Thursday, July 7, 2022
spot_img
spot_img

Latest Posts

මනුස්සකම කළු-සුදු‌ නොවේ යැයි ලොවට කියා දුන් ඩෙස්මන්ඩ් ටුටූ

‘සුදු ජාතිකයො දකුණු අප්‍රිකාවට එන විට ඔවුන් ළඟ බයිබලය තිබුණා.. අපි ළඟ ඉඩම් ටික තිබුණා. ඔවුන් අපට ඇස් වසාගෙන යාඥා කරන්නට කිව්වා. අපි ඇස් ඇර බලන විට අපි අත බයිබලය තිබුණා. ඔවුන් අත අපේ ඉඩම් ටික තිබුණා..’’ අධිරාජ්‍යවාදයේ සැබෑ ස්වරූපය සෝපහාසයෙන් ගොනු කළ මේ සුප්‍රකට කියමන ඊයේ ස්වර්ගස්ථ වූ අති උතුම් ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරු හිමි වෙතිනි.

දකුණු අප්‍රිකාවේ වර්ගවාදී සහ පීඩාකාරී ඇපාතෙයිඩ් රෙජීමයට අවනත වීම වෙනුවට ඩෙස්මන්ඩ් ටුටූ 1958 වසරේදී පාසල් ගුරුවෘත්තියට සමුදුන්නේය. එතැන් පටන් මියෙන තුරුම ඔහු කිසි දිනෙක සිය ප්‍රතිපත්තිවලින් අපගමනය නොවීය. එය අසාමාන්‍ය පිට කොන්දකි. ඔරොත්තු දීමේ ගුණය, සමානාත්මතාවය සහ යුක්තිය වෙනුවෙන් ඔහු දකුණු අප්‍රිකාව තුළදී මෙන්ම විදේශයන්හිදී ද සිය හඬ අවදි කළේය. මෙලොව කිහිප දෙනෙකුට පමණක් හිමිවන ආකාරයේ ජනාදරයක්, බලපෑම් කිරී‌මේ ශක්තියක් සහ වරප්‍රසාදී බවක් ඔහුට එමගින් නිරුත්සාහයෙන්ම උරුම විය.

කේප්ටවුන් හිදී වයස අවුරුදු 90 ක් ආයු වළඳා ස්වර්ගස්ථ වූ අති උතුම් ඩෙස්මන්ඩ් ටුටූ හිමියන් උස් හඬින් කතා කළ බොහෝ මාතෘකා සමකාලීන දකුණු අප්‍රිකාවේ ‘ටැබූ මාතෘකා’ හෙවත් කතා නොකළ යුතු වර්ගයේ මාතෘකා ලෙස සැලකිණි. LGBT අයිතිවාසිකම්, HIV AIDS නිවාරණය යනාදිය ද එයට ඇතුළත් විය. වැරදි යැයි හැඟෙන දෙය ඔහු නොබියව කීවේ සතුරන් උපයා ගනිමිනි. නමුත් තවදුරටත් ඔහු එසේම විය.

සතුරන් රැසක්

ටුටූ පියනමගේ වඩාත් ප්‍රකටම සතුරා වූයේ ඇපාතෙයිඩ් ක්‍රමය හෙවත් වර්ණභේදවාදී ක්‍රමයයි. එය ඔහුගේ මව්බිමේ 1948 වසරේ පටන්ම නීතිය විය. 70 දශකයේ අග භාගයේ පටන් ඔහුගේ ජීවිතය මුළුමනින්ම වැය වූයේ එම ක්‍රමය සිඳ බිඳ දැමීම පිණිස ය. දකුණු අප්‍රිකාවේ සූරාකෑමට ලක් වන බහුතරය ගැන ලොවට කියන ප්‍රධානතම කථිකයා බවට ඔහු පත් ව සිටියේය. rabble-rouser හෙවත් රස්තියාදුකාරයා යනුවෙන් සුදු ජාතික බලධාරීන් විසින් ඔහුව හැඳින්වූ යුගයක් ද තිබිණි. නමුත් පූජකවරයේ සිටි ක්‍රියාධරයෙකු වීම විසින් ඔහුට අසාමාන්‍ය සිවිල් බලයක් සහ ජනාකර්ෂණයක් ද ඇති ව තිබිණි. 1988 වසරේ එක්සත් ජාතීන්ගේ සංගමය අමතමින් ඩෙස්මන්ඩ් ටුටූ පියතුමා කීවේ ‘ඇපාතෙයිඩ් නීතිය නාසිවාදය තරමටම නරක බව’ ය. ප්‍රිටෝරියාවේ පීඩාකාරී ආණ්ඩුක්‍රමයට එරෙහිව සම්බාධක නොපැනවීම ගැන ඔහු බටහිර දේශපාලකයන්ට එහිදී දෙහි කැපුවේය.

