*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

නිලධාරීන්ගේ සහ ඩීල්කරුවන්ගෙන් වුවමනාවට ගෑස් සිලින්ඩරයෙන් විනාශ වී ගිය කුඩා මිනිසාගේ ආර්ථිකය

නත්තල් සීතලත් සමඟම ලබන්නා වූ නව වසර ශ්‍රී ලංකාවේ පුංචි මිනිසාගේ පීඩනය තවදුරටත් වැඩි කරමින් ඇත. කෙසේ හෝ ඉතා අපහසුවෙන් එදා වේල සොයා ගන්නා ස්වයං රැකියා කරුවාගේ සිට උදෑසන තම දරුවන්ට කැඳ හෝ තේ උගුරක් රත් කර දෙන සාමාන්‍ය මිනිසාගේ දෛනික අවශ්‍යතාවයක් වන ගෑස් සිලින්ඩරය මේ වන විට කළුනික බවට පත්වී ඇත.සියලුම ගෑස් වෙළඳ සැල් අසල ඉතා දිගට විහිදුනු පෝලිම් දක්නට ඇත. ගිනි අව්වේ කුඩ ඉහළමින්, පුංචි දරුවන් අතින් වඩාගත් සමහර දෙමව්පියන් ගෑස් සිලින්ඩර උස්සගෙන ගෑස් ලොරිය මේ දැන් එතැයි මඟ බලාගෙන, පෝලිම් වල රස්තියාදු වෙති. කොළඹ තට්ටු නිවාස වාසීන්, කුඩා පැල්පත් වාසීන් ඇතුළු ගෑස් භාවිතා කරන සියලුම ශ්‍රී ලාංකික ජනතාව මේ වන විට දැඩි අපහසුතාවකට පත්ව ඇත. වඩේ බදින, කෙටි ආහාර සාදා තම ජීවිකාව සවිකරගන්න, ස්වයංරැකියා නියුක්තිකයින් සහ කුඩා ව්‍යාපාරිකයන් ගෑස් සිලින්ඩරය නොමැතිව ඉතා අසරණ තත්වයට පත් ව ඇත.

ගෑස් සිලින්ඩර ප්‍රවාහනය කරනා ත්‍රීරෝද රථකරුවාගේ, පාපැදිකරුවාගේ සිට කුඩා ගෑස් කඩ පවත්වාගෙන දහස් සංඛ්‍යාත අලෙවි නියෝජිතයින් දක්වා ආර්ථිකය මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. සමහර කුඩා ප්‍රමාණයේ ආහාර සකසන, ආහාර අලෙවි කරන දුප්පත් වෙළඳුන් තම ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇත. වේලාවට රාජකාරියට යන ශ්‍රී ලාංකීය ජනතාව තම උදෑසන ආහාර වේල ගෙදරින් සකසා ගෙන යෑම නවතා දමා ඇත. රාජකාරී අවශ්‍යතාවයන් සඳහා යාම පසෙක තබා ගෑස් පෝලිම් වල සිටීමට අද ඔවුන්ට සිදුව ඇත.

සමස්තයක් වශයෙන් ගත් කල මෙම ගෑස් සිලින්ඩර හිඟය නිසා අසරණ භාවයට පත්ව ඇත්තේ ශ්‍රී ලාංකීය දුප්පත් ග්‍රාමීය සහ නාගරික මිනිසුන්ය. ඉතා කුඩා ප්‍රමාණයේ ගෑස් ගිනි ගැනීම් සහ අත්වැරදි කඩාකප්පල් කාරී ලෙස මාධ්‍ය තුළ පතුරවමින්, ජන ජීවිතය තුළ සන්ත්‍රාසය මවමින්, ගෑස් වෙළඳපොල ගිල ගැනීමට බලාපොරොත්තු වන ජාවාරම්කාරයින්ගේ අවශ්‍යතාවය මත රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ වන විට තම සාක්කු පුරවා ගනිමින් ජනතාවගේ එදිනෙදා ජීවිතය ඉතා කටුක එකක් බවට පත් කොට හමාරය.

