Sunday, September 25, 2022
spot_img
spot_img

Latest Posts

සර්ප – කිකිළි දූපතේ ‘ෆිෆ්ටි’

හිස සුන්, කඳ සුන්, ලේ වැගිරෙන, විප්‍රකාර, අවුල්ජාලාවක් මැද දිගටම ගමනේ යෙදෙන, හඹා යන, ලුහු බැඳ යන, තරගයට දුවන, බල ප්‍රවාහයට අසුවුණු, දූවිලි සුළියකට නැතිනම් කුණාටුවකට ඇදි ඇදී යන, උඩට ම නගින, රොත්තට එක ම තැන කරකැවෙන, පත බෑවුණු, වැළලුණු, මියැදුණු, මිනිස් රූ සහිත අඳුර අතරින් සුජිත් රත්නායක මෙවර ‘ෆිෆ්ටිය’ ගසයි. ‘අඳුරු කාලයේ දී ගී ගැයෙනවා ද? ඔව්! ඒ අඳුරු යුගය ගැනයි’ යි, බ්‍රෙෂ්ට් කීවේත් කවි ලීවේත් තත් යුගය ගැන නම්, අප ජීවත්වන මේ මොහොත නිර්වචනය කර පෙන්විය හැකි කලාව සුජිත් අත පත්ව තිබේ. මා නරඹා ඇත්තේ මීට පෙර ඔහුගේ ‘කෙටුම්පත් තෘෂ්ණාව’ ප්‍රදර්ශනය පමණයි. හුදෙක් සංකල්ප හෝ න්‍යායන් නිරූපණයට සීමා නොවී ජීව ගුණයක් කැවීමත්, දැඩි රේඛා බාහුල්‍යයත්, සාතිශය මේ මොහොතේ රැඳී සිටීමත් ඔහුගේ සිතුවම්වල දුටු ලකුණක්. සිත්තරා සැබෑවෙන් බැහැර ව නොයන අතර, සෞන්දර්ය රඳවාගන්නේ ඒ මතයි. එබැවින් ඇතැම් අයෙකුට මේවා, රළු, දෘඪ, නොතේරෙන, කෘතිම හෝ සෘජු බවක් දනවනවා විය හැකිය.

තල් ගසක් යටින් ඉහළට ආ අතකින් නෙළුම් පොහොට්ටුවක් ගෙන නැගී සිටින (ප්‍රදර්ශනාගාරය තිබූ තැන ද නෙළුම් පොකුණට සමීපයේ වීම අහම්බයක් ද), වදන් ලෑලි පෙන්වන, ලේ වැකුණු අඩි සහිතව ඉහළට පඩි නැග යන, කටුගෙට යටින් මාර්ගයේ පස් ගල් තට්ටුවට යටින් ගල් කාලේ බෝතල් දිස්වන පීඩිත සෝබර සමාජ පන්තිය සහ ලේ වැකි මුල් පද්ධති, ඔටුන්නක් ලුහු බැඳ යන මිනිස් වළල්ල, සයනයේ නිදා සිටින යුවළ බිලිගන්නා මාධ්‍ය සර්පයන් සහ ඕජස් ගලන ඇඳ ඇතිරිල්ල, රසවිඳිමින් ගයන ගායිකාවගේ ගීතය අසා සිටින තුෂ්නිම්භූත සොහොනක් බඳු ප්‍රේක්ෂක සේනාව, ගස් යට‌ වැළලෙන නිරුවත් ස්‍ත්‍රී ආත්ම, ස්ඵටිකයක් බවට පත් වූ මුහුණ තුනක් ඇති කැටයම, වර්ණ ජනෙල් රාමුවට සිර වූ එයින් එහා ලොව දෙස දෑස් ලොකු කර බලා සිටින මිනිසුන්, වටාපතකට එහායින් මුඩු හිසැතිව සිටිමින් අප දෙස වරදකාරී ඇසින් බලන්නන්, රෙදි කඩෙකින් දැවටූ ජීවන බර පොදිය, සත්‍ය සත්‍ය ලෙස ඉගෙනීමේ අයිතිය තහනම් කළ රට, ෆිෆ්ටි ප්‍රදර්ශනයේ තේමාව කුලක කොට පෙන්වන වදන් ධාරාවක් රචනයක් ලෙසින් මුල සිට අගට ඇති රූපය ආදිය ෆිෆ්ටිහි සිත්තම්වල නිරූපනය වන දෘශ්‍ය රූපයි. සිතුවම්වලින් කියැවෙන දෙයෙහි සම්පිණ්ඩනයක්, රංග වින්‍යාස නර්තනයෙන් ද තීව්‍ර කරදෙයි. 

මේ සිත්තම් සියල්ල පිහිටන භූමිය ‘සර්ප – කිකිළි දූපත’යි. (‘සර්ප වළල්ලක් සහිත දූපතක්’ යන වදන් සුරේඛා සමරසේන ලියූ ‘මගේ කතාව’ කෘතිය පාදකව ගත්තක් වන අතර, ‘කිකිළි දූපත’ ප්‍රසාද් වීරසිංහගේ එනම් නිර්මාණයට යොදා තිබූ මැයෙන් උපුටා ගන්නා ලදී) ‘සර්ප දිවයින’ යන්න බලය රඳන පුරුෂ මූලික සමාජය කේන්ද්‍ර කරගනිමින් ගෙනඑන්නක් හා ම ‘කිකිළි දූපත’ නරියාට තම පිරිස බලාගන්නැයි බලය දුන් (බහුතර ස්ත්‍රීන් ප්‍රමුඛ) ජනතා නියෝජනය හා බැඳෙයි. 


