ ව්‍යාපාරය ක්‍රම ක්‍රමයෙන් අංශ විසි දෙකක් දක්වා පුළුල් විය. රෙදි බලවේග අංශය, අත් යන්ත්‍ර රෙදි අංශය, රෙදි මුද්‍රණ අංශය, මුද්‍රණාලය, කොහු කර්මාන්ත ශාලාව, පැණි නිෂ්පාදන අංශය එළකිරි නිෂ්පාදන අංශය, කිරි හල, රථ වාහන අමතර කොටස් අලෙවි කිරීමේ අංශය, ලී ඉරීමේ අංශය, වතු අංශය, අත් කඩදාසි නිෂ්පාදන අංශය, පොල් තෙල් නිපදවීමේ අංශය, ඉන්ධන පිරවුම්හල, සිනමාහල, වාහන සේදීමේ අංශය, ඉන් කිහිපයකි.
තෙල් පොල් ආශ්‍රිත සෙසු කර්මාන්ත සඳහා කැපීමේ කාර්ය පටන් ගත්තේ පාන්දර හතරට පමණය. සේවක සේවිකාවන්ට නවාතැන් ගැනීම සඳහා සමුපකාර සමිතියට පිටතින් සමිතියටම අයිති ඉඩමක ගෙවල් විසිපහක්, තිහක් විතර සාදා දී සේවකයන් පදිංචි කර තිබුණි. අද වෙන විට ඒ ගෙවල්වල අයිතිය සින්නක්කරවම ඒ අයට ලියා දී ඇත. එමෙන්ම ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නංවන්න 1964 දී ග්‍රාමීය බැංකුව ආරම්භ කෙරිණි. පොල් නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය, කඩ වෙළෙඳ සමුපකාර සමිතිය, ආරෝග්‍යශාලා සමුපකාර සමිතිය, රෙදි වියන්නන්ගේ සමුපකාර සමිතිය නමින් මෙම ආයතනය සමුපකාර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.
1940 වසරේ සිට 1970 වර්ෂය දක්වා කාලය සඳලංකා සමුපකාර සමිතියේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්විය හැක. 1970 වසරේ මෙම අංශ සහ සමිති සියල්ල එකතු කර සීමාසහිත සඳලංකාව විවිධ සේවා සමුපකාර සමිතිය නමින් ආණ්ඩුවේ ලියාපදිංචි කෙරිණි. 1970-1976 දක්වා කාලය තුළ සමිතියේ ක්‍රියාත්මක වුණ සියලුම අංශ ලාභ ලබන තැන් විය.
සමුපකාරයට කණකොකා හැඬීම
නමුත් 1977 දී ආර්ථිකය විවෘත වීමත් සමගම මෙම ව්‍යාපාරය බලාගෙන සිටියදීම කඩා වැටිණි. පිටරටින් ආනයනය කළ ආහාර ද්‍රව්‍ය, රෙදි පිළි, ඇතුළු අනෙකුත් පාරිභෝගික අවශ්‍යතාවන් අඩු මිලට සමාජයට මුදාහැරීමත් සමග ඒවා සමග දේශීය නිෂ්පාදනවලට තරග කරන්න බැරි විණි. මෙරට නිෂ්පාදන මිලදී ගන්න මිනිස්සු මැළි වූහ. පාලන තන්ත්‍රයත් වෙනස් වීමත් සමග දේශපාලන අතපෙවිලි වැඩි වී ඇත. මේ කඩාවැටීමට එවැනි කරුණු කාරණා රාශියක් බලපා ඇත.
කෙසේ හෝ 1985-09-27 දින සඳලංකාව විවිධ සේවා සමුපකාර සමිතිය සීමාසහිත පොල් නිෂ්පාදන සහ කර්මාන්ත සමුපකාර සමිතිය නමින් සහ සීමාසහිත සඳලංකාව නව විවිධ සේවා සමුපකාර සමිතිය නමින් ආයතන දෙකකට වෙන් කෙරිණි. නිෂ්පාදන අංශ හා පාරිභෝගික අංශ දෙකම දියුණු කිරීම තමයි මෙහි පරමාර්ථය විය.
මේ වෙනකොට ආයතන දෙකම ලාභ ලබමින් තිබේ. සීමාසහිත පොල් නිෂ්පාදන හා කර්මාන්ත සමුපකාර සමිතියේ සභාපති තනතුර වින්සන්ට් සුභසිංහලේ මුනුබුරකු වන පදුම සුබසිංහද හෙබවූයේය.
ආනන්ද කරුණාරත්න
උපුටා ගැනීම: divaina.lk
සිරස්තලය LNW අපෙන්