නමුත් මැන්ඩෙලා මෙන්ම ඔහු ද කිසි විටෙක සුදු ජාතිකයන්ට එරෙහිව වෛරය වැපිරුවේ නැත. 1984 වසරේදී ඩෙස්මන්ඩ් ටුටූ නොබෙල් සාම ත්‍යාගය දිනාගන්නේ ඇපාතෙයිඩ් යුගය අවසන් කර විනාශකාරී අරගලයක් නවත්වා ගැනීමට කළ ප්‍රචණ්ඩකාරී නොවූ ප්‍රයත්නය වෙනුවෙනි. වරක් ඔහු මෙසේ කියයි.

”අපිට සුදු ජාතිකයන්ව මුහුද පැත්තට එළවා දමන්න උවමනා නෑ. අපිට සුදු ජාතිකයන්ව විනාශ කර දමන්නට උවමනා නැහැ..”

නමුත් ඊළඟ ඇසිල්ලේ ඔහු එවදන්වලට මෙසේ ද ඌනපූරණයක් එක් කළේය. ”නමුත් දෙවියන්ගේ ස්වරූපයෙන් යුතු උස් මිනිසුන් ලෙස උපන් බිමේ ඇවිද ගිය අපෙන්, නිදහස අවශ්‍යදැයි ඇසීම ගාණට වැඩි දෙයක් නේද..?”

1984 වසරේදී දකුණු අප්‍රිකානු දේවගැතිවරුන්ගේ කවුන්සිලයේ ප්‍රධානියා වශයෙන් සිටියදී බ්‍රිතාන්‍ය අගමැතිනී මාග්‍රට් තැචර් හට ලිපියක් ලියමින් ඔහු මෙසේ කියයි. ”දකුණු අප්‍රිකානු අගමැතිවරයාට එක්සත් රාජධානියේ සංචාරයකට පැමිණෙන ලෙස ඇරයුම් කිරීම කළු ජාතික දකුණු අප්‍රිකානුවන් මිලියන ගණනකට කම්මුලට ගැසූ අතුල් පහරක් වනු ඇත. ඔවුන් ලෝකයේ වඩාත්ම දුෂ්ට ප්‍රතිපත්තියක වින්දිතයන් ය”.

නොනැමෙන පිට කොන්ද

දකුණු අප්‍රිකාවේ ඉටු නොවූ අභිලාෂයන් ගැන ඩෙස්මන්ඩ් ටුටූ පියතුමාට කදිම අදහසක් තිබිණි. ‘රේන්බෝ නේෂන්’ හෙවත් ‘දේදුණු දේශය’ යන යෙදුම ඔහු දකුණු අප්‍රිකාව හැඳින්වීමට යෙදුවේ ඒ අර්ථයෙනි. දකුණු අප්‍රිකාවේ 1994 වසරේ පැවැත්වුණු පළමු නිදහස් මැතිවරණයේදී ‘දේදුණු දේශයේ’ සිදුවූ බල සංක්‍රාන්තිය ගැන ඔහු සතුටු වූ නමුත්, තව කොපමණ දුරක් යා යුතු ද සහ අසාර්ථක වන ස්ථාන මොනවාද යන්න ගැන හොඳ ඉවක් ද ඔහුට විය. එයින් දශකයකට පසු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ දකුණු අප්‍රිකාව අත්පත් කර ගත් ජයග්‍රහණ දේශනයකදී ගොනු කරමින් ඩෙස්මන්ඩ් ටුටූ නොකියා කීවේ බොහෝ දෙනෙකු දේශපාලනයට පැමිණෙන්නේ තමන්ගේ වාසිය සඳහා බවයි.

‘’ විශාල බහුතරයක් නොව, ප්‍රතිචක්‍රීකරණය වන ප්‍රභූ සුළුතරයක් ප්‍රතිලාභ ලබන බව පෙනෙන විට කළු ජාතිකයන්ට මොන සවිබල ගැන්වීමක්ද? අපි අමනාපකම් අලුතෙන් සාදා නොගන්නේද? අප මේ වාඩි වී සිටින්නේ කුඩුවලින් තැනූ කූඩුවක් මතයි’’.

විප්ලවයෙන් පසුවත් දකුණු අප්‍රිකාව වෙනත් අන්ධකාරයක් වෙත තල්ලු වන බව ඩෙස්මන්ඩ් ටුටූ පියනම කල් තබා දුටුවේ එසේ ය. නෙල්සන් මැන්ඩෙලා හට පවා මේ දැක්ම තිබිණිද යන්න සැක සහිත ය.

දකුණු අප්‍රිකාවේ විමුක්ති අරගලයෙන් පසු බිහිවූ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ පාලනය ගැන ඩෙස්මන්ඩ් ටුටූ පළ කළ මේ විවේචනය පසු කලෙක නිවැරදි බව සනාථ විය. ජේකබ් සූමා ජනපති පදවියට පත් වූ පසුව ඩෙස්මන්ඩ් ටුටූ දැඩි ලෙසම මේ විවේචනයේ සිටියේය. සිදුනොවිය යුතු දේ සිදුවෙමින් පැවතිණි. දේදුණු දේශය දූෂණයෙන් සහ වංචාවෙන් විනාශ වෙමින් පැවතියේය. 2018 වසරේදී ජේකබ් සූමාගේ පාලනය අවසන් වන්නේ ක්‍රමානුකූල දූෂණය සහ පරිපාලන අවභාවිතාවන් ගැන චෝදනා රැසක් ද සමග ය. අනතුරුව බලයට පත්වූ හිටපු කම්කරු නායක සිරිල් රැම්පෝසාගේ සමයේදී තත්වය මදක් සමනය වන බව පෙනෙන්නට තිබුණේ ඔහු මධ්‍යස්ථ ප්‍රතිසංස්කරණ හරහා දූෂණය හා අල්ලස පිටුදැකීමට කටයුතු කළ හෙයිනි.

ඩෙස්මන්ඩ් ටුටූ පියතුමගේ අදීන ධෛර්යය දේශපාලන විරුද්ධවාදීන් ව කොතරම් රිදවා ඇත්ද යන්න ඔහුගේ මරණ මංචකයේදී ද සනාථ වේ. මේ මොහොතේ පවා හිටපු ජනපති ජේකබ් සුමාගේ ආධාරකරුවන් සහ පක්ෂග්‍රාහීන් ඩෙස්මන්ඩ් ටුටූ මරණය වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් පවා සිදුකිරීමෙන් වැළකී සිටින අවස්ථා දැකගත හැකිය.

දකුණු අප්‍රිකාවේ සත්‍ය හා සංහිඳියා කොමිසම

සංහිඳියාව හා සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ලොව පුරා මොඩලයක් ලෙස ක්‍රියාත්මක වන සංහිඳියා කොමිසම උපත ලබන්නේ ඩෙස්මන්ඩ් ටුටූ පියතුමගේ නොසැළෙන දායකත්වය ද තුළිනි. සුදු ජාතිකයන් විසින් ඇපාතෙයිඩ් නීතියේ නාමයෙන් කළු ජාතිකයන්ට සිදුකළ අපරාධ පිළිබඳ සත්‍යය සොයාගත යුතු බවත්, අපරාධකරුවන් වින්දිතයන් හමුවට පැනවිය යුතු බවත් ඔහු දැඩි සේ විශ්වාස කළේය. නමුත් පශ්චාත් යටත් විජිත දකුණු අප්‍රිකාවේදී එය 90 දශකයේ අගභාගයේ පටන් කළු ජාතිකයන්ට එරෙහිව කළු ජාතිකයන් විසින්ම කළ අපරාධ සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක විය යුතු විය. සංහිඳියා කොමිසමේ මූලික හරය ‘යුක්තිය සොයා යාම’ වන විට, එය එසේ විය යුතුමය. අවසානයේ නෙල්සන් මැන්ඩෙලාගේ කලින් බිරිඳ වන විනී මැන්ඩෙලා, කළු ජාතික තරුණයෙක් පැහැර ගෙන ගොස් අවසානයේ ඝාතනය කිරීමේ අවනඩුව විභාග වන්නේ ද මේ කොමිසම හරහා ය. විනී මැන්ඩෙලා මෙයට වරදකාරිය බව තීන්දු වන්නේ, අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ බොහෝ දෙනෙකු නිරුත්තර කරමිනි. ඩෙස්මන්ඩ් ටුටූ පියතුමාගේ සමුගැනීම වෙනුවෙන් ඊයේ දිනයේ එනම් ඉරිදා දිනයේ දකුණු අප්‍රිකානු සමාජ මාධ්‍යවල ඇතැම් අය ඔහුව හඳුන්වා දී තිබුණේ ‘සුදු ජාතිකයන්ටම කත් ඇද්ද කෙනා’ යන අදහස සහිත පරිහාස බසෙනි.

