මෙතෙක් ඉතිහාසය තුළ ශ්රී ලංකාවට රොල්ස් රොයිස් ඇතුළු අධිසුඛෝපභෝගී සුපිරි වාහන වැඩියෙන්ම ගෙන්වූ කාලසීමාව වන්නේ මාලිමා ආණ්ඩුවේ කාලසීමාව බවත් එම වාහන ගෙන්වීමේදී ඇතැමුන් නීතියේ හිඩැසකින් රිංගා යමින් බදු සහන ද ලබාගෙන ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතා පවසයි.
“වාහන ආනයනය විවෘත කෙරුවාට පස්සේ ලංකාවේ අවුරුදු එකහමාරක් දෙකක් ඇතුළත වැඩිම අධිසුඛෝපභෝගී රථ ලංකාවට ආපු කාලය තමයි මාලිමා ආණ්ඩු කාලය. 2025 – 2026 කාලය. අධිසුඛෝපභෝගී වාහන 1737ක් – Ultra Luxury වාහන – ලංකාවට ඇවිල්ලා තියෙනවා. මේවා කොහොමද ඇවිල්ලා තියෙන්නෙ ? දැන් විට්ස් කාර් එකට බදු සහන නෑ, හැබැයි මේවා නීතියේ හිඩැසක් හොයාගෙන 15%ක බදු සහනත් මේ වාහනවලට දීලා තියෙනවා. එක වාහනයක වටිනාකම රුපියල් ලක්ෂ 3500 – 5000 දක්වා යනවා. මම අහලා නැති වාහන. රොල්ස් රොයිස් කලිනන් SUV කියන වර්ගය. ඊළඟට රොල්ස් රොයිස් ෆැන්ටම් එක. ෆෙරාරි, පෝෂ්, ලැම්බෝගිනි. මේ ලැම්බෝගිනි කියනකොට මටත් මතක් වුණේ – බිමල් රත්නායක මැතිතුමා දන්නවා ඇති ඒ දවස්වල ඔයාලා ජනප්රිය සටන් පාඨත් කියනවා වේදිකාවල, ජේවීපී එකෙන් නිතරම කියපු සටන් පාඨයක් තමයි ‘කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා – නැගිටපල්ලා, නැගිටපල්ලා …’ කියලා තමයි ගිය පාර ඡන්දෙ ගත්තේ. හැබැයි දැන් ඒක කියන්න බෑ. දැන් ඒක සංශෝධනය කරලා කියන්න වෙනවා වෙන විදියකට. ඒ කියන්නෙ මෙහෙමයි. ‘කුසට සාගිනි, හදට සෝගිනි, පැලවත්තට ලැම්බෝගිනි, මේ රටේ ජනතාවට බඩගිනි’. අන්න ඒක තමයි තමුන්නාන්සෙලාට ඉස්සරහදී කියන්න වෙන්නෙ”
කබීර් හෂීම් මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.


