ඇතැම් සියවස්වල කිසිදු දෙයක් සිදු නොවන බවත් ඇතැම් තනි සති තුල සියවස් ගනන්වල සිදුවීම් එකවර සිදුවෙන බවත් වරෙක ලෙනින් පවසා තිබේ. මෙහිදී උපවාසයේ තුන්වන දිනයද බොහෝ සිදුවීම් එකවර සිදුවූ දිනයකි.
ඥාතීන් රැඳවියන්ව බැලීමට පැමිණෙන දිනය යෙදී තිබුනේද මේ උපවාසයේ තුන්වන දිනය යෙදී තිබූ දිනයටමය. එසේම උපවාසයේ තුන්වන දිනය වනවිට කඳවුරේ ඇතම් අයට නැගිට ගැනීමට පවා අපහසු තත්වයක සිටියේය. ඒ වනවිට විසි එක්වෙනි වියේ ශක්තිමත් තරුණයෙක්ව සිටි මාහට ද ඇවිදීමේදී ශරීරය පැත්තකට විසිවී යන බවක් දැනුනි.
අප විසින් මේ මොහොතේ ඥාතීන්වෙත යාම ප්‍රතිකේෂ්ප කල යුතුබව “කරඬි” (වලහා) විසින් යෝජනා කර සිටියේය. ඔහු එයින් අදහස් කර සිටියේ නිරාහාර රැඳවියන් දකින ඥාතීන් අඬාවැළපෙමින් රැඳවියන්ට ආහාර කැවීමට උත්සාහ දැරිය හැකි නිසා ඒ තුලින් උපවාසය අසාර්ථක වීමට ඉඩ ඇති බවය.
මෙහිදී කරඬි පිළිඹඳව ද යම් සටහනක් මෙහි තැබිය යුතුයැයි මම අදහස් කරමි. ඔහු එවකට සිවිල් ඉන්ජිනේරු ශිෂ්‍යයෙකි. මේවන විට හැට දෙවන වියේ පසුවන ඔහු දිවයිනේ ප්‍රධාන ඉදිකිරීම් ආයතනයක ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස සේවය කරයි.
ඒ අවස්ථාවේදී බොහෝ දෙනෙක් ඔහුගේ යෝජනාවට එකඟවූයේ නැත. බොහෝ දුරබැහැර සිට පැමිණෙන ඥාතීන් මෙහිදී බියවී අසරණ වෙතැයි පැවසූ බොහො දෙනෙක් ඥාතීන් බැලීමට යාමට සූදානම් විය. එසේම එහිදී ලෙස්ලි අයියා විසින් ඥාතීන් වෙත යන රැඳවියන්ට දන්වා සිටියේ ඥාතීන් දෙන ආහාර ගැනීමෙන් වැලකී සිටීම වඩා යහපත් බවත් වේල් ගනනාවක් කුස ගින්නේ සිට එකවර ආහාර බඩ තුලට යැවීම හරහා බරපතල උදරාබාධ ඇතිවිය හැකි බවත්ය.
මෙහිදී රැඳවියන් බැලීමට පැමිණෙන ඥාතීන් අත මේ උපවාසය පිළිඹඳ ප්‍රවෘත්තිය ප්‍රධාන පුවත්පත්වලට යැවීමට වැඩ පිලිවෙලක්ද “කායා” විසින් සකස්කර තිබින. අවසානයේ පරිපාලන නිලධාරීන් පැමිණ ගිලන් මැස්සවල් තුල තබාගත් රැඳවියන් නැවත වෑන් රථයක පටවා ඥාතීන්ට පෙන්වන මඩුව කරා රැගෙන ගියේය.