විනී මැන්ඩෙලා සමග

ඒ බස් අසන්නට ඩෙස්මන්ඩ් ටුටූ ජීවතුන් අතර සිටියේ නම් ඔහු සිය සුපුරුදු සෝපහාස සිනහව පානු නිසැක ය. දකුණු අප්‍රිකාවේ සත්‍ය හා සංහිඳියා කොමිසම විසින් නෙල්සන් මැන්ඩෙලාගේ බිරිඳ වරදකාරිය කිරීම ම, දේශපාලන බලය හමුවේ අපක්ෂපාතීව කටයුතු කරන පුරෝගාමී ව්‍යූහයක් ඔහු විසින් බිහි කළ බවට හොඳම සාක්ෂියයි.

‘සදාචාර මාලිමාව’

එනිසා, ‘දකුණු අප්‍රිකානු විමුක්ති අරගලයට පණ පෙවූ ඇන්ග්ලිකානු අගදරගුරුවරයා’ යන හැඳින්වීම ඩෙස්මන්ඩ් ටුටූ පියතුම වෙනුවෙන් කොහෙත්ම ප්‍රමාණවත් නොවේ.

දෙවියන් වහන්සේගේ පුත්‍රයෙකු වුවද ඔහු ට දෙවියන් වහන්සේ ගැන පවා තිබුණේ තාර්කික විශ්වාසයකි. වරක් ඔහු ‘පව්කාරයන්’ නිරයේ පැසීමට සුදුස්සන් ය යන අර්ථය ආගම විසින් උගන්වා තිබෙන සහ එම ඉගැන්වීම විසින් ජන මනස හසුරුවා ඇති ලෝකයක මෙසේ කියයි. ‘ස්වර්ගයට ගිය විට එහිදී හමුවන අය දැක අපි පුදුම වේවි. දෙවියන් වහන්සේ ළඟ පව්කාරයන්ටත් මුදු තැනක් තිබෙනවා..’’ එය දේව ධර්මය ගැන එතෙක් පැවති අදහස නොවීය. ඩෙස්මන්ඩ් ටුටූ හිමියන් සමාජ අසාධාරණය වෙනුවෙන් මුවහත් වූ දිවක් සහ, සහකම්පනය හා සානුකම්පාව අතර සම්බන්ධය මෙන්ම වෙනස ද දැන සිටි ඝෝෂාව වෙනුවට තර්කය දිවිය කර ගත් අදීන පියනමක් වූහ.

සදාචාර මාලිමාව’ හෙවත් මෝරල් කොම්පස් (moral compass) යන්න බොහෝ දෙනෙකුට නුපුරුදු යෙදුමක් විය හැකිය. නමුත් ඊයේ ස්වර්ගස්ථ වූ අති උතුම් ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරු හිමි හැඳින්වීමට විදෙස් මාධ්‍ය යොදන ප්‍රබලම යෙදුමක් වන්නේ එයයි. මෝරල් කොම්පස් හෙවත් සදාචාර මාලිමාව නාම පදයකි. එහි තේරුම ‘’හොඳ නරක බේරුම් කරගෙන ඒ අනුව හැසිරීමට ඇති හැකියාව’ යන්නයි. ඩෙස්මන්ඩ් ටුටූ පියතුමා ඒ යථාවාදී-තථාකාරී ගුණය හොඳින්ම ප්‍රගුණ කළ අයෙකු විය.

ඩෙස්මන්ඩ් ටුටූ සටන්කාමී චරිතයක් වූයේ අපූරුතම ක්‍රමයකට ය. සන්නද්ධ අරගල සහ ප්‍රකෝපකාරී ක්‍රමෝපායන් ඔහු බැහැර කළේය. ඔහු ශාන්තිදායකයෙකු නොවීය. එනම් සාමවාදියෙකු නොවීය. නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමෙන් පසුව සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු මෙසේ කියයි.

”I am not a pacifist, but I am a peace lover…
”මම සාමවාදියෙක් නෙවෙයි. නමුත් මම සාමයට ආදරය කරන කෙනෙක්..”

ලෝගුවට හෝ සිවුරට මුවා වී අවිහිංසාව වදාරමින් වෛරයම වපුරන, අපේ කාලයේ ප්‍රතිරූපක මාර්ගෝපදේශකයන්ට වඩා, දේශපාලන බලයට හෝ ධනයට නොනැමුණු මේ අපමණ මිනිසාගෙන් ලොවට යුග ගණන් ගිය පසුවත් උගත හැකි පාඩම් අපරිමිත ය.

රදිකා ගුණරත්න – අවුට්බවුන්ඩ් ටුඩේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.