කොවිඩ් වසංගත සමයේ ජීවිතය ඉල්ලා සටනට බට මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු ඝාතනය කර 120කට අධික සංඛ්‍යාවකට ශාරීරික හානි සිදු කිරීම සම්බන්ධයෙන් වසර කිහිපයක් තිස්සෙ ඇදී ආ නඩුව, තවදුරටත් පවත්වාගෙන නොයෑමට නීතිපතිවරයා විසින් තීරණය කර තිබේ.
රාජ්‍ය වගකීම යටතේ බන්ධනාගාරගත කර තැබූ මිනිසුන් 11 දෙනෙකුගේ ජීවිත අමු අමුවේ සුන් කර දමා තිබේ. සිරුරු පසාරු කරගෙන යෑමට කිසිවෙකු විසින් ගිනි අවිවලින් උණ්ඩ නිකුත් කර ඇත. එහෙත් එකී ඝාතනවලට යුක්තිය පසිඳලීම අවශ්‍ය නැතැයි නීතිපතිවරයාගේ තීරණය වී තිබෙන බව පෙනේ.
මේ ගැන වැලිසර මහේස්ත්‍රාත්වරයා පවා විමතියට පත් වූ බව සඳහන් වූයේ ය.
සිරගෙදරක ගැටුමකදී එකවර 11 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ සිදුවීම එතරම් කම්පනසහගත එකක් බවට පත් නුවූයේ ඇයි?
මෙම ඝාතන සිදුවන්නේ, 2020 වසරේ නොවැම්බර් මාසයේ දී ය. කොවිඩ් දෙවැනි රැල්ලේ ආරම්භක සමයයි. කොහොමත් ජීවිත තිබුණේ මියෙම්වා රැකෙම්වා තත්වයකයි. පුවත්පත් ආදිය ප්‍රකාශයට පත් නූණේ ය. මාධ්‍ය පවා සැළී වෙව්ලා තිබුණු සමයකි. ස්වකීය ප්‍රාණය බේරා ගැනීම සෑම කෙනෙකුගේ ම ප්‍රධාන අරමුණක්ව තිබුණ සමයකි. වෙනත් සමයක මෙවන් ඝාතනයක් සිදු වී නම් මතු වන්නා වූ ජනරාවය මෙවක ඇති නොවීය.
වසංගතයකදී, සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයකට වඩා රැඳවියෙකුගේ ජීවිතය ලාබ වූවා සේ ය.
මහර සිදුවීම කුමක් ද?
කොවිඩ් දෙවැනි රැල්ල ඇරඹීමත් සමඟ ඇඟලුම් කම්හල් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොල හරහා ආසාදිත පොකුරු කිහිපයක් වාර්තා විණ. ඒ අතර බන්ධනාගාරවලද කොරෝනා ආසාදිතයන් වාර්තා වූයේය. කොවිඩ් ආසාදනය වී නම් නිරෝධායනය අත්‍යාවශ්‍ය වූ අතර ආසාදිතයන් හා පරතරය නඩත්තු කිරීම පැතිරීම පාලනය කිරීමේ ප්‍රධාන අංගයක් විය. සියලුම බන්ධනාගාර පාහේ ධාරිතාවට වඩා කිහිප ගුණයක් රැඳවියන්ගෙන් පිරී ඉතිරී පැවති අතර කොවිඩ් සඳහා ඒවා තෝතැන්නවල් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ අතර බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් කොවිඩ් නිසා මළ හ. මරණ භය දැනෙන්නට පටන් ගත් අවදිය මෙය විය.
පී.සී.ආර්. පරීක්ෂණ-නිරෝධායන-පහසුකම් ආදිය ඉල්ලා බන්ධනාගාර කිහිපයක විරෝධතා ආරම්භ වන්නේ ඉන් පසුව යි. මෙම රැඳවූවන්ගේ ඉල්ලීම් මානුෂීය ඒවා බවට සැකයක් නැත. වසංගත සමයකදී බන්ධනාගාර වැනි ජනරාශිවල ඒවා පැතිරීම වැඩි වීම ගැන සැකයක් නොවේ. එසේ ම පිටත ලෝකය අර්බුදයට ගිය සන්දර්භයක බන්ධනාගාර ලෝකය දෙගුණයක් නොසලකා හැරීම සාමාන්‍ය දෙයකි.
මහර බන්ධනාගාරය ඒ වන විට කොවිඩ් ආසාදිතයන් වාර්තා නොවූ එකක් බවත් බලධාරීන් සිතාමතා කොවිඩ් ආසාදිතයන් එහි ගෙනා බවට චෝදනා නැගිණි. නොවැම්බර් මස 29 වැනිදා මහර බන්ධනාගාරය තුළ නොසන්සුන් තත්වයක් හටගත් අතර රැඳවියන් දිගින් දිගටම ඉල්ලා සිටි ඉල්ලීම් කිහිපයක් යළි කතාබහට ලක් විය. වසංගත තත්වය යටතේ උසාවි ක්‍රියාමාර්ග ඉක්මන් කිරීම, ඇප ලබා දිය හැකි අයට ඇප ලබා දීම, සිව්වස් සමාලෝචනය, පී.සී.ආර්. පරීක්ෂණ, මූලික ආහාර පාන සහ පහසුකම් ලබා දීම එම ඉල්ලීම් අතර විය. 30 වෙනිදා මෙම නොසන්සුන්තාවය ගැටුමක් දක්වා වර්ධනය වූ අතර බන්ධනාගාරය තුළ ගිනිතැබීමක්ද පහරදීම්ද ඇති විය. බලධාරීන් අමතර පොලිස් බලඇණිද කැඳවා තත්වය පාලනය කරන්නට කටයුතු යෙදූ අතර බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් සහ ජීව උණ්ඩ යොදා වෙඩි තැබූ බවට වාර්තා පළ විය.
මහර බන්ධනාගාරය තුළ සිරකරුවන් 1000කට පමණක් පහසුකම් පැවතියත් ඒ වන විට එහි රැඳවියන් 3000කට ආසන්න පිරිසක් රඳවා තිබුණි. ඉරිදා වන විට එහි රැඳවියන් 200කට පමණ කොවිඩ් වැළඳී ඇති බවට ආරංචි පළවීමත් සමඟ නොසන්සුන්තාව හට ගති.
ගැටුම පාලනය කරද්දී රැඳවියන්ගෙන් ඥාතීන් විශාල වශයෙන් බන්ධනාගාරය අවට රැස්කමින් සිය සමීපතමයා ගැන තොරතුරු දැනගැනීමට උත්සාහ කළහ. මෙම ඡායාරූප විශාල වශයෙන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය විය.
අවම බලය යොදා නොසන්සුන්තාව පාලනය කළ බව කී මෙම ගැටුමේ දී නිලධාරීන්ගේ වෙඩි පහරින් රැඳවියන් 11 දෙනෙකු මිය ගිය අතර එම දේහයන් පුළුස්සා දැමීමට ගත් වෑයම මානව හිමිකම් කොමිසම විසින් වළක්වනු ලැබීය. මෙම 11 දෙනාගෙන් 8 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබු බව පසුව අනාවරණය විය.
මානව හිමිකම් කොමසාරිස්වරිය රමණි මුත්තෙට්ටුවේගම සඳහන් කළේ මුර කුළුණුවල සිට වෙඩි තැබීම් කළ බව රැඳවියන් පැවසූ බවයි. එසේ ම ජීව උණ්ඩ යොදා වෙඩි තැබීම කිසිසේත් ම අවම බලය නොවන බවද ඇය කියා සිටියා ය.
කෙසේ වෙතත් එවක ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ රැඳවියන් මානසික රෝග සඳහා තිබු ඖෂධ භාවිත කර නොසන්සුන් ලෙස හැසිරුණු බව මාධ්‍යවලට කියූ බව පළ විය. මෙම ගැටුමට එවක බන්ධනාගාර වෛද්‍යවරයාටද චෝදනා එල්ල කිරීමට සූදානමක් ඇතැයි චෝදනා එල්ල විය.
මේ වෙද්දී පාරාජිකා වී සිටින කබල් දේශපාලක විමල් වීරවංශ ද මෙම ඝාතනයට කුමන්ත්‍රණයක් පිටින් දමා හෑලි දෙසා බෑවේ ය.
සිදුවීම සම්බන්ධයෙන් වසර 3ක් පුරා දීර්ඝ විමර්ශනයකින් පසුව වැලිසර මහේස්ත්‍රාත් ධම්මික උඩුවිදාන විසින් මෙම මරණ සිදුකිරීම අපරාධයක් බවට තීරණය කරන ලදුව මෙම වෙඩි තැබීමට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට නියෝග කළේ 2023 වසරේ අප්‍රේල් මාසයේ 26 වැනි දින පැවැති නඩු විභාගයේදීයි.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා අවධාරණය කරනු ලැබුවේ මෙම වෙඩි තැබීම් කැරැල්ලක් මැඩපැවැත්වීමට හෝ මානුෂීය මෙහෙයුමක් ලෙස නොපෙනෙන බවයි. දණහිසෙන් පහළට වෙඩි තැබූ බවක් සඳහන් කළද කිසිදු රැඳවියෙකුගේ දණහිසෙන් පහළට වෙඩි වැදී නොතිබුණු බවත් හිස, බඩ, පපුව ආදී තැන්වලට වෙඩි තබා ඇති බවත් එහිදී හෙළිදරව් විය.
මහේස්ත්‍රාත් නියෝගය එසේ වුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සැකකරුවෙකු ඉදිරිපත් කරනු නොලැබීය. මේ නිසාවෙන් අගතියට පත් පාර්ශ්වය විසින් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කළ අතර එහිදී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නි. සොලිසිටර් ජනරාල්වරයා අභියාචනාධිකරණයට දන්වා සිටියේ මාස 3ක් ඇතුළත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවයි. පසු අවස්ථාවකදීද ඔවුන් අභියාචනාධිකරණයට දන්වා සිටියේ තවමත් පරීක්ෂණ අවසන් නැති බවයි.
කරුණු මෙසේ තිබියදීම 2024 අගෝස්තු මස 30 දින අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර වැලිසර මහේස්ත්‍රාත්වරයාට ලිපියකින් දන්වා තිබුණේ, මහර බන්ධනාගාරය තුළ ඇති වූ කැරලිකාරී තත්වය මැඩීමට බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් නීත්‍යානුකූලව කටයුතු කර ඇති බවත්, නිලධාරීන්ගේ පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ඉක්මවා ක්‍රියාකර නැති බවත් නිරීක්ෂණය වන බැවින් උක්ත නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බවයි.
අවසන් වරට පසුගිය 2024 දෙසැම්බර් (17) දා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීද නීතිපති ස්ථාවරය නොවෙනස් බැව් අධිකරණයට දැනුම් දීම නිසා නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බැවින් නඩු කටයුතු අවසන් කිරීමට අධිකරණය තීන්දු කළේ ය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා ඇමතූ විට ඔහු කියා සිටියේ යුක්තිය වෙනුවෙන් කරන සටන නොනවත්වන බවයි. නීතිපතිවරයා මෙම ඝාතන නීත්‍යානුකූල කියා කියනවාද යන්න ඔහු විසින් නගන පැනයයි. නීතිපතිවරයාට ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන තිබුණද යුක්තිය අපගමනය සඳහා එය යොදාගත නොහැකි බවද ඔහු කියා සිටියේ ය. නඩු කටයුත්ත ඉදිරියට ගෙන නොයන බවට නීතිපතිවරයා විසින් එවූ ලිපිය බලරහිත කරන ලෙස ඉල්ලා නැවත රීට් පෙත්සමක් ගොනු කරන බවද සේනක පෙරේරා පැවසීය.
නීති කෘත්‍යයන් ගැන ගැඹුරින් නොදන්නා ජනතාව ලෙස අපට මේ සිදුවීම ආශ්‍රයෙන් පහත ප්‍රශ්න පැන නගී.
සිරකරුවන්ගේ ජීවිත සාමාන්‍ය ජනයාගේ ජීවිතවලට වඩා වටිනාකමෙන් අඩු ද?
රැඳවියෙකු ලෙස සිටියදී රටේ ව්‍යවස්ථාපිත නීතිය ඔහුට බලපාන්නේ නැති ද?
අවම බලය කියා අර්ථ දක්වා ඇත්තේ හිසට, පපුවට, බඩට ආදී වශයෙන් ඕනෑම තැනකට වෙඩි තබා මිනිසුන් මරා දැමීමට ද?
මෙය පූර්වාදර්ශකොටගෙන ඉදිරියේදී බන්ධානාගාර සිදුවීම්වලදී නිලධාරීන් ක්‍රියා කළහොත් ගැන බලධාරීන් කියන්නේ කුමක් ද?
රාජ්‍ය වගකීම යටතේ නිරායුදව සිරගත කර සිටි මිනිසුන් 11 දෙනෙකු වෙඩි තබා මරා දමා ඇති බව අධිකරණය පවා පිළිගෙන තිබේ. එනමුත් නඩු ගොනුව වසා දැමීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කරයි. මේ මිනිසුන්ගේ ඝාතන පාතාලයේ මෙන් ඇඩ්රස් නැති මර්ඩර් විය යුතු ද? මේ මිනිසුන්ගේ ජීවිතවලට යුක්තිය ඉටු නොවිය යුතු ද?
ශිෂ්ට බව අගයන, යුක්තිගරුක සමාජයක් නම් මෙසේ වීම අකටයුතු ය. නව රජය යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නේ නම් මේ සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු ය. යුක්තිය වෙනුවෙන් අබමල් රොනක හෝ හැඟීමක් ඇති අය වෙත් නම් මේ ගැන ක්‍රියකිරීමට පෙරට ආ යුතු ය.
~ සඳුන් ප්‍රියංකර විතානගේ
RN