මේ උපවාස ක්‍රියාන්විතය තුල අමතක කල නොහැකි තවත් පුත්ගලයෙක් සිටියේය. ඔහු “සංඝෙ” නම්වූ වෛද්‍ය ශිෂ්‍යයෙකි. ජ.වි.පෙ. පලමු ප්‍රහාරය වූ පල්ළෙකැලේ මුරපොලට එල්ලකල ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට කොළඹ ත්‍රස්ත විමර්ශන මූලස්ථානයෙන් (හයවෙනි තට්ටුව) අත් අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් එහි රඳවාතබා පසුව ඔහු රැඳවුම් කඳවුරට ගෙනැවිත් දමා තිබින. එහිදී සංඝෙ සහ “හලා” එකතුවී අසාධ්‍ය තත්වයේ සිටි අයට ප්‍රතිකාර කරනු දක්නට හැකිවිය. එසේම සංඝෙ විසින් ඔහු බැලීමට පැමිණි ඥාතීන් හරහා රහසේ ගෙන්වාගන්නා ලද ජීවනී පැකට් දියකර දුර්වල වී සිටි රැඳවියන්ට ලබාදුනි. හලා විසින් වියලාතිබූ බත් කුඩු (කලින් සඟවා තබා තිබූ) වලින් සෑදූ කැඳ අඩපනව සිටි රැඳවියන්ට ලබා දුනි.
මෙහිදී “හලා” ගැනද යම් සඳහනක් මා කල යුතුය. මහනුවර මැණික් හින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ එවකට විසි හත්වැනිවියේ තරුණයෙකුව සිටි හලා ද මීට වසර හතරකට පමණ පෙර පිලිකා රෝගයක් වැළදී මියගියේය.
එසේම උපවාසයේ තුන්වන දිනයේදී පරිපාලනය විසින් රැඳවියන් සමඟ එකඟතාවකට පැමිනීම සඳහා තවත් සාකච්චාවක් කැඳවා තිබින. ඒ සඳහා රැඳවියන් වෙනුවෙන් ජයේ අයියා ද පරිපාලනය වෙනුවෙන් පොලිස් අදිකාරීවරයෙක්ද සහබාගීවී තිබින.
එහිදී පොලිස් අදිකාරීවරයා විසින් පවසා ඇත්තේ මින්පසු ආහාර වල තත්වය ගැන ඔහු වගකියන බවත් අවශ්‍යනම් මුළුතැන්ගෙය පරීක්ෂා කිරීමට දිනපතා එක් රැඳවියෙකුට අවස්තාව සලසාදිය හැකි බවත් එසේම මුළුතැන්ගෙය බාරදීම නම් කිසි ලෙසකින්වත් කල නොහැක්කක් බව ද දන්වා තිබින. රැඳවියන් ගේ ප්‍රධානම ඉල්ලීම මුළුතැන්ගෙයි පාලනය ලබාගැනීම හෙයින් ඒ සාකච්චාවද ප්‍රතිපලයක් රහිතව අවසන් විය.
උපවාසයේ තුන්වන දිනයවූ එදිනම හවස වෙන දිනයන් වල නැති ලෙස සුවඳ හමන ආහාර කල්දේරම් කීපයක් රැඳවුම් බූමිය තුලට පරිපාලනය විසින් ගෙනවිත් දමා තිබින. එයින් ඔවුන් උත්සහ කලේ රැඳවියන් කීපදෙනෙක් හෝ ආහාර ගැනීමට පොළඹවා ගැනීමටය. නමුත් ඔවුන්ගේ ඒ උත්සාහය සාර්තක නොවූ හෙයින් රාත්‍රී කාලයේ බල්ලන් බළලුන් විසින් ඒවා ආහාරයට ගෙන තිබින.
කෙසේ හෝ උපවාසයේ හතරවෙනි දිනයද එළඹුනි. රටේ ප්‍රධාන පුවත්පත් වලද මේ උපවාසය පධාන සිරස්තලය ලෙසම පලවී තිබින.
මේ මොහොත වනවිට පරිපාලනයට ගතහැකි ක්‍රියාමාර්ග තුනක් තිබුනි. එකක් බලහත්කාරයෙන් රැඳවියන්ට ආහාර ගිල්ලවීමය. නමුත් හයසීයක් පමණවූ රැඳවියන් සංඛ්‍යාවකට එසේ බලහත්කාරයෙන් ආහාර ගිල්ලවීම නොකල හැක්කකි. අනික රැඳවියන්ට මුළුතැන්ගෙය බාරදීමය. එසේත් නැතහොත් රැඳවියන් නිරාහාරව මියයන්නට හැරීම පමණි.
මෙහිදී හැත්තෑ එකේ අරගලයයේදී බන්ධනාගාර ගතව සිටි සහ නැවතත් අසූනමයේ අත් අඩංගුවට පත්වූ පොලොන්නරුවේ ලොකු අය්යාට තරමක් අසාධ්‍යව ඇතිබවක් පෙනෙන්නට තිබිනි. ඔහුව පරීක්ෂාකිරීමට පැමිනි පරිපාලනයේ සෞඛ්‍ය නිලධාරීයාට ඔහු බිඳුනු හඬින් පවසා තිබුනේ සියළු රැඳවියන් උපවාසය අත් හරින තුරු ආහාර හෝ බෙහෙත් ගැනීම ඔහු ප්‍රතික්ෂේප කරන බවකි. ඒවන විටත් පනස් පස්වන වියේ පසුවූ ඉතා ධෛර්යසම්පන්න අරගලකරුවෙකු වූ පොලොන්නරුවේ ලොකු අයියා පිළිබඳ වර්තමාන තොරතුරක් අද මම නොදනිමි.
කඳවුරේ රැඳවියන්ව රඳවාතිබූ ශාලා තුන තිබුනේ එකිනෙකට වෙන්වෙන්ව වන අතර ඒවා අතර රැඳවියන්ට එහෙමෙහෙ යාමට නොහැකිවන පරිදි අඩි දහයක් පමණ උසට කටුකම්බි රෝල් දමා තිබින. (කන්සිට්නා) එසේම ඒවා අතරින් රැඳවියන් එහෙමෙහෙ යන්නේදැයි පරීක්ෂා කිරීමට පොලිස් බටයන්ද යොදා තිබින.
මෙහිදී මේ ශාලා අතර අන්තර් සබඳතාවය පවත්වාගෙන ගියේ කොල කෑලිවල සැලසුම් විස්තර ලියා කටුකම්බි රෝල් උඩින් එහෙට මෙහෙට ඒවා විසිකර ගැනීමෙනි. මේ දුෂ්කර සන්නිවේදනයේ යෙදුනේ “කායා” විසිනි. එසේම කඳවුරේ බොහෝ අරගලවල අදෘෂමාන ක්‍රියාකරු වී සිටියේද ඔහුය. පරන සරසවි ජීවිතය තුල ඔහු නිෂ්මිගේ සමකාලිනයෙකුව සහ ගජ මිත්‍රයෙකුව සිට ඇත.
උපවාසයේ හතරවන දිනයේ දිවා කාලය වන විට කිහිප දෙනෙක්ම විටින්විට සිහිසුන්වන තත්වයක්ද උත්ගතවී තිබින. උපවාසයේ හතරවන දින සවස් කාලයේ නැවතත් පරිපාලනය විසින් සාකච්චාවක් කැඳවා තිබින. ඒ සඳහා රැඳවියන් වෙනුවෙන් සහබාගී වූයේ ජයේ අය්යාය. මේවනවිට ජයේ අයියාට නැගිට ගැනීමට පවා අපහසු තත්වයක සිටි බැවින් පොලිස් බටයන් විසින් ඔහුව සාකච්චාවට රැගෙන ගියේ ඔසවාගෙනය.
මේ සාකච්චාව සඳහා එදා මධ්‍යම පලාතේ නියෝජ්‍ය පොලිස්පති වරයා පැමිණ තිබුනේය. එහිදී ඔහු ජයේ අය්යියාගෙන් “අයිසේ තමුසෙලාට ඕන මේක ඇතුලෙම බඩගින්නෙ මැරිලා යන්නදැයි” විමසා තිබින. එසේම “අයිසේ මට තේරෙන්නෙ නෑ තමුසෙලා මොන ග්‍රහලෝකෙකින් ආව කොට්ඨාසයක්ද කියලා” යැයිද පවසා තිබින.
අනතුරුව ඔහු මෙසේ පවසා තිබින. “තමුසෙලට ඕන කුස්සිය බාරගෙන උයාගෙන කන්නද ? හරි එහෙම නම් එහෙම කරගන්නවා … දැන් කරුණාකරලා ඔය උපවාසය නතරකරලා දානවා” යැයිද ඔහු පවසා තිබින.
එදා ඒ මොහොත වනවිට සිරකරුවන්ගේ මේ නිර්භීත හැසිරීම නිසා තරු ඔටුනු නිල ඇඳුම් යට සිටි ඒ හැඩිදැඩි මිනිසා ද දියවීමට පටන්ගෙන තිබෙන්නට ඇතැයි අද මට සිතේ …
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN
පෙර ලිපි –