සර්පයන් ගිරවුන්, මුගටින් වැනි බහු විප්‍රකාර රූ දරන්නන් විසින් වටකරගත් අපිළිවෙළට රැස් වූ අක්ෂර ගොඩක් ඇති සිතුවම අප සිත්ගත්තකි. වමෙන් සර්පයන් සිතුවමේ වැඩි පදාසයක් අත්පත් කරගෙන සිටින අතර, දකුණු කොණට වන්නට ඇති අකුරු ටික සර්ප ප්‍රහාරයට ලක්වීමට නියමිතව ඇත. කෙසේ හෝ මේ සිතුවමේ සර්ප ග්‍රහණයට ලක්වන්නේ භාෂාවයි. ප්‍රශ්න කිරීමයි. කතා කිරීමයි. නොඑසේ නම් නව අදහස් සහ මතවාද පද්ධතියයි.  මාර පරාජයේ බුදුන් වටකර සිටින මාර සේනාව මෙන්, දෂ්ට කිරීමට කට ඇර සිටින්නෝ බස, අදහස්, නව චින්තාවන් ඉදිරියට එනු නොදී මරාකන්නෝ, පාලකයෝ, විචාරකයෝ, විනිශ්චයකරුවෝ…….ය. ප්‍රසාද්ගේ ‘කිකිළි දූපතේ’ එන පහත උපුටනය මේ සිත්තම හා මට ඇසෙන්නට වෙයි.

“නැති වුණත් දැමුව බිජුවක්හොයාගෙන රවුම් කිසිවක්රකින්නට වරෙව් හයියෙන්කෙකර ගානවා…මොකෑ ඔය? කියා ඇහුවොත්විදා තටු කැහැටු පොරකටුමරාගෙන මැරෙන රෑනක්පොරට පනිනවා…”
මා සිත්ගත් අනෙක නම්, ආගාදයට යන අයෙකු පිහිට පතා අත දිගු කළ විට තවත් අයෙකු සිය අතකින් ගෑවී නොගෑවෙන්නට, යන්තම් ගැලවෙන්නට මෙන් අත දෙන සිතුවමයි. මේ සරණ පිණිස දෙන දෑතේ ලේ වැකිලාය. චිත්‍රයෙන් හතරෙන් තුනක් ම ඇත්තේ අර මිනිසා හෝ ඇටසැකිල්ල වේගෙන් ඇදී යන අවස්ථාව වන අතර එහි මුල් කොටසේ පමණක් අත් දෙක සමීපව සිත්තම් කර ඇත. සිස්ටයින් දෙව්මැදුරේ සිවිලිමේ මයිකල් ආන්ජලෝ ඇඳි-දෙවියන්වහන්සේ ආදම් මැවීමේ සිතුවමේ  ඔවුන්ගේ දෑත් යා වන සේ ඇති සිතුවම හා සසඳන්න. දෙදෙනාගේ අත් එකිනෙක ගෑවෙන්න ආසන්න නමුත්, නොගෑවෙන සේ තබන පරතරය යි මේ සිතුවම් දෙකෙහි ම අප රුචිකරන පොදු තැන. මේ හා සිහිකැඳවෙන තවත්, සිතුවමක් සුජිත්ගේ ‘කෙටුම්පත් තෘෂ්ණාව’ ප්‍රදර්ශනයේ තිබිණි. සර්පයෙක් බලා සිටියදී තවත් සර්පයෙකුට මල් සුඟක් දෙන පුද්ගලයෙකුගේ සිතුවමක් එසේත් නැතිනම්, සර්ප සිරුරේ අගින් මල් පීදුණු මල් පැළයක් අල්ලා සිටින පුද්ගලයකු දෙස හිස ඔසොවා බලන තවත් සර්පයෙක් යනුවෙන් ද ඒ සිතුවම පෙනේ. ආදම්ගේ ඉල ඇටයෙන් ඒව මවන – සර්පයාගේ වලිගය අගින් මල(කාන්තාව) උපත ලබන මේවා ඡේදනය ව පෙනෙන්නට ගනී. 
කෙටුම්පත් තෘෂ්ණාව ප්‍රදර්ශනයේ දී සුජිත්ගේ සිතුවම් (පොදුවේ සැලකුවහොත්) ආත්ම බද්ධව, ආත්මයට නැමුණු ස්වභාවයක් දරන ලද අතර, ෆිෆ්ටි ප්‍රදර්ශනයේ දී ඔහු කුරුලු ඇසකින් දුර සිට දූපතක් වෙත බලන බැල්මක් පෙනේ. චිත්‍ර කර්මයේ න්‍යායාත්මක සිද්ධාන්ත ගැන අවබෝධ නැති අප වන් දුහුනන්ට බලමින් ඉගෙනු ගනු සඳහා, අන්දුන් කුන්දුන් වනු සඳහා මීළඟ ෆිෆ්ටියේ දී සිත්තරාණෝ තව බල්ටියක් ගසත්වා ! • 

 ඩිල්ශානි චතුරිකා දාබරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.