පසුගිය ගෑස් සිදුවීම් මධ්‍යයේ වුව ද ගෑස් සමාගම් වෙළදපොලට තම නිෂ්පාදනයන් නිකුත් කළේය. නමුත් පාරිභෝගික අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය බොරු බිල්ලෙකු මවමින් අවශ්‍ය සාධනීය ප්‍රමිතිගත පිළිතුරු ලබාදීම පසෙක තබා එම සිලින්ඩර නැවත සමාගම් වලට එකතු කර ගන්නා ලෙස නියෝග කරන ලදී. අපට ලැබී ඇති තොරතුරු අනුව ලක්ෂ 3කට අධික සිලින්ඩර ප්‍රමාණයක් නැවත ලිට්රෝ සමාගම විසින් වෙළඳපොලෙන් එකතු කරගෙන ඇත. එයින් ද සෑහීමට පත් නොවූ මොවුන් 2021.12.27 දින පාරිභෝගික අධිකාරිය හරහා චක්‍රලේඛනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ දැනට කිසිදු කරදරයකින් තොරව භාවිතාවන ගෑස් සිලින්ඩර ද සමාගම් වෙත ලබා දෙන ලෙසය. එවිට සිදු වන්නේ දැනට යම් ගෑස් ප්‍රමාණයක් ඇති සිලින්ඩර කෑම පිසීමේ ක්‍රියාවලිය පසෙක තබා ගලවාගෙන විත් ගෑස් සමාගමට ලබාදී බර ප්‍රමාණයට මුදල් ලබාගන්නා ක්‍රමයකි. එහිදී ජනතාව ඉතාමත් අපහසුතාවයට පත්වන අතර ව්‍යාපාරය සහමුලින්ම විනාශ වී යන්නේය. අදින් පසු ඇරඹෙන්නේ ගෑස් ලබාගැනීමට ඉතා දිගු පෝලිම් වලට අමතරව, ඉතිරි වී ඇති ගෑස් ප්‍රමාණයන් නැවත සමාගමට ලබා දීමේ පෝලිම් කාලයයි. ගෑස් ගිනි ගැනීමේ ගෝනිබිල්ලා මවා ගෑස් අලෙවිසැල් වටා එක පෝලිමක් වෙනුවට අද දින සිට පෝලිම් දෙකක් ඇති කර හමාරය. සමාගම ඉතා අපහසුතාවයට පත් කරන මෙම කූඨ ජාවාරම් කරුවන් සමස්ත ආර්ථිකය ම විනාශ කොට තමන්ගේ ගොදුර ලබා ගැනීමේ අවසාන ක්‍රියා මාර්ගය ද මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.

ලාෆ් සමාගම මේවන විට ද තම ගෑස් නිෂ්පාදනයන් හේතු විරහිතවම වෙළඳපොළට නිකුත් නොකරමින් සිටී. අධික ගෑස් හිගය ගැන හේතු දක්වන ලිට්රෝ සමාගම විසින් නොයෙකුත් ආවරණයන් මේ වන විට සිදු කරමින් පවතී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික අධිකාරිය කිසිදු අවස්ථාවක ඒකායන ක්‍රමයක් හෝ මගපෙන්වීමක් ගෑස් නිෂ්පාදනය සඳහා ලබා දෙන්නේ නැති බව ඉන් එක් කතාවකි.

ගෑස් ලංකාවට ආනයනය කළ ද දැනට සති දෙකක සිට එම ගෑස් නෞකා තවම මුතුරාජවෙල මුහුදු තීරයෙහි නැංගුරම්ලා ඇත. ප්‍රමිති සහතික නිකුත් කිරීමේදී පාරිභෝගික අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එකිනෙකට පරස්පර විරෝධී අදහස් දක්වන අතර සමහර ප්‍රමිති වාර්තාව ලබා දීම හිතාමතාම ප්‍රමාද කරන බව එම තොරතුරු වැඩිදුර පවසයි. ගෑස් නිෂ්පාදනයට කෙලින්ම සම්බන්ධ වන එම ආයතනයන්ගේ මැදිහත්වීම ගෑස් පිරවීමට නිතර නිතර බාධා පමුණුවන බව ද විශ්වාසදායි ආරංචි මාර්ග සඳහන් කරයි. SLS ප්‍රමිතිකරණ ආයතනය සහ පාරිභෝගික අධිකාරිය මෙම ගෑස් ප්‍රමාද කිරීමට සත්‍යම හේතුව කුමක්ද ?

දිගින් දිගටම ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ ගෑස් සැපයුම තමන් සතු කර ගැනීමේ අදහසින් ක්‍රියාත්මක වන අදෘෂ්‍යමාන හස්තය මගින් රාජ්‍ය නිලධාරින් සහ රාජ්‍ය ආයතනයන් පාලනය කරන බව දැන් ඉතා හොදින් පැහැදිලිය.

මාධ්‍ය සංදර්ශනවලින් සිලින්ඩර වල ප්‍රමිතිය සුදුසු මට්ටමක නැතැයි ප්‍රකාශ කරන අමාත්‍යවරයා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් එම ප්‍රමිතිය නැවත ලබා දීමෙන් පසුව ද ගෑස් ගොඩබෑමේ කටයුතු සඳහා අවශ්‍ය අවසරයන් ලබා නොදෙන්නේ කුමක් නිසාද ? මේ වන විට ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනයෙන් ගෑස් සිලින්ඩරයේ සංයුතිය ප්‍රොපේන් 30% ක උපරිමයකට යටත් ව තිබිය යුතු යැයි ප්‍රමිතියක් හඳුන්වා දී ඇත. ප්‍රමිතිය හදුන්වා දී ඇතත් තවම වෙළඳපොළට ගෑස් ලැබෙන්නේ නැත.

හිතාමතා ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ නැවු බාගත කිරීම් සඳහා අවසර ලබා දෙන්නේ නැත. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික අධිකාරිය එහිදී ඉතාම අලස ස්වරූපයක් දක්වයි. උත්සව සමයේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධව පාරිභෝගික අධිකාරියට කිසිදු හැඟීමක් හෝ අවශ්‍යතාවක් නොමැති බව මින් හැඟේ. ගෑස් ගිනි ගැනීම් සම්බන්ධව කිඹුල් කඳුලු හෙළූ, එහි ප්‍රමිතිය ගැන කයිවාරු ගැසූ පාරිභෝගික අධිකාරියට ලංකාවට ගෙනැවිත් තිබෙන ගෑස් තොග මුදාහැර පාරිභෝගිකයින්ගේ දෛනික අවශ්‍යතාවයන් ඉටු කරලීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ද මින් පෙනී යයි.

ගෑස් වෙළෙඳපොළ ගිල ගැනීමට බලාපොරොත්තු වෙන එම මාෆියාකරුවන් රාජ්‍ය නිලධාරීන් සහ අමාත්‍යවරයා සමග මෙම කුජීත ගනුදෙනුව තවම නවතා නැත. කෙසේ හෝ මේ ඩීල් කරුවන් ලිට්රෝ ගෑස් ලංකා සමාගම ජනතාව තුළින් ම විනාශයට පත් කොට ජනතාව තුළින් ම ප්‍රතික්ෂේප කරලීමේ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කරයි. ඔවුන්ට කෙසේ හෝ සිදු කිරීමට අවශ්‍ය වූයේ මෙම ජනතා පීඩනය ඇති කිරීම පමණි. ඒ තුලින් බොරදියේ මාළු බෑමට මෙම ඩීල් කරුවන් දැන් කලඑළි බසිමින් සිටී. මේ ගෑස් පෝලිම සහ ගෑස් ව්‍යාපාරය අනතුරුදායක තැනකට දැමූ සැඟවුණු වෙස්මුහුණුකරුවන් හෙට දින වෙනත් වේශයක් මවාගෙන ජනතා වෙතට එනු ඇත.

කිවයුත්තේ මෙයයි, මේ වන විට ලිට්‍රෝ ගෑස් සමාගමෙහි බොහෝ අලෙවිසැල් වල ගෑස් විකිණීමට නැත, දිගු පෝලිම් දක්නට ඇත. එදිනෙදා කෑම සපයාගන්නා පාරිභෝගිකයා මෙන්ම ස්වයං රැකියාවලින් එදා වේල සවිකරගන්නා කුඩා මිනිසුන් ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇත. උත්සව සමයේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයා කබලෙන් ලිපට දමා ඇත. වෙනදා රුපියල් 30කට ලබාගත් දරමිටිය රුපියල් 100 දක්වා මිල වැඩි කොට ඇත. ගෑස් සිලින්ඩරයක් ලබා ගැනීමට නොහැකි මිනිසුන් කිලෝමීටර ගණන් භූමිතෙල් පෝලිම් වල පෝලිම් ගැසී ඇත.එහැම පිටින්ම කියතොත් ලාංකීය ගෘහණියන්ට තම ජීවිතය අපායක් බවට පත්කොට ඇත. ලංකාවට ගෑස් ගෙනා නැව් ප්‍රමාද ගාස්තු ගෙවමින් මහ මුහුදේ නවතා ඇත. රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ අමාත්‍යවරයා ඩීල්කරුවන්ගේ අවශ්‍යතා මත මර නින්දේ පසුවෙති. ජන ජීවිතය අවුල් වී ඇත !

  • ලිට්‍රෝ ගෑස් සමාගම සුරැකීමේ සංවිධානය

සංස්කාරක සටහන –

ලිට්‍රෝ ගෑස් සමාගම සුරැකීමේ සංවිධානය විසින් ප්‍රකාශ කරන මෙම කරුණු සම්බන්ධයෙන් ලසන්ත අලගියවන්න අමාත්‍යවරයාට හෝ වෙනත් රාජ්‍ය නිලධාරියෙකුට යම් පැහැදිලි කිරීමක් සිදුකිරීමට අවශ්‍ය නම් ඔවුන්ගේ පිළිතුරු දීමේ අයිතියට ගරු කරමින් එම පිළිතුරු කිසිදු සංස්කරණයකින් තොරව පළකිරීමට ලංකා නිව්ස් වෙබ් අප සූදානම